Labels

Monday, July 10, 2017

යොවුන් වියේ තුන් බිය

පුද්ගල ජීවිතයේ ළමාවිය, යොවුන් විය, මැදිවිය හා මහලු විය අතුරින් යොවුන් විය සුවිශේෂී වේ. ජීවිතයේ චමත්කාරය විඳින කාල පරිච්ඡේදය එය බැවිනි. ළමා වියද සුවිශේෂී වුවද පරිපූර්ණ කායික, මානසික සන්දර්භය සමඟ සසඳා බලන කල යොවුන් විය වනාහි ජීවිතයේ චමත්කාරතම අවධිය බව අවිවාදාත්මකය. ශරීරය පිරිපුන්ය, ශක්තිමත්ය, යෝග්‍යතා පූර්ණය, කාර්යක්ෂමභාවය වේගවත්ය. මනස වහා වැටහෙන සුළුය. ඒ හේතු කොට ගෙනම ඔවුන්ට යොබ්බන මද යනුවෙන් මත්වීමක් හෙවත් මුළාවක්ද උපදී. එම මුළා බවත් අඩු අත්දැකීම් සහිත බවත් යෞවනයේ චමත්කාරයට බාධාවකි.
මදය හෙවත් මුළා බව නිසා හටගන්නා අධිවිශ්වාසය සමඟ සෙසු අය මෙන්ම අදහස්ද ප්‍රතික්ෂේප කොට තම මතයම ක්‍රියාවට නංවන ස්වභාවය යොවුන් වියෙහි අප තුළ හටගන්නා අනෙක් දුර්වලතාවයි. මේ නිසාම යෞවනයන් තරම් අනෙක් අයගේ උපක්‍රමශීලිත්වයන්ට හසුවන්නා වූ ගොදුරුවන්නා වූ වෙනත් සත්ත්වයෙක් මිහිපිට නැති තරම්ය. මන්දයත් සමාජ අත්දැකීම්, සහිත සත් භාව පූර්ණ උපදේශනයක අවශ්‍යතාව නිරන්තරයෙන් යෞවනයන්ට අවශ්‍ය වේ. මේ පිළිබඳ මනරම් නිදසුනක් සංයුත්ත නිකායේ කච්ඡප සූත්‍රයේ දක්නට ලැබේ. “ඇවුලුම් බිලියෙන් හෙවත් ඇමිණෙන කටුවෙන් කැස්බෑවන් දඩයම් කරන ප්‍රදේශය පිළිබඳ අත්දැකීමෙන්ම හඳුනාගන්නා වැඩිහිටි කැස්බෑවෙකු තරුණ කැස්බෑවෙකුට උපදෙස් දෙමින් මෙසේ කියයි, “පුතේ අන්න අර පේන පැත්තට යන්න එපා. ඒ පැත්ත කොපමණ ලස්සන වුවත්, කෑම තිබුණත්, යන්න නම් එපා” යනුවෙනි. කලකට පසු තරුණ කැස්බෑවා කල්පනා කරන්නේ සිය වැඩිහිටියන්ගේ මතවාද හුදු මිථ්‍යාවක් , ප්‍රලාපයක්, හණමිටි අදහසක්, පුහුබියක් පමණක් බවයි.

ඒ අනුව තරුණ කැස්බෑවා දැඩි තීරණයක් ගන්නේය. එනම් තමා කෙසේ හෝ වැඩිහිටියන් තහනම් කළ ප්‍රදේශයට තනිව හෝ ගොස්බැලීමයි. ඒ අනුව ස්වකීය වැඩිහිටියන්ට නොදන්වාම හොර රහසේම ගමන පිටත් වූ කැස්බෑවා තහනම් ප්‍රදේශයේ සැරිසරා නැවත තම රැළ වෙත එන ගමන් මෙසේ කියයි.
“මාමේ ...මාමේ බලන්න මං ඔයාල යන්න එපා කිව්ව දිහාවට ගිහිං ආවා. බලන්න මට කරදරයක් නැහැ. හැබැයි, මගේ පිටේ මොකක්දෝ නූලක් නම් පැටලිලා තියෙනවා.”
එය අසා සිටි වැඩිහිටි කැස්බෑවකු මෙසේ කියයි. “පුතේ දැන් නුඹ අපට අයිති නැහැ. දැන් නුඹ අයිති මිනිස්සුන්ට. ඔය නූල පිටේ ඇමිණුනු සීයාවත්, මුත්තාවත් ආපසු ආවේ නැහැ. දැන් ඉතින් නුඹ ඔවුන් වෙතම පලයන්” යනුවෙනි. මෙයින් අදහස් කරන්නේ සමාජ අත්දැකීම් හුදු ප්‍රකාශයක් හෝ චාරිත්‍රයක් ලෙස පවත්නා විට අප එයට අභියෝග කිරීම නුවණැතිව කළ යුතු බවයි. යොවුන් වියේදී සංවර්ධනය කළ යුතු ගුණාංගවලින් එකක් ලෙස මෙය දැක්විය හැකිය. තරුණ කැස්බෑවාට අවුලුම්බිලිය දමා ගැසු දඩයම් කරුවා මෙන් තරුණයා අල්ලා ගැනීමට නූතන සමාජයේ පිරිසක් බලා සිටිති. එනම්
වෙළෙඳ ප්‍රජාව, දේශපාලන ප්‍රජාව හා විප්ලවවාදීන් යන අයයි
වෙළෙඳ ප්‍රජාව තුළ විලාසිතාවේ සිට මත්ද්‍රව්‍ය තෙක් සෑම අංශයකම පිරිස් වඩාත්ම ඉලක්ක කරනුයේ යොවුන් පාරිභෝගිකයන්ය. යෞවනයේ දැනුම හා ජවය යෞවනයන් විසින්ම අපතේ යවන්නේද වෙළෙඳ ප්‍රජාව වෙනුවෙනි. හෙට සමාජය වෙත පියනඟන තරුණයා හෝ තරුණිය අඳින ඇඳුම, ගල්වන විලවුන් වර්ගය, පරිහරණය කරන සන්නිවේදන උපාංග සැලැසුම් කොට තීරණය කරන්නේද වෙළෙඳ ප්‍රජාවයි. සමාජ ක්‍රමය හෝ පවුල විසින් ඇති කරන ලද පීඩනයත්, සමාජ ආශාවනුත් පදනම්ව පුද්ගලයා මත්ද්‍රව්‍යවලට යොමුවන අතර මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ ඔවුන් වහා ඉලක්ක කර ගනිති. යෞවනයන් නිරන්තරයෙන් ඒවා හඳුනාගැනීම හා සිහිනුවණ පිහිටුවා ගැනීම අත්‍යවශ්‍ය වේ. යෞවනයන් දඩයම් කරන දෙවන සමාජ ක්‍රමය දේශපාලන ප්‍රජාවයි. ඔවුන් ඔවුන්ගේ අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට යෞවනයේ ආශා ප්‍රයෝජනයට ගන්නා බවත් පෙනේ.යෞවනයන්ට අවශ්‍ය මුදල්, බලය, ප්‍රසිද්ධිය, හා කීර්තිය යන කරුණු උත්තේජකයක් වශයෙන් යොදා සිය දේශපාලන අරමුණු සපුරා ගැනීමට යෞවනය අවභාවිත කිරීම ප්‍රකටව දක්නට ලැබෙන්නාවූ කරුණකි. තුන්වනුව විප්ලවවාදීන් හඳුනාගත යුතු බව අප වැටහීමයි. රටක් හෝ ජාතියක් හෝ යටත් කිරීමට නම් එම රටෙහි භාෂාව ආක්‍රමණය කළ යුතුවේ. භාෂාව ආක්‍රමණය කිරීමට නම්’ එම රටෙහි සිරිත් විරිත් හා සංස්කෘතිය ආක්‍රමණය කළ යුතුය. ප්‍රසිද්ධියේම එළිපිටම මහත් වූ වීර ක්‍රියාවක් සේ සිරිත් විරිත්වලට හා සංස්කෘතියට පහර දෙන්නේ යථෝක්ත ආක්‍රමණයට තබන පළමු පියවර වශයෙන් බව තරුණ තරුණියන් සිහිනුවණ උපදවා දැකගත යුතුවේ.
සිත තුළ උපදවා ගත යුතු ගුණධර්ම කෙරෙහිද යෞවනයන් සිහිනුවණ යොමු කිරීම අතිශය වැදගත් වේ.
ගුණධර්ම කෙරෙහි යොවුන් සිත යොමු කිරීමට මහත් වූ බාධකයක් ලෙස හඳුනාගත් කරුණුවලින් ප්‍රධාන වන්නේ පැතිරුණු දැනුමක් නොමැතිවීම දැක්විය හැකිය. ජීවිතය, ලෝකය හා මනුෂ්‍ය ජීවිතයේ සිදුවන පුනර්භවය පිළිබඳ අල්පමාත්‍ර හෝ වැටහීමක් නැතිවිට මිනිසා සිය සහජ අවශ්‍යතා පමණක් සපුරාගැනීමට පමණක් සිත යොමු කරයි. එනිසා යෞවනයන් අත්‍යවශ්‍යයෙන්ම දැනුමින් පෝෂණය විය යුතු බව සිහිපත් කළ යුතුවේ.
තම ජීවිතය උදාර පුරුෂාර්ථයන් ළඟාකර ගැනීමට යොමු කළ යුතුය. එහිදී බුදුසමයෙහි ඉගැන්වෙන සතිය වර්ධනය කරගැනීම ඉතා ප්‍රයෝජනවත් වේ. ඒ සඳහා වර්තමානයේ දියුණු මනුෂ්‍ය ප්‍රජාව යොදාගන්නා බෞද්ධ භාවනා ක්‍රම වර්ධනය කළ යුතුවේ. ඒ සඳහා සති භාවනා සම්බන්ධව ලියවුණු පොත පත පරිශීලනය කිරීමෙන් දැනුමත්, උචිත ගුරුවරයෙකුගෙන් අත්දැකීම් ලබා ගැනීමත් බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. පංචේන්ද්‍රියන් පිනවීමට යොදවන දවසේ පැය විසිහතරෙන් දිනකට පැය භාගයක්වත් මනස දියුණු කිරීමට යෙදවීම අතිශයින්ම වැදගත් වේ.



රුහුණ විශ්වවිද්‍යාලයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
මාකොළ මංගල හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් අවඅටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූනි 17 වන සෙනසුරාදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment