Labels

Thursday, January 28, 2016

අවිද්‍යාව තුළ සිටිනවාද?


කෙනෙක් කියලා සිහිවෙනකොටම මේ ප්‍රපංච නිමිත්ත ආපු හේතු ටිකට යන්න. යාළුවා කියලා සිතෙනවිටම , මම බලන්නේ මම මෙහෙම හිතද්දිත් එතැන තියෙන්නේ ගඩොල්, වැලි , සිමෙන්තියෙන් නිර්මාණය වූ බිත්තියකුත් බිත්තිය මත ඇඳි චිත්‍රයකුත් නේද? කියලයි බලන්නේ. අන්න එතකොට තමන්ගේ මෝඩකම චුට්ටක් අහුවෙනවා.

මේ සිතිවිල්ලේ කෙනෙක්, දෙයක් නැහැ. පුද්ගලයෙක් නැහැ. සත්වයෙක් නැහැ කියල බලන්නේ නැහැ. බැලුවට අවිද්‍යාව එහෙමමයි. අවිද්‍යාව ඉතුරු වෙනවා. ඒ හින්දා එතනින් නෙමෙයි යන්නේ ඒකෙන් යන්න බැහැ. හැම විටම " භව පච්චයා ජාති" භවය තියෙන නිසයි, බාහිිර කෙනෙක් ඉන්නවා කියන හින්දයි මේ සිතෙන්නේ, මේ ඉපදීම නතර වෙන්න නම් භව නිරොධො ජාති නිරොධා තියෙනවා ඉන්නවා කියන මේ භවය නතර වෙන්නට ඕන. එහෙමනම් හැමවිටම ත්‍රිපිටක දහම නොඉක්මවා ගන්න. දුක පිරිසිඳ දැකල සමුදය දුරු කරලයි නිරෝධය සාක්ශාත් කළ යුත්තේ. මේ විදිහට නම් මග වඩන්න තියෙන්නේ මම කළ යුත්තේ කොහොමද? දුක් වූ ස්කන්ධ ටික පිරිසිඳ දකින්න ඕන. ඒ කියන්නේ මෙතන ඉදන් මට අම්මා සිහි කරන්න පුළුවන් . මම අම්මා සිහිකරනවා කිසි අඩුවක් නැතිව, අඟ පසඟින් යුක්ත පුද්ගලභාවයකින් යුක්ත සත්ත්ව භාවයකින් යුක්ත හැඟීම් ටිකකුත් සමඟ , ක්‍රියාකාරකම් ටිකකුත් එක්ක වර්ණ සම්පන්න වූ , ශබ්දයෙන් යුක්ත පුද්ගලභාවයකින් යුක්ත , සත්ත්ව භාවයකින් යුක්ත, හැඟීම් ටිකකුත් සමඟ ,ක්‍රියාකාරකම් ටිකකුත් එක්ක වර්ණ සම්පන්න වූ , ශබ්දයෙන් යුක්ත වූ රූපයෙන්, රසයෙන්, ස්පර්ශයෙන් යුක්ත වූ , ආත්මභාව පටිලාභයක් මනසෙ මට සිහිපත් කරගන්න පුළුවන්. මගේ අම්මා කියලා ඒක මගේ මනසේ හැකියාව , මම බලන්න ඕන මෙහෙම සිහිපත් කරනවිටම මට සිතෙන සිතිවිල්ල සාධාරණද? සත්‍යයද , සුදුසුද කියන එක. ඒ කියන්නේ වෙනදට මට අම්ම සිහිකරන්න පුළුවන්. ඒක වැරැදියි කියලා පෙන්වන්න කවුුරුවත්සිටියේ නැහැ. බලන්න ගියහමත් අම්මා පෙනෙනවා කියන තැනකින් ඉන්නේ. ඒකත් ඇත්ත , පෙන්වන්න කවුරුවත් සිටියේ නැහැ. වැරැද්දක් දැක්කෙත් නැහැ. අම්මව බලල ආවට පස්සේ මම අද ගෙදර ගිහිල්ලා අම්මාව දැකලයි ආවේ කියලත් කිව්වා. අම්මාව සිහිකරල , අම්ම බලන්න ගිහිල්ලා , අම්මාව මුණහැගිලා ආපසු ඇවිල්ලා අම්මා සිහිකරන්න පුළුවන් කියලා සම්පූර්ණ අවිද්‍යාව තුළ චක්‍රයක්ම ගිහිල්ලා, මම ඒ මොහොතේ කියනවා. මට ටිකක් මහන්සියි, මම ටිකක් භාවනා කරන්නත් ඕනෑ කියලා. ම ම ඉතින් පැත්තකට ගිහිල්ලා භාවනාවත් කරනවා. හොඳට පර්යංකයකුත් බැඳගෙන, සති නිමිත්තේ සිත තියාගෙන එන එන නිමිතිවල නාම රූප වශයෙන් බලනවා. කුණුප කොටස් කඩනවා, චිත්ත වීථි බලනවා. සංඥාවක් කියලා බලනවා. මේ සිතේ උපන්නේ කියලා බලනවා.
ආයෙත් භාවනාව ඉවර වූ ගමන්, නැත්නම් බාහිරේ හිතන්න හදන විට කිසි දෝෂයක්, වැරැද්දක් පෙනෙන්නේ නැහැ. ඕන තරම් කෙලෙස්වලට යන්න පුළුවන්. මේ මනසට කිසිම පිහිටක් නෑ. කිසිම සරණක් නැහැ. ධර්මය නොදන්නා පෘතග්ජනයාටත් ලෝකයාටත් මනසේ පිහිටක් , පිළිසරණක් නැතිව ඔහේ සිතිවිලි වැල් සිතන්න පුළුවන් වගේ මටත් පුළුවන් සිතන්න.
හැබැයි මම හොඳට භාවනාත් කරන කෙනෙක්. පැය ගණනක් භාවනා කරලා නැගිට්ටා විතරයි. නැගිටලා අම්මා ගැන සිතන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. සිතෙනවා. අම්මා ගැන සිතලා " අනේ අම්මා අද රෑට කෑවාද දන්නෙත් නැහැ. කියලා "අනේ අම්මා අසනීප වෙලා සිටියේ" කියලා මට හොඳට දුක් විඳින්නත් පුළුවන්. ආපසු සිහිකරල ා " කමක් නැහැ. හෙට උදෙන්ම අම්මා බලන්න යනවා කියල සිත හදාගෙන, උදේම නැඟිටලා යන්නත් පුළුවන්. ගිහිල්ලා එදාටත් බලලා එන්නත් පුළුවන්. ඇවිල්ලා එදාටත් භාවනා කරයි. මේ භාවනාවේ ප්‍රතිඵලයක් තිබිලා තියෙනවාද? භාවනා කළේ කුමටද කියලා බලන්න. මේ වැරැද්ද නොවෙයි ද හැදෙන්න ඕන කියලා බලන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ වූ උත්තමයාට කවදාවත් මේ වැරැද්දට දුක් විඳින්න බැහැ.
ඒ කියන්නේ දැන් අම්මා සිහි කරන්න පුළුවන් හැකියාව හිතේ තියෙන හැකියාව අම්මා කියලා සිහිකරන විටම වේගයෙන් එයා දුක පිරිසිඳ දකිනවා. මම අම්මා සිහි කරලා බලන්න කියලා ගියොත් ඇත්තටම එතන වෙන්නේ සතිපට්ඨානයට නුවණයි කන, බොන ආහාරයෙන් සැදුණු කෙස්,ලොම් , නියා, දත් ආදී කුණුප කොටස්වලින් පිහිටලා තියෙන තැනක වර්ණ සටහන ,චිත්‍රය ඇස් ඉදිරිපිටට එනකොටම මේ දැන් තියෙන ගතිය මනසෙ සිහි වෙනවා නේද? දැන් එයාට යන්න පෙර සිටම නුවණයි ගියවිට මට අම්මා හම්බවෙනවා නොවෙයි.
අනාත්ම වූ ස්කන්ධ ටික ඇස් ඉදිරිපිටට එනකොට මේ ආත්ම සංඥාව සිහිකරගන්නවා නේද කියලා ඇත්ත ඇති හැටියෙන් දකිනවා. මෙහෙ ඉඳලා ඉන්න කෙනෙක් ගැන සිතලා දුක් විඳින්න තරම් මෝඩ නැහැ. මගෙ මනසෙයි මේ හැඟීම තියෙන්නේ. එහෙමනම් ඊයෙත් මම අම්මා දැක්කා කියන තැනට ගියොත් එහෙමනම් ඊයේ ද තිබිලා තියෙන්නේ. ඕකම නේද අනාත්ම වූ කෙස්,ලොම්,නිය, දත්, සම් , මස්, කුණුප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සටහහනක් අපේ ඇස් ඉදිරිපිටට එනකොටම මේ මගෙ අම්මා කියන හැඟීම් ටික ප්‍රපංච ටික ගති ටික මනසේ ඉපදිලා නේද කියලා සිහි ගන්වනවා.
මම පැයක් භාවනා කළා කිව්වේ උපදින උපදින විතර්ක ටික මේ විදිහට දෙපැත්තට තිය තියා විදර්ශනය කළ නිසා මම නැගිටින විටම මට මේ නුවණ පිහිටනවා. ගෙදර අම්මා කියලා සිහිවෙන විටම මට මේ සරණ එනවා. මම භාවනා කරනවා කියලා එකතැනක ඉඳගෙන මනසේ උපදින උපදින විතර්කයන්ට දෙපැත්තට පෙන්න පෙන්නා හිටියේ. භාවනා කරනවා කියලා මම මේ සිතිවිලි වලට මුකුත් කළේ නැහැ. "නුඹ කෙනෙක් සිහි කරද්දී බලපන්කො ඇත්ත " කියලා දෙපැත්ත පෙන්නන එක තමයි කර කරා සිටියේ. සති නිමිත්තේ සිටියෙත්,භාවනාවෙන් නැගිට්ට පසුවත් සිහිවෙන විට අර භාවනා කරපු නුවණමයි එයාගේ මනසට පිහිටලා තියෙන්නේ කොහොමද? මම බලන්න යන්නේ එතකොට මෙහෙම ඇත්තක්නේ පෙනෙන්නේ. කියන තැනකින් දකිනවා. මෙහෙම කාලයක් කරන්න ඉන්නවා තියෙනවා ඉන්නවා තියෙනවා කියන එක වෙනුවට විශාල වෙනසක් එයි. මේ ආයතන සියල්ල ශූණ්‍යතාවයක් පෙනෙයි. සත්ත්ව, පුද්ගල ආත්මභාවයන් ශූණ්‍යයයි. තම්ගේ මනස තුළ රාග, ද්වේශ, මෝහ, කියන නිමිති ටිකක් ඇතිවෙලා කියන එක පෙනෙයි. එහෙමනම් මම කොහොමද බාහිර ඉන්න පුද්ගලයෙක් ,කෙනෙක් ගැන සිතන්නේ? කියන එක තමන් තමන්ගෙන්ම අහන තැන දක්වාම ප්‍රශ්න කරන තැන දක්වාම අරගෙන යනවා. ගඩොල්, වැලි, සිමෙන්ති දිහා බලාගෙන මව් මළ දුක් විඳින්න තරම් මම මෝඩද? ගඩොල්, වැලි, සිමෙන්තියෙන් හැදුණු බිත්තිය ඇසුරුකරගෙන තියෙන චිත්‍රය දිහා බලාගෙන මව ලෙඩවූ දුක විඳින්න තරම් මම මෝඩද, ඕකට සමානයි එහෙමනම් කුණුප කොටස් ටිකත් ඇසුරු කරගෙන ගඩොල්, වැලි , සිමෙන්තියෙන් සැදුණු ,තියෙන වර්ණ සටහන දිහා බලාගෙන මව් මළ දුක විදින්න තරම් මෝඩද? පියා මළ දුක විඳින්න තරම් මම මෝඩද කියලා උත්තරයක් එයි. මේකට කියන්නේ යෝනිසෝමනසිකාරය කියලයි. ඔහොම කරන විට කරනවිට බාහිරෙන් ඉන්නවා තියෙනවා කියන හැඟීම ටික ටික අඩුවෙනවා. අඩුවෙන්න අඩුවෙන්න මෙහි සිතිවිලිත් තොරතෝංචියක් නැතිව, කෙළවරක් නැතිව එකිනෙකා ගැන සිහිවෙමින් සිහිකරමින් උපදින මෙන්න මේ මනසේ ගතිය ටික ටික අඩුවෙනවා. මේක අඩුවෙන්න අඩුවෙන්න දුක හොඳට පිරිසිඳ දකිනවා. දුක පිරිසිඳ දකින්න දකින්න සමුදය දුරු වෙනවා. මේ විදිහට කරද්දී මේ සිතෙනකම තමන් තුළම සන්සිඳීමට පත්වෙනවා. සිත, කය දෙක පිනවාගිය අතිශය ප්‍රමෝධමත් තැනකට එනවා. අනේ අවිද්‍යාව නමැති කෝෂයෙන් එළියට එන්න පුළුවන් වුණා නේද කියලා.

එයා දකිනවා මේ මුලු ලෝකයම අවිද්‍යාව තුළ නේද ඉන්නේ? තමන්ගේ මනස තුළ කෙනෙක්ව සිහිකරගන්නවා. මේක සිතේ පවතින සමුදය සත්‍යය. රාග, ද්වේශ, මෝහ කෙලෙස් ගුලිය කියලා පෙන්වන්නේ නැහැ. ඒ හින්දා මේ කෙලෙස් ටික උදව්කරගෙන බලන්න යනවා කියන දුක් වූ ස්කන්ධ ටික උපදවා ගන්නවා.



ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය
මාන්කඩවල සුදස්සන හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජනවාරි 16 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment