Labels

Friday, January 8, 2016

ඉවසීම පාරමී ගුණයකි


වර්තමාන සමාජය තුළ අනෙකා නුරුස්සන ස්වභාවය ඉතාම වේගයෙන් වර්ධනය වන ස්වභාවයක් දැක ගන්නට තිබේ. ඒ නිසාම ඉවසීම ප්‍රගුණ කිරීම පිළිබඳව යම්කිසි දැනුවත්භාවයක් සමාජය තුළ තවදුරටත් වර්ධනය කිරීම ප්‍රයෝජනවත් මෙන්ම කාලෝචිත අවශ්‍යතාවයකි.

නොරිස්සුම නොඉවසිලිවන්තභාවයකි. ඉවසීමට නොහැකිකම පුද්ගලයකු තුළින් අපට දැකගන්නට ලැබෙන්නේ ඔහු තුළ අනවබෝධය, බුද්ධිය දුර්වල වන අවස්ථාවලදීය. සාමාන්‍යයෙන් පුද්ගලයකු දැනුමෙන් අවබෝධයෙන් පරිණතභාවයට පත්වනතුරු එම අපරිණත පුද්ගලයන් තුළ නොරිස්සුම් සහගත බව සාපේක්ෂව වැඩි ආකාරයක් අපට දැකගත හැකියි. නෙල්සන් මැන්ඩෙලා ලෞකික ජීවිතයක් ගෙවන ලද සාමාන්‍ය පුද්ගලයෙකි. ඔහු අපි‍්‍රකානු සමාජය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ අතරම ඔහුගේ ජීවිතයේ මුල් අවධිය අපි‍්‍රකානු නිදහස වෙනුවෙන්, කළු මිනිසුන්ගේ සාමය, සැනසිල්ල වෙනුවෙන් ඉතාම නොඉවසිලිවන්තව සිදුකළ හැසිරීම් සහිත ජීවිතයක් ගත කළ අයුරු ඔහු තුළින් දක්නට ලැබේ. පසුකාලීනව ඔහුට දීර්ඝකාලයක් සිරගෙදරක කාලය ගත කිරීමට සිදුවුණි.

ඒ අතර තුර ඔහු ලබන ජීවිතාවබෝධය පසුකාලීනව අපි‍්‍රකානු සමාජයට ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ලබාදීම යන උදාර කාර්ය භාරයේ දී ඔහු කෙතරම් ඉවසිලිවන්තව කටයුතු කළාද? යන්න ඔහු පිළිබඳව පොත පත කියවන, ඔහු වෙනුවෙන් නිර්මාණය කරනු ලැබු චිත්‍රපට නරඹන ඕනෑම පුද්ගලයකුට ඒ පිළිබඳව අවබෝධ කරගත හැකිවේ.
ඔහු ලබන ජීවිතාවබෝධය තුළ ඔහු ලබන ඉතාම නොඉවසිලිවන්ත හැසිරීම් සහිත පරිසරයක වූවත්, පුදුමසහගත ඉවසිලිවන්ත ස්වභාවයක් අපට දැකගත හැකිවේ.
ඔහුගේ ඉවසීම, සංයමය, ඔහුගේ බිරිඳගෙන් පවා අවඥාවට ලක්වන අවස්ථාවක් ද අපට දැක ගත හැකියි. ඒ නිසා අප අවබෝධ කරගත යුතු වැදගත්කම කාරණය වනුයේ සංකීර්ණම අවස්ථාව වන ඔබගේ මනස ව්‍යාකූලව අවුස්සනම වේලාවත් තුළදී ඔබට සංයමයෙන් සිටීමට හැකිවීම නිවැරැදිම ඉවසිලිවන්තකමයි. නිවැරැදිව ඉවසීම, නිවැරැදිම සැනසිලිසහගත ජීවිතය යනු එයයි.

විවිධ ප්‍රශ්න


ලෞකික ජීවිත ගෙවන ඔබට අත්විඳින්නට වෙන ප්‍රශ්න තවකෙනකු අත්විඳින ප්‍රශ්නයට වඩා වෙනස්විය හැකිවේ. සාමාන්‍යයෙන් ප්‍රශ්නයකදී අපට සිතෙන එකම සිතිවිල්ල වනුයේ, ලෝකයේ අමාරුම, අපහසුම ප්‍රශ්නයට මුහුණදීමට සිදුවී තිබෙන්නේ අපට පමණක් බවය. ලෝකයේ දුෂ්කරම කාරණා අප ඉදිරියට පමණක් පැමිණ ඇති බවට සිතීමට පෙලඹීම අපට සිතෙන සාමාන්‍ය ස්වභාවයකි. නමුත් ලෝකයේ තව බොහෝ පිරිසකට ජීවිතයේ ඉතාම සංකීර්ණ අවස්ථාවන්වලට මුහුණදීමට සිදුවී ඇති බව අවබෝධකරගත යුතුයි. අපට පමණක්ම ප්‍රශ්න පැමිණෙන බවට අප කල්පනා කළහොත්, ඉවසීම්සහගත භාවය අප තුළින් අඩු වී යනු ඇත. ලෝකයේ පවතින ලොකුම ප්‍රශ්නය අපට පැමිණ ඇතිබවට සිතන විටම ඒ තුළ අප ඒ පිළිබඳව බලන්නට, එය විසඳන්නට උත්සාහ දරන්නෙම යම්කිසි ආතතියකින් යුක්තවය. ඔබ සැම මොහොතකම ප්‍රශ්න ගැටලු, අර්බුද, තිබෙන අවස්ථාවන් තුළදී, සංකීර්ණම මනෝභාවයත් තිබෙන වෙලාවන් තුළදී මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන එකම පුද්ගලයා තමා පමණක් නොවන බව වටහාගත යුතුයි. තව බොහෝ දෙනකු මේ ලෝකය තුළ මෙවැනි ප්‍රශ්නවලට හෝ මීටත් වඩා වැඩි විශාල ප්‍රශ්නවලට මුහුණ දී තිබෙන බව කල්පනාවට ගත යුතු ය. එවැනි චින්තනයක් ඔබ තුළ නිර්මාණය කර ගැනීමට ඔබට ඔබගේ ප්‍රශ්නය දෙස සංයමයෙන් බැලීමට උපකාරයක් වේ. ලෞකික බැඳීම් සහිත ලෝකයෙහි, ලෞකික බැඳීම් සහිත සමාජයේ අප සිහියෙහි තබාගත යුතු වැදගත්ම කාරණාව, ලෞකික බැඳීම් සහිත සමාජයක, ලෞකික ලෝකයක කිසිසේත්ම අනෙකාගේ ඇවතුම් පැවතුම්, අනෙකාගේ හැසිරීම් අපට අවශ්‍ය ආකාරයට හැසිරවීමට නොහැකි බව අප අවබෝධ කරගත යුතුයි.

නොරිස්සුම ගොඩනැඟෙන්නේ ඇයි?


අප තුළ නොරිස්සුම ගොඩනැඟෙනුයේ, අප ආදරය කරන අය, අපට අවශ්‍යම ආකාරයට පැවතිය යුතු බවට අප සිතීම තුළයි. අපට අවශ්‍ය ආකාරයටම පැවතිය යුතු බවයි. අප ආදරය කරන නිර්මාණ, අපගේ නිෂ්පාදන අපගේ වසඟයෙහිම පැවතිය යුතු යැයි අප කල්පනා කරනු ලබයි. එය නිර්මාණකරුවා වරද්දවා ගන්නා ප්‍රධාන අවස්ථාවයි. කෙනකුට ආදරය කරන්නා වරද්දවා ගනු ලබන අවස්ථාවක් යමෙකුට ආදරය දැක් වූ පමණින්ම, ඔහු හෝ ඇය වෙනුවෙන් ඔබ කැපවී සිටි පමණින් ඔබ විසින් ඔහුගේ හෝ ඇයගේ සියලු වියදම් දැරූ පමණින් සියලු කායික, මානසික කැපකිරීම් කළ පමණින්, ඔබට අනෙකාගේ ජීවිතය වෙනුවෙන් සම්පූර්ණ මැදිහත්වීම් කරන්නට අවශ්‍ය පරිසරයක් හෝ අයිතියක් තියෙනවා යැයි ඔබ කිසිසේත්ම විශ්වාස නොකළ යුතු යි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම වනුයේ ද්‍රව්‍යය හෝ පුද්ගලයන් තමන් වසඟයෙහි කිසිවිටක පවත්වාගත නොහැකි බවයි. ‘පුත්තා මත්තී ධනං මත්තී ඉතිබාලෝ විහඤ්ඤතී’ යනුවෙන් මාගේ දරුවන්ය, මාගේ ධනය යනුවෙන් ද්‍රව්‍ය පිළිබඳව හෝ පුද්ගලයන් සම්බන්ධව මිනිසා ඇතිකර ගනු ලබන වැරැදි අල්වා ගැනීම කිසිසේත්ම නොකළ යුතු බවත්, එවැනි අල්වාගැනීමක් තුළ සිදුවනුයේ තමන් විසින් තමන්ගේ බුද්ධිය අවබෝධය නැතිකර ගැනීමක් බවත් බුදුපියාණන් වහන්සේ අවධාරණය කර ඇත. ‘මගේ’, මගේ යැයි යමක් පිළිබඳව හෝ ‘මගේ, මගේ’ යැයි යමකු පිළිබඳව හෝ කල්පනා කරන විට ඒ ද්‍රව්‍ය සහ එම පුද්ගලයන් තමන්ගෙම වසඟයෙහි පැවතිය යුතු බවට අපගේ යටි සිත විශ්වාස කරනු ලබයි. අප තුළ ඉවසීම නැතිකරන කාරණාවම එයයි.
සෑම කෙනෙකුගේම පැවැත්ම එයට අදාළ තත්ත්වය තුළ පවතී. පාරමී ගුණයක් යම්කිසි දුරකට, යම් යම් අයගේ හැසිරීම්වලට යම් යම් දේවල්වල හැසිරීම් පිළිබඳව මැදිහත්වීමට පෙලඹුණත් එය සියයට සියයක්ම අපට අවශ්‍ය ආකාරයට පවත්වාගන්නට නොහැකි බව අප ඉතාම බුද්ධිමත්ව අවබෝධ කරගත යුතුයි. ඒ පිළිබඳව අපගේ ඤාණය වැඩිදියුණු කරගත යුතුයි. එවැනි අවබෝධයක් ඇතුළත ඉවසීම හෙවත් ඛන්තී ගුණය ඔබ තුළ යටත් පිරිසෙන් මූලික අවස්ථාව වශයෙන් වර්ධනයවීමට පටන්ගනු ලබන්නේ ය. සාමාන්‍යයෙන් අප තුළ ඉවසීම තිබේද? නැද්ද? 

යන කාරණාව අපට පරීක්ෂා කරගැනීමට ලැබෙන අවස්ථාව වනුයේ, අප සන්තක දෙයකට හානියක් කිරීමට යමකු පැමිණෙන අවස්ථාවය. අප සන්තක ද්‍රව්‍යවලට හෝ අපගේ බැඳීම් සහිත පුද්ගලයන්ට යම් යම් හානිකරන්නට පැමිණෙන අවස්ථාව තුළ දී අපට එම අවස්ථාව උහුලා ගැනීමට, එම අවස්ථාව කෙරෙහි සංයමයෙන් යුක්තව ක්‍රියාකිරීමට හැකියාව ලැබුණහොත් සැබවින්ම ඉවසීමට අදාළ පාරමී ගුණය සම්පූර්ණ කළා වෙයි. ඔබට අදාළ දේ විනාශ කර යෑමට ඉඩහැරිය යුතුබව මෙයින් ප්‍රකාශ නොවේ. ඔබට අදාළ සම්බන්ධ අය නැතිකිරීමට හෝ විනාශකර දමා යාමට ඉඩහැරිය යුතු බව, මෙයින් අදහස් නොකෙරේ. අප විසින් අපගේ ඉවසීම පවත්වාගත යුතුවන්නේ, අපගේ භෞතික සම්පත් නැතිකිරීමට විනාශ කිරීමට පැමිණෙන පුද්ගලයා අප විසින් නැති කළ යුතුය යන ස්ථාවරයට නොපැමිණීම තුළයි. එය දියුණු හෝ විශිෂ්ට මිනිසකුගේ හැසිරීමක් නොවන හෙයිනි. ඔබ කැපවීමෙන් යුක්තව ඔබට අයිති දේ රැකගැනීමට කැපවිය යුතු බවට බුදුහිමියන් වදාරා ඇත. නමුත් ඔබ කිසිවිටෙකත් ‘මගේ දේවලට අත තියන්න ආවා කියා’ යන හැඟීමෙන් යුක්තව යමෙකුට හිංසා කිරීම කිසිසේත්ම නොකළ යුතු යි. එවැනි හැසිරීමට ඔබ අවතීර්ණ වනවා නම්, ඔබගේ මනස තවදුරටත් එවැනි හැසිරීමකට පෙලඹෙමින් තිබෙනවා නම් තවමත් ඔබගේ මනස හික්මී නැති බව ඔබ විසින් වටහා ගත යුතුයි. තමන්ට කරදරයක් කිරීමට යමෙකු පැමිණියහොත් ඇතැම් පුද්ගලයන් එය උහුලාගනු ලැබූවත්, තමාගේ දරුවන්ට යම් දෙයක් ප්‍රකාශ කළහොත් එම පුද්ගලයින්ට එරෙහිව ඕනෑම සටනකට යාමට ඔහු සූදානම් වේ. ඛන්ති පාරමී යනු, තමන්ට හෝ තමන් සන්තක දෙයකට, අභියෝග කරද්දීත්, තමන්ගේ ඉවසීම පවත්වාගැනීම අනෙක් පුද්ගලයන්ගේ මරණය දක්වා ගමන් කරන්නේ නැතිව අනෙක් පුද්ගලයන්ට කායික හිංසාකිරීම දක්වා යන්නේ නැතිව තමන්ගේ ඉවසීම පවත්වා ගැනීම ඛන්ති පාරමී වෙයි. අවම වශයෙන් අප එම අවස්ථාවටත් මෙම ආත්මභාව තුළ පැමිණිය යුතු යි.
අපගේ දෑත දෙපයට හානි කිරීමට පැමිණියහොත් අපගේ ශරීර අවයව ගලවාගන්නට කවුරු හෝ පැමිණියහොත් එයට එරෙහිව සටන් නොකර සිටීමේ අවස්ථාවට පැමිණීමට අපගේ මනස හසුරුවා ගැනීමට මේ ආත්මභාවය තුළ ඔබ කළ දුෂ්කර ක්‍රියාවක් වෙයි. අප මැරීමට යමෙකු පැමිණියහොත් එම පුද්ගලයා නොමරා සිටීමේ අවස්ථාවට අපගේ මනස හසුරුවා ගැනීමට අපට මේ භවයේදී දුෂ්කර වෙයි. අප අඩුම වශයෙන් අපට අයිති සහ අපට අයිතිය යැයි අප විසින් මනසින් සම්බන්ධ කරගෙන සිටිනු ලබන පුද්ගලයන්ට එරෙහිව ජීවිත හානි හෝ දේපළ හානි නොකර සිටීමේ මට්ටමටවත් අපගේ ඉවසීම පවත්වාගැනීමට, යම්කිසි වීර්යයක් යම්කිසි උත්සාහයක්. මේ භවය තුළ දී ගොඩනඟා ගත යුතු යි. ඉවසීම තරම් සිල්වන්තකම් වෙන නොමැති බවට, බුදුහිමියන් වදාරා ඇත. ‘ඛන්තී පරමං, තපෝති තික්ඛා’

උපරිම තපස, උපරිම ශීක්ෂණය හෙවත් හික්මීම ඉවසීම බවත් එය ඉහළම තපසක් බවත්, ඉහළම තපස් රැකීමක් බවත් බුදුහිමියන් වදාරා ඇත. සතුරාට එරෙහිව සටන් කිරීම ජයග්‍රහණය නොවන බව අපගේ ජනවහර තුළ වුවද අන්තර්ගත වී ඇත. ‘ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය’ සතුරා සමඟ කරන යුද්ධයකදී ජයග්‍රහණය ලබනුයේ ඉවසන පුද්ගලයා බව අප පිළිගනු ලබන කාරණාවකි. ඔබත් සමඟ ඔබට මේ ලෝකය තුළ මුණගැහෙන අරමුණු සමඟ සංයමයෙන් ඉවසීමෙන් කටයුතු කිරීමට ඔබ ඉගෙන ගත යුතුයි. ඉවසීම ඔබට ජයග්‍රහණයක් මිස පරාජයක් කිසි ලෙසකින් වත් අත්කර නොදෙනු ඇත.


හබරකඩ ආර්යය නිකේතන නිර්මාතෘ ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ දෙසැම්බර් 24 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment