Labels

Wednesday, January 13, 2016

දන්දීමේ යහපත සහ අනුසස්


බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ගේ මානාධික බව දුරුකරලීම සඳහා සැවැත්නුවරදී යමා මහ පෙළහර පානු ලැබූ සේක. බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පානු ලබන අසිරිය දෙස බලාසිටි බොහෝ පිරිස බුදුරජාණන් වහන්සේ පිළිබදව ගෞරවයක්, පැහැදීමක් ඇතිකර ගනු ලැබූහ. සාමාන්‍ය පුද්ගලයකුට කළ නොහැකි, ඉතාමත් අපහසු කාරණා වුවද ඉතා සරල ආකාරයෙන් සිදුකරන නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව හැඟීමක් ඇතිකරගනු ලැබූහ. උන්වහන්සේගේ ගිහිකළ ඥාතීන් බුදුරදුන් පිළිබදව ප්‍රසාදයක් ඇතිකර ගනු ලැබුවේද මේ ආකාරයටයි.
බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ ගිහිකල ඥාතීන් ඉදිරියේ තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව, උන්වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරනු ලැබු සේක. තව්තිසා දිව්‍ය ලෝකය බුදුරජාණන් වහන්සේට විශේෂ වූවක්.උන්වහන්සේගේ ගිහිකල මෑණියන් මාතෘ දිව්‍ය පුත්‍රයකු ලෙස පිරිමි ආත්මභාවයක් ලබාගෙන උප්පත්තිය ලබා සැපසම්පත් විඳීමින් තව්තිසා දිව්‍ය ලෝකය තුළ කාලය ගතකරමින් වැඩ සිටි සේක.
 තමන්ගෙන් තමන්ගේ මවට යුතුකම් ඉටුවිය යුතු බව සිතන පුතුන් සිටියි. එවැනි පුතුන් බුදුබණ අනුගමනය කරවන පුතුන් ලෙස හඳුනාගත හැකියි. බුදුරජාණන් වහන්සේ වුවත්, තමන් වහන්සේ බුද්ධත්වයට පත්වූවාට පසුවදි වුවත්, තමන්ගේ මවට ඉටුවිය යුතු යුතුකම් මොනවාද? යන්න පිළිබඳව කල්පනා කරනු ලැබූ සේක. ඒ අනුව දිව්‍යාලෝකයේ දිව්‍ය සැප සම්පත් විඳින මාතෘ දිව්‍ය පුත්‍රයාට ශ්‍රී සද්ධර්මය දේශනා කර මාතෘදිව්‍ය පුත්‍රයාගේ දැනුම තවදුරටත් වර්ධනය කර නිවන් මාර්ගයට පාර කියන්න අවශ්‍ය යැයි සිතා තව්තිසා දිව්‍යලෝකයට වැඩම කරනු ලැබූහ.

තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරනු ලැබූ බුදුරජාණන් වහන්සේ තම මාතෘදිව්‍ය පුත්‍රයාට ශ්‍රී සද්ධර්මය දේශනා කරනු ලැබු අවස්ථාවේ දිව්‍ය ලෝකය තුළ වැඩ සිටි විවිධ දැනුම් මට්ටම්වලින් යුක්ත වූ දෙවිවරුද, විවිධ සැපසම්පත් විඳිමින් සිටි බොහෝ දෙවිවරුද ධර්මය ශ්‍රවණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියේය. බුදුරජාණන් වහන්සේ වටේ වාඩිවී සිටින දෙවිවරු බණ අසමින් සිටින ලදී. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබු ධර්මය මෑණියන්ට පමණක් නොවන අයුරුත් සියලුම දෙවිවරුන්ටත් ගැලපෙන ආකාරයටත් ධර්මය දේශනා කළ සේක. එම දෙවිවරු පිරිස අතර “අංකුර’ නම් වු දිව්‍ය පුත්‍රයකු ද “ඉන්දික” නමින් දිව්‍ය පුත්‍රයකු ද වැඩ සිටියේය. බුදුපියාණන් වහන්සේ දේශනා කරනු ලැබූ බුදු බණ බුදුරජාණන් වහන්සේ සමීපයටම වී ඉතාම කැමැත්තෙන් ශ්‍රවණය කිරීමට පටන් ගනු ලැබූහ. එම දෙවිවරු දෙදෙනාම බණ ඇසීමට ඉතාම පි‍්‍රයත්වයක් දැක්වූවා සේම බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් ඉතාම පි‍්‍රයත්වයක් දැක්වූ නිසාම බුදුරජාණන් වහන්සේ සමීපයෙහි වාඩි වී ඉතාම කැමැත්තෙන් ධර්මය ශ්‍රවණය කරනු ලැබූහ. 
“ඉන්දික” දිව්‍ය පුත්‍රයා ධර්ම ශ්‍රවණය කරමින් සිටිනු ලැබුවේ. බුදුරජාණන් වහන්සේ සමීපයෙහි දකුණු පසින් වූ අතර අංකුර දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ සමීපයෙහි වම්පසින් වාඩිවී ධර්මය ශ්‍රවණය කරන ලදී. මඳ වේලාවක් ගතවීමත් සමඟ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණෙන පිරිස ක්‍රමයෙන් වැඩිවෙන්නට පටන් ගත්හ. බුදුරජාණන් වහන්සේ සමීපයට වී වාඩිවෙමින් ධර්මය ශ්‍රවණය කරනු ලැබු අංකුර දිව්‍යපුත්‍රයා බණ ඇසීමට පිරිස පැමිණීමත් සමඟම, දොළොස් යොදුනක් පමණ ඈතින් ඈතට පසුපසට ගියේය. ඉන්දික දිව්‍ය පුත්‍රයා ධර්මය ශ්‍රවණය කරමින් සිටි ස්ථානයෙහමි තවදුරටත් බණ අසමින් සිටියි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනු ලැබු අවස්ථාවේදී ඉන්දික සහ අංකුර යන දිව්‍ය පුත්‍රයන් දෙදෙනා බණ ඇසීමට බුදුරජාණන් වහන්සේ සමීපයෙහි වාඩි වුවත් එක් අයකු බොහෝ දුරට ගොස් සිටීමත් අනෙක් දිව්‍ය පුත්‍රයා සිටි ස්ථානයෙහිම සිටීමත් පිළිබඳව බුදුරජාණන් වහන්සේටත් ප්‍රශ්නයක් වුණි. බුදුරජාණන් වහන්සේ ‘අංකුර’ දිව්‍ය පුත්‍රයා අමතමින් මේ ආකාරයට විමසන්න පටන් ගනු ලැබූහ. 
“අංකුර දිව්‍යපුත්‍රයා” මෙහාට පැමිණෙන්න. ඔබ මාගේ වම්පස වාඩිවී බණ ඇසීමට පටන් ගනු ලැබූහ. ඒත් ඔබ දැන් දොළොස් යොදුනක් පමණ ඈතින් ඈතට පස්සෙන් පස්සට ගොස් ඈතට වී සිටියි. එයට හේතුවන කාරණාවක් තිබේ. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන අතරතුරදීම අංකුර දිව්‍ය පුත්‍රයාගෙන් විමසනු ලැබූහ. බුදුරජාණන් වහන්සේගේ මෙම ප්‍රශ්නයට උත්තරයක් නොදී සිටීමත් එතරම් යහපත් ක්‍රියාවක් නොවේ. පිළිතුරු දීමට පිළිතුරකුත් තිබේ. එය බුදුරජාණන් වහන්සේට පැහැදිළි කිරීමටත් අවශ්‍ය බවට කල්පනා කරනු ලැබු අංකුර දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ අමතා අනෙක් පිරිසටත් ඇසෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ට පිළිතුරු දෙනු ලැබූහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම පෙර ආත්ම භාවවල දඹදිව ධාරවතී නුවර ‘අංකුර’ නමින් රජකෙනෙකු ලෙස ජීවත් වුණි. දොළොස් යොදුන් පමණ පිළියෙළ කරගත් මහ දන් මහ සඟරුවනට මම ඉතාම සතුටින් පූජාකරනු ලැබූහ. ඒ දන් පිළිගැනීමට හාමුදුරුවරු වැඩම කර සිටියත් සිල්වත් භික්ෂූන් වහන්සේලා වැඩමවා සිටියේ නැහැ. දුසිල්වත් වු භික්ෂූන් වහන්සේල එම දානය පිළිගනු ලැබුවේ . එයින් මම බොහෝ දිව්‍යසැපයක් ලදිමි.මම පිළිගන්වනු ලැබූ දානය දුසිල්වතුන්ට පිළිගන්වනු ලැබූවද, එම දානය මම බොහෝම ශ්‍රද්ධාවෙන් පිළිගන්වනු ලැබූ නිසාම එහි යහපත් විපාක මට පෙරළා ලැබුණි. එම සැප සම්පත් මම විඳිනු ලැබුවද,
 එම සැප සම්පත් එඩිතර සැපයක් බවට පත්වූයේ නැහැ. ඒ නිසා දොළොස් යොදුන් පමණ පසු බැස ගොස් සිටීමට අවසරයක් ලැබ සිටිති. මම පින්කම් කරනු ලැබූවත්, එම පින්කම් මහා බලයකින් යුක්ත නොවන්නේ මම පූජාකරනු ලැබු දානය පිළිගත් භික්ෂූන් වහන්සේලා සිල්වත්, ගුණවත් පිරිසක් නොවු නිසයි. මම දන් පූජාකළ ක්‍රියාවේ විපාකය ලෙස මම අද තව්තිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය සැප සම්පත් විඳුනු ලැබුවද එම සැප සම්පත්වල අභිමානය එතරම් එඩිතර නොවුනේ ඒ නිසයි. බුදුහාමුදුරුවනේ, යනුවෙන් මෙම කාරණාව ඈත සිට බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනු ලැබුවා. අංකුර දිව්‍ය පුත්‍රයා මෙම කාරණාව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනු ලැබුවේ බොහෝ දුර සිටයි.

බුදුරජාණන් වහන්සේ සමීපයෙහි සිට බණ ඇසු “ඉන්දික’ දිව්‍ය පුත්‍රයාගෙන් මෙම ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ විමසා සිටිනු ලැබුවේ ධර්මය දේශනා කරනු අතරතුරදීයි. “ඉන්දිකයිනි, ඔබ මාගේ සමීපයෙහි දකුණූ පස වාඩි වූවෙහිය. මාගේ වම් පස සමීපයෙහි වාඩි වූ අංකුරයන් මෙන් පසු නොබැස එම ස්ථානයෙහිම සිටිමින් බණ අසනු ලැබීමට හේතු වූ කාරණා මොනවාද? මෙම ආකාරයට බුදුරජාණන් වහන්සේ ඉන්දික දිව්‍ය පුත්‍රයාගෙන් ප්‍රශ්නය විමසූ විට ඔහු බුදුරජාණන් වහන්සේ සමීපයෙහි හිඳිමින්ම පිළිතුරු දෙනු ලැබූහ. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම මිනිස් ලොව දුගියෙක්ව ඉපිද ජීවිතය රැකගත් පුද්ගලයෙක්. ඒ කාලයේදි දවසක එක් අවස්ථාවක මට ලැබුණ එකම බත් හැන්දක් ඒ අවස්ථාවේ අනුරුද්ධ මහ රහතන් වහන්සේට මම පුජාකළා. මෙසේ බොහෝ සැප සම්පත් ලැබීමටත් එම සම්පත් එඩිතරව විඳීමටත් සිල්වතුන්ට දන් දුන් ඒ පින හේතු වුණා. එම එඩිතරභාවය වගේම තියෙන නිසා මම සිටි ස්ථානයෙහිම සිටින්නේ කියමින් දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනු ලැබූහ.

මෙම දෙදෙනාම දෙවිවරු වුවත් එහි කාරණා දෙකක් තිබෙන බව පැහැදිළියි. මෙම දෙවිවරු දෙදෙනාම දන් පැන් පූජාකර තිබුණත් එම දන් පැන් පිළිගෙන තිබෙන්නේ එකම වගේ සිල්වත් ගුණවත් අය නොවෙයි. එක දිව්‍ය පුත්‍රයෙක් දන් පැන් පුජාකර තිබුණද එම දන් පැන් බාරගෙන තිබෙන්නේ සිල්වත්, ගුණවත් උතුමන් නොවෙයි අනෙක් දෙවියා පූජාකළ දන් පැන් බාරගෙන තිබෙන්නේ සිල්වත්, ගුණවත් උතුමන් අපට පෙනෙන කාරණාව නම් තමන් සතුදේ අනුන්ට දීම යහපත් ක්‍රියාවකි.

තමන් දෙනු ලබන දෙය ලබන පුද්ගලයාත්, යහපත් දේ සමාජයට කරනවා නම් එය සිදුකරනු ලැබුවාවූ පින්කමේ අර්ථය වැඩියි. ඔහු කරනු ලබන්නේ සමාජයට අයහපත නම්, දුන් දෙය ලබන පුද්ගලයා සමාජයට අයහපත කරන නිසා එය පරිත්‍යාග කරනු ලබන දන් දෙන පුද්ගලයාටත් මෙය බලපානු ලබයි. දීම යහපත් ක්‍රියාවක් වුවද, වඩාත් වැදගත් වනුයේ අර්ථවත් ආකාරයෙන් පරිත්‍යාග කරන කාරණාව අපට මෙයින් පැහැදිලී වේ.


මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ දෙසැම්බර් 24 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment