තථාගත බුදුරජාණන් වහන්සේ අනු දැන වදාළ මරණානුස්සති භාවනාව කොයි කවුරුත් දියුණු කරගත යුතු භාවනාවකි. සතර කමටහන් භාවනාවට බුදු ගුණ, මෛත්‍රී , අශුභ , මරණසති යනුවෙන් භාවනා සතරක් තිබෙයි. එසේනම්, මරණසති භාවනාව හොඳින් දියුණු කරගත් විට අපේ සිත හොඳ තත්ත්වයකට ගෙන එන්නට පුළුවනි. බුද්ධානුස්සති භාවනාවෙන් ශ්‍රද්ධාව හොඳින් දියුණු වෙයි. මෛත්‍රී භාවනාවෙන් තරහ, වෛර , ක්‍රෝධ දුරු වී මෛත්‍රිය, මිත්‍රත්වය පිහිටනවා. කායගතාසති, අශුභ භාවනාවෙන් රාගාදී කෙලෙසුන් යටපත්ව අශුභය හොඳින් වැටහී යයි. මරණසති භාවනාවෙන් ජීවිත ආශාව හැකිතාක් අඩුව තමන්ගේ ප්‍රතිපත්ති ගමන හොඳින් යා හැකි යි. ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ඥාන ඉන්ද්‍රියයන් හොඳින් දියුණු කරගන්නට පුළුවනි. මරණානුස්සති භාවනාව සෑම කෙනෙකු විසින් ම දියුණු කරගත යුතු භාවනාවක් වශයෙන් සඳහන් වෙයි.
අස්ථිර බව වටහා ගන්න
මෘත දේහයක් තැන්පත් කරතිබෙන නිවෙසකට ගිය විට මෘත ශරීරය දෙස බලා නිකරුණේ ආපස්සට පැමිණීම නො කළ යුතු යි. තමා ද මේ තත්ත්වයට පත්වන බව සිතන්න. ‘ජීවිතය අනියත යි, මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි.’ යනුවෙන් කිහිප ගමනක් ම මෙනෙහි කර ආපස්සට හැරෙන්න. මෙය විශාල අවබෝධයක්. ධර්මයට ගරු කිරීමක්. අස්ථිර බව වටහා ගැනීමක්. මේවා පිළිබඳ හොඳ දැනීමක් ඇති කරගෙන සම්බුද්ධ ශාසනයෙන් පමණක් මේ ගැන ඉගෙන ගත යුතු යි.
සම්මා සම්බුද්ධ ශාසනය නිසාම මෙතරම් සුවිසල් ධර්ම සම්පත්තියක් ලැබුණා. සූත්‍ර, විනය, අභිධර්මය යනුවෙන් පිටක තුනක් තිබෙනවා. ඒ ත්‍රිපිටක ධර්මය භික්ෂූන් වහන්සේලා ලෝකයට දේශනා කරමින් බුදු දහම පිළිබඳ මනා අර්ථයක් හෙළි දරව් කරනවා. තම තමා ගේ දිවි මඟට බුදු දහම සම්බන්ධ කරගෙන ඇලීම ගැටීම තුරන් කර, මාන්නය යටපත් කරන්නට පුළුවනි. මරණසති භාවනාව දියුණු කරන අයටත් ලෝභ , ද්වේශ, මෝහ, මාන යටපත් ව අලෝභ, අදෝශ, අමෝහය හොඳින් දියුණු කරගන්නට පුළුවනි. එසේනම්, මරණානුස්සති භාවනාව පිළිබඳ හොඳට සිහියට ගෙන කවුරුත් මෙය මෙනෙහි කළ යුතු යි. පෝයදාට සිල් ගන්නා පිරිසත් මේ භාවනාව තවත් කෙනෙකුට පහදා දෙන්න. එසේනම්, තවත් උපමා ටිකක් මෙසේ සඳහන් කරමු.
තැනක් නියමයක් නැත
අලුයම් කාලයෙහි ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. ඒ නිසා ජීවිතය අනියත යි. මරණය නියත යි. සත්ත්වයන්ගේ මරණය වනාහි සිදුවන ස්ථානය නියමයක් නැත්තේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. ගමෙහිදී ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. වනයෙහිදී ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිත ය අනියත යි. මරණය නියත යි. දියෙහිදී ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. ගොඩ හිඳින සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. අහසේදී ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිත ය අනියත යි. මරණය නියත යි. සත්ත්වයන් වනාහි මරණින් මතු උපදින්නාහු. සුගතියේදී උපදිනු පිණිස ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි.
නිරයේ උපදින පිණිස ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. තිරිසන් අපායේ උපදින පිණිස ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. ප්‍රේත අපායේ උපදිනු පිණිස ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. මිනිස් ලොව උපදින පිණිස ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. දෙව් ලොව උපදින පිණිස ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. බඹ ලොව උපදින පිණිස ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. මනු ලොව උපන් සත්ත්වයන්ගේ ජීවිතය මරණයට යන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. සදෙව් ලොව උපන් දෙවියන්ගේ ජීවිතය ද මරණයට යන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. බඹ ලොව උපන් අයගේ ජීවිතය ද මරණයට යන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. සතර අපායේ උපන් සත්ත්වයෝ ම මරණයට යන්නේ ය. එහෙයින් ද ජීවිත ය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි.
මරණයට බිය ඇයි ?
මෙලෙස සත්ත්වයාගේ මරණය සිදු වන බව මෙනෙහි කළ යුතු යි. එවිට තම තමාට ලොකු ශක්තියක් ගොඩ නංවා ගන්නට හැකි වෙයි. ඒ ශක්තිය මෙපමණ යි යනුවෙන් කාටවත් කියන්නට බැහැ . මරණයට භය පින මදි අය යි. ඒ අය පරලොව යන්නට බොහොම බය යි. අසවල් දවසේ මිය යන බව පැවසුවොත්, ඒ ඇසූ මොහොතේ සිට ම ආහාර පාන ගන්නේ නැහැ. නින්ද යන්නේ නැහැ. මානසික මට්ටම සම්පූර්ණයෙන් පහළට බහිනවා. එතරම් ම මරණයට බය යි.
ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ඒ නිසා ම මරණ සති භාවනාව පෘතග්ජන අපට දේශනා කර වදාළා. මරණය සිහි කරන්න. එවිට මරණයට භය නැහැ. ඒ නිසා සුගතියක උපත ලබන්නට භාග්‍යය ලැබෙයි. රහතන් වහන්සේ පිරිනිවීමට කිසිවිටකත් බිය නැහැ. ඒ නිසා අභය යනුවෙන් හඳුන්වයි. එනම් භය නොමැති බවයි. එසේනම්, බිය දුරලා තම තමන්ගේ ජීවිතයට ආලෝකය ලබන්නට නම්, බණ භාවනා බොහෝ දියුණු කළ යුතු යි.
භේද නැත
ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය බෞද්ධයන්ට පමණක් නොවෙ යි. එය අන්‍ය ආගමික ජනතාවට ද පොදු දහමක්. ‘ජීවිතය අනියත යි. මරණය නියත යි යනුවෙන් මෙනෙහි කරන්න. ජාති, ආගම් , භේද අවශය නැහැ. ඕනෑම කෙනෙකුට මරණය මෙනෙහි කරන්න පුළුවන්. ඒ නිසා සෑම කෙනෙකුම මරණානුස්සති භාවනාව දියුණු කරන්න. ඒ මඟින් තම තමාගේ ගත සිත නිවා සනසාලන තත්ත්වයට පැමිණි යුතු යි. එය අපේ සිතට මෙන්ම මෙලොව පරලොව ජීවිතයට බොහොම හොඳ යි. ඒ නිසා සංසාර ජීවිත පෙළ බොහොම හොඳින් ගමන් කරන්නට සවි ශක්තිය ලැබෙනවා. මේ ගැන හොඳ දැනීමකින් සම්බුද්ධ ශාසනයෙන් ලබා ගත්විට යම් පිහිටක් වේ නම්, රැකවරණයක් වේ නම්, එය හොඳින් දැන කියාගෙන සම්බුදු සසුනට අනුකූලව කටයුතු කිරීමට ගිහි පැවිදි කාටත් යහපතක් සලසා ගන්නට පුළුවනි.
අනුසස් තමන්ට ය
දාන ශීල නෛෂ්ක්‍රම්‍ය ආදී පාරමිතා අඩු පාඩුවක් නොමැතිව සම්පූර්ණ කරගත හැකි යි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප , සම්මා වාචා, සම්මා කම්මන්ත , සම්මා ආජීව , සම්මා වායාම, සම්මා සති ,සම්මා සමාධි ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳට භාවිත කරන්නට පුළුවනි. ‘ජීවිත ය අනියත යි. මරණය නියත යි. යනුවෙන් සිහි නුවණින් මෙනෙහි කරද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙයි. ප්‍රඥා පාරමිතාව හොඳින් ශක්තිමත් වෙයි. මේ කරුණු කාරණාවන් දියුණු කරගනු ලැබූවොත් ඒවායේ අනුසස් විඳින්නේ අනුන් නො වෙයි. තමන්ම යි. ඒ නිසා මේ අනුසස් දැන කියාගෙන ගුණ නුවණ දියුණු කළොත් වටිනවා. බුද්ධ ශාසනයෙන් මේ සියල්ල ම අපට පිළිබිඹු වෙයි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වුණේ ම යහපත් වන ධර්මය ගෙන හැර දක්වන්න යි. එවැනි ධර්මයක්ම යි අප දියුණු කරන්නේ. මේවා සිතට ඇතුළු කරගෙන නිවන් මඟ හොඳට පහදාගෙන අවවාද අනුශාසනා ලබාගෙන ශීල, සමාධි, ප්‍රඥා ගුණත් හොඳින් දියුණු කරගෙන, බුද්ධ ශාසනයත් රැකගෙන, පාරමී ගුණ ධර්ම දියුණු කර, නිවන් සම්පත් අවබෝධ කරගන්න මේ භාවනාමය පින හේතු වාසනා වේවා!
අම්බලන්ගොඩ, කහව ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණ යෝගා ශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
ශ්‍රී කල්‍යාණ යෝගා ශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
No comments:
Post a Comment