සැවැත්නුවර එක්තරා තරුණයකු බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කර උන්වහන්සේගේ දර්ශනය අවබෝධකොට ගෙන තමනුත් පැවිදි වී නිවන් මඟට පිවිසීම සුදුසු බව සිතා ඒ පිළිබඳව කල්පනාව ඇතිකර ගනු ලැබුවා.
එම කල්පනාව ඇතිකරගත් තරුණයා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වු ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන දුර පළාතකට වැඩම කර බණ භාවනා කරනු ලැබුවා.
උත්සාහය, ධෛර්යය , වීර්යය, කැපකිරීම නිසාම නොබෝ කලකින්ම උන්වහන්සේ රහත්භාවයට පත්වුණා. සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේ නමක් රහත්භාවයට පත්වූවාට පසුව තමන් වහන්සේ අරහත් තත්ත්වයට පත්වුණාය යන කාරණය බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩම කර ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන සිරිතක් තියෙනවා. නමුත් කවරදාකවත් රහතන් වහන්සේ නමක් තමන් රහතන් වහන්සේ නමක් කියලා, වෙන කිසිදු අයෙකුට ප්‍රකාශ කරන්නට යන්නේ නැහැ.
ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට නොයනවා පමණක් නොවෙයි, ඒ පිළිබඳව අඟවන්නවත් යන්නේ නැහැ. වෙනත් අයෙකු ලවාවත් තවත් අයෙකුට ප්‍රකාශ කරවීමටවත් උත්සාහ කරන්නේ නැහැ. රහත් වුණ භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේගේ රහත්භාවය අනෙකුත් පිරිසට අඟවන්න උත්සාහ කරන්නේ නැහැ. එසේ ඇඟවීමට නොයන්නේ, ශිල්පය දන්න කිසිවකු තමන් ශිල්පය දන්නවාය කියලා ප්‍රකාශ කරන්න යන්නේ නැති නිසා.
ශිල්ප දැක්විය යුතු ස්ථානයක ශිල්ප දක්වනු විනා තැන තැන ප්‍රකාශ කරමින් සතුටු වන මානසිකත්වය වෙනත් තත්වයක්. මෙම රහතන් වහන්සේ වුවත්, කල්පනා කරනු ලැබුවේ එවැනි ආකාරයකට, තමන් වහන්සේගේ මහ රහත් බව කොයි කාටවත් ප්‍රකාශ කරන්න යන්නේ නැති වුවත්, අඟවන්නේ නැතත්, බුදුරජාණන් වහන්සේට නම්, දැන්විය යුතුය, යන කාරණාව අනෙකුත් හාමුදුරුවරු සිතුවා වගේම එම ස්වාමීන් වහන්සේත් සිතුවා. එසේ සිතල බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දෙව්රම් වෙහෙර විහාරයට වැඩම කිරීමට පිටත් වුණා. තනි මඟ වන ගහන අතරින් තිබුණ මාර්ගය දිගේ උන්වහන්සේ පා ගමනින්ම වැඩම කරනු ලැබුවා.
මහරහතන් වහන්සේලා වුවත්, රළු බොරලු කටුක පාරවල්වල වුවත් ඇවිදගෙන ගොස් තිබෙනවා. උන්වහන්සේ මේ ආකාරයෙන් මාර්ගය දිගේ වඩින අතරතුර ඒ අසළ ගමක අඹුසැමි යුවලක් අතර නොගැලපීමක් තිබිල තියෙනවා. හැමදාම ගෙදර රණ්ඩුවක් හෝ කුමන ආකාරයේ හෝ ප්‍රශ්නයක් පැන නගින අතරතුර ගැටුමක් ඇතිවෙනවා.
සැමියා නිවස තුළ නොමැති අවස්ථාවක ගෙදරින් පිටත්වෙලා දෙමාපියන්ගේ ගෙදර යායුතු බව බිරිඳ කල්පනා කරනු ලැබුවා. ස්වාමිපුරුෂයා සමඟ තවදුරටත් ජීවත්වීමට අපහසු බව සිතා ගෙදර යා යුතු බවට සිතිවිල්ලක් ඇතිකර ගත්තා. සැමියා වෙනත් කාර්යයක් සඳහා ගෙදරින් නික්මුණාට පසුව මෙම බිරිඳ තමන්ගේ බඩුබාහිරාදිය රැගෙන ගෙදරින් පැනලා ගියා. ඒ යන මඟ ඉදිරියෙන් රහතන් වහන්සේ නමක් වැඩම කරනු ලැබුවා. මෙම කාන්තාව පාලු පාරක තනිවම ගමන් කිරීම සුදුසු නැති බව සිතලා , ඉදිරියෙන් රහතන් වහන්සේ වැඩම කරන අතරතුර උන්වහන්සේ, පසුපසින් කාන්තාව ගමන් කළා .
මේ ආකාරයට මාර්ගය දිගේ මේ දෙදෙනාම ගමන් කරනු ලැබුවා. තමා පසුපසින් ගමන් කරන්නා වූ කාන්තාව පිළිබඳව රහතන් වහන්සේ දැනගෙන සිටියේ නැහැ. උන්වහන්සේ ඒ පිළිබඳව උනන්දුවකින් බැලුවෙත් නැහැ. උන්වහන්සේ තමන් ලබපු රහත්බවට සම්බන්ධ භාවනාවකින් මාර්ගය දිගේ වැඩම කළා. මිස වට පිට පරිසරය පිළිබඳව අවධානයක් තිබුණේ නැහැ.
පිටුපසින් ගමන් කරන කාන්තාවට ඉදිරියෙන් වැඩම කරන රහතන් වහන්සේ දක්නට ලැබෙනවා. එම ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක්ය කියන කාරණාව එම බිරිඳ දැනගෙන සිටියෙත් නැහැ. ඒ පිළිබඳව දැනගැනීමේ ක්‍රමයක් තිබුණෙත් නැහැ වගේම ඇයට ස්වාමීන් වහන්සේ පිළිබඳව අමුතු ආකාරයේ සිතිවිල්ලක් තිබුණෙත් නැහැ. තනිවම යන මඟ දෙදෙනකු යාම සුදුසු බවට සිතා ගැනීමත්, ගැහැනු කෙනෙකුට මෙම වනගහන පරිසරයේ තනිවම ගමන් කිරීම සුදුසු නැහැ යන සිතිවිල්ල නිසා මෙම ගමනේ යෙදුනා. සැමියා ගෙදර පැමිණි අවස්ථාවේ බිරිඳ ගෙදර සිටියේ නැහැ. බිරිඳ ගෙදර නොසිට බිරිඳ ගියේ කොහේ ද කියලා සැමියා වටපිටාවෙන් තොරතුරු විමසා බැලුවා.
බිරිඳ තම දෙමාපියන්ගේ ගෙදර ගිය බවට සැමියාට දැනගැනීමට ලැබුණා. බිරිඳ ගිය ගමනට සැමියා කැමැති වුනේ නැහැ. අඹු සැමි දෙදෙනා අතර කෙතරම් අඬදබර තිබුණත්, ගෙදරින් පිටවෙලා යෑම පිළිබඳව සැමියා තුළ මනාපයක් තිබුණේ නැහැ. ඒ නිසාම බිරිඳ කරපු ක්‍රියාව පිළිබඳව හොඳටම කේන්ති අරගෙන බිරිඳ සොයාගෙන ගියා. තම බිරිඳ සොයාගෙන පාර දිගේ ගමන් කරන සැමියාට දක්නට ලැබුණේ, පිරිමි අයෙකු ඉදිරියෙන් යන ආකාරයත්, ඒ පිටුපසින් තමන්ගේ බිරිඳ ගමන් කරන ආකාරයත් ඔහුට මේ රහතන් වහන්සේ නමක්ය යන හැඟීමවත් තිබුණේ නැහැ. කේන්තියෙන් සිටි සැමියාත් බිරිඳ දැකපු ගමන් බිරිඳට දොස් කීමට පටන් ගත්තා. සිද්ධිය මොකක් ද කියලා නිවැරැදිව හරියට තේරුම් බේරුම් කරගන්නේ නැතිව තමන්ගේ බිරිඳ සමඟ යන්න කියලා එම ස්වාමීන් වහන්සේට දොස් කියන්න පටන් ගත්තා.
ඒ කාලය තුළත් එවැනි සැමියන් සිටියා. තමන්ගේ බිරිඳ නිවැරදිව හදාගන්නේ නැතිව පන්සලේ හාමුදුරුවන්ට දෝෂාරෝපණය කරන අය ඕනතරම් සිටිනවා. ස්වාමින් වහන්සේ ඒ කිසිම කාරණාවක් ගණන් ගනු ලැබුවේ නැහැ. එම සිදුවීම් එකක් පිළිබඳවවත් කල්පනා කිරීමට ගියේ නැහැ. තමන්ට අරමුණක් තිබෙන නිසා එම අරමුණෙන් ඉදිරියට වැඩම කළා මිස සැමියා කේන්තියෙන් බිරිඳට කියන වචන පිළිබඳව සැලකිල්ලක් දැක්වූයේ නැහැ. හාමුදුරුවන් දෙව්රම් වෙහෙරට වැඩම කරනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ සමීපයට වඩින විට, උන්වහන්සේ පාර දිගේ වැඩම කරනු ලැබූ අවස්ථාවේ විඳිනු ලැබූ පීඩාවේ ස්වභාවය බුදුරජාණන් වහන්සේටත් පෙනුණා. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව විමසූ විට සිදුවූ සිදුවීම උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනු ලැබුවා.
එම සිද්ධිය සිදුවන අවස්ථාව තුළ ඔබ කේන්ති ගත්තා නේද? යනුවෙන් බුදුරජාණන් වහන්සේ විමසන විට නෑ බුදුහාමුදුරුවනේ, මට කේන්ති ගියේ නැහැ යනුවෙන් පිළිතුරු දෙනු ලැබුවා. තරහක්, නොමනාපයක් දැක්වුවෙත් නැහැ. වගේම ඒ පිළිබඳව සැලකිල්ලක් ආවෙත් නැහැ . හාමුදුරුවන් මේ ආකාරයට බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙන විට මේ හාමුදුරුවන් වහන්සේ රහතන් වහන්සේ නමක්ය යන කාරණාව ඇඟවීම සඳහා මෙසේ පිළිතුරු දෙන බවට අනෙකුත් ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කරනු ලැබුවා.
කේන්ති නොයාමත් තරහක් හෝ නොමනාපයක් ඇති නොවීමත් රහත්භාවයට පත් වූ බවට කරන ඇඟවීමත් බවට සෙසු ස්වාමීන් වහන්සේලා කතා වුණා. මෙම ස්වාමීන් වහන්සේට තමන් වහන්සේ රහතන් වහන්සේ නමක් බව ඇඟවීමට අවශ්‍ය හැකි බව බුදුරජාණන් වහන්සේ අනෙකුත් ස්වාමීන්වහන්සේලාට පැහැදිලි කරනු ලැබුවා. උන්වහන්සේ සත්‍ය වශයෙන්ම රහත්ඵලය ලබපු උතුමෙක් බවත් උන්වහන්සේ දේශනා කරනු ලැබුවේ සත්‍ය කාරණා බවත් බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම් අවසානයේ පැහැදිළි කරනු ලැබුවා.
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ උඳුවප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජනවාරි 09 වනදා සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment