මජ්ක්‍ධිම නිකායේ හැට එක්වන සූත්‍රය වන අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයේ දී සත් හැවිරිදි රාහුල පොඩි හාමුදුරුවන් අමතා මුසාවාදය හෙවත් බොරුකීමේ ආදීනව තමන් වහන්සේට පා සේදීම සඳහා ජලය තැබු භාජනය උපයෝගී කරගෙන ක්‍රම කීපයකින් පැහැදිලි කර දුන් බුදුරජාණන් වහන්සේ අනතුරුව රාහුල හිමියන්ගෙන් මෙබඳු ප්‍රශ්නයක් විමසති.
"රාහුල, ඔබ සිතන විදියට කැඩපත හෙවත් කණ්ණාඩියෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?" එම ප්‍රශ්නයට නිවැරැදිව පිළිතුරු සපයන සත් හැවිරිදි රාහුල හිමියෝ “පච්චවෙක්ඛනත්ථො භන්තෙති” යනුවෙන් පිළිතුරු දුන්හ. සත්හැවිරිදි කුඩා දරුවෙක් ලබා දෙන මේ පිළිතුර කෙතරම් අර්ථවත් ද? මේ ප්‍රශ්නය සහ පිළිතුර තුළ අපගේ ජීවිතයට අදාළ වැදගත් පණිවුඩයක් අන්තර්ගත බව ඒ පිළිබඳව කරුණු කීපයක් විමසා බැලීමෙන් පැහැදිලි වේ. ‘ආදාස” යන පාලි වචනයේ සංස්කෘත රූපය “ආදර්ශ” යන්නයි. මේ ආදර්ශ යන වචනය අපගේ දෛනික ජීවිතයේ දී නිතර භාවිතවන එසේ ම නිතර අසන්නට ලැබෙන වචනයකි.
ඉහතින් සඳහන් කළ පරිදි ආදාස හෙවත් ආදර්ශ යනු කණ්ණාඩිය හෙවත් කැඩපතයි. කැඩපත අප භාවිත කරන්නේ අපගේ දෙඇසින් දැකිය නොහැකි, අපගේ ශරීරයේ ඒ ඒ කොටස් දැකබලා ගැනීම පිණිසයි. හිස, මුහුණ ,බෙල්ල ආදිය අපගේ දෙඇසින් දැකබලා ගත නොහැකි ය. එම නිසා කණ්ණාඩියක් ඉදිරියට ගොස් එහි දැක්වෙන ප්‍රතිබිම්බය තුළින් එම කොටස් දැක බලා ඒවායේ ඇති අඩුපාඩු නිවැරැදි කර ගැනීමට හැකි වේ. හිස නිසි ලෙස පීරා නොමැතිනම්, මුහුණේ ආලේපන නිසි ලෙස ආලේප වී නොමැතිනම්, අඳින ලද ඇඳුම පිළිවෙලකට නොමැති නම් ඒවා නිවැරැදිව සකස් කර ගැනීමට අපට උපකාරී වන්නේ කැඩපතයි. කැඩපත නොමැති විට ඒ සඳහා වෙනත් අයෙකුගේ පිහිට පැතීමට අපට සිදුවේ. ඒ අනුව අපගේ ප්‍රකෘති ඇසට නොපෙනෙන අඩුපාඩු පෙන්වා නිවැරදි කර ගැනීමට උපකාර වන්නේ මේ කැඩපතයි.
ඉහතින් සඳහන් කළ පරිදි කැඩපත යන අර්ථය ඇති ආදර්ශ යන පදය සිංහල භාෂාවේ නිතර භාවිත වේ. “ඒ දියණිය විවිධ දුෂ්කරතා මැද හොඳින් ඉගෙන ගෙන ඉහළ සාමාර්ථයක් ලබාගැනීමෙන් සෙසු දියණිවරුන්ට ලබා දුන්නේ හොඳ ආදර්ශයකි. “ඒ ළමයා මගදි හමුවු මුදල් පසුම්බිය අයිතිකරු සොයා භාරදීමෙන් සමාජයට යහපත් ආදර්ශයක් ලබා දුනි. “ආදි වශයෙන් මේ ආදර්ශය යන වචනය එදිනෙදා භාවිත වනු දැකිය හැකි ය. ඊට අමතරව ආදර්ශවත් යන පදය ද බහුලව භාවිත වන්නකි. යම් පදයකින් පරව “වත්’ ප්‍රත්‍ය යෙදුණහොත් එයින් පැවසෙන්නේ මුල්පදයෙන් කියවෙන දෙය ඇති යන අර්ථයයි. ධනවත්, ගුණවත්, සිල්වත්, නැණවත් ආදි පදවල අර්ථය විමසා බැලීමෙන් ඒ බව තේරුම් ගත හැකි ය. ඒ අනුව ආදර්ශයක් යන පදයෙන් අදහස් කෙරෙන්නේ “ආදර්ශ ඇති යන අර්ථයයි. එනම් කැඩපතක් වූ යන්නයි. මවුපියෝ දරුවන්ට ආදර්ශවත් විය යුතු ය. ගුරුවරු ශිෂ්‍යයන්ට, වැඩිහිටියෝ ,බාලයන්ට පාලකයෝ පාලිතයන්ට,පැවිද්දෝ ගිහියන්ට ආදර්ශවත් විය යුතු ය. ආදි වශයෙන් කෙරෙන ප්‍රකාශයන්ගෙන් අදහස් කෙරෙන්නේ මවුපියන් දරුවන්ට, ගුරුවරුන් ශිෂ්‍යයන්ට, වැඩිහිටියන් බාලයන්ට, පාලකයන්ට පාලිතයන්ට, පැවිද්දන්ට, ගිහියන්ට, කණ්ණාඩියක් හෙවත් කැඩපතක් විය යුතු බවයි. මවුපියන් දරුවන්ට කැඩපතක් විය යුතුය යන කාරණය ගෙන බැලුවහොත් දරුවන් හැම විටම තම මවුපියන් කරන කියන දේ නිවැරදිය යන මතයේ පිහිටා කටයුතු කරන පිරිසකි. කුඩා දරුවන් තම ඇවතුම් පැවතුම් මෙන්ම කථා ව්‍යවහාරයන් හුරුපුරුදු වන්නේ මවුපියන්ගේ ක්‍රියාකාරකම් හා කථාබහ අනුකරණය කිරීමෙනි. මවුපියන් නමැති කණ්ණාඩිය දෙස බලා ඊට අනුකූලව තම චර්යාවන් සහ කථා ව්‍යවහාරය හුරුපුරුදු වෙති. මේ අනුව තම දූ දරුවන් ඉදිරියේ මත්ද්‍රව්‍ය පානය කරන, දුම්වැටි උරන, මදුරුවන් මැස්සන්, සර්පයන් ඝාතනය කරන,අසභ්‍ය වචන භාවිත කරමින් ඔවුනොවුන් ගහ බැන ගැනීම් කරන, මවුපියන් එමඟින් තම දූ දරුවන්ට ලබා දෙන්නේ වැරැදි කණ්ණාඩියකි. ඒ වැරැදි කණ්ණාඩිය මගින් දකින දේ නිවැරැදියයි පිළිගන්නා දූ දරුවෝ තම ජීවිතයට ද ඒ දේ හුරුපුරුදු කර ගනිමින් තම වටිනා ජීවිත පරිහානියට පත්කර ගනිති. ගුරුවරයාගේ කථා බහ, අඳින ඇදුම , ගමන බිමන ආදි සියල්ල ශිෂ්‍යයෝ නිවැරැදියයි පිළිගනිමින් ඒවා හුරුපුරුදු කර ගනිති. මේ නිසා ඇතැම් ගුරුවරුන් වැරැදි කණ්ණාඩි බවට පත්වෙමින් සිසු දරුවන්ට ලබා දුන් වැරැදි ආදර්ශ නිසා තම වටිනා සිසු ජීවිතය විනාශ කර ගත්තා පමණක් නොව ඇතැම් සිසුන්ට ජීවිතයෙන් පවා සමුගැනීමට සිදු වූ ප්‍රවෘත්ති නිතර ජනමාධ්‍යයන්ගේ අසන්නට දකින්නට ලැබේ. මේ නිසා මවුපියන්, ගුරුවරුන් , වැඩිහිටියන්, පැවිද්දන් ආදි සමාජයේ විවිධ නිලදරන්නන් තමන් නිවැරැදි කණ්ණාඩියක් වෙමින් ඒ ඒ අදාළ අයට නිවැරදි මග පෙන්වීමක් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ‘අවවාදයට වඩා ආදර්ශය උතුම් වේ.’ යන කියමනක් ජනවහරේ පවතී. එයින් පැවසෙන්නේ ද වචන දහසකින් කරන අවවාදයට වඩා තමන්ගේ කායික වාචසික ක්‍රියාකාරකම්වල දී හැකිතාක් නිවැරැදි වෙමින් සමාජයට ලබා දෙන ආදර්ශය හෙවත් නිවැරැදි මඟ පෙන්වීම උතුම් වන බවයි.
කැඩපත උපයෝගී කර ගනිමින් තමා කළ යුතු හා නොකළ යුතු දේ නිවැරදි ව හඳුනා ගැනීමේ මග රාහුල පොඩි හාමුදුරුවන්ට පැහැදිලි කර දෙන බුදුරජාණන් වහන්සේ, එවමෙව ඛො රාහුල පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කායෙන....වාචාය මනසා කම්මං කාතබ්බං” යනුවෙන් කැඩපතෙන් බලා තමාගේ අඩුපාඩු සකස් කර ගන්නාක් මෙන් තමා කයින් හෝ වචනයෙන් හෝ මනසින් හෝ යම් ක්‍රියාවක් කිරීමට හෝ යම් වචනයක් පැවසීමට හෝ යම් සිතිවිල්ලක් සිතීමට පළමුවත් එය ක්‍රියාත්මක කරන විටත් එසේ ක්‍රියාත්මක කිරීමෙන් පසුවත් යන තුන් අවස්ථාවේ දී එම කායික වාචසික හා මානසික ක්‍රියාවන් තමාට අහිත පිණිස දුක් පිණිස පවතින්නේදැයි විමසා බැලිය යුතු බව දේශනා කරති. එසේ විමසා බැලීමේ දී එම ක්‍රියාවන් තමාට අහිත පිණිස, දුක් පිණිස පවතින බව හැඟේ නම්, ඉන් අනතුරුව එම ක්‍රියාවන්, අන්‍යයන්ට අහිත පිණිස දුක් පිණිස හේතුවන්නේදැයි විමසා බැලිය යුතුවේ.
තුන්වැනිව එම ක්‍රියාවන් තමන්ටත්, අනුන්ටත් යන දෙපිරිසටම අහිත පිණිස දුක් පිණිස පවතින්නේදැයි නුවණින් විමසිය යුතු ය. එසේ තමන්ට හෝ, අනුන්ට හෝ දෙපිරිසටම හෝ අහිත පිණිස, දුක් පිණිස පවතින ක්‍රියාව දුක වඩන, දුක පිණිස පවතින අකුසල ක්‍රියාවක් ලෙස තීරණය කොට එය ඒකාන්තයෙන් නොකළ යුතු යයි රාහුල හිමි ට අවධාරණය කරති. එසේම තමා කරන හෝ, කියන හෝ, සිතන ක්‍රියාකාරකම් කිරීමට පෙරත්, කරන අවස්ථාවේදීත්, කිරීමෙන් පසුවත් ඉහතින් සඳහන් කළ පරිදි විමසා බැලීමේ දී එය තමාට අහිත පිණිස දුක් පිණිස හේතු නොවේ නම්, අන්‍යයන්ට අහිත පිණිස දුක් පිණිස, හේතු නොවේ නම්, තමන් අනුන් යන දෙපිරිසටම අහිත පිණිස, දුක් පිණිස හේතු නොවේ නම් හෙවත් තමාට යහපතක් වන්නේ නම් අනුන්ට යහපතක් වන්නේ නම් එම ක්‍රියාව කුසලයක් වන බවත් සුව වඩන බවත්, සැප විපාක ගෙන දෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මෙහි දී යම් ක්‍රියාවක් කිරීමෙන් පසුව එහි ප්‍රතිඵල පිළිබඳව නුවණින් විමසා බැලීමේ ප්‍රයෝජනය කුමක්දැයි කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවිය හැකි ය. එසේ සිහිපත් කිරීමේ දී තමන් කළ ක්‍රියාවෙන් තමන්ට හෝ අන්‍යයන්ට හෝ අහිතකර ඵලයක් භුක්ති විඳීමට සිදුවී නම්, ඒ බව තේරුම් ගෙන ආයත සංවරයේ පිහිටා ඉදිරියේ දී එබඳු ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමට ඔහුට හැකිවීම එයින් ලැබෙන ප්‍රයෝජනයයි.
වර්තමාන ගිහි පැවිදි, බෞද්ධ, අබෞද්ධ, සියලු දෙනා තමා කළ යුතු ක්‍රියා, කිව යුතු වචන, සිතිය යුතු සිතිවිලි නිවැරදි කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මේ කැඩපත උපයෝගී කර ගන්නේ නම් ඔවුන්ගේ ජීවිත කෙතරම් නිරවුල් සාමකාමී ජීවිත වන්නේදැයි සිතා බැලිය යුතු ය. මෙසේ කටයුතු කරන පුද්ගලයා පී‍්‍රති ප්‍රමෝදයෙන් දිවා රෑ කුසල් දහම්හි හික්මෙමින් වාසය කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරති.
මේ නිසා මෙම වටිනා බුද්ධානුශාසනය පිළිබඳ ව මනා සිහියකින් හා අවධානයකින් යුතුව විමසා බලා ඉතාමත් දුකසේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය මෙලොවට මෙන් ම, පරලොවටත් වැඩදායක, අර්ථවත් ජීවිතයක් බවට පත්කර ගැනීමට සියලු දෙනා උත්සාහවත් විය යුතු ය.
මැද උයන්ගොඩ විජයකිත්ති හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ නවම් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 31 වන බදාදා බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment