Labels

Saturday, January 30, 2016

හම්බකළ යුතු ශ්‍රේෂ්ඨතම ධනය ශ්‍රද්ධාවයි


ගෞතම බුදුපියාණන් වහන්සේ මුණ ගැසුන ආලවක යක්ෂයා උන්වහන්සේගෙන් ඉතාම වැදගත් ප්‍රශ්න කිහිපයක් විචාරනු ලැබූ බව බෞද්ධ සාහිත්‍ය තුළ ආලවක සූත්‍රයේ සදහන් වෙයි. ආලවක යනු යක්ෂයෙක්ද? නැතහොත් යක්ෂ ගෝත්‍රය නියෝජනය කරනු ලැබූ ඉතාමත්ම බුද්ධිමත් පුද්ගලයෙක්ද? යන්න ආලවක විචාරනු ලැබූ ප්‍රශ්න දෙස බැලීමේදී ප්‍රශ්නාර්ථයක් ද මතු නොවනවාම නොවේ.
යම්කිසි ආකාරයක දාමරික ජීවිතයක් ඔහු ගෙව්වා විය හැකි වුවද, බුද්ධ්මත් අයෙකු නොවූූවා නම්, එවැනි ආකාරයේ ප්‍රශ්න විචාරීමක් කළ නොහැකියි. කිං සුධ විද්ධං පුරිසස්ස සෙටිඨං පුද්ගලයකුට හම්බ කළහැකි වටිනාම ධනය කුමක්ද? යන ප්‍රශ්නය ඇසීමට ආලවක යක්ෂයා කෙතරම් බුද්ධිමත් විය යුතුද?
ද්වේෂ චරිත , බුද්ධි චරිත බවට පත්වෙන බවත්, රාග චරිත ශ්‍රද්ධා චරිත බවට පත්වන බවත්. මෝහ චරිත විතර්ක චරිත බවට පත්වන බවත් විසුද්ධි මාර්ගයෙහි සඳහන් වෙයි. රාග චරිතයාගේ ස්වභාවය ඇලීම වැඩි වීමයි. ඇලීම වැඩි පුද්ගලයා තුණුරුවන් වෙත ඇලෙන විට එය ශ්‍රද්ධාව මිස රාගය නොවේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ශ්‍රී සද්ධර්මය පිළිබඳව, උතුම් මහා සංඝයා පිළිබඳව ඇතිවන ඇලීම ශ්‍රද්ධාව වෙයි. රාගය නොමැති පුද්ගලයන් තුළ ශ්‍රද්ධාව නොවැඩේ. රාගය අඩු ද්වේෂය බහුල චරිත තුළ ශ්‍රද්ධාව අඩුවේ. කාන්තාව සාපේක්ෂව ශ්‍රද්ධාව වැඩි චරිත වන අතර, පිරිමි ශ්‍රද්ධාව අඩු චරිත බව සාපේක්ෂව සිතිය හැකියි. පිරිමියාගේ මනස රළු නිසාම තර්ක කරමින් එම කාරණාව පිළිබදව සිතමින් ගැටීම පිරිමින්ගේ ස්වභාවය වුවද, පිරිම්න්ට සාපේක්ෂව කාන්තාවන්ගේ මනස මෘදු ස්වභාවයක් ගනී. එම නිසාම කාන්තාව ශ්‍රද්ධා චරිත වීම සාපේක්ෂව ආසන්නවශයෙන් පිරිමින්ට වඩා වැඩි වෙයි. රාගය බහුල ඇලීම් වැඩි කාන්තාව පමණක් බව ඒ තුළින් අදහස්් නොකරයි. පිරිමියාට වඩා සාපේක්ෂව ගැහැනිය එකිනෙකාට ඇලීම වැඩි වේ. දරුවන් කෙරෙහි දැඩි ඇලීමක් ඇතිවන්නේත් කාන්තාව තුªළයි. ගෙදරක යම්කිසි භාණ්ඩයක් කැඩී බිඳී ගිය විට එය පිරිමියාට වඩා සාපේක්ෂව වැඩියෙන් ගැහැනියට දැනෙන අතරම සාපේක්ෂව පිරිමියාට වඩා ගැහැනිය ඥාති සබඳතා පවත්වනු ලබයි. ඇලීම යමිකිසි ආකාරයක මානසික ස්වභාවයක් වේ. ඇලීම වැඩි වීම තුළින් උපදින ශ්‍රද්ධාව නිසා නිවන් මඟට පිවිසීමේ දොරටුව විවර වේ. ඇලීම අයහපත් පැත්තට ගමන් කළහොත් ඒ තුළ අභිජඣාව හට ගනී. අභිජඣාව යනු විෂම ලෝභය වන අතර ඇලීම වැඩි පුද්ගලයා හෝ තැනැත්තිය අන්සතු දේ සඳහා ඇලීමක් ඇතිකර ගතහොත් කාම මිත්‍යාචාරය, හොරකම, බොරුකීම, ප්‍රාණඝාතය සිදුකරනු ලබයි. එම ඇලීම අයහපත් කාරණාවක් නොවන අතර, එය යහපත්ද, අයහපත්ද යන්න තීරණය වනු ලබන්නේ ඇලීම සිදුවන්නේ කුමක් සඳහාද? යන්න තෝරා ගැනීම තුළය.
නරක දේට ඇලීමක් ඇති වූවිට ඔහු හෝ ඇය අපායගාමී වේ. එම ඇලීමම බුදුරජාණන් වහන්සේ වෙත ,ශ්‍රී සද්ධර්මය වෙත මහ සඟරුවන වෙත ඇලීමෙන් ඔහු තුළ ශ්‍රද්ධාව වර්ධනය වීමෙන් බුද්ධිය අවධි වී ඥානය වර්ධනය වී කෙලෙස් අඩුවෙන ක්‍රමයක් වේ.
රාගය හොඳ යහපත් වගේම රාගයේ අයහපත් පැතිද ඇති බව අප තේරුම් ගත යුතුයි. රාගය අන්තිමටම භයානක අයහපත් තත්වයක් බව ඇතැමුන් සැලකුවද, රාගය ඇතැම් විට යහපත් දෙයක් වන අතරම ඇතැම් අවස්ථාවල එය අයහපත් කාරණාවක් ද වේ. රාගය යහපත් නිසා ශ්‍රද්ධාව උපදින අතර, රාගය අයහපත් නිසාම අභිජඣාව හෙවත් විෂම ලෝභය උපදියි. සෑම චෛතසිකයකම යහපත් හා අයහපත් ස්වභාවයන් දෙකම පවතින නිසා එය මුලින්ම උදුරා දැමිය යුතු බවත් ඒ සඳහා කෙලෙස් ප්‍රහීණ කළ යුතු බවත් බුදුපියාණන් වහන්සේ වදාරා ඇත.
රාගය නිසා පින් කරන්නා සේම, රාගය නිසා පව්ද කිරීමට පෙළඹේ. පුඤ්ඤ පාප පහීණස්ස පිනයි,පවයි දෙකම දුරු කළ තැනැත්තා රාගය ඉක්මවනු ලැබුවාව,ූ රහතන් වහන්සේ වේ. රහතන් වහන්සේ ක්‍රියා සිත් මිස පින් සිතිවිලි ඇති නොවේ. රහතන් වහන්සේ හොඳ හා නරක ඉක්මවා ඇති බැවින් ,උන්වහන්සේ පින් නොකරන අතරම පව්ද කරනු නොලබයි.
දරුවන්ට ආදරය දැක්වීම රාගයේ යහපත් පැත්තක් නිසාම දරුවන්ට හොඳට උගන්වමින් දරුවන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමට පෙළඹේ. දරුවන්ට ආහාර පාන සපයා දෙමින් දරුවන් රෝගී වුවිට බේත් හේත් පොවමින් දරුවන් ආරක්ෂා කිරීම රාගය තුළ පවතින යහපත් පැතිවේ.
දරුවන්ට තිබෙන ඇලීම නිිසාම දරුවන් ජනප්‍රිය යැයි සැළකෙන උසස් පාසලකට ඇතුළත් කර ගැනීමේ චේතනාවෙන් අසත්‍ය ආකාරයෙන් ව්‍යාජ උප්පැන්න හැදීම රාගය තුළ පවතින අයහපත් බවයි. රාගය යහපත් වගේම රාගය අයහපත් බව අප අවබෝධ කොට ගත යුතුයි. මෙම චෛතසිකයන් තුළ යහපත වගේම අයහපතත් පවතින නිසාම එම චෛතසිකයන් ප්‍රහීණ කළ යුතු බවට බුදුපියාණන් වහන්සේ වදාරා ඇත.
ද්වේෂ චරිතවල ස්වභාවය සාපේක්ෂව ගැටීම බහුල වීමයි. පිරිමි මනස සාපේක්ෂව ගැටුම වැඩියි. ද්වේෂ චරිත සහිත කාන්තාවන් නැති බව එයින් ප්‍රකාශ නොවේ. ද්වේෂ චරිත සිහිත කාන්තාවන් අඩු වුවද සාපේක්ෂව පිරිමින් වැඩි වේ. ගැටෙන සුළු ද්වේෂ චරිත බහුල වශයෙන් පිරිමියා සතුවේ. ආලවක යක්ෂයාත් පිරිමියෙක් වූ නිසාම ද්වේෂ සහගත චරිත ස්වභාවයක් පෙන්නුම් කරනු ලබයි. ද්වේෂ සහගත චරිත ස්වභාවයක් ඇති පුද්ගලයන් කායිකව ගැටීමක් ඇතිකර ගනු ලබන්නේ මානසික ගැටීමක් තිබෙන නිසයි. පිරිමින් තුළ මානසික ගැටීම වැඩියෙන් දක්නට ලැබේ. ගැටි ගැටී ගොස් එම කාරණාව කුමක්ද? වශයෙන් නිවැරැදිව දැනගන්නා තුරු පිරිමියා තුළ ඉස්පාසුවක් නැතිවේ. සාමාන්‍ය ජීවිතය තුළ පිරිමින් ප්‍රශ්න හමුවේ ගැටි ගැටී යන ස්වභාවයක් පෙන්නුම් කළ ද, කාන්තාව ඒ සදහා කාලය මරම්න් කල්ගතකරමින් ඉන්නා ස්වභාවයක් පෙන්නුම් කරනු ලබයි.ආලවක යනු එවැනිි ද්වේෂ සහගත චරිත ස්වභාවයක් සහිත වූ අයෙකි. ද්වේෂ චරිත සහිත පුදුගලයන් බුද්ධිමත් චරිත ස්වභාවයක් පෙන්නුම් කරයි. යමි දෙයක් කියූ ආකාරයටම පිළිනොගෙන ඒ පිළිබඳව සිතමින් ඒ හා ගැටි ගැටී ප්‍රශ්න අසමින් තර්ක කරමින් සත්‍යය සොයා යාම ද්වේෂ සහගත චරිතවල ස්වභාවය වේ. ආලවක ද්වේෂ චරිතයක් නිසාම බුදුපියාණන් වහන්සේ මුණ ගැසුන විගසම උන්වහන්සේ සමඟ ගැටීමේන් ජයගත නොහැකි බව වටහාගත් ආලවක බුද්ධියෙන් තම සටන මෙහෙයවනු ලැබීය. තමාගේ ජයග්‍රහණය ලැබීමට ගත්ත තීරණයේදී ආලවක පළමුවෙන්ම කිං සුධ ච්ත්තපුරිසස්ස සෙටිඨං යනුවෙන් බුදුපියාණන් වහන්සේගේන් විමසා සිටියහ. එවිට සද්දීධ ච්ත්තං පුරිසස්ස සෙටිඨං යනුවෙන් බුදුපියාණන් වහන්සේ පිළිතුරු දෙනු ලැබුවේ ශ්‍රද්ධාව පුද්ගලයකු සතු වූ වටිනාම ශ්‍රේෂ්ඨ ධනය ලෙසයි . ද්වේෂ චරිතයක් වූ ආලවකටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ ඔබට පූර්ණ අවබෝධය අවශ්‍ය නම්, ,ඔබ තුළ ශ්‍රද්ධාව ගොඩනගා ගත යුතු බවයි. ද්වේශ චරිත කිසිවක් පිළිගැනීමට හෝ පුහුණුවීමට අකැමැත්තක් දක්වන අතර ඔහු ගැටී ගැටී ඒ පිළිබදව නිවැරදි තොරතුරු සොයා යයි. ඇතැමි කාරණා වටහාගැනීම සඳහා තිබෙන එකම ක්‍රමය ශ්‍රද්ධාවයි. උදාහරණ වශයෙන් සතර අපායෙන් තිරිසන් අපාය හැර අනෙකුත් අපායවල් වටහා ගැනීමට නම්, ශ්‍රද්ධාව තිබිය යුතුයි. නිරි සතුන් පිළිබදව ප්‍රකාශ කළාට බුදුපියාණන් වහන්සේ පිළිබදව පවතින විශ්වාසය නිසා එම කාරණා මනසට ගොඩ නැගුණද බුදුපියාණන් වහන්සේ පිළිබදව අප තුළ සැකයක් පවතී නම් එය පිළිනොගනී. ප්‍රේතයෝ පිළිබදව, අසුරයන් පිළිබදව කරුණු සදහන් කරනු ලැබුවද ශ්‍රද්ධාව නොමැති අයෙකුට ප්‍රේත ලෝක, අසුර ලෝක, නිරය පිළිබඳව අවබෝධයක් ඇති නොවේ.
බුදු දහමේ තිබෙන කාරණා අනුව දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සතර අපාය අවබෝධ වෙන්න නම්, කරන කර්මවල විපාක එනවා කියන එක අවබෝධ වෙන්න නමි. ශ්‍රද්ධාව තිබිය යුතුමයි. අප අයහපත් ක්‍රියාවක් කරල ටික කලක් ගත වන විට අප කරා අයහපත් විපාකයක් ලැබුණ හොත් අප පෙර කරනු ලැබුවාවූ අයහපත් ක්‍රියාව ඉතා ඉක්මනින් අපගේ මනසට නැගෙයි. එම විශ්වාසය අපගේ මනස තුළ ගොඩ නැගෙන්නෙම බුදුපියාණන් වහන්සේ පිළිබඳව තිබෙන්නාවූ විශ්වාසය නිසාමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට නොතිබුණා නම්, තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අප තුළ නොතිබුණා නමි, තමන් පෙර කරනු ලැබුවා වූ අයහපත් ක්‍රියාවක ප්‍රතිපලයත් තමන් කරා පැමිණ ඇති බවට කිසි ලෙසකින් වත් පිළිනොගනී. ඒ තුළ විශ්වාසය ගොඩනැගෙන්නේම ශ්‍රද්ධාව තිබේ නමි පමණයි. ශ්‍රද්ධාව නොමැතිව නිවන් මාර්ගයට පිවිසීමට අපහසු බව ඔබ වටහා ගත යුතුයි. නිවන් මඟට පැමිණීමට නම්, එම අරිය පර්යේෂණ මාර්ගයේ ගමන් කිරීමට නමි, බුදුපියාණන් වහන්සේගේ උතුම් ලොවිතුරා බුද්ධත්වය පිළිබදව අල්පමාත්‍ර හෝ සැකයක් හටගනු ලැබුව හොත් ඒ මොහොතේ පටන් අප නිවන් මගින් බැහැර වුවන් වෙයි. එම ශ්‍රද්ධාව නමැති ධනය ඔබ තුළ උපදවා ගත යුතු බවට බුදුපියාණන් වහන්සේ පළමුවෙන්ම ආලවකට දේශනා කරනු ලැබීය.සද්ධා ධනං යනුවෙන් සෘජුව දේශනා කරනු ලැබුවේ ඒ නිසයි.
සාමාන්‍ය ගෘහ ජීවිතයකට වුවත්, විශ්වාසය නමැති ධනය තිබිය යුතුයි. විශ්වාසය නැති වූ විට ගෙදරක සැමියාට බිරිද පිළිබඳව, බිරිඳට සැමියා පිළිබඳව, අම්මාට, තාත්තාට දරුවන් පිළිබඳව, දරුවන්ට අම්මා, තාත්තා පිළිබඳව, නැන්දම්මාට ලේලිය පිළිබඳව , ලේලියට නැන්දම්මා පිළිබඳව විශ්වාසය නොමැති වූ විට එම ගෙදර ඉදිරිය කරා ගමන් කිරීම නවතී. චෝදනා කරගැනීම්, හා ගැටුමි නිර්මාණය වීම ඒ ගෙදර තුළ ගොඩනැගෙයි. ශ්‍රද්ධාව නොමැති තැන සමඟිය නිර්මාණය වන්නේ නැත. එකමුතු කම නොමැති නිසාම තීන්ුදු තීරණ ගනිද්දී ඉතාම දුෂ්කර තත්වයක් නිර්මාණය වේ. ගෙදරක සාර්ථකත්වයටත් තිබිය යුතු ප්‍රධානම දේ ශ්‍රද්ධාවයි. ආවාහ විවාහ කටයුතු කිරීමේදත් සම ශ්‍රද්ධා තිබෙනවාද? යන්න බැලිය යුතු බවට බුදුපියාණන් වහන්සේ වදාරනු ලැබ්වේ ද ඒ හේතුව නිසාම වේ. දෙපාර්ශ්වය තුළම විශ්වාසය එක සමාන විය යුතු බව ප්‍රකාශ වනුයේ තුණුරුවන් පිළිබඳව ශ්‍රද්ධාව ඇති පුද්ගලයා තුළ හැඳියාව සදාචාරය සංවරකම ගොඩනැගෙන අතර වංචාව කපටිකම තෘෂ්ණාව මසුරුකම මර්ධනය වේ. බුදුපියාණන් වහන්සේ වදාරනු ලැබූ ශ්‍රද්ධාව වෙනුවට වර්තමාන විවාහ කටයුතු තුළ සොයා බලනු ලබන්නේ වෙනත් කරුණු කාරණාය. ගෙදරකට අවශ්‍ය වන්නේ ශ්‍රද්ධාව මිස මුදල් නොවේ. මුදල යනු දෙවන කාරණාවකි. මානසික කාරණාව හෙවත් අධ්‍යාත්මික කාරණාව ශ්‍රද්ධාව මිස මිල මුදල් නොවේ. 
815 ට පෙර සිංහල ජාතිය, සඳහා විවාහ සහතික නොතිබු අතර එම විවාහය පැවතුනේ ශ්‍රද්ධාව මත පමණයි. විශ්වාසය පදනම් කරගෙන විවාහ වූ දෙදෙනා විශ්වාසයෙන් ජීවත් වුණා. මේ කුල කුමාරිකාවන් මේ කුල කුමාරවරුන් විවාහ වන තෙක් බ්‍රහ්මචාරීව ජීවත් වන බවත්,විවාහ වූවාට පසු පරදාර සේවනයට හෝ පරපුරුෂ සේවනයට යන්නේ නැති බවට ධර්මය තුළින් ගොඩනැගෙන විශ්වාසය මතයි. දරුවන් පිරිසුදුව හදා වඩා ගැනීමේ කාර්යයේදී උභය පාර්ශ්වයම ඒ සඳහා වගකීම ගනු ලැබීය. එවැනි ආකාරයෙන් හැදුනු වැඩුණුු කුල සමඟ විවාහ වීමට කිසිම බියක් පැවතුනේ නැහැ. ශ්‍රද්ධාවෙන් ජීවත් වනවා නම්. විවාහ සහතික අවශ්‍ය වන්නේ නැහැ. එම නීතිමය ලියැවිල්ල දික්කසාද වීමේදී තමාට හිමි විය යුතු නීතිමය ප්‍රතිපාදන ලබාගැනීම සදහා මිස ජීවත් වීමට අවශ්‍ය වටිනා ලියවිල්ලක් නොවේ. වර්තමාන විවාහ ජීවිත තුළ ප්‍රශ්න ගැටළු බහුල වීමත් සමඟ විවාහ සහතිකය ඉදිරියට ඇදෙන වාර ප්‍රමාණය වැඩි වෙමින් පවතී. කාන්තාව හා පුරුෂයා ඔහු හෝ ඇය සමඟ මැරෙන තුරා එකම වහලක් යට ජීවත් වන බව විශ්වාසය අතීතය තුළ ගොඩ නැගී පැවතුනේ බුදු දහමෙන් වර්්ධනය වී තිබු ශ්‍රද්ධාව නිසයි. බුදු දහමෙන් උපදවන ලැබූ ශ්‍රද්ධාව නිසා ගොඩ නැගණු ගිහිකම අපට නීති තුළින් රැකගැනීමටවත් නොහැකි තත්වයට පත්වෙලා තිබෙනවා. එම ශ්‍රද්ධාව මත පදනමට විවාහ ජීවිත ගෙවූ කාලය තුළ දරුවන් කෙතරම් ප්‍රමාණයක් එම පවුල් සංස්ථාව තුළ ගොඩනැගුණද වර්තමානය වන විට දික්කසාද ප්‍රමාණය වැඩි නිසාම විවාහ සහතිකයට ලොකු බලයක් ලැබී තිබුණද පවුල් සංස්ථාව තුළ දරුවන් දෙදෙනෙකුට සීමා වී පවතී. ශ්‍රද්ධාවට බලය පැවරී තිබුණ පවුල් සංස්ථාව තුළ ළමා ලපටීන් අවම වශයෙන් දහය ඉක්මවා යන පරිසරයක් නිර්මාණය වී පැවතුණි.
මිනිසුන් තුළ තුණුරුවන් පිළිබඳව ශ්‍රද්ධාවට වඩා සැකය පවතින නිසාම වර්තමානය තුළ මිනිසුන් නිවන් දකින්නේත් මාර්ගඵල ලබන්නේත් නැත. බහුතරයක් මිනිසුන් කල්පනා කරමින් ඉන්නේ සම්මා ආජ,ීව, සම්මා වාචා, සම්මා කම්මන්ත සමඟ දියුණු වීමට නොහැකි බව ට මිනිසුන් තුළ විශ්වාසයක් ගොඩ නැගී පවතී. කුමන හෝ පුදුගලයකු යම් මටිටමක තත්වයකට දියුණු වී සිටින විට එය දකින අනෙකුත් පුද්ගලයන් ඒ පිළිබඳව කරනු ලබන විවේචන දෙස බලන විට එය පැහැදිළි වේ. හොද නිවසක් ගොඩ නගාගෙන, වටිනා වාහනයක් පාවිච්ච් කරනවා දකින විට ඒ දකින ඇතැම් පිරිස් ප්‍රකාශ කරනු ලබන්නේ එය සාධාරණ ආකාරයෙන් උපයන ලද ඒවා නොවන බවටය. සම්මා ආජීවයෙන් කිසිලෙසකින්වත් දියුණු වීමට බැරි බවට වර්තමානය තුළ අදහසක් ගොඩ නැගෙමින් පවතී. ඔහු හෝ ඇය යහපත් නම්, දියුණු නැත. දියුණු නම් යහපත් නැත. වර්තමාන සමරජය තුළ පවතින ශ්‍රද්ධාව එයයි. මෙම රට තුළ උදාවෙමින් පවතින්නේ ඉතාම භයානක තත්වයක්. අප එක එක පුද්ගලයන් පිලිබඳව විෙවිචන කරන විට ඊළඟ පරම්පරාව අපගේ කටින්ම ඒ අයගේ කනට එම තොරතුරු ලබාගනී. අවුරුදු පහළොව දහසය වන විටම ඊළඟ පරම්පරාව කල්පනා කරනු ලබන්නේ, අපට ඔය නීත්‍යානුකූල ක්‍රමය හරියන්නේ නැති බවයි. අසවල් මාමලා ගංජා විකුණලා දියුණු වු බවත් , අසවල් නැන්දා කුඩු විකුණා ජීවත් වූ බවත් ගෙදර තුළ දි අම්මා ප්‍රකාශ කරන අවස්ථා දරුවන්ගේ කනට ඇසී ඇත්තේ එවැනි ආකාරයෙනි. බහුතරයක් සුඛෝපභෝගී ජීවිත ගතකරන්නේම යහපත් වැඩ කරල නොවන බව දරුවා තුළ අදහසක් ගොඩ නැගෙනු ඇත. එවැනි පරිසරයක් පිළිබඳව කතා කරන අම්මලම දරුවන් ඉගෙන ගත යතු බවට ප්‍රකාශ කරනු ලබයි. දෙමාපියන් විසින් දරුවන් උභතෝකෝටිකයක් මැද තනිකර ඇත. දියුණුවෙන මාර්ගය වෙන මඟක් බව ප්‍රකාශ කරන අම්මා දරුවන්ට ඉගෙන ගත යුතු බවටද ප්‍රකාශ කරනු ලබයි. අපගේ ජාතිය දියුණු වීම සදහා කෙටි මාර්ග සොයා යාමට පුරුදු වී සිටී. සම්මා ආජීවයෙන් අඛන්ඩව වීර්ය කරලා අඛන්ඩව නිවැරදිව ජීවත් වීමෙන් ලබන ජයග්‍රහණය පිළිබඳව විශ්වාසය හා එම ක්‍රමවේදය පිළිබඳව විශ්වාසයක් නැත. අවුරුදු විසිපහ වන විට ගෙවල් දොරවල් ගොඩනගා අවසන් කළ යුතු බවත්, වාහනයක් ගත යුතු බවත් යන සංකල්ප අපගේ මනසට ගොඩ නැගී ඇත. ගෙවල් දොරවල් ගොඩනගා යාන වාහන මිලදී ගෙන ලීසිං ඉවර වුණාට පසුව සිදුකළ යුතු විවාහයක් පිළිබදව අප තුළ අතීතයේදී පැවතුනේ නැත. විශ්වාසයෙන් විවාහ වන දෙදෙනා ක්‍රමයෙන් ටිකෙන් ටික දියුණුව කරා ගමන් කිරීමේ ක්‍රමවේදයක් පැවතුණි. වර්තමානය තුළ එය ප්‍රතික්ෂේප කිරීම මෙම විනාශයට මූලික හේතුවක් වේ අප හම්බකරනවා නම්,අපට අවශ්‍ය වන්නේත් ආලවකට දේශනා කරනු ලැබූ ශ්‍රද්ධාවමයි. ශ්‍රද්ධාවන්තයා කෝටි ගණන් මුදල් හම්බකරනු ලැබුවත් බිය විය යුතු නැත. ශ්‍රද්ධාවන්තයා මුදල් හම්බ කිරිම සදහා යොදාගනු ලබන්නේ සම්මා ආජීවයයි. මුදල් රැකගැනීම සඳහා යොදාගනු ලබන්නේ සම්මා වාචා මිස මිච්ජා වාචා නොවේ . සම්මා කම්මන්ත මිස මිච්ජා කම්මන්ත පාවිච්ච් කරන්නේ නැත. ශ්‍රද්ධාව ධනය බවට පත් වූ ගමන් ඔහු එම ධර්මානුකූල පදනමේ පිහිටල දියුණුවේ. ගිහිකමට අදාල වන දියුණුව සොයාගැනීමට නම් ශ්‍රද්ධා ධනය තිබිය යුතුයි. නිවන් දැකීමට අවශ්‍ය නමි එතනදීත් ශ්‍රද්ධා ධනය තිබිය යුතුයි. ශ්‍රද්ධාව හමිබකරගත යුතු ශ්‍රේෂ්ඨම ධනය බව තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ආලවකට දේශනා කරනු ලැබුවේ ද ඒ හේතු නිසාම බව ඔබ මුලිකවම අවබෝධ කරගත යුතුයි.

කසීභාරද්වාජ සුත්‍රයේදී බුදුපියාණන් වහන්සේ වදාරනු ලබන්නේ නිර්වාණය අස්වැන්න නම්, ඉන්දවිය යුතු බීජ ශ්‍රද්ධාව බවයි. සද්ධා බීජං ශ්‍රද්ධාව නමැති බීජ වැපිරිය යුතු බව . ශ්‍රද්ධාව නමැති බීජ වපුරන්නේ නැතිව නිර්වාණය නමැති අස්වැන්න ලබාගත නොහැකි වේ. ඔබ තුළ නිවැරැදි ශ්‍රද්ධාව ඇති කර ගත යුතුයි.බුදුපියාණන් වහන්සේ පිළිබඳව , ධර්මය පිළිබදව , මහ සඟරුවන පිළිබඳව කර්මය පිළිබදව කර්ම ඵලය පිළිබඳව ඔබ තුළ සැකයක් ඉපදීමට ඉඩ තබන්න එපා. ඒ පිළිබඳව සැකයක් උපදිනවාය යනු ඔබගේ ජීවන ක්‍රªමය සම්පූර්ණයෙන්ම වෙනස් වීමකට භාජනය ෙවි. ලොවිතුරා බුදුරජාණන් වහන්ස් රහසින්වත් පව් නොකළ සේක. යන්න පිළිබදව අප තුළ විශ්වාසයක් නැතිනමි, අප රහසින්වත් පවිනොකර ඉඳීමට කිසිදු උනන්දුවක් ඇතිකර ගන්න එකක් නැහැ. බුදුපියාණන් වහන්සේ රහසින්වත් පව් කළේ නැත. උන්වහන්සේ සැනසිල්ලේ ජීවිතය ගත කරනු ලැබුවේ රහසින් වත් පවි නොකළ නිසා බවට ඔබ විශ්වාස කරන හැම මොහොතකම ඔබගේ ජීවිතයේ රහස් වැඩ ක්‍රමයෙන් අඩුවේ. බුදුන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බවට සැක හැර විශ්වාසයක් ගොඩනැගීමෙන් පමණයි එම සැනසිල්ල ඔබට ලඟාකර ගත හැකි බවට ඔබ තුළ විශ්වාසයක් ගොඩ නැගෙන්නේ. එනිසා ශ්‍රද්ධාව ඔබේ ධනය වගේම ඔබේ පදනම ද විය යුත්තේ ශ්‍රද්ධාවයි. ඔබ හම්බකළ යුතු ශ්‍රේෂ්ඨතම ධනය ශ්‍රද්ධාවමයි.

හබරකඩ ආර්ය නිකේතන භික්ෂු පුහුණු මධස්ථාන නිර්මාතෘ 
ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජනවාරි 16 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment