Labels

Friday, January 22, 2016

දුක පිරිසිඳ දැකීම



සම්මා දිට්ඨිය නැත්නම් දැක්ම නිවන් දකින්න , බණ භාවනා කරන්න යන ක්‍රමය හොඳට හදා ගන්න. ඔන්න මෙතනයි අපට අවශ්‍යම කාරණාව. මෙතනමයි අවශ්‍යම යතුර. මම පෙන්වන විශේෂම කාරණාවක්. නිවන් දකින්න, භාවනා කරන්න කියලා කරන්නේ අවශ්‍ය වන්නේ කුමක්ද කියන එක හොඳට දකින්න. දුක පිරිසිඳ දැකල, සමුදය දුරු කළ යුතුයි. මට ඕනෑ විදිහට තණ්හාව නැති කරන්න බැහැ. දුක පිරිසිඳ දැකලා, සමුදය දුරු කරලා, නිරෝධය සාක්ෂාත් කළ යුතුයි කියලා, මෙන්න මේකයි සම්මා දිට්ඨිය කියලා දැක්කා. ඉස්සෙල්ලාම සත්‍ය ඥානය , ඊට පස්සේ කෘත්‍ය ඥානය, කළයුතු වැඩසටහනක් තියෙනවා. ඔන්න දැන් මේ සත්‍ය දැනගත්තට පස්සේ දැන් මාර්ගය වඩන්න හම්බවෙන්නේ කොහොමද?

භාවනා කරන්න හම්බවෙන්නේ කෙසේද කියලා බලමු. දුක පිරිසිඳ දත යුතුයි; සමුදය දුරු කළ යුතුයි; නිරෝධය සාක්ෂාත් කළ යුතුයි; මේ විදිහට කරන එක වැඩිය යුතුයි. මඟ වැඩිය යුතුයි. එවිට හැමවිටම සමුදය නැත්නම් තණ්හාව දුරු කිරීමට ක්ලේශය අයින්කළ යුත්තේ කෙසේද කියන පිළිතුර ආවා නේද? කොහොමද ආවේ? දුක පිරිසිඳ දැකීම තුළින් සමුදය දුරු වෙන්නට ඕනෑ කියන උත්තරයක් ආවේ. එහෙමනම් අපට ආපු උත්තරය කුමක්ද? සම්මා දිට්ඨියේදි චතුරාර්ය සත්‍යයේදී ඇත්ත ඇති හැටියෙන් විපරිත නොවී බලන එකයි. ඒ කිව්වේ දිට්ඨිය මඟ වඩද්දී සම්මා දිට්ඨියට හසුවෙන්න ඕනෑ. දුක් වූ ස්කන්ධ ටික නිසා තමන් තුළ පුද්ගලභාවයක්, ක්ලේශයක් ඇතිවෙලා තියෙනවා කියන එක තේරෙන්න ඕන. මේ ක්ලේෂය දුරු කරන්න තියෙන්නෙ, දුක නූපදවන්න තියෙන්නේ , නැති කරන්න තියෙන්නේ දුක පිරිසිඳ දැකලයි කියන නුවණ තියෙන්න ඕන.
එහෙම මම මතක් කළේ පින්වතුන්ට තනියම ගෙදර සිටිනවිට කෙනෙක් සිහිපත් කරන්න පුළුවන්. සිහිපත් කරද්දී වෙනද වගේ පිහිටක්, පිළිසරණක් නැති අනාථ වූ මනසක් යම්සේද , එසේ සිතිවිලි සිතමින් නිමිත්ත තුළ යන්න එපා. ක්ෂණිකවම චතුරාර්ය සත්‍ය සිහිපත් කර ගන්න. නාථව, සරණක් ඇතිව වාසය කරන්න. අපි කියමු, ඔය පින්වතුන් පැත්තකට වෙලා ඉන්නකොට තමන්ගේ යාළුවා කියලා හෝ වෙනත් පුද්ගල නිමිත්තක් සිහිවෙන විට, සිහිකර ගන්න විට වෙනද වගේ මේ නිමිත්ත සිහිකරගෙන, “අනේ එයා හරි හොඳයි කියලා ලෝභය , ද්වේෂය, මෝහය තුළ සිතිවිලි ගොන්නක් අරගෙන යන්න එපා. එහෙම නැත්නම් එයා අපට තේ එකක්වත් දුන්නේ නෑ කියලා ද්වේශය ඇතිකරන්න සිතන්නේ නැතිව, මෙන්න මේ සිතට නිමිත්තක් සිහිවෙද්දීම පින්වතුන්ට චතුරාර්ය සත්‍ය පෙනෙන්න ඕනෑ. මට මේ සිහිකරන්න පුළුවන නිමිත්ත”කෙනා” කියලා. හාමුදුරුවෝ කිව්වේ මේක සමුදය සත්‍ය කියලා. මේ නිමිත්ත සිහිකරගන්න මට මනසෙ මෙහෙම හැකියාවක් ඇති කරපු, ඇත්තමට එතන තිබුණ රූපය කියලා බාහිරයටයි යන්නේ. මේ මනස තුළ ඇති වූ නිමිති විදර්ශනා කරන්නේ නැහැ. දුක පිරිසිඳ දැකලා නේද මේ සමුදය දුරු කරන්න 

තියෙන්නේ. තමන්ගේ යාළුවා කියලා සිහිකරද්දීම මේ සිහිකරන්න පුළුවන් නිමිත්ත ඇතිකරපු ඇස, රූපය (චක්ඛු විඤ්ඤාණය) දැන් නිරුද්ධ වෙලා බොහෝකල් නේද, කියලා බලන්න. පින්වතුන්ට එහෙම නිරෝධයට කියලා මේ නිමිත්ත අතහරින්න තාම සවියක් නැත්නම් ඇත්තටම මගේ යාළුවා කියලා සිහිකරද්දිත්, කන, බොන, ආහාරයෙන් සැදුණු කෙස්,ලොම්,නිය , දත් ,සම්, මස් ආදී කුණුප කොටස් ටිකක් තියෙන තැනක පිහිටලා තිබුණ වර්ණ සටහන ඇස් ඉදිරිපිටට එද්දී මෙන්න මේ නිමිත්ත හදා ගත්තා. සිහි කරගත්තා නේද කියලා බලන්න. ආපසු හැරිලා බලද්දී අතීතයේදීවත් තමන්ගේ යාළුවා, පුද්ගලයා ඉතිරිවෙලා නැතිවෙන්න ඕන. වැල්ලේ ඇවිදින්න. හැබැයි, අඩි සටහන් සිටින්නේ නැති විදිහට. අඩි සටහන් තිබුණොත් තව කෙනෙකුට, මාරයාට මේ පින්වතුන් ගියතැන් හොයාගෙන එන්න පුළුවන්. මේ පින්වතුන් නැවත හැරිලා බලන්න. අතීතය පිරිසුදු කරන්න. මකලා දාන්න. ඉස්සරහට ගියා. පිටුපස්සට හැරෙන විට අඩිසටහනක් තිබ්බා. මකලා දාන්න. තව කෙනෙකුටත් එන්න බැරි වෙන්න. තමන්ගේ යාළුවා කියලා සිහිවෙනවා. සිහිවෙනවිට සිහිවෙන තැන නොවෙයි, ආපස්සට හැරිලා අඩි හිටපු එකයි හදන්න ඕන. පා සටහන් සිටින එකයි හදන්න ඕන. කෙනෙක් එහි සිටියා කියන මෝඩකම අයින් කරන්න. ඇත්තටම මට කෙනෙක් කියලා සිහිකරන්න පුළුවන්කම තියෙද්දිත්, සිහි කරද්දිත් මේ වගේ සිහිකරන්න පුළුවන් නිමිත්ත හදාගත්ත තැන රූපයක් තිබුණානම් කන, බොන, ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකක් තිබුණා නම් ඒ ටික ඇසුරු කරගෙන තිබුණු වර්ණ සටහන ඇස් ඉදිරිපිටට එද්දී මම මයි මේ පුද්ගලයා, කෙනා කියන හැඟීම ඇතිකර ගත්තේ කියලා දකිනවා. අතීතයේදි අනාත්ම ස්කන්ධ ටික නිසා තමන්තුළ කෙනා සිහිවෙලා මිසක් කෙනා ඉන්නවා කියලා නැවත හැරී බලද්දී සිහිවෙන්නේ නැහැ. අඩි මකලයි තියෙන්නේ. තමන්ගේ යාළුවා බලන්න යන්න ඕන කියලා සිතන විටම වෙනද වගේ යනවා නෙවෙයි. බලන්න කියලා ගියාමත් කන, බොන ආහාරයෙන් හැදුණු කෙස්, ලොම්, නිය , දත් , සම් , මස් , නහර කුණුප කොටස් ටිකකින් යුක්ත තැනක වර්ණ සටහනක් ඇස් ඉදිරිපිටට එද්දී මේ දැන් කෙනා කියන හැඟීම මා තුළ යෙදෙනවා නේද? තමාම සිහිකරගන්නවා නේද? කියන ටික දකිනවා. ගිහිල්ලවත් හම්බ වෙන්න බැහැ. ඉදිරියේවත් පාරවල් තියන්නේ නැහැ. පෙර, පසු පාසටහන් ,අඩි සටහන් යන්න තැන් මුකුත් ඉතිරි කරන්නේ නැහැ. අහසේ ගමන් කරන කුරුල්ලෙකුගේ පා සටහන් නෑ වගේ අරිහත් මාර්ගයේ ගමන් කරන උතුමන්ට පා සටහන් සිටින්නේ නෑ. පා සටහන් තියන්නේ නැහැ.
එයා සිහිකරනවා සිහිකරලා යන්න හදනවිටත් දකින්නේ කුමක්ද? මම සිතන විදිහේ, දකින විදිහේ, සිහිකරන විදිහේ කෙනෙක් මට කවදාවත් බාහිරෙන් දකින්න බැහැ. ගියවිට මෙන්න මෙහෙම ඇත්තක් තියෙන තැනක මේ වගේ වර්ණ සටහනක් ඇස් ඉදිරිපිටට එයි. එවිට පුද්ගලයෙක්, කෙනා කියන හැඟීම මගේ මනසේ නේද ඇතිවෙන්නේ කියලා බලන්න. බැලුවට සිත පිළිගන්නේ නැත්නම් තමන්ට තමන්ම ටොක්කක් ඇණලා පෙන්වන්න.
කෙසේද? එහෙමනම් ගඩොල්, වැලි, සිමෙන්ති තියෙන තැනක බිත්තිය ඇසුරු කරගෙන මේ සටහන බලන්න කියලා ගියහම මගේ යාළුවා කියලා සිතෙන්නේ ගඩොල් ඇතුළේ කෙනා ඉන්න හින්දද? චිත්‍රය ඇතුළේ කෙනා ඉන්න හින්දද? කියලා අහන්න තමන්ගෙන්. එහෙමනම් මේ කෙස් , ලොම්, නිය , දත්, ඇතුළේ කෙනා ඉන්න හින්දද නැත්නම් ඒ වර්ණ සටහන කෙනා හින්දද මට කෙනා කියලා සිතෙන්නේ? එහෙමනම් බිත්තියේ තියෙන සටහනක් කෙනෙක් වෙන්න ඕන. ඇයි? මට කෙනා කියලා හිතෙනවානේ, මෙන්න මේ විදිහට තමන්ට තමන්ම තර්ක විතර්ක කරගන්න. කරලා පෙන්වන්න උඹ මෝඩ වෙන්න එපා කියන එක .
මේ විදිහට දෙපැත්තටම කෙලෙස් බර වැඩි නිසා දෙපැත්තට ටිකක් තර්ක විතර්ක කරන්න වෙනවා. මෙයා ආපසු මොනවා හරි දෙයක් සිහිවෙන විට සිහිවෙන එක අල්ලාගන්නේ නෑ. මේක සිතිවිල්ලක්, මේක විතර්කයක් ,මේක සිතේ හටගත්තේ , මේක අනිත්‍යයයි නේද? කියලා එහෙම බලන්නේ නැහැ. මේ විතර්කය එයා දන්නවා බාහිර භවය පිරිසිඳ නොදන්නාකම නිසා, ආයතන ටික පිරිසිඳ නොදන්නා අවිද්‍යාව නිසා නම් හැදුණේ අවිජ්ජා නිරොධො සංඛාර නිරොධා” අවිද්‍යාව නිරුද්ධ වුණොත් සංස්කාර නිරුද්ධ වෙනවා.
ඒ කියන්නේ මේ පින්වතුන්ට බාහිරව අම්මා , තාත්තා, දුවා, පුතා, අයියා, අක්කා කියලා බවය හැදිල තියෙන හින්දා ගොඩක් අය මෙහෙම ඉන්න හින්දයි මෙතන ඉදලා ඉන්න අය ගැන තොරතෝංචියක් නැතිව හිතන්නේ . හිතෙනවා නොවෙයි සිතෙනවා. ඔය සිතෙන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්. එහෙමනම් අවිධ්‍යාව නිසානම් සිතෙන්නේ , සිතෙන එක නැති කළා කියලා අවිද්‍යාව නැති වෙන්නේ නැහැ. උදාහරණයක් දැක්වුවොත් , “යම් අච්චුවක් නිසා කොකිස කැඩුවා කියලා අච්චුව කැඩුවා වෙනවාද? ආයතන පිරිසිඳ නොදන්නාකම නිසා මගේ යාළුවා කියලා මට සිතුණා. ඒ සිතන නිමිත්තෙන් ඒ මගේ යාළුවා නෙමෙයි නේද, කෙනෙක් නොවෙයි නේද මේක සංඥාවක් නේද ස්පර්ශයක් උපන්න දෙයක් නේද , සිතිවිල්ලක් නේද කියලා මේකෙ අනිත්‍යය බැලුවා කියලා අවිද්‍යාව නැති වුණා වෙනවද? ඒ සිතිවිල්ලේ රාග, ද්වේශ, මෝහ එන්නේ නැති වෙයි. තාවකාලිකව තැන්පත්කමක් , සන්හිඳියාවක් අවස්ථාවට ඇති වෙයි. තාවකාලිකව කෙලෙසුන්ගෙන් මිදීමක් පෙනෙයි. ආයෙත් ටිකකින් අමතක වූ ගමන් බාහිර “කෙනා” ඉන්නවා කියන තැනක පිහිටලා මනස ආයෙත් සිතන්න ගන්නවා. සිතෙන්න ගන්නවා. ඒ නිසා දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කළ යුතුයි.






ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය
මාන්කඩවල සුදස්සන හිමි








ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ උඳුවප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජනවාරි 09 වනදා සෙනසුරාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment