Labels

Sunday, January 17, 2016

භවයෙන් භවයට යන සසර පුරුදු


නිතර නිතර පුරුදු පුහුණු කරන හොඳ හෝ නරක භවයෙන් භවයට යන සසර ගමනෙහිදී දුක් හෝ සැප ලබාදීමට ප්‍රබල බලපෑමක් ඇති කරයි. බුදු දහමට අනුව අප ලබාගත් මිනිස් ජීවිතයේ ආරම්භය එක් ජීවිතයකට සීමා නොවේ. සසරදී අප කළ කී බොහෝ දේ අපේ ජීවිතය හා බද්ධ වී පවතින බව පිළිගත් සාධකයකි.

ලොව ඇති ප්‍රබලතම ශක්තිජනක යන්ත්‍රය මිනිස් සිතයි. එහි ක්‍රියාකාරීත්වය සහ පැවැත්ම ද ප්‍රබලය. එමෙන්ම සංකීර්ණය,වරෙක උසස් සිතිවිලි නිෂ්පාදනය කරන මෙම සිත වරෙක පහත් සිතිවිලි නිෂ්පාදනය කරයි. ඒ අනුව කෙනෙකුගේ චර්යාව ද උසස් හෝ පහත් බවට පත් වේ.

මෙම පැවැත්ම සිත නමැති යන්ත්‍රයේ ද්විත්ව ක්‍රියාකාරී ස්වභාවයයි. එය භෞතික යන්ත්‍රයකට උපමාකොට දැක්වුවහොත් මෙම සිතේ ස්වභාවය පැහැදිලිව වටහාගත හැකිය. කවර හෝ ද්‍රව්‍යාත්මක වස්තුවක් නිෂ්පාදනය කරන යන්ත්‍රයකින් ප්‍රමිතියෙන් සහ ගුණාත්මක බවින් ඉහළ යමක් නිෂ්පාදනය වේ නම් එම ද්‍රව්‍ය ලබාගන්න තැනැත්තාගෙන් එයට නිසි ඇගයීමක් ලැබේ. එමෙන් මිනිස් සිත් තුළ ජනිත වන යහපත් සිතිවිලිවලට හා ක්‍රියාකාරකම්වලට ද එබඳු ඇගයීමක් සහ වටිනාකමක් ලැබේ. යම් ද්‍රව්‍යයක්ම නිෂ්පාදන ක්‍රියාවලියේ දී එහි ගුණාත්මක බව හා තත්ත්වය මැනවින් රැකගත නොහැකිවුවහොත් එම ද්‍රව්‍ය ඵල රහිත වූවක් බවට පත්වන්නේ යම් සේද එමෙන්ම මිනිස් සිතේ ජනිත වන දූෂිත සිතිවිලිවලට හා ක්‍රියාකාරකම්වලට ද මිනිස් සමාජයෙන් ඇගයීමක් නොලැබේ.

මෙසේ පුද්ගලයෙකුගේ අධ්‍යාත්මික දියුණුව හෝ පරිහානිය ද කුසලාකුසල චින්තනය සහ චර්යාවන් පදනම්කොටගෙන ගොඩනැඟේ. මේ අනුව නිතර නිතර පුරුදු පුහුණු කරන හොඳ හෝ නරක භවයෙන් භවයට යන සසර ගමනෙහිදී දුක් හෝ සැප ලබාදීමට ප්‍රබල බලපෑමක් ඇති කරයි. බුදු දහමට අනුව අප ලබාගත් මිනිස් ජීවිතයේ ආරම්භය එක් ජීවිතයකට සීමා නොවේ. සසරදී අප කළ කී බොහෝ දේ අපේ ජීවිතය හා බද්ධ වී පවතින බව පිළිගත් සාධකයකි. ඇතැම් මිනිසුන්ගේ හොඳ සහ නරක චර්යාවන් විමර්ශනයට භාජනය කිරීමේ දී භව පුරුද්දෙන් පැමිණි බොහෝ දේ ඔවුනගේ වර්තමාන ජීවිතය තුළින් ප්‍රකට වන අවස්ථා පැහැදිලිව දැකගත හැකිය. භව පුරුද්ද සසර පුරුද්ද යනුවෙන් අප ප්‍රකාශ කරන ඒ ඒ පුද්ගලයන්ට ආවේණික ස්වභාවයන් තුළින් මිනිස් සිතේ සංකීර්ණ වූ අති දීර්ඝ ගමන් මග ද කෙනෙකුට වටහා ගැනීමට අපහසු නොවේ. සිද්ධාර්ථ ගෞතම බෝධිසත්ත්වයන්ගේ අති දීර්ඝ සසර සංසරණය පිළිබඳ තොරතුරු අනාවරණය කරන පන්සිය පනස් ජාතක පොත් වහන්සේ භවයෙන් භවයට යහපත් චර්යාවන් පුරුදු පුහුණු කළ උත්තමනීය චරිතයක ස්වභාවය පැහැදිලි කරයි. ජාතක පොතේ චරිත අතර අපට හමුවන බෝධිසත්ව චරිතය සදාචාර සංවර්ධනයක් වෙත මෙහෙයවූ යහපත් පුරුදු ජාලයක් ලෙස වටහාගත හැකිය. එක් ජීවිතයකින් තවත් ජීවිතයකට ගමන් කිරීමේ දී පුරුදු පුහුණු කරන ලද උසස් ගුණාංග උන්වහන්සේ වෙතින් ගිලිහී නොගිය බව ඉතා පැහැදිලිය. මහා ප්‍රාඥයෙකු දාර්ශනිකයෙකු හෝ සිල්වත් ගුණවත් සත් පුරුෂයෙකු ලොවට නිර්මාණය වන්නේ අඛණ්ඩ වූ පුරුදු පුහුණුතාවයන් හේතුකොට ගෙන ය. ජාතක පොතෙහිම දක්නට ලැබෙන වෛරය සසර පුරුද්දක් බවට පත්කරගත් දේවදත්ත චරිතයේ දූෂිත ස්වභාවය සහ ඔහුගේ පාප සිතිවිලි භව පුරුද්දකට නතුවී ඇති ආකාරය අනාවරණය කරයි. බෝධිසත්වයන් වහන්සේ උතුම් ගුණාංග පුරුදු පුහුණු කිරීමෙන් මිනිසෙකුට ළඟාවිය හැකි උපරිම තත්ත්වය වූ බුද්ධත්වය වෙත පැමිණීමත් දේවදත්ත චරිතයේ පාප චින්තාව සහ චර්යාව හේතුවෙන් සසරෙහි පිරිහීමට ලක්වීමත් අඛණ්ඩ මමෝ ප්‍රවාහයක ප්‍රතිඵල ලෙස වටහාගත හැකිය. මෙනිසා පුද්ගල ක්‍රියාකාරීත්වයේ ස්වභාවය අනුව කෙනෙකුගේ දියුණුව සහ පරිහානිය වෙත භව පුරුදුතාවයන් අති ප්‍රබල බලපෑමක් සිදුකරන බව බුදුසමය අවධාරණය කරයි.

පුරුද්දක් යනු එක් ජීවිතයකදී නැවත නැවත සිදු කරනු ලබන ක්‍රියාවන්ය. යම් හොඳ චර්යාවක් හෝ නරක චර්යාවක් එක් වරක් කළ පමණින් එය පුරුද්දක් බවට පත් නොවේ. යහපත් දෙයක් වුවද නැවත නැවත පුරුදු පුහුණු කිරීමෙන් හා සතතාභ්‍යාසයට නතු කිරීමෙන් පුරුද්දක් බවට පත් කරගත හැකිය. ඉඳහිට යම් හොඳ දෙයක් කිරීමෙන් සිත යහපත වෙත යොමු කර ගැනීම කළ නොහැකිය. නිතර යහපතෙහි යෙදීමෙන් පමණක් සිත පවින් වළක්වාගත හැකිය. ධම්මපදයේ සඳහන්වන මෙම ගාථාවෙන් ඒ බව අනාවරණය වේ.

අභිත්ථරෙථ කල්‍යාණෙ
පාපා චිත්තං නිවාරයෙ
දන්ධං හි කරොථො පුඤ්ඤං
පාපස්මිං රමතී මනො
 (ධම්මපදය පාප වර්ගය 1 – ගාථාව)

සිද්ධාර්ථ ගෞතම බෝධිසත්ත්වයන් වහන්සේ පාරමී ධර්ම පුරමින් සිදු කරන ලද්දේ ද නිවැරැදි යැයි වටහාගත් උතුම් චර්යාවන් භව පුරුද්දක් බවට පත්කර ගැනීමයි. එම පුරුදුතාවයන්ගේ උත්කෘෂ්ටතම අවස්ථාව බුද්ධත්වය නම් වූ මිනිස් දුර්වලතා සියල්ලම සමූහනය කළ තත්ත්වයට පැමිණීමයි. දස පාරමිතා පූර්ණයේ දී භවයෙන් භවයට එම සුචරිත මාර්ගය නැවත නැවත ප්‍රගුණ කළ අයුරු ජාතක කතා තුළින් ප්‍රකටව පෙනේ. වෙස්සන්තර, මාතුපෝසක, සාම, සීලවිමංස, උම්මග්ග, මහාකපි, සීලවනාගරාජ ආදී ජාතක කතා විමර්ශනය කිරීමේ දී බෝධිසත්ව චරිතයේ ආධ්‍යාත්ම සංවර්ධනය කෙබඳු ද යන්න කෙනෙකුට වටහාගත හැකිය. කෙනෙකු තුළ පවතින පරිත්‍යාගශීලීභාවය, ඉවසීම, පරෝපකාරය, මිත්‍රශීලී ආකල්පය, සමාජ සුබ සාධන කටයුතු ආදිය විවිධ යහපත් වැඩ කටයුතුවලදී දක්වන උනන්දුව හා කැපවීමත් මසුරුකම, පිළිගැනීම, ඊර්ෂ්‍යාව, අනුන් හෙළා දැකීම, සුරාලෝලත්වය, සූදුව, කාමයෙහි වරදවා හැසිරීම, හොරකම වැනි දූෂිත පුරුදුත් නිතර නිතර පුරුදු කිරීමෙන් ඒවා භව පුරුදුතාවයනට නතු වේ. කෙනෙකුගේ චරිතයට බද්ධ වී පවතින හොඳ හෝ නරක පුරුදු ආකස්මිකව පැමිණ තහවුරු වූ ඒවා නොවේ. බෙහෙවින් ම නිතර නිතර ප්‍රගුණ කළ හොඳ හෝ නරක පුරුදු භව පුරුදු බවට පත්වන්නේ උපවිඤ්ඤාණය හෙවත් යටිසිතට එම මනෝභාවයන් සහ චර්යාවන් දැඩිව කාවැදී පැවතීම හේතුවෙනි. විඤ්ඤාණයෙන් හෙවත් උඩ සිතින් දෛනිකව සිදුකරනු ලබන ශරීරය පවත්වාගෙන යාම සඳහා අනුගමනය කරන වැඩ කටයුතුවලට වඩා සුවිශේෂී වූ ස්වභාවයක් පිළිගැනීම, ඊර්ෂ්‍යාව, වෛරය, සොරකම, ප්‍රාණඝාතය වැනි නරක පුරුදුවලත් , මෛත්‍රී කිරීම, පරෝපකාරය, ඉවසීම වැනි යහපත් පුරුදුවලත් දක්නට ලැබේ. මේවා බෙහෙවින්ම පුද්ගල චර්යාව සමඟ බද්ධ වී ඉදිරියට ගමන් කරයි.

බුදු සමයේ මෙබඳු භව පුරුදු රාශියක් පිළිබඳ තොරතුරු දක්නට ලැබේ. පන්සිය පනස් ජාතක පොත්වහන්සේ තුළ අන්තර්ගත කථා පුවත් තුළින් මෙම භව පුරුදුතාවයන්ගේ ස්වභාවය සහ අඛණ්ඩ පැවැත්ම අවබෝධ කරගත හැකිවේ. නූතන අධිමානසික විද්‍යාඥයන් විසින් මෝහන මාර්ගයෙන් සොයාගත් බොහෝ තොරතුරුවලින් ද භව පුරුදු සත්‍ය යැයි හඳුනාගෙන ඇත. භව පුරුද්ද සම්බන්ධයෙන් බුදුසමය අනාවරණය කරන සිත්ගන්නා සුළු කතා පුවත් දෙකක් මෙම කරුණු තහවුරු කිරීම සඳහා අනාවරණය කිරීම මෙහිලා ප්‍රයෝජනවත් වේ.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයෙහි පිළින්දවච්ඡ නම් මහරහතන් වහන්සේ නමක් වැඩ සිටියහ. උන්වහන්සේ තමන් වහන්සේ සමඟ වැඩ වසන භික්ෂූන්ට සහ දායක දායිකාවන්ට කතා කිරීමේ දී අවඥා සහගත අප්‍රසන්න වචනයෙන් ඇමතීමට පුරුදු වී සිටියහ. නිතරම අනුන්ව හෙළා තළා පෙළා කතා කරන, නොසරුප් වචන බිණීම නොඉවසූ භික්ෂූහු මේ බව බුදුන්ට සැල කළහ. එවිට බුදුරජාණන් වහන්සේ එතුමන් වහන්සේගේ අතීත ජීවිතය පිළිබඳව විමසා භික්ෂූන්ට දේශනා කරන ලද්දේ පිළින්දවච්ඡ හිමියන් අතීත ජීවිතයක බමුණු මහසල් කුලයක ඉපදී සිටියදී ජාති මානය නිසා අනුන්ව හෙළා දකින නොසරුප් වචන බිණීමට පුරුදුව සිටි හෙයින් එම භව පුරුද්ද නිසා දැනුදු එසේ කරන බවය. වර්තමානයේ උන්වහන්සේ තුළ ජාති මානයක් නැතත් භව පුරුද්දේ බලපෑමෙන් එවැනි දුර්වලතාවයන් පවතින බවයි.
එසේම වරක් බුදුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් පිරිවරා දානයකට වඩින අවස්ථාවේ 
උන්වහන්සේ සමඟ වැඩම කළ එක් රහත් භික්ෂුවක් දිය කඩිත්තකින් එගොඩට පැන්නේ ය. එම භික්ෂුවගේ අසංවර ක්‍රියාව දුටු දායකයා බුදුරජාණන් වහන්සේගෙන් එම ක්‍රියාවට හේතුව විමසූ විටදී සෙසු භික්ෂූන් අනුගමනය නොකළ මෙවන් ක්‍රියාවක් කිරීමට හේතුව වශයෙන් බුදුන් වහන්සේ අනාවරණය කර ඇත්තේ අතීත ජීවිත බොහොමයක වඳුරු යෝනියේ උපත ලබා සිටි මෙම භික්ෂුව ඒ වඳුරු චර්යාවන් තවම අනුගමනය කිරීමට භව පුරුද්ද බලපා ඇති බවයි.


වාද්දුව මොල්ලිගොඩ
ප්‍රවචනෝදය මහ පිරිවෙනේ ආචාර්ය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
බාහිර කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
අයගම සුසීල හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ උඳුවප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජනවාරි 02 වන සෙනසුරාදාදින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment