Labels

Saturday, January 23, 2016

සත්‍ය කථා කිරීමද, නොකිපීමද, සුළු දෙයක් හෝ දීමද සැප ලැබීමට කරුණුය



දුරුතු පුර පසළොස්වක පෝදා දම් දෙසුම


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සච්චංභණෙ න කුජ්ඣෙය්‍ය
දජ්ජාප්පස්මිම පි යාචිතො
එතෙහි තීහි ඨානෙහි
ගච්ඡෙ දෙවාන සන්තිකෙ

පින්වතුනි.

අද ඔබ සැම වෙනුවෙන් ඉදිරිපත් කරන ධර්මාවවාදය ධම්මපදයේ ක්‍රෝධ වර්ගයේ එන ගාථවක් ඇසුරු කරමින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි. මේ ගාථාවේ තේරුම මෙසේ දැක්විය හැකිය.

“ඇත්ත කීම, කෝප නොවීම, යමෙක් යමක් ඉල්ලූවිට සුළු දෙයක් හෝ දීම,යන මේ කරුණු තුනෙන් දෙවියන්ගේ සමීපයට යන්නේය”.

මේ ගාථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටින විට මුගලන් මහරහතන් වහන්සේ මුල්කොට දේශනා කරන ලද්දකි. දිනක් මුගලන් මහ රහතන් වහන්සේ තම ඍද්ධි ශක්තියෙන් දිව්‍ය ලෝකයට වැඩම කරන ලදී. එහි දී විවිධ දෙවිවරු උන්වහන්සේට වන්දනා කිරීමට පැමිණි අතර සතුටු සාමීචියෙන් අනතුරුව ඒ ඒ දෙවිවරුන් දිව්‍ය සම්පත් ලැබීමට සිදුකළ පින්කම් මොනවාද? යන්න අසා දැනගන්නා ලදී. පසුව දිව්‍ය ලෝකයේ සිට නැවත ජේතවනාරාමයට වැඩම කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ වෙත එළඹ “ ස්වාමිනි, ඇත්ත කී පමණෙකින් , කෝප නොවීමෙන්, තිඹිරි, කැකිරි, පලා ආදි සුළුදෙයක් දුන් පමණෙකින් කෙනෙකුට දිව්‍ය සම්පත් ලැබිය හැකි දැයි විචාළ සේක. බුදුරජාණන් වහන්සේ එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් “එසේය, හැකිය “යි වදාරා මේ ගාථාව වදාළ සේක.

රහත්භාවය පිළිබඳ අවබෝධය ඇති කෙනෙකුට නිරතුරුව ඇති වන ප්‍රශ්නය නම් මුගලන් මහරහතන් වහන්සේට මේ කරුණ පිළිබඳ දැනීමක් නැද්ද යන්නයි. මුගලන් මහ රහතන් වහන්සේ එම කරුණු සහ එහි විපාක හොඳින් දනිති. නමුත් දම්සභාවේදී අනිත් අය නො දන්නා, සාමාන්‍ය ජනතාවට යහපතක් ඇති කරන ධර්ම කරුණක් ඉදිරිපත් කිරීමෙන් බුදුරජාණන් වහන්සේට එදින අල්පශ්‍රැතයින් සඳහා වැඩදායි යමක් ඉටුකළ හැකිය යන පරාර්ථ චේතනාවෙන් මෙබඳු ප්‍රශ්න අසන බව පෙනේ.

බුදුරජාණන් වහන්සේගේ දේශනා නිර්වාණය ඉලක්ක කරගත් දේශනාවන් බව පෙන්නුම් කරයි. එහෙත් විටින් විට ඉන් බැහැරව පොදුවේ සියලු දෙනාට යහපත සිදුවන, පුරුදු පුහුණු කළ හැකි ධර්ම විග්‍රහයන් උන්වහන්සේ විසින් දේශනා කර ඇත. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් කරුණු පොදුවේ ඕනෑම භක්තිකයෙකුට ප්‍රයෝජනවත් වන, ආගමික ස්වරූපයෙන් තොරව අනුගමනය කළ හැකි ධර්ම කරුණුය. මේ සූත්‍රයේ මතුකරන ධර්ම කරුණු තුන ද ලෝකයේ ඕනෑම අන්‍යාගමිකයෙකුට වුවද අනුගමනය කළ හැකි ධර්ම කරුණු තුනකි.
සත්‍ය ප්‍රකාශ කිරීම සත්පුරුෂ සමාජ ලක්ෂණයකි. වචනය කායික ක්‍රියාවකට වඩා පුද්ගල චර්යාවේ තදින් බලපාන මාධ්‍යයකි. වචනය කායික ක්‍රියාවක ප්‍රතිඵලයට වඩා මිනිස් සන්තානයේ දිගු කල් රැඳෙන මතක සටහනකි. කායික සටහනකට වඩා වාචසික සටහන දිගු වේලාවක් පවතින අතර එය තුන් කාලයට අයත් සිදුවීම් එළිකරන, විවිධ දිසාවන්ට වාදවිවාද ගෙන යන බලවේගයකි. සත්‍යගරුක බව ශික්ෂණයේ ප්‍රබල පැතිකඩක් පෙන්වයි. කෙනෙකු සත්‍ය ගරුක වන විට තව කෙනෙකු මුළාකරන ප්‍රකාශවලින් බැහැර කරවයි. පරිභව ප්‍රකාශවලින්, අස්ථාන අනර්ථ, නොවටිනා ප්‍රකාශවලින් බැහැර කරවයි. මේ තුළින් වචනය සංවර කරගත හැකිය. සමාජ පිළිගැනීම ලබාගත හැකිය. ගැටුම්වලින් ආරක්ෂා කරගත හැකිය.

කෝප නොවීම, ශාන්තිකර ධර්මයකි. කෝපවීම කර්ම දෝෂයකින් එනම් පුරුද්දක් නිසා ඇති විය හැකිය.ආත්ම අභිමානය නිසා ඇතිවිය හැකිය. දෘෂ්ටියක් නිසා ඇති විය හැකිය. අලාභයක් නිසා ඇතිවිය හැකිය. කායික රෝගයක් නිසාත්, මානසික ආතතියක් නිසාත් ඇති විය හැකිය. කෝපවීම නිසා ඇතිවන ප්‍රතිඵල හානිකර දායක වේ. විවිධ කායික රෝග ඇති කරවයි. මානසික රෝග ඇතිකරවයි. ධන හානි ඇති කරයි. සමාජයේ දෝෂ දර්ශනයට පත්වේ. පිළිගැනීම නැති කරයි. මිතුරන් අඩුවේ. සතුරන් වැඩිවේ. තනතුරු පිරිනැමීමට මැලිවෙයි. සමාධි ශක්තිය ඇති නොවේ. නිවනින් ඈත් වේ. කෝපය නැති කළ හැක්කේ ඉවසීමෙන් පමණි. මේ සඳහා සතිය විමර්ශනය අධිෂ්ඨානය අවශ්‍ය වේ. තමාට අයත් සිත දෙස නිරතුරුව බලන්නේ නම් කෝපය ඇති වන අවස්ථාව දැකිය හැකිය.කෝපය ඇති කරවන කරුණ මධ්‍යස්ථ සිතින් භාරගත් විට කෝපය නැති වේ. අලාභය බාරනොගන්නා විට කෝප වේ. අනෙකුත් මත පැවතිය හැකි යැයි භාරගත් විට කෝප නොවේ. ඕනෑම කෙනෙකු ඕනෑම රෝගයකට පත්විය හැකි බව බාරගත් විට කෝපය ඇති නොවේ.ආතතිය ඇතිවන හේතුව භාරගෙන එයට පිළියම් යෙදීමෙන් කෝපය ඇති නොවේ. මේ චින්තන ක්‍රමය කලක් පුරුදු කිරීමෙන් සාමන්‍ය චින්තන රටාවෙන් බැහැර විය හැකිය. පුරුද්දක් නිසා ඔබ කෝපවන්නේ නම් එවිට සිත වෙන අරමුණකට ගෙන යන්න. වෙන ක්‍රියාවක් සිදුකරන්න,දීර්ඝ ආශ්වාසයක් සහ ප්‍රශ්වාසයක් පස්වතාවක් සිදුකරන්න. ඉන් කෝපය පහව යයි.

ඉල්ලන කොට සුළු දෙයක් හෝ දීම හොඳ පුරුද්දකි. ත්‍යාග සම්පත්තිය කුමක්ද? යන්න විස්තර කරන බුදුරජාණන් වහන්සේ එය මසුරුමල පහකිරීම ලෙසට හඳුන්වයි. මසුරුකම හැමවිටම අපගේ සිත් තුළ ක්ලිෂ්ට සිතිවිලි නිර්මාණය කරන අතර ඒ නිසාම කෙනෙකු අපායගාමී බවට පත්කරයි. මේ නිසා වොස්සග්ගරත දන්දීමට කැමති, යාචයෝග යමක් ඉල්ලීමට හැකි, පයතපානී දන්දීමෙන් පිරිසුදු දෑත් ඇති, කෙනෙකු බවට පත්වීමට උත්සාහ ගන්නා ලෙසට අවවාද කර ඇත. කෙනෙකුගේ කායික පෙනුම ඔහුගෙන් යමක් ඉල්ලීමට හැකිද? යන්න ප්‍රකට කරයි. මේ කායික පෙනුම කාලාන්තරයක් දන් දීමෙන් ඇති කරවන ප්‍රතිඵලයකි. කෙනෙක් යමක් ආයාචනා කිරීම දේව ආශිර්වාදයක් ලෙසට සලකන්න. එය පින් කිරීමට අවස්ථාවක් උදා කිරීමකි. එයද පූර්ව පිනට සිදුවන්නකි. මේ කරුණු ගැන ගැඹුරින් හිතන්න. ලැබුණු මේ දුර්ලභ අවස්ථාව මඟ නොහරින්න.ගුණධර්ම පෝෂණය කරන්න. මේ නිසා ඔබට මේ භවය තුළම තෘප්තිමත්ව ජීවිතය ගත කළ හැකිය.පරලොව ජීවිතය සුගතිගාමී කළ හැකිය. මේවා නිර්වාණය අවබෝධ කරගන්නට අවශ්‍ය පූර්වකෘත්‍යයක් කළ හැකිය.

සියලු දෙනාට සියලු යහපත සැලසේවා.





කැලණි රජමහා විහාරාධිපති
කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය 
කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජනවාරි 23 වනදා සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment