දීඝජානු කෝලිය පුත්‍රයා අරබයා ඉහත සූත්‍රය දේශනා කරන ලදහ. එහිදී දීඝජානු බුදුරදුන්ගෙන් විමසනුයේ ලෞකික ජීවිතය ගතකරන පුද්ගලයන් දෙලොව දියුණුව සලසා ගනිමින් සමබරව තම ජීවිත කෙසේ පවත්වා ගන්නේද යන්නයි. ඊට පිළිතුරු ලෙස උන්වහන්සේ දෙලොවට වැඩදායි කරුණුූ 08 ක් දේශනා කරති. ඉන් කරුණුූ 04 ක්ම මෙලොව සැප පිණිස දේශනා කිරීම සුවිශේෂීය. අධ්‍යාත්මික දියුණුව විෂයෙහි මෙලොව ක්‍රියාකාරකම් ඉවහල් වන අයුරු මෙහිදී පළමුකොට පැහැදිළි කෙරේ. මෙලොව අරමුණු යහපත්ව ඉටුවන පරිසරයක් තුළ සංසාරික ප්‍රාර්ථනා ඉටුකර ගත හැකිය.
සාර්ථක ගෘහජීවිතයක් සඳහා ඉටුවිය යුතු කාරණා 04 කි.
1.උට්ඨාන සම්පදා
2.ආරක්ඛ සම්පදා
3.කල්‍යාණමිත්තතා
4.සමජීවිකතා
අධ්‍යාත්මික ජීවිතය මෙන්ම සසර යහපත් වීමට අවශ්‍ය කරුණු 04 කි.
1.සද්ධා 2.ශීල 3.චාග 4. ප්‍රඥා
මෙලොව දියුණුව ඇතිවීමට නම් උත්සාහය වීර්ය අවශ්‍යය. කම්මැලි කුසීතයෙකුට මෙලොව ජයග්‍රහණ ඇතිවන්නේ නැත. අත්තකාර සූත්‍රයේදී පමණක් උත්සාහයේ පියවර 06 ක් දක්වා ඇත්තේද එහෙයිනි. සියල්ල තමන්ට පින වාසනාව මතම ලැබේයැයි සිතනුයේ කම්මැලියන්ය. කම්මැලියාගේ ස්වභාවය දැක්වීම සඳහා බුදුදහම කුසීත වස්තු 08 ක් දක්වා එය ගැරහීමට ලක්කොට ඇත. උත්සාහය මෙන්ම හැකියාව හෙවත් කුසලය වයස් භේදයකින් තොරව බාල මහලු හැමෝටම තිබියයුතු ගුණයකි. මනා සංවිධානයෙන්, මනා ක්‍රියාකාරිත්වයෙන් හා අවස්ථාවට උචිත නුවණ මෙහිදී උත්සාහය ලෙස විස්තර වේ. මෙහිදී සුදුසු දේ පමණක් සිදු කිරීම දේශනා කර ඇති අතර නුසුදුසු දෑ සම්බන්ධයෙන් ඇතිවන උත්සාහය වැදගත් නොවේ.උත්සාහයේදී තිබිය යුතු ගුණාංග කිහිපයක් සූත්‍රයේදී මෙසේ විස්තර වේ.
1.දක්ඛෝ – දක්ෂ වීම
2.අනලසෝ – අනලස්වීම
3.තත්‍රෑපාය වීමංසාය – තැනට සුදුසු නුවණ
4.අලංකාතුං – සුදුසු දේ කිරීම
5.අලංසාංවිධාතුං – මනාව සංවිධානය වීම
උත්සාහය ලෙස අරුත්ගන්වන්නේ මේ සියල්ලමය. යමෙකු මෙම ගුණයන්ගෙන් යුක්ත නම් ඔහුට මෙලොව ලද නොහැකි ජයග්‍රහණයක් නැත. සැරියුත් හිමියන් පවා කම්මැලියෙකු කුසීතයෙකු දකින්නටවත් කැමති නැති බව දේශනා කළේද උත්සාහයෙන් තොර දෙලොව දියුණුවක් නැති නිසාවෙනි. තම ජීවිත ප්‍රතිපදාව සකසා ගැනීමේදී ස්ථානෝචිත ප්‍රඥාව හෙවත් තැනට සුදුසු නුවණ අවශ්‍යය. සෑම කාර්යකදීම එක හා සමානව තීන්දු තීරණ ගත නොහැකිය. අවස්ථාවට උචිත විය යුතුය.එසේ නොවන්නේ නම් දියුණුවක් ඇති නොවේ. ඍජු විය යුතු තැන එසේ විය යුතු මෙන්ම මෘදු විය යුතු තැන එසේ විය යුතුය. උපාය කෞෂල්‍ය දෙලොව අභිවෘද්ධිය විෂයෙහි අත්‍යවශ්‍යය. මෙම සූත්‍රයේදී “තත්‍රෑපාය විමංසාය” යන්නෙන් අවධාරණය කරන්නේ එම තත්වයයි. විශේෂයෙන් සමබර ජීවිතයක් සකසා ගැනීමේදී ඒ ඒ අවස්ථාවට උචිතව කටයුතු කළ යුතුමය.
සුදුසු දේ සිදු කිරීම මෙහිදී “අලංකාතුං” ලෙස විස්තරවේ. සෑම පුද්ගලයෙකුටම ජීවන දර්ශනයක් අවශ්‍යය. එහිදී සුදුසු නුසුදුසු දේ හෙවත් සරු නිසරු දේ තෝරාගත යුතුය. සුදුසු දෑ ක්‍රියාත්මක කරමින් නුසුදුසු දෑ බැහැර කිරීමට වගබලා ගැනීම බුද්ධි ගෝචරය. ජීවත්වීමේදී සුදුසු නුසුදුසු බව තීරණය වන්නේ එයින් ඇතිවන විපාක හා ආනිසංස මතය. කෙසේ හෝ කොහොම හෝ තමන් මෙලොව පහසුකම් ලැබීම සුදුසුනොවේ. තමන් අනුභව කරනවා මෙන්ම තවත් බොහෝ පිරිසකට ප්‍රතිලාභ ලැබිය යුතු බව සිතිය යුතුය.ආත්මාර්ථකාමීව සම්පත් අපතේ යවමින් කිසිදු අරපිරිමැස්මකින් තොරව පරිභෝජනය කිරීම මනා සංවිධානය නොවේ. මනාසංවිධානය නම් අනාගත පරපුරට මෙන්ම අනෙක් සහෝදර ජනයාටද යමක් ඉතිරි කිරීමයි. “අලං සංවිධාතුං” ලෙස විස්තර වන්නේ එම ස්වභාවයයි. සංවිධානයේ දී සැලකිල්ලට ගන්නේ එක් අංශයක් පමණක් නොවේ. මනා සංවිධානයක් ඇතිවීම තුළ සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් ඵලදායිතාවක් අපේක්ෂා කළ හැකිය. ඉහත දැක්වූ මෙම කාරණා මනාව සම්පූර්ණවීම තුළ යහපත් දියුණුවක් අරපිරිමැස්මක් අපේක්ෂා කළ හැකිය. ඒබව මෙම සූත්‍රයේ තවදුරටත් විස්තර වේ. මෙය උත්සාහයේ අඩංගුවිය යුතු ප්‍රධාන ලක්ෂණයෝය.
මෙහිදී “ආරක්ඛසම්පදා” යනු ලැබූ භෝගයන් ආරක්ෂා කිරීමයි. අරපරිස්සම් සහගත නොවීම වස්තුවේ වටිනාකම හඳුනා නොගැනීම. ගින්නෙන් ජලයෙන් හා ස්වභාවික විපත් නිසා භෝග සම්පත් විනාශ වේ. අයථාලෙස අනවශ්‍ය ලෙස උපයන භෝගයක් නම් රාජසන්තක විය හැකිය. එහෙයින් වඩා වැදගත් වන්නේ උපයන දෑ සුරක්ෂිත කරගැනීමයි. ආරක්ෂාව සම්පත්තියක් ලෙස දක්වන්නේ එහෙයිනි. උපයන ලද භෝගයන් විනාශ වන අපාය මුඛ හතරක් ඇති බවද මෙහිදී අවධාරණය වේ .එම ධන විනාශ මුඛ මෙසේය.
ස්ත්‍රීන්ට ලොල්වීම, සුරාවට ලොල්වීම
සූදුවට ලොල්වීම, පවිටු මිතුරන්ගේ ඇසුර
සූදුවට ලොල්වීම, පවිටු මිතුරන්ගේ ඇසුර
බුද්ධිමතා විසින් මෙම කාරණා හතර පිළිබඳව සැලකිලිමත් විය යුතුය.එසේ නොවන්නේ නම් උපයන භෝග ඇස්පනාපිටම විනාශයට පත්වේ.
සමබර ජීවිතයකට යහපත් මිත්‍ර ආශ්‍රය අතිශයින් වැදගත්ය. යම් හෙයකින් පාපමිත්‍රයන් ජීවිතයට සමීප වුවහොත් එම ජීවිත අන්තගාමි විය හැකිය. එහෙයින් දියුණුව අපේක්ෂා කරන්නන් විසින් හොඳ නොහොඳ පෙන්වා දෙන කල්‍යාණ මිත්‍රයන් තම ආශ්‍රයට ගත යුතුය.සැමවිටම පාපමිත්‍රයන් බැහැර කිරීමට කටයුතු කළ යුතුමය. ඔවුන් දෙලොව අයහපත පිණිස පවතිනවා මිස යහපත පිණිස නොපවතී.
අයවැය තුලනය කරගනිමින් ජීවත්වීම “සමජීවිකතා” නම්වේ. මෙහිදී ලැබීම සහ වැයවීම බුද්ධිමත්ව කළමනාකරණය කරගත යුතුය.අධිපරිභෝජනය හා නොකා නොබී එකතුකිරීම යන අවස්ථා දෙකම බුදුදහම ප්‍රතික්ෂේප කරයි. ලැබෙන දෙය පරිභෝජනය නොකර ඉතිරිකිරීම මෙහි දක්වනුයේ ‘අජද්ධූමාරිකා’ වශයෙනි. එනම් නොකා නොබී මිය යාමයි. සම්පත් අවශ්‍ය වන්නේ පාවිච්චිකිරීමටය. අවශ්‍යතා තිබියදී භාවිතා නොකිරීම යහපත් නොවේ. ලැබෙන දෙයට වඩා වැඩි ප්‍රමාණයකින් අනවශ්‍ය ආකාරයට පරිභෝග කරමින් සම්පත් අපතේ යැවීම මෙහිදී “උදුම්බරබාදිකා” ලෙස විස්තර වේ. එනම් අතුකපා දිවුල් කන්නා හා සමානව සම්පත් පරිභෝග කිරීමයි. මෙම අවස්ථා දෙකෙන් ඉවත්ව සිදුකරන පරිභෝජන රටාව මෙහිදී සමජීවිකතා ලෙස විස්තරවේ. අය වැය තුලනය කරගනිමින් පැවතීම සෑම අතින්ම ශ්‍රේෂ්ඨය.
සමබර ජීවිත සකසා ගැනීමේදී භෞතිකය මෙන්ම අධ්‍යාත්මයද සමබර විය යුතුය.මෙම අංශ දෙකෙහිම සමබරතාව සඳහා මෙහිදී කරුණු 04 ක් සඳහන් කරයි. මෙහි ශ්‍රද්ධාව යනු තුනුරුවන් පිළිබඳව මෙන්ම සහෝදර ජනයා සතා සිව්පාවා ගහකොළ පිළිබඳ ඇති හැඟීමයි. එවැනි හැඟීමක් ඇතිවිට සෑම අංශයකම සාමකාමි පරිසරයක් බලාපොරොත්තු විය හැකිය. කායික, වාචසික සංවරය සීලයයි. කටින් පිටකරන දේ මෙන්ම කටින් තම බඩට දාගන්න දෑ සම්බන්ධයෙන් සැලකිලිමත් වීම වාචසික සංවරය වේ.මෙම දෙඅංශය පිළිබඳ ඇති අනවබෝධය නිසා බොහෝ ගැටලු අපහසුකම් මතුවේ. බොහෝ ලෙඩ රෝග හා දාගන්නා ලෙඩ ලෙස අප හඳුන්වන කරදරයන්ට පත්වනුයේ වාචසික සංවරය නැති නිසාවෙනි. තමාට මෙන්ම තම පරිසරයට සමස්ත මානව ප්‍රජාවට හානි නොපැමිණවීම කායික සීලයයි. කය සංවර නොවීම නිසා බොහෝ ව්‍යසන ඇතිවේ. තමා උපමාකොට ගනිමින් අනෙකාට හිංසා නොකර සමස්ත පරිසරයට යමෙකුට ආදරය කළ හැකි නම් එය කායික සංවරයයි.
බෙදා හදාගෙන පරිභෝජනය කිරීම තමා ගැන පමණක් නොසිතීම අනෙකා විෂයෙහි පරිත්‍යාගශීලිවීම චාගයයි. එකිනෙකා උදෙසා කළ යුතු යුතුකම් මේ යටතට ගැනේ. අපෙන් සමාජයට පරිසරයට ඉපදුන රටට ඉටුවිය යුතු සේවාවන් සමූහයකි. එය නොපිරිහෙළා ඉටුකළ යුතුය. චාගයෙන් තොර අන්‍යෝන්‍ය පැවැත්මක් නැත. මෙය ජීව අජීව පරිසරයටම පොදු වූවකි. ප්‍රඥාව යන්නෙන් යථාවබෝධය අර්ථවත් වේ. ඇත්ත ඇති සැටියෙන් නොදකිනතාක් දියුණුවක් නැත. ඇත්තේ පරිහානියකි. ලෝකයේ සත්‍ය දෙකක් තුනක් නැත. ඇත්තේ එකක් පමණි. එය මනාව තේරුම් ගෙන කටයුතු කළ යුතුය.මහපොළොවේ යථාර්ථයට මුහුණදිය යුතුය.මනෝලෝකවල ජීවත්වීම ඵලරහිතය.
මෙම කරුණු 08 යමෙකු නියමාකාරයෙන් තේරුම් ගන්නේ නම් සමබර අරපරිස්සම් සහිත ජීවිතයක් සකසා ගැනීම අපහසු නොවේ. එය රටක් වශයෙන් පමණක් නොව ලෝකයක් වශයෙන් අප ලබන ජයග්‍රහණයකි. එහි සාඩම්බර කොටස්කරුවෙකු බවට ඔබට පත්විය හැකි නම් දෙලොව දියුණුව සලසාගැනීමට එය මහගු පිටිවහලකි.
ආචාර්ය කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ උඳුවප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජනවාරි 09 වනදා සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment