පසුගිය පොහෝ දිනයේ අපගේ අවධානය යොමු වූයේ බුදුදහමෙහි අපාය සංකල්පය ලිපි පෙළෙහි පේ‍්‍රත අපාය පිළිබඳ විස්තර කිරීමේදී පේතවත්ථුවේ සඳහන් මිගලුද්දක පේතවත්ථුව හා කූටවිනිච්ඡක පේතවත්ථුව පිළිබඳ විමසා බැලීමටයි. අද අපගේ අවධානය යොමුවන්නේ පේතවත්ථුවේ සඳහන් තවත් ප්‍රවෘත්ති කිහිපයක් විමසා බැලීමටයි.
ධනපාල පේතවත්ථුව
දසන්ත රට ඒරකච්ඡ නම් නගරයෙහි ධනපාල සිටුවරයෙක් විය. ඔහු ශ්‍රද්ධා නැත්තෙකි. පැහැදීමක් නැත්තෙකි. තද මසුරෙකි. කර්මයන්ගේ විපාක නැතැයි කියන න්‍යෂ්තික දෘෂ්ටි ඇත්තෙකි. මෙසේ චර්යාවන් පැවැත් වූ ඔහු පසු කලෙක මිය ගොස් කාන්තාරයක පේ‍්‍රතයෙකු වී උපන්නේය. ඔහුගේ ශරීරය තල් කඳක් පමණ විය. ඉල්පීගිය සම රළු විය.අවුල්වූ විරූපී වූ හිසකෙස් විය. දුර්වර්ණ ශරීර ඇති ඔහු බියකරු දැකුම් ඇත්තේය. ඔහු පනස් වසරක් මුළුල්ලේ බත් ඇටයක් හෝ දිය බිඳක් හෝ නොලබාම වියලුණු උගුර තොල් දිව ඇතිව සා පිපාසාවෙන් යුතුව එහෙ මෙහෙ සැරිසරයි.
අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන සමයේ සැවැත් නුවර වැසි එක්තරා වෙළෙඳ පිරිසක් ගැල්වල බඩු පුරවාගෙන උත්තරා පථයට ගොස් එම භාණ්ඩ අලෙවිකොට එම ප්‍රදේශයෙන් ගත් බඩු ගැල්වල පුරවාගෙන ආපසු එනවිට සවස් වූ බැවින් එක්තරා දිය වියළී ගිය ගඟක් ළඟට පැමිණ ගොනුන් ලිහා රාත්‍රියෙහි නවාතැන් ගත්හ. එහි දී මෙම පේ‍්‍රතයා පිපාසයෙන් පීඩිතව බීමට ජලබිඳක් වත් නොලැබ ක්ලාන්තව මේ වෙළෙඳ පිරිස ඉදිරියෙහි කපා හෙළු තල් ගසක් මෙන් ඇද වැටුණේය.
මෙසේ ඇද වැටුණු නිර්වස්ත්‍ර විරූපී ඉතා බියකරු දැකුම් ඇති ඉල්පී ගිය නහර ඇති උස් වූ ඉල ඇට ඇති ඉතාමත් කෘෂ වූ සිරුරු ඇති ඒ පේ‍්‍රතයා දුටු වෙළෙන්දෝ ඔහු කවරෙක් දැයි විමසීය. එවිට එම පේ‍්‍රතයා මෙසේ කීය.
පින්වතුනි, මම ‘යම’ ලෝකය යැයි කියන ලද පේ‍්‍රත ලෝකයෙහි පේ‍්‍රතයෙක්මි. පාප කර්මයන් කොට මිනිස් ලොවින් චුතව පේ‍්‍රත ලෝකයේ ඉපදුනෙමි.
එවිට වෙළෙන්දෝ ඔහුගෙන් මෙසේ විමසයි. ඔබ මෙතරම් දුක් විදීමට මිනිස් ලොව දී සිත, කය, වචන යන තිදොරින් කවර අකුශල කර්මයක් කළේද කවර අකුශල කර්මයක විපාකයෙන් පේ‍්‍රත ලෝකයෙහි උපන්නේද යනුවෙනි.
එවිට පේ‍්‍රතයා මෙසේ පවසයි. පෙර මම දසන්ත රට ඒරකච්ඡ නම් නගරයෙහි ධනපාල සිටුවරයෙක් වුණෙමි. මහජනයා ඒ නමින් මා දනිත්. මට අමු රන් පිරවූ කරත්ත අසූවක් විය. රත්තරන්, මුතු, වෛඩූර්ය ආදි බොහෝ මැණික් තිබුණි. එපමණ මහත් ධනයක් තිබුණ මට දන්දීමට කැමැත්තක් නොවීය. යාචක ජනයෝ මා නොදකිත්වා යැයි ගෙයි දොර කවුළු වසාගෙන තනිවම අනුභව කළෙමි. ශ්‍රද්ධා නැත්තේ තද මසුරෙක් වශයෙන් පරිහාසයට ලක් වුණෙමි. දන් දෙන්නා වූ පින් රැස්කරන්නා වු බොහෝ ජනයා එයින් වැළැක්වූයෙමි. දන් දීමේ විපාක නැත. සීලයෙන් කවර ප්‍රතිඵලයක් ලැබේද යනුවෙන් න්‍යෂ්තික දෘෂ්ටියෙන් විසුවෙමි. පැන් පොකුණු හා ළිං ද තනන ලද ආරාම උයන් වතු පැන්හල් යන මේවා දුටු තැන වනසාලීමි. ඒ දඬු ආදිය විනාශ කළෙමි. මම නොකළ කුසල් ඇතිව කළ අකුසල් ඇතිව ඒ අත් බැවින් චුත වූයේ ප්‍රේත්‍ර යෝනියෙහි ඉපිද සා පිපාසයෙන් මඩිනා ලද්දේ වෙමි. යම් දිනක මා ඒ මිනිස් අත් බවින් චුත වූයේ ද එතැන පටන් මේ වනවිට පණස් පස් අවුරුද්දක් ගෙවී ඇත. ඒ පණස් පස් අවුරුද්ද මුළුල්ලෙහිම ආහාර අනුභවයක් හෝ පැන් බීමක් හෝ නොදනිමි. කිසිවෙකුට කිසිවක් නොදීම නිසා යම් පරිත්‍යාගයක් නොකළ නිසා එය මටම වැනසීමක් විය. දාන වස්තුව තිබිය දීත් දන්නොදුන් නිසා පින් නොකළ නිසා මෙසේ එහි විපාක වශයෙන් කතරෙහි පේ‍්‍රතයෙක්ව ඉපිද සා පිපාසයෙන් මඬිනා ලදුව දුක් විඳීමි යනුවෙන් ඒ ධනපාල පේ‍්‍රතයා වෙළෙදුන්ට පැවසීය.
එක් දිනක් සැරියුත් මහරහතන් වහන්සේ,මොග්ගල්ලාන ,අනුරුද්ධ, කප්පින යන මහරහතන් වහන්සේලා සමඟ රජගහ නුවරට නුදුරු එක්තරා ආරණ්‍යයක වාසය කරති. ඒ සමයේ බරණැස් නුවර වැසි ධනයෙන් ආඪ්‍ය එක්තරා බ්‍රාහ්මණයෙක් මහණ බමුණන්ට හා දුගී මගී යාචකාදීන්ට බැගෑපත් උදවියට හා පුලන්නන්ට ද ආහාරපාන වස්ත්‍ර සයනාසන ආදිය දෙයි. එසේ පැමිණෙන අයට සුදුසු පරිදි අවශ්‍ය දේම දෙයි. පෙරබත් කාලයෙහි භික්ෂූන් වහන්සේලාට ද දානය සකස්කොට පිරිනමයි. ඔහු මේ කටයුත්ත ඕනෑකමින්ම සිදුකළේය. දිනක් හදිසියේම ඔහුට විදේශයකට යෑමට සිදුවිය. එසේ යෑමට පෙර ඔහු භාර්යාව අමතා මෙසේ කීවේය. සොඳුර මා පැමිණෙන තෙක් දානය විධිය අඩුවක් නොකොට පවත්වන්න . නිවසට පැමිණෙන සියලු දෙනාට අඩුවක් නොකොට සංග්‍රහ කරන්න. අවශ්‍ය දේ දෙන්න යනුවෙනි. ඇයද එය මැනැවැයි පිළිගත්තාය. තම ස්වාමියා නිවසින් බැහැරව ගිය පසු පළමුව ඇය කළේ භික්ෂූන් වහන්සේලාට දෙන දානය වැළැක්වීමය. දෙවනුව වාසය සඳහා පැමිණි මගීන්ට ගේ පිටුපස වු දිරාපත් මඩුව පෙන්වා එහි නවාතැන් ගන්නට සැලැස්වීය. ආහාර පානාදිය ලබාගැනීමට පැමිණි දුගී මගී යාචකාදීන්ට අසුවී කාපියව්! මුත්‍රා බීපියව්! ලේ බීපියව්! තොපගේ මව්වරුන්ගේ මොළ කාපියව්! යනුවෙන් ඉතා දරුණු ලෙස ආක්‍රෝශ පරිභව කරමින් එළවා ගත්තාය.
පසු කලක මේ කාන්තාව මිය ගොස් කර්මානුරූපව පේ‍්‍රත යෝනියක උප්පත්තිය ලැබුවාය.ඇගේ ස්වභාවය නම් දැකීමට ඉතා බියකරුය. පිළිකුල් සහිතය.උස්ව නැගුණු ඉල ඇට ඇත්තියකි. කෘශ වූ ශරීර ඇත්තියකි. විලි වැස්මක් නැත්තීය. දුර්වර්ණ ස්වභාව ඇත්තීය. ඉල්පීගිය නහර වැල්වලින් යුත් ශරීර ඇත්තීය. මේ පේ‍්‍රතිය මෙයින් ආත්ම පහකට පෙර සැරියුත් මහරහතන් වහන්සේගේ මවක්ව උපන්නාය. මෙසේ ඉතා දුක්ඛිත තත්ත්වයට ඇද වැටුණු මේ පේ‍්‍රතිය එයින් මිදීමට මගක් සොයනුයේ පෙර ජන්මයෙහි තමාගේ පුත්‍ර වූ සැරියුත් මහරහතන් වහන්සේ සිහි වී උන්වහන්සේ සොයා එතුමන් වැඩ වසන විහාරයට පැමිණියාය. එහෙත් විහාරයට අධිගෘහිත දෙවියෝ ඇගේ ගමන වැළැක්වූහ. එවිට එම පේ‍්‍රතිය සැරියුත් හිමියන් මීට ජන්ම පහකට පෙර තමාගේ පුතු වූ බව දන්වා උන්වහන්සේ බැහැදැකීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියාය. දෙවියෝ ඇයට අවසර දුන්නාය.
ඇය දුටු සැරියුත් තෙරණුවෝ ඇය කෙරෙහි අනුකම්පාව උපදවා මෙසේ ඉතා දුක්ඛිත ජීවිතයක් ගතකරන පේ‍්‍රතියක් ව ඉපදීමට හේතු විමසූහ. එවිට ඇය පෙර මිනිසත් බවෙහි ඇය සිදුකළ සියල්ල හෙළි කළාය. එහි විපාක වශයෙන් ඇගේ ජීවන ස්වභාවය මෙසේ විස්තර කළාය.මම වමනය ද කෙළ ද සොටු ද, සෑයෙහි දවනු ලැබූ ශරීරයන්හි වුරුණු තෙල්ද, වැදූ ස්ත්‍රියන්ගේ ලේ හා ගැබ්මල ද, වණ ඇත්තවුන්ගේ හා හිස හා නාසය කැපූවන්ගේ ලේ ද, ස්ත්‍රී පුරුෂ ශරීරයන්ගෙන් බැහැර කරන සියලු අපවිත්‍ර දෑ ද සාගින්නෙන් පෙළෙන මා අනුභව කරමි. ගෙරීන්ගේද, මිනිසුන්ගේද, සැරව හා ලේ අනුභව කරමි. පිහිටක් නැත්තී වසන තැනක් නැත්තී සොහොන් අළු හා අඟුරු බහුල වූ සොහොන් බිමෙහි සයනය කරමි. යනුවෙන් තමාගේ දුක්ඛිත ජීවන චර්යාව ප්‍රකාශ කොට පුතණුවනි. මා උදෙසා දානයක් දුන මැනවි. එහි පින් මා හට අනුමෝදන් කරනු මැනවි. මා මේ ලේ සැරව බුදීමේ දුක්ඛිත පාපයෙන් මුදවනු මැනවි’ යනුවෙන් අයැද සිටියාය.
මේ පේ‍්‍රතියගේ කතාවෙන් කම්පාවට පත් මුගලන් මහරහතන් වහන්සේත්, අනුරුද්ධ මහරහතන් වහන්සේත්, කප්පින මහරහතන් වහන්සේත් කුටි හතරක් කොට සිව් දිගින් වැඩියා වු මහා සංඝයාට එම කුටි ද දානය ද පූජාකොට ඇයට පින් අනුමෝදන් කළාය. එම පින් අනුමෝදන් වීමෙන් පේ‍්‍රත අත් බවින් මිදුණු ඇය දිව්‍යාංගනාවක් බවට පත් විය. ඕෂධී තාරකාවක් මෙන් ඇගේ ශරීර වර්ණය බබළන්නට විය.
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජනවාරි 23 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment