බුදුසරණ පත්‍රයේ සතිපතා පළවූ මරණානුස්සති භාවනාවේ උපුටා ගැනීම් අවසන් වෙයි. අද පළ වන්නේ මරණානුස්සති භාවනාවේ සාරාංශ ගත කිරීමකි. සති ගණනාවක් පළවූ මෙම ලිපි එකතුවෙහි මරණානුස්සති භාවනාවේ උපුටා ගැනීම් සජ්ඣායනා කර මෙනෙහි කර තම තමා ම මරණසතිය යනු කුමක්දැ’යි දැනුවත් වුණා.
බුදු , පසේ බුදු, මහ රහතන් වහන්සේ, අනුදැන වදාළ මරණසතිය දියුණු කළ යුතු යි. බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගණනාවක මරණසති භවනාව පිළිබඳ වදාළා. විශුද්ධි මාර්ගයේ ග්‍රන්ථයක මරණසති භාවනාව පහදා දුන් සේ දීර්ඝ වශයෙන් සඳහන් කළා. කවුරුත් මේ ගැන හසල දැනුමකින් සිත වැඩීම නම් වූ භාවනාව දියුණු කළ යුතු යි. විශේෂයෙන් භාවනාවෙන් ඇලීම ගැටීම දෙක තුරන් වෙයි. තණ්හාව සහ තරහව විශේෂයෙන් දුරු කර ගත හැකි යි. ඕනෑම කෙනෙකුට අවශ්‍යම කරන දෙයක් වන්නේ නොඇලී නොගැටී වාසය කිරීම යි. එසේනම්, ඒ සැමටම ඉතා ප්‍රයෝජනවත් ම භාවනාව ලෙස ධර්මයේ සඳහන් වන්නේ මරණානුස්සති භාවනාව යි.
මරණසති භාවනාව සමථ භාවනාවකි. එය ධ්‍යාන තත්ත්වයට ගෙන යන්නට පුළුවනි. ‘ජීවිතය අනියත යි. මරණය නියත යි.’ යන වදන් පෙළ දහස් වර දස දහස් වර මෙනෙහි කරද්දී තමාගේ චිත්ත සමාධිය තහවුරු කරගෙන ධ්‍යාන අවස්ථාවට ගෙන යන්නට පුළුවනි. ඒ මරණ සතිය ම අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නත් පුළුවනි. එය හඳුන්වන්නේ විදසුන් නුවණ ලෙස යි. සෑම භාවනාවක ම අවසානය විදර්ශනාවට හැරීමෙන් මාර්ග ඵල අවස්ථාවට සමීප වෙයි. ඒ ගැන හොඳින් වටහාගෙන කවුරුත් බුදුසරණ පත්‍රය මඟින් සති ගණනාවක් පහදා දුන් මේ භාවනා ක්‍රමය හොඳින් දියුණු කළ යුතු යි.
ගමේ විහාරස්ථානයේ සිල් ගන්නා ඇත්තන්ට ද මේ ගැන පහදා දී ඒ අයත් මරණසති භාවනාවේ යොදවන්න. එවිට තමන් දන්නා භාවනා දැනුම, අභ්‍යාසය තව බොහෝ දෙනා අතරට පත් වූවිට තමන්ටත් ඉමහත් පිනක්.
බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ, භාවනාව පිළිබඳව බොහොම වැදගත් ආකාරයෙන් පහදා දෙන්නේ. එය සම්‍යයක් නුවණ දියුණු කරන භාවනාවක්. වැරැදි මත කිසිවක් නැහැ. නිවනට යන අරමුණින් ම මේ භාවනාව දියුණු කළ යුතු යි. සිත දියුණු කරගැනීමෙන් තමන්ට ලැබෙන ශක්තිය මෙපමණ’ යි යනුවෙන් සීමාවක් සිතන්නට බැහැ.


































