Labels

Thursday, February 22, 2018

ධර්ම මාර්ගය තුළ රැකවරණය


විමාන වත්ථුවෙහි සඳහන් වෙන සේ , මුගලන් මහ රහතන් වහන්සේ දෙව් ලොව වැඩම කර, දෙවිවරුන්ගෙන් තොරතුරු විමසා බැලූහ. පින්වත් දෙවිය, ඔබ මේ තරම් සැප සම්පත් ලැබුවේ කුමන පිනක් හේතුවෙන් ද? පින්වත් දෙව් දුව, ඔබ මෙතරම් අලංකාර දිව්‍ය ශරීරයක් ලබා ඇත්තේ කුමන පිනක් බලවත් වී ද? මෙතරම් දිව්‍ය සැප සම්පත්, ලැබුණු දිව්‍ය යානාවන් කෙතරම් ලස්සන ද? ඔබ මෙතරම් සැප සම්පත් ලබන්න පෙර ජීවිතයේ කොහේ සිටියා ද? කළ පින්කම් මොනවාදැ’යි විමසූ විට, ස්වාමීනි, මා කළ පින ම සිහි කරමින් සිටිය දී එය මරණ මංචකයේ ද බලවත් වුණා. ඒ පිනෙන් ම තමා දෙව් ලොව උපත ලැබීමට හේතුව යැ’යි පැවසුවා ය. එවිට ඒ පින්වතුන්ට මරණ මංචකයේ දී පින සිහි කරගන්නට පුළුවනි.
සිහියෙන් මිය යන්නාට අඩුම තරමින් තමා අසළ සිටින පුද්ගලයාට හෝ කළ පින සිහි කර දිය හැකි යි. ඒ නිසා අපේ අතීත මුතුන් මිත්තන් පවා පින් පොත් සටහන් කර තැබුවා. ඔවුන්, මරණ මංචකයේ ද පිනක් සිහි කරගෙන සුගතිගාමී වෙන්නට සුවිශේෂී උත්සාහයක් දැරුවා.

එවිට බුදුන් වහන්සේ පෙන්වා වදාළ සේ, පරලොවින් රැකවරණය පිණිස ධර්ම මාර්ගය වඩාගෙන යන්නාට දේවතානුස්සති භාවනාව නිබඳව ම පුරුදු පුහුණු කළ යුතු යි. දැන් ඔබ සිතන්න, සෝතාපන්න වුවද උපත ලබන්නේ දෙව් ලොව යි. ඒ උත්තමයාට පිරිනිවන් පාන්න ආත්ම සතක් තිබෙයි. සෝවාන් වූ පුද්ගලයාට නිවන් මඟ ගමන් කරන්න පහසුව ඇති සුගතියක ම උපත ලබයි. ඇතැම් විට වීර්යවන්ත පුද්ගලයෙකුට නම්, ඊළඟ ජීවිතයේ ම ඉතිරි මාර්ග ඵල ද අවබෝධයෙන් නිවන් දැකිය හැකි යි.
සකදාගාමී වූ පින්වතා ද එක් දිව්‍ය තළයක සිට තවත් එක් ආත්ම භාවයක උපත ලබා, ඊළඟ ආත්මයේ දී නිවන් මඟ කෙළවර කර ගනියි. අනාගාමී වූ උත්තමයා ශුද්ධාවාස බඹ ලොව උපත ලබයි. රහතන් වහන්සේ පමණක් සසර ගමන සම්පූර්ණයෙන් නිමා කර පිරිනිවන් පායි. එතනින් පහළ මාර්ඟ ඵල ලබන සෝවාන්, සකදාගාමී, අනාගාමී උත්තමයන් උපත ලබන්නේ දෙව් ලොව සහ බඹ ලොව යි. එසේනම්, මාර්ග ඵලයකින් මෙහා කෙසේ හෝ නිවන් දැකිය යුතු’යි අදහසින් ධර්ම මාර්ගය වඩන්නාට රැකවරණය වන්නේ සුගතියක් අරමුණු කරගෙන පරලොවින් රැකවරණය පිණිස දේවතානුස්සති වැනි භාවනාවක් වඩා, සුගතියක සිත පිහිටුවා, ගමන් කිරීමයි. ඒ නිසා බුදුන් වහන්සේ සංයුක්ත නිකායේ මහානාම සූත්‍රයේ දී, මහානාම ශාක්‍ය කුමාරයාට සේඛ බල වඩන ආකාරය දෙවතානුස්සති භාවනාවෙන් පෙන්වා වදාළා. එමෙන් ම බුදුරජාණන් වහන්සේ සෝවාන් වූ පුද්ගලයෙක් නිතර මෙනෙහි කර නිබඳව ම භාවනා කරන ක්‍රම පහක් පෙන්වා වදාළා. ඒ උත්තමයා නිබඳව ම බුදුගුණ සිතමින් බුද්ධානුස්සතිය වඩයි. ධර්මයේ ගුණ සිහිකරමින් ධර්මානුස්සතිය වඩයි. සඟ ගුණ සිහි කරමින් සංඝානුස්සතිය වඩයි. තමන්ගේ ශීලය මෙනෙහි කරමින් ශීලානුස්සතිය වඩයි. තමන් කළ පින්කම් සිහි කර කර, ත්‍යාගානුස්සතිය භාවනා වශයෙන් වඩයි.
බුදුන් වහන්සේ වදාළේ, සෝවාන් වූ උත්තමයා ඉතිරි මාර්ග ඵල අවබෝධයට සුදුසු කල්‍යාණ මිත්‍ර සේවනය ඇති සුගතියක් අරමුණු කරගෙන තමන් ළඟ ඇති ශ්‍රද්ධා, ශීල, සුත,ත්‍යාග, ප්‍රඥා ගුණ ධර්මයන් මෙනෙහි කරමින් දිව්‍ය ලෝකයක සිත පිහිටුවාගෙන දේවතානුස්සති භාවනාව වැඩිය යුතු බව යි. එසේනම්, බුදුරජාණන් වහන්සේගේ, රහත් මඟ ඵල නො ලැබූ ශ්‍රාවකයන්ට පරලොවින් ඇති රැකවරණය දේවතානුස්සතිය වෙයි. ඒ නිසා පින්වත් ඔබත් ලැබූ මනුෂ්‍ය ජීවිතයේ ශ්‍රද්ධා, ශීල, සුත, ත්‍යාග, ප්‍රඥා දියුණුවෙන්, දේවතානුස්සති ආදී භාවනා දියුණු කිරීමෙන්, ධර්ම මාර්ගය තුළ රැකවරණය සලසා ගන්න.

අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක
ගලිගමුවේ ඤාණදීප හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ නවම් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ‍ ‍‍‍‍‍පෙබරවාරි 07 වන බදාදා බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment