Labels

Wednesday, February 14, 2018

නිවන් මඟෙහි පළමු පියවර...

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ගැඹුරු ධර්මය පුහුදුන් සත්වය ට අවබෝධ කර ගැනීම අපහසු කාර්යයකි. අ.නි. අනුරුද්ධ සූත්‍රයෙහි සඳහන් පරිදි බුදු දහමෙන් ප්‍රයෝජනය ලැබිය හැක්කේ නුවණ ඇති අයට ය. මේ ධර්මය නුවණ නැති අයට නොව නුවණ ඇති අයටය. යන පාඨයෙන් ඒ බව තහවුරු වේ. දහම අවබෝධ කර ගැනීමට අපහසු බැවින් එය දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ පසුභට වූ අවස්ථාවක සහම්පති බ්‍රහ්මයා ආරාධනා කරන්නේ මෙම ධර්මය අවබෝධ කර ගැනීමට සුදුසු නුවණැත්තවුන් මෙම ලෝකය තුළ ඇති බැවින් දේශනා කරන ලෙසට ය.
බුදු දහම ගැඹුරු වුව ද, සියල්ලෝ ම නුවණින් මුහුකුරා නො ගිය වුව ද, එම උතුම් බුදු දහම ක්‍රමක්‍රමයෙන් අවබෝධ කර ගැනීමට ද අවස්ථාවක් ඇති බව බුදුදහම තුළින්ම අනාවරණය වේ. බුදුදහම ප්‍රඥා වත්තයින්ට වුව ද, ශ්‍රද්ධාව බුදු දහම වැළඳ ගැනීමේ මූලික පියවර වනු ඇත. ශ්‍රද්ධාවෙන් ආරම්භ කරන නුවණ මද අයට වුව ද ප්‍රඥාවෙන් අවසන් කිරීමට එය ශක්තියක් වන්නේ ය. එබැවින් ශ්‍රද්ධාව බෞද්ධයින් තුළ තිබිය යුතු විශේෂ ලක්ෂණය වනු ඇත. ශ්‍රද්ධාව නොමැතිව ලෞකික නිවීමත්, ලෝකෝත්තර නිවීමත් ඇති කර ගැනීමට අපහසු ය.

ශ්‍රද්ධාව යනු පිළිගැනීම, විශ්වාසය, ඇදහීම ආදී වශයෙන් අර්ථ කථනය කළ හැකි ය. විවිධ නම්වලින් යෙදුවත් සියලු ආගම්තුළ ශ්‍රද්ධාවක් ඇතිව කටයුතු කරන බව තහවුරු වේ. බුදුදහම ආගමකට වඩා දර්ශනයක්. නොහොත් ජීවන මාර්ගයක් ලෙස සිතීමට පුළුවන. ශ්‍රද්ධාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත ය. එනම්, අමූලිකා ශ්‍රද්ධාව හා ආකාරවතී ශ්‍රද්ධාව යනුවෙනි.
අමූලිකා ශ්‍රද්ධාව ඇති අය තුළ ප්‍රඥාව නිසියාකාරව නොමැත. අනවබෝධයෙන් ඇති කරගත් පැහැදීමක් ඔවුන් තුළ පවතී. ඒ අනුව අදෘෂ්‍යමාන හා දෘෂ්‍යමාන නිෂ්ඵල, අනර්ථකාරී, අවැඩ සහිත සංකල්ප ඔස්සේ තම චර්යාව ක්‍රියාත්මක කිරීමට උත්සාහවත් වේ.

ආකාරවතී ශ්‍රද්ධාව ඇති අය ඤාණ මාර්ගය ඔස්සේ ගමන් කොට සසර ජය ගැනීමට උත්සාහවත් වනු ඇත. ඒ අය විචාරශීලීව සොයා බලා තර්කානුකූලව හා බුද්ධිමත්ව ක්‍රියා කරති. ඔවුන්ගේ පැහැදීම, ප්‍රසාදය බුද්ධිමාර්ගය ඔස්සේ සිදුවන බැවින් ඒ අනුව ඔවුන් බණ භාවනා වඩමින් සසර ජය ගැනීමට නිරන්තරයෙන් උත්සාහවත් වෙති.
නමුදු, නුවණ මද අයට එකම පිහිට වන්නේ ශ්‍රද්ධාව බව පිළිගැනීමට සිදුවේ. ආලවක සූත්‍රය තුළ ආලවක යක්ෂයා බුදු රදුන්ගෙන් ‘කිංසූධ චිත්තං පුරිසස්ස සෙට්ඨං’ යනුවෙන් යමෙකුට ඇති වටිනාම වස්තුව කුමක් ද? යනුවෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ බුදුරදුන් උත්තර දෙන්නේ “සද්ධීද චිත්තං පුරිසස්ස සෙට්ඨං යනුවෙන් කෙනෙකුට ඇති වටිනාම වස්තුව ශ්‍රද්ධාව බවයි. එයට හේතුව භෞතික වශයෙන් අප සිතන, පතන, පරිහරණය කරන වස්තූන් මිය යනකොට අප පසු පසම ගමන් නොකළ ද, ශ්‍රද්ධාවෙන් කර ගන්නා වූ කුසල් කටයුතු ඊළඟ භවය සැපවත් කර ගැනීම උදෙසා සෘජුවම බලපාන බවයි. සප්තාර්ය ධනය තුළ ශ්‍රද්ධාව ධනයක් වශයෙන් ද, පංච ඉන්ද්‍රිය ධර්ම තුළ ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් ද, පංච බල ධර්ම අතර ඵල ධර්මයක් වශයෙන් ද ශ්‍රද්ධාව හඳුන්වා ඇත.
විශේෂයෙන් බෞද්ධයින් තුළ හොඳ ශ්‍රද්ධාවක් තිබිය යුතු ය. ශ්‍රද්ධාව නොතිබුණොත් තුනුරුවන් සරණ යෑමක් හෝ තුණුරුවන්ට ගරු කිරීමක් දක්නට නොලැබේ. එසේ ම අටමහ කුසල්, දස පුණ්‍යක්‍රියා ආදී පින්කම් කිරීමට ද නොපෙළඹෙනු ඇත. එබැවින් බෞද්ධයින් ශ්‍රද්ධාව මොහොතින් මොහොත වැඩිදියුණු කර ගත යුතු ය. නැති ශ්‍රද්ධාව ඇති කර ගැනීමත්, තිබෙන ශ්‍රද්ධාව වැඩිදියුණු කර ගැනීමත් කළ යුතු ය. කිසිම මොහොතක ශ්‍රද්ධාවේ සීමා තබා ගැනීම සුදුසු නොවේ. එය සසරින් මිදීම උදෙසා යන ගමන් මඟට බාධාවක් වනු ඇත. ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු අතර, එලෙස ශ්‍රද්ධාවේ සීමාවක් තබාගත් බමුණෙකුට බුදුරදුන් ධර්ම දේශනා කොට ඔහු එයින් මුදවා ඔහුගේ ශ්‍රද්ධාව අසීමිත එකක් කළ ආකාරය ස.නි බ්‍රාහ්මණ සංයුත්තයේ උදය සූත්‍රය තුළින් පැහැදිලි වේ.
එහි සඳහන් පරිදි බුදුරජාණන් වහන්සේ උදය නම් බමුණාගේ නිවසට තුන් දවසක් පිඬු සිඟා වැඩියහ. එම තෙදින තුළ ම පාත්‍රය පුරවා පිණ්ඩපාතය පිළිගැන් වූ අතර තුන්වෙනි දිනයේ බුදුරදුන්ට පිණ්ඩපාතය පිළිගන්වා උදය බමුණා රසයෙහි ගිජු වූ මේ ශ්‍රමණ ගෞතමයෝ නැවත නැවත එතියි ප්‍රකාශ කළේය. ඒ අවස්ථාව උදාවන තුරු බුදුරදුන් ද දින තුනක් ම ඔහුගේ නිවසට පිණ්ඩපාතය පිණිස වැඩම කළහ. පසුව බුදුරදුන් ශ්‍රද්ධාවේ සීමා නො තබා ගත යුතු ආකාරය ගැන උපමා භාවිත ගාථා කීපයකින් උදය බමුණාට ධර්මය දේශනා කළහ. එනම්,

පුනප්පුනං චේව වපන්ති බීජං
පුනප්පුනං වස්සති දේවරාජා
පුනප්පුනං තේතං කසන්ති කස්සකා
පුනප්පුනං ධඤ්ඤමුපෙති රට්ඨං

ගොවියෝ නැවත නැවත බීජ වපුරති. වැස්ස නැවත නැවත වසී. ගොවියෝ නැවත නැවත සී සාති. නැවත නැවත රටට ධාන්‍ය ලැබේ.

පුනප්පුනං යාචකා යාචයන්ති
පුනප්පුනං දානපතී දදන්ති
පුනප්පුනං දානපතී දදිත්වා
පුනප්පුනං සග්ගමුපෙති ඨානං

යාචකයෝ නැවත නැවත ඉල්වති. දානපතියෝ නැවත නැවත දෙති. නැවත නැවත දානපතියො දන් දී නැවත නැවත සුගතියට යති.

පුනප්පුනං බිරනිකා දුහන්ති –
පුනප්පුනං වච්ජෝ උපේති මාතරං
පුනප්පුනං කිලමති එන්දතීච –
පුනප්පුනං ගබ්භමුපෙති මන්දෝ

කිරි දොවන්නෝ නැවත නැවත දොවති. වසු පැටියා නැවත නැවත මව වෙත එළඹෙයි. මේ ආකාරයෙන් සත්වයෝ නැවත නැවත වෙහෙස ලබති. කම්පා වෙති. බාලයා නැවත නැවත මව් කුසට පැමිණෙයි.

පුනප්පුනං ජායති මීයතීච – පුනප්පුනං සීවථිකං හරන්ති
මග්ගඤ්ච ලද්ධා අපුනබ්භවාය – න පුනප්පුනං ජායති භූරිපඤ්ඤෝ

නැවත නැවත උපදියි. නැවත නැවත මියයයි. නැවත නැවත සොහොනට ගෙන යති. නිවන් ලැබූ නුවණැත්තා නැවත නැවත නූපදී.
මෙම ගාථා ධර්මය ඇසීමෙන් පසු උදය බමුණාගේ මනෝභාවයන් වෙනස් විය. ශ්‍රද්ධාව මුළු ජීවිතය පුරාම සීමා රහිතව තිබිය යුතු එකක් බව තේරුම් ගත්හ. තව ද, දිවි හිමියෙන් තුනුරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සලකන ලෙස බුදුරදුන්ට කියා සිටියහ.
පින් කැමැත්තා නැවත නැවතත් පින් කළ යුතු ය. පින් කිරීමෙහි ආශා කළ යුතු ය. පින් රැස් වීම ලොව්තුරා සැපතට හේතුවන හෙයිනි.
පින් කිරීම නැවත නැවත කළ යුතු බැවින් ශ්‍රද්ධාවේ සීමා මායිම් තබා ගැනීම ඒ සඳහා බාධාවක් වනු ඇත. විශේෂයෙන් බෞද්ධ පින්වතුන් පින් කිරීමේ දී අසීමිත ශ්‍රද්ධාවක් ඇති කොට ගෙන තව තවත් පින් කිරීම මැනවි. එපමණක් නොව ප්‍රඥාවෙන් ලැබිය යුතු නිවන් සැපත ලැබීමට ද ශ්‍රද්ධාව එකම මාර්ගය වනු ඇත.



මාස්පොත ඓතිහාසික බෝධිපූජා විහාරස්ථානවාසී 
කු/ නික / වාරි රත්මලේ රතනසෙල මහ පිරිවෙනෙහි 
නියෝජ්‍ය පරිවේණාධිපති
ගලගෙදර රතනවංස හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍නවම් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 24 වන බදාදා බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment