ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි,
ලොවුතුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් මෙසේ දක්වමු. විශේෂයෙන්ම මේ දේශනාව කියවන සෑම දෙනාම බොහෝම ඕනෑකමින් සිතේ නොයෙක් තර්ක විතර්ක ගොඩනඟා ගන්නේ නැතිව, නොයෙක් නොයෙක් අරමුණු කෙරෙහි සිත දුවවන්නේ නැතිව මේ දේශනාව මොකද්ද
කියලා හොඳින්ම කියවන්න. මේ ගැන වචන කියවද්දී තමන්ගේ තියෙන අදහස්වලට දහම් කරුණුවත් සිතෙන් විමසන්නේ නැතිව මේ කියන්නේ කුමක්ද? කියලා ප්‍රශ්නාර්ථ ස්වරූපයෙන් හොඳට මේ දේශනාවට නැඹුරුවෙලාම කියවන්න.
කියලා හොඳින්ම කියවන්න. මේ ගැන වචන කියවද්දී තමන්ගේ තියෙන අදහස්වලට දහම් කරුණුවත් සිතෙන් විමසන්නේ නැතිව මේ කියන්නේ කුමක්ද? කියලා ප්‍රශ්නාර්ථ ස්වරූපයෙන් හොඳට මේ දේශනාවට නැඹුරුවෙලාම කියවන්න.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, චතුරාර්ය සත්‍ය ධර්මය නමැති එකම ධර්මය අවබෝධ නොවීම නිසා, අවබෝධ කර නොගැනීම නිසා මේ සත්ත්ව වර්ගයා මීයන් විසින් කපා අවුල් කරන ලද රෙදි වියන්නන්ගේ නූල් කැටියක් වගේ මනස අවුල් කරගෙන, ඒ වගේම එකට ගෙතුණු කුරුලු කූඩුවක් වගේ ගෙතිලා, පැටළුණු පඹගාලක් වගේ පටලවාගෙන. අසංඛ්‍ය සංඛ්‍යාගත දුක් කෙළවරක් නැතිව සසරේ විඳවනවා කියලා. ඒ වගේම මේ චතුරාර්ය සත්‍ය ධර්මය නමැති එකම ධර්මය අවබෝධ කර නොගැනීම නිසා මේ දීර්ඝ වූ සංසාරේ ගමන් කරන අප හැම කෙනෙක්ම මව් මළ දුකට අඬපු කඳුළු ගංගාව සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩියි . සහෝදර , සහෝදරියන් , ඥාති හිත මිත්‍රාදීන් මියගිය දුකට අඬපු කඳුළු ගංගාව සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩියි කියලා බුදුහාමුදුරුවෝ වදාළා. යම් හේතුවකින් අපට මේ චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගන්නට පුළුවන් වුණොත් මේ සියලුම සංසාර දුක නිමා කරගන්නට පුළුවන්. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ මුං ඇටයක් ප්‍රමාණයේ කුඩා ගල්කැට සතක් අරගෙන භික්ෂූන් වහන්සේලාගෙන් මෙහෙම විමසුවා. “මහණෙනි, මේ පෙනෙන හිමාල පර්වතය ද ලොකු? මේ මුං ඇට සතක් පමණ ගල් කැට සතද ලොකු? “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස , මුං ඇට සතක් පමණ වන මේ ගල් කැට සත ඉතා කුඩයි. මේ පෙනෙන හිමාල පර්වතය අති විශාලයි. මහණෙනි, ඒ වගේ දිට්ඨි සම්පන්න වූ චතුරාර්ය සත්‍ය ධර්මය නොහොත් දුක්ඛ සත්‍ය වැටහුනු, අවබෝධ වූ පුද්ගලයාගේ ඉතුරු වූ දුක මුං ඇට සතක් පමණ වන ගල් කැට සත වගෙයි. ඒ උත්තමයාගේ ගෙවුණු දුක මේ හිමාල පර්වතය වගෙයි කියලා වදාළා. එහෙමනම් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධකර ගන්න, මේ සංසාර දුකෙන් අත්මිදෙන්න බුදුරජාණන් වහන්සේ අපට නොයෙක් ආකාරයෙන් පෙන්වා වදාළා.
මහණෙනි, යම්කිසි කෙනෙක් කිව්වොත් උදේටත් අඩියටි පහරවල් සීයකින් පහර දෙන්න. දවල්ටත් අඩි යටි පහරවල් සීයකින් පහර දෙන්න. හවසටත් අඩියටි පහරවල් සීයකින් පහර දෙන්න. දවසට මේ වගේ පහරවල් තුන්සීය බැගින් ගුටි කකා අවුරුදු සියයක් ජීවත් වුණොත් ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා, අවබෝධ කරනවා කියලා කිව්වොත් වහාම කැමැති වෙන්න. බොහොම ශීඝ්‍රයෙන් කැමැති වෙන්න. ඉක්මනට කැමැති වෙන්න. ඇයි? අවුරුදු සීයකින් පසුව හෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණොත් මේ සසර ඉවරයි. නමුත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවී සසරෙදි අපට වදින, ගුටිකන පහරවල් ගණන දවසට තුන්සියය බැගින් අවුරුදු සීයක් පුරාවට ගුටිකන පහරවල් ගණනට වඩා වැඩියි, ඒක ගණන් කරන්න බෑ කියලා ලොවිතුරා බුදු පියාණන් වහන්සේ පෘතග්ජන අපට බොහොම කරුණාවෙන් වදාළා.
එමනිසා මේ ධර්මයේ වටිනාකම හොඳින් තේරුම් ගන්න. මේ ධර්මය මොනතරම් වටිනවා ඇත්ද? ඉස්සර රජවරු රජකම් අත්හැරියා. සිටුවරු සිටුකම් අත් හැරියා. ඇමැතිවරු ඇමැතිකම් අත් හැරියා. මහා ධනපතියන් ධන ධාන්‍ය, නෑදෑ පිරිස් ඔක්කොම අත් හැරියා. මොකද? සංසාරෙ එතෙර කරවන දුකෙන් නිදහස් කරවීම මේ හැම දේකටම වඩා වටින නිසයි. එහෙමනම් නැවත මතක් කරන්නේ මේ සද්ධර්මය ඉතා ඕනෑකමින් හඳුනාගත යුතු වටිනකමයි.
අපි දහම් කරුණු ටිකක් විමසා බලමු.”එවං තිපරිවට්ඨං ද්වාදසාකාරං යථා භූතං ඤාණ දස්සනංන සුවිසුද්ධං අහෝසි” බුදුරජාණන් වහන්සේ වට්ට තුනක්, ක්‍රම තුනක් , ආකාර තුනක් වදාළා. ඒ තුළ ධර්මතා හතරකින් වරනැඟිලා දොළොස් ආකාරයක් සම්පූර්ණ කළ දවසකට කළයුත්ත, සියලුම ආශ්‍රම ධර්මයන් දුරු කළ, සිංහාසන වූ චේත විමුක්ති , ප්‍රඥා විමුක්ති තමන්ම සාක්ෂාත් කරගත්තු මහා රහතන් වහන්සේ නමක් වෙනවා කියලා වදාළා. ඒ කියන්නේ සංසාර දුක අවසන් කළ කෙනෙක්. එහි මුලින්ම පෙන්වන්නේ සත්‍ය ඥානයයි. “ ඉදං දුක්ඛං අරිය සච්චංති මෙ භික්ඛවෙ පුබේබ අනනුස්සුතෙසු ධමේමසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි විජජා උදපාදි ආලොක උදපාදි තං ඛො පනිදං දුක්ඛං” මෙන්න මේක දුකයි කියලා දහම් ඇසක් බුදුරජාණන් වහන්සේට පහළ වෙලා ලෝකයාට පෙන්නුවා. “ ඉදං දුක්ඛ සමුදයං අරියසච්චං” මෙන්න මේක දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි කියලා සමුදය තේරුම් ගත්තා “ ඉදං දුක්ඛ නිරොධං අරිය සච්චං” මෙන්න මේක දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයයි කියලා ඉස්සෙල්ලාම සත්‍ය තේරුම් ගත්තා. මෙන්න මේක දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරිය සත්‍යයයි කියලා ප්‍රතිපදාව නිවැරැදිව තේරුම් ගත්තා. දුකේ ඇත්ත ඇති හැටිය, සමුදයේ ඇත්ත ඇති හැටිය, නිරෝධයේ ඇත්ත ඇති හැටිය, මාර්ගයේ ඇත්ත ඇති හැටිය දකින ටිකට, දැකපු ටිකට කිව්වා සත්‍ය ඤාණය කියලා. එහෙමනම් මේ දුක පිරිසිඳ දැක සමුදය ප්‍රහාණය කළ යුතුයි. නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. මඟ වැඩිය යුතුයි. මේ ක්‍රමය යම්කිසි කෙනෙකු දුක පිරිසිඳ දැකලා ඉවරයි, සමුදය දුරු කළා කියලා නිරෝධය සාක්ෂාත් කරන මඟ වඩලා ඉවරයි කියලා කෘත ඤාණය කරල ඉවරයි කියලා කෙනෙකු පහළ වුණොත් ඒ පුද්ගලයා ශාසනයේ කළ යුත්ත කළ කෙනෙක් බවට පත්වෙනවා. ඒ උත්තමයාට තවත් කළ යුත්තක් නැහැ.
හොඳයි, අපි මෙතනදී බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ “ ඉදං දුකඛං අරියසච්චං” අපට දුකයි කියලා පැහැදිලි කරපු ධර්මතා ටික හොඳට තේරුම් කර ගන්න. එහෙමනම්, මේ දුක සත්ත්ව නොවන, පුද්ගල නොවන , අනාත්ම වූ ධර්මතාවයක් කියලා කියන හැඟීම, අවබෝධය අපට මුලින්ම ලැබෙන්න ඕන. ඒ දුක පිරිසිඳ දකින විට දුකයි කියලා නුවණ ඇතිවෙද්දී, දුක්ඛෙ ඤාණය ඇතිවෙද්දී, සමුදය ගැන වැටහීමක් ඇති වෙනවා. මෙන්න මේ සමුදයේ කියන දැක්ම තමන්තුළ ඇති කරගන්න ඕන. මම එතනදී දුක්ඛ සත්‍ය හොඳට පැහැදිලි කරන්නම්.
අපි කියමු ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය ,කන සෝත විඤ්ඤාණය කියන ටිකටයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේ දුක්ඛ සත්‍ය, කෙනෙක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, සත්ත්වයෙක් නෙවෙයි, හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ අමාරුම ධර්මතා ටිකක්. ඒකට මම පින්වතුන්ට උපමාවක් දෙන්නම්. අප ගඩොල්, වැලි, සිමෙන්ති, වතුර වගේ දෙයක් අරගෙන තාප්පයක් බඳිනවා. නැත්නම් බිත්තියක් හදනවා. ඒ වැලි, සිමෙන්ති අනලා කපරාදුත් කරලා, සුදත් තියනවා කියලා හිතමු. එහෙමනම් දැන් හොඳට බලන්න, බිත්තියේ අන්තර්ගතය කුමක්ද? කියලා. එය සත්ත්ව නොවුන, පුද්ගල නොවුන, අනාත්ම වූ බිත්තියෙ නොවන කොටස් ටිකක් එකට එකතුවෙලා තමයි බිත්තිය හැදුණේ. ඊටපසුව අපි කෙනෙකුට කියමු, කඩේට ගිහිල්ලා තීන්ත ටිකකුයි , පින්සලකුයි ගෙන්න කියලා. දැන් සිත්තරෙකුට මේ බිත්තියේ චිත්‍රයක් අඳින්න කියමු.
අපි අඳින්නේ කාගේ රූපයද? අපි කියමු අපේ මිතුරගේ රූපය බිත්තියේ අඳින්න කියලා. දැන් හොඳට බලන්න, බිත්තියේ ගඩොල්, වැලි, සිමෙන්තිවලින් නිර්මාණය වූ, බිත්තිය මුල්කරගෙන චිත්‍රයක් තියෙනවා. “චත්තාරොච මහා භූතා, චතුන්නංච මහාභූතානං උපාදාය රූපං” බිත්තියට කිව්වේ චත්තාරොච මහා භූතා කියලයි. ඒ කියන්නේ සතර භූත මහා රූප කිව්වේ මේ චිත්‍රය දරාගෙන ඉන්න බිත්තියටයි. “මහා භූතානං උපාදාය රූපං” කිව්වේ මහා භූත ටික ඇසුරු කරගෙන තියෙන, බිත්තිය ඇසුරුකරගෙන තිබෙන රූපයට කිව්වේ චිත්‍රය කියලයි. චිත්‍රයට බිත්තිය නැතිව ජීවත් වෙන්න බැහැ. චිත්‍රය සෑම විටම පරපෝෂිතයෙක්. අනුන්ගෙන් යැපෙනවා. බිත්තිය ඇසුරුකරගෙනමයි මේ උපාදාන රූප ටික චිත්‍රය පැවතියේ. හැබැයි, බිත්තියට චිත්‍රය නැතිව ඉන්න පුළුවන්. ඒත් කවදාවත් බිත්තිය නැතිව චිත්‍රයට ඉන්න බෑ. මේ විදිහට විස්තර කළේ මේ චිත්‍රය අයිති බිත්තියටයි කියලයි. මේ චිත්‍රය පතිතවී තිබෙන්නේ , පිහිටලා තිබෙන්නේ, චිත්‍රය දරාගෙන ඉන්නේ බිත්තියයි. ඊට එහා මේ චිත්‍රයට අයිතිකාරයෙක් හෝ චිත්‍රයට පැවැත්මක් හෝ , පවත්වන්න පුළුවන්කමක් හෝ නෑ. ඔන්න එහෙමනම් මේ බිත්තියයි ඒ මත ඇඳි චිත්‍රයයි දකිද්දී අප කාටත් හිතෙයි මේ අහවලාගේ යාළුවා නේද කියලා? දැන් හොඳට බලන්න, අපට පුද්ගලයෙක්, කෙනෙක් කියලා බිහිවූ තැන ඇත්තටම හමුවූ එකම එක රූපයේ ස්වභාවය. සත්ත්ව, පුද්ගල, ආත්මභාවයෙන් තොර අනාත්ම වූ කෙනෙක් , දෙයක් නොවන, අනාත්ම වූ මහා භූත සහ උපාදාන රූපයක් විතරයි නේද? චිත්‍රයටයි උපාදාන රූප කියලා කිව්වේ. බිත්තියටයි මහා භූත රූප කිව්වේ. බිත්තියේ පවතින චිත්‍රය තුළ ඇසුරු කර පවතින ‘චිත්‍රය’ කෙනෙක්ද? එහෙමනම් එබඳු වූ බිත්තියත්, චිත්‍රයත් දිහා කෙනෙක් කියන අදහස ඔබට ඇතිවුණාද? බලන්න. ‘යාළුවා’ කියන කෙනාගේ චිත්‍රය අතගාන්න හෝ බිත්තිය අතගාන්න සුදුසුද කියලා බන්න.
මේ තමන්ගේ යාළුවාගේ කෑලිනෙ කියලා බිත්තියෙ කෑලි අතගාන්න සුදුසුද? සුදුසු නෑ. මොකද, ඒක අප හොඳටම දැක්කා හුණු, ගඩොල්වලින් නිර්මාණය වූ හැඩතලයක් විතරයි කියලා. හැඩේ දකින විට කෙනා කියන අදහසයි අපට ආවේ. හොඳයි, අප පැත්තකට ගිහිල්ලා ඒ මගේ යාළුවා කියලා සිහිකරන්න බැරිද? සිහිකළොත් එතන තියෙන ඇත්ත මොකක්ද? මහා භූත සහ උපාදාන රූපය නේද, අපි තමන්ගේ යාළුවා කියලා බාහිරව කෙනෙක් සිහිකර කර ඉන්න සුදුසුද? අනාත්ම වූ මහා භූත සහ උපාදාන රූප කියන තැනදි කෙනෙක් ඉන්නවා කියලා සිහිකරන්න සුදුසු ද? අනාත්ම වූ ව මහා භූත සහ උපාදාන රූප කියන තැනදි කෙනෙක් ඉන්නවා කියලා සිහිකරන්න සුදුසු ද? ඇස් ඉදිරිපිටට ආපු බිත්තියටත්, බිත්තිය මත ඇඳපු චිත්‍රයටත් තමයි ‘දුක්ඛ සත්‍ය ‘ කිව්වේ.
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය
මාන්කඩවල සුදස්සන හිමි
මාන්කඩවල සුදස්සන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ දෙසැම්බර් 24 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment