උඳුවප් අව අටවක ජනවාරි 02 දා පෝය දින දහම් සාකච්ඡාවේ දී කුම්මෝපම සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් කතාවේ පෙන්වා දුන් ඉන්ද්‍රියන් හි වැසූ දොර ඇතිව වාසය කරන්න. එනම්, ඇස් දෙක පියාගෙන සිටින්න කියන අදහස ද නොවෙයි. එසේ නැතිනම් ඇසෙන් රූප බලන්න එපා කියන අදහස ද නොවෙයි. කනින් ශබ්ද අහන්න එපා කියන අදහස ද නොවෙයි. නාසයෙන් ආඝ්‍රහණය ලබන්න එපා කියන අදහස ද නොවෙයි. දිවෙන් රස බලන්න එපා කියන අදහස ද නොවෙයි. කයෙන් ස්පර්ශ ලබන්න එපා කියන අදහස ද නොවෙයි. සිතින් සිතිවිලි ඇති කර ගන්නට එපා කියන අදහස ද නොවෙයි. මනුෂ්‍යයෙක් හැටියට ඉපදුනා නම් මේ ඉන්ද්‍රියයන් අපට අවශ්‍යයයි. ජීවිතය පවත්වන විට රූප, ශබ්ද ආදී ඒ ආරම්මනයන් අපට ලබන්නට වෙනවා. මෙහි දී සංකේතයෙන් සඳහන් කරන්නේ කුමක් ද?
එනම් වැසූ දොර පියන් ඇතිව වාසය කරන්න. එය මේ අදහසයි. කරුණාවෙන්, මෛත්‍රියෙන් ලෝකය දෙස බලන්න. ඔබගේ ම ජීවිතයේ යහපත පිණිස ඇස් දෙකෙන් ලෝකය දෙස බලන්න. කන් දෙකෙන් හඬට ඇහුම් කන් දෙන්න. නාසයෙන් ආඝ්‍රහණය ලබන්න. ඒ වගේ ම ජීවිත ඉන්ද්‍රිය පවත්වගන්න, කය ශරීරය පවත්ව ගන්න, දිවෙන් රස ලබන්න. කයෙන් ස්පර්ශය ලබන්න. මනසින් සිතිවිලි ඇති කර ගන්න. එහෙත් ඔය ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් රාග, ද්වේෂ, මෝහ මුල් කොටගත් පස් පව්, දස අකුසල්වලට අවස්ථාවක් සලසා දෙන්නට නම් එපා, එයයි සංකේතවත් කරන්නේ ඉන්ද්‍රියන්හි වැසූ දොර ඇතිව වාසය කරන්න යැයි දේශනා කරන්නෙ.
භාග්‍යවතුන් වහන්සේ මෙහි දී උපමාවක් දක්වනවා. එනම් නිමිති ගන්නට එපා, අනු නිමිති ව්‍යංජන වශයෙන් ගන්නට එපා යැයි අදහසක් දැක්වූවා. එය මේ වගෙයි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගන්නට නම් අවස්ථා දෙකකින් අප එය අනුගමනය කළ යුතුයි. එය නම් සම්මුතිය හා පරමාර්ථයයි. සම්මුතිය වෝහාර දේශනාව හැටියටත් දක්වනවා. පරමාර්ථ දේශනාව විදර්ශනාව හැටියටත් දක්වනවා. සම්මුතියට ඇසෙන් රුවක් දැක හෝ බලා එය ප්‍රිය යැයි, මම කැමැතියැයි කියන්න. එසේ කීවාට වරදක් නැහැ. ඔබ සද්පුරුෂ අයෙක් නම්, ගුණවන්ත, සිල්වන්ත, හැඳුනු අයෙක් නම් ඔබ යම් රුවකට කැමැත්තක් දක්වන්නේ නිවැරැදි ආකාරයටයි.
එය මෙසේයි, ධර්මානුකූල ජීවිතයක ප්‍රසන්න යහපත් ගෙයක් දොරක් හදා ගැනීම, ඇඳුමක් පැළදුමක් මිලට ගැනීම, එය ප්‍රසන්න බවට සැලකිලිමත් වීම වරදක් නොවෙයි. එයට හේතුව එයට ධනය ඔබ සොයාගත්තෙ ධර්මානුකූලවයි. ඔබ කායික වාචසික සංවරයෙන් යුක්ත සිල්වත් සද්පුරුෂ අයෙකුයි ඒ නිසා පැවැත්ම තුළ ආස්වාදයෙන් යමක සොම්නස දැකීම හා පරිහරණය කිරීම වරදක් නොවෙයි. එය සම්මුතියට කැමැති රූපයට ප්‍රිය බව පවසනවා. හරියට ගුණබර අම්මා කෙනෙක්, පියාණන් කෙනෙක් තම දරුවා දැක ගුණබර ස්වාමි දියණියක්, ස්වාමි පුත්‍රයෙක්, ඔවුනොවුන් කෙරෙහි කැමැත්ත ලෙන්ගතුකම දක්වනවා හා සමානයි. එහෙත් පරමාර්ථ වශයෙන් ඔබට අවබෝධය තිබිය යුතුයි. සම්මුතියට මම, මගේ යැයි පැවසුවත් පරම සත්‍ය වශයෙන් මේ “මම” කියන හෝ “ඔබ” කියන මේ කිසිවක් හෝ අප කිසිවක් ස්ථිර සදාකාලික නොවේ කියන අදහසයි. එනම් මේ ශරීර පුඤ්ඡය හැදී තිබෙන්නෙ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු කොටස් හතරෙන්. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාන, කියන ස්කන්ධ පංචකයේ නිර්මාණයක්. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන ආයතන ධර්මයන් පරිහරණය කරමින් ලෝකය හා සමඟ අපි ජීවිතය සම්බන්ධ වෙනවා. අපේ ජීවිතය පවත්නවා. නමුත් මේ ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත පුඤ්ඡය “උප්පාද ඨිති භංග“ වශයෙන් හට අරගෙන වෙනස්වෙමින් යමින් නැතිවෙලා යනවා. එසේ නම් සම්මුතියට මේ ශරීර පුංඡයට මම මගේ කියනවා. ස්වාමියා, බිරිඳ, දෙමව්පියෝ, දරුවෝ, ගේ දොර වශයෙන් ඔබ කියනවා. ඒ දේ මගේ කියනවා. නමුත් පරමාර්ථ වශයෙන් මේ ධාතු ස්කන්ධ ආයතන විසිරී යන විට ගිලන් වී මහලු වී මියැදිලා යනවා යැයි සඳහන් කරනවා.
මමත් ඒ වගෙයි, ඔබ කියන ස්වාමියා, බිරිඳ, දෙමාපියෝ, දරුවෝ ඒ සියල්ලත් ඒ හා සමානයි. ඒ නිසා ඇසෙන් රූපයක් දකින්න සම්මුතියේ පිහිටා මම, මගේ කියා පවසන්න, එහෙත් පරමාර්ථ වශයෙන් මම කියන මමවත් මට පාලනයක් නොවන නිසා ඔබ කියන ඒ ආරම්මනයන් හි ද තමාට පාලනයක් නැති බව නුවණින් දකින්න. ඒ අයටවත් ඒ වස්තුවටවත් එහි සැබෑ අයිතියක්, පාලනයක් නැති බව මෙනෙහි කරන්න. මේ ගැන අවබෝධයක් නැති වුණොත් ඇසේ අසංවරයට පැමිණෙනවා. කනේ අසංවරයට පැමිණෙනවා. නාසයේ අසංවරයට පැමිණෙනවා. දිවේ අසංවරයට පැමිණෙනවා. කයේ අසංවරයට පැමිණෙනවා. මනසේ අසංවරයට පැමිණෙනවා. එනම්,
චක්ඛුනා රූපං දිස්වා සුඛාය වේදනාය
ළුුට්ඨෝ සමානො අභිනන්දති
අභිවදති අජ්ඣෝසාය තිට්ඨති
ළුුට්ඨෝ සමානො අභිනන්දති
අභිවදති අජ්ඣෝසාය තිට්ඨති
ඇසෙන් රූපයක් දැක සුව වේදනාවක් හැටියට “මගේ” කර ගනිමින් එය තමාට නිමිති ව්‍යංජන වශයෙන් එකතු කර ගනිමින් එහි සතුටු වෙනවා. ඒ ගැන කියනවා. ප්‍රාර්ථනා කරනවා. එහි සිත ඔසවා තබනවා. එනම් ඒ අරමුණට සිතේ මුල් තැනක් දෙනවා කියන අදහසයි.
මෙහි දී කුමක් ද සිද්ධ වෙන්නේ. ඇස වගේ ම ඒ රූපයත් සංඛතයකුයි. කන වගේම ශබ්දයත්, නාසය වගේ ම ආඝ්‍රහණයත්, දිව වගේ ම රසයත්, කය වගේ ම ස්පර්ශයත්, මනස වගේ ම සිතිවිලිත් මේ සියල්ලම සංඛත වශයෙන් දක්වනවා. එනම් හට අරගෙන බිඳී වෙනස්වෙලා යනවා. අනවබෝධයෙන් යුක්තව එනම් සියලු සංඛත හෙවත් සංස්කාර වස්තු අනිත්‍ය, දුක්ඛ, අනත්ත, ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බවට මේ සිත පුරුදු කරන්නේ නැති නම් වූ අනවබෝධයෙන් යුක්තව ඇසෙන් රූපයක් දැක එය තමාට ගළපාගෙන නිමිති ව්‍යංජන වශයෙන් අරගෙන මම මගේය. මම වෙමි. මගේ ආත්මය කියල එනම් මට ඕන විදිහට පවතිනවාය කියන අදහසින් එය උපාදානය කරගත්තොත් එය සංඛතය වෙනස්වෙලා යන විට ඔබට ඇති වන්නේ ශෝකයයි. දුකයි. වේදනාවයි. ඒ විතරක් නෙමෙයි, අර වෙනස්වෙන රූපය නම් වූ සංඛතයට මගේය, මම වෙමි,
මගේ ආත්මය කියල සිතින් තදින් එය අල්ලගත්තොත් ඇස ළඟ සිටින මාරයා ඇසෙන් අවස්ථාවක් අරගෙන අපට වරදට පෙළඹෙන්න උදව් කරනවා. වරදට රැගෙන යනවා. රාගයට හසුකරාවි. රාගයට හසු කරන විට භික්ෂුත්වය අමතක වෙලා යාවි. මව් පදවිය අමතක වෙලා යාවි, පිය පදවිය අමතක වෙලා යාවි. ඔබගේ විවාහය අමතක වෙලා යාවි, අඩුම තරමෙ දුර්ලභව ලබාගත්ත මනුෂ්‍ය ජීවිතය පවා අමතක වෙලා යාවි. එහි දී කුමක් ද සිද්ධවන්නේ දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයටත් හානි පමුණුවාගෙන මෙලොව වශයෙන් ම මහා විපතක් සිදුවිය හැකියි. ගුණවන්තව පැවතුණ ජීවිතය බිඳ වැටිය හැකියි. විනාශයට පත්විය හැකියි. මාරයාගේ උපකාරිත්වයෙන් විනාශ කර ගත්ත ජීවිතයට පව්කාරයෙක් යන නාමය ද පටබැඳිය හැකියි. පවුල් ජීවිතය විනාශ වී යා හැකියි. මෙලොව ජීවිතය පරිහානියට පත්විය හැකියි.
මාරයා අප එතැනින් නතර කොට තබන්නේ නැහැ. ඉන් පසුව ඉක්මනින් ම විනාශයම ලබා දෙමින් රාග, ද්වේෂ, මෝහාදි කෙලෙස් නිසා මෙලොව දඬුවමින් අන් අයගේ දඬුවමින් තමාගේ ම සිත තුළ ඇතිවන පසු තැවීමෙන් ආදී වශයෙන් කායික මානසික වශයෙන් අපමණ දුක් දොම්නස් මේ ජීවිතයේ දී ලබා දී ඉන් අනතුරුව මරණයෙන් මතුව සතර අපායේ ඉපදීමට ද මාරයා අවස්ථාව සලසා දෙනවා.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ උඳුවප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජනවාරි 09 වනදා සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment