නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සද්ධාය තරතී ඕඝං
අප්පමාදෙන අණ්ණවං
විරියෙන දුක්ඛං අච්චේති
පඤ්ඤාය පරිසුජ්ඣති
අප්පමාදෙන අණ්ණවං
විරියෙන දුක්ඛං අච්චේති
පඤ්ඤාය පරිසුජ්ඣති
“සුපින්වත්නි”
සුගත තථාගත තිලෝගුරු අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අලව්නුවර ආලවක යක්ෂ භවනේදී ආලවක යක්ෂයාගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් මේ ගාථා ධර්මයද දේශනා කළ සේක.
කථංසු තරතී ඕඝං
කථංසු කරති අණ්ණවං
කථංසු දුක්ඛං අච්චේති
කථංසු පරිසුජ්ඣති
කථංසු කරති අණ්ණවං
කථංසු දුක්ඛං අච්චේති
කථංසු පරිසුජ්ඣති
“භාග්‍යවතුන් වහන්ස, කෙසේ නම් ඕඝය තරණය කරන්නේද? කෙසේනම් සංසාර සාගරය තරණය කරන්නේද? කෙසේ නම් දුක් නැති කරන්නේද? කෙසේ පිරිසුදු වන්නේද?
මෙසේ ඇසූ ප්‍රශ්න හතරට පිළිතුරු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ “ආලවක යක්ෂය.
සද්ධාවෙන් සතර ඕඝය තරණය කරන්නේය.
අප්‍රමාදයෙන් සසර සයුරින් එතර වන්නේය. වීර්යයෙන් දුක් නැති කරන්නේය. ප්‍රඥාවෙන් පිරිසුදුවන්නේය යනුවෙන් පිළිතුරු දක්වා වදාළ සේක.
මෙම ආලවක යක්ෂයා සංසාර පාපයකින් යක්ෂ ආත්මයක් ලබා දරුණු හිංසාකාරි ගතිපැවතුම් ඇතිවුවද, දෙමව්පිය පරපුරෙන් ලබාගත් උතුම් ගාථාධර්මයක් දැනගැනීමටද ලොව්තුරා බුදුකෙනෙකුන් දැක එකී ධර්මය පිළිපැදීමටද වාසනාභාගි ඇත්තෙක් විය.
බුද්ධාදී තෙරුවන් පිළිබඳ ප්‍රසන්නතාවය ශ්‍රද්ධාව නම් වන්නේය. කාම, භව, දිට්ඨි , අවිජ්ජා යන සතර ඕඝයන් තරණය කිරීමට බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් ගුණ දැනගෙන සරණයාම පිළිපැදීම භාවනාව ආදි ක්‍රියාවන්ගෙන් එය ප්‍රකාශයට පත්වන්නේය.
සත්වයා උපන්දා පටන් ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු හා සම්බන්ධ කරගෙන මනසින් රසවිඳීමට දරන ප්‍රයත්නය අවසන් වන්නේ ඉන්ද්‍රිය ශක්තිය හීනවීමෙනි. එතෙක් ලබන කාමසම්පත් පිළිබඳ ආශාව“ කාම තණ්හාව“ වශයෙන් අප බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සේක. මෙම පංචකාම ගුණයන්හි ඡන්දරාගය කාමෝඝ නම් වන්නේය. කෙලෙස් ගින්නෙන් තැවි තැවී සත්වයා අවිද්‍යාවෙන් මුලාවී අරමුණෙන් අරමුණට සැප සංකල්ප ජාලයේ ඇලී සිටින අයුරු අප බුදුරජාණන් වහන්සේ ආදිත්ත පරියාය සූත්‍රයෙන් පෙන්වා දුන් සේක.
බුද්ධාදී තෙරුවන් පිළිබඳව සිතනවිට, දහම් අසන විට මෙන්ම දාන, ශීල, භාවනා දී දස පුණ්‍ය ක්‍රියාවන්හි නිරතවෙන විට පංච කාම සම්පත් පිළිබඳ නිරපේක්ෂාව සුගතියේ උපදින්නට මෙන්ම නිවන් අවබෝධයෙන් විමුක්ති සුවයටද හේතුවාසනා වන්නේය.
කාමඕඝය අටවැදෑරුම් ලෝභ සහගත සිත්වල උපදනා බැවින් මරණාසන්නයේදී එම සිතක් චුති චිත්තයට සම්බන්ධ වුවහොත් අනිවාර්යයෙන් මරණින් මතු සතර අපායේ උපදින්නේය.
රූප, අරූප, භවයන්හි ඉපදීමට සත්වයා ගෙන යන නිසා භවය පිළිබඳ ඡන්දරාගය භවඩ්ඝ නම් වන්නේය. දිට්ඨි ගත විප්පයුත්ත සතරවැදෑරුම් සිත්වල උපදින මෙම භව ඕඝයද ඡන්දරාගයක් වශයෙන් ඉපදී සංසාර සාගරයට සත්වයා ගෙන යන්නේය.
අභිධර්මයෙහි උගන්වන දිට්ඨිගත සම්පයුක්ත සතරවැදෑරුම් සිත්වල උපදින දිට්ඨි ඕඝයද සතර අපායේ උපදවන සසර සයුරට ඇදගෙන යන මහා බලවේගයකි. මිථ්‍යා දෘෂ්ඨිය නිසා තමා මෙන්ම තමා ආශි‍්‍රත ජනතාවද පවත්නා මනුෂ්‍ය ජීවිතයද මතු මත්තෙහි අපමණ ජීවිතද විනාශභාගී වන්නේමය. මෙම සතර ඕඝයන්ගෙන් අවිජ්ජා ඕඝය සියලු අකුසල් සිත්වල උපදින අතර එයින් අන්ධවන මිනිසා ප්‍රාණඝාතාදී පාප ක්‍රියාකොට සතර අපායේ උපදින්නේය. විශාල ජලාශයකට වැටී මරණ බියෙන් තෙරපෙන මිනිසා කෙසේ හෝ එයින් ගොඩඑන්ට දඟලන්නා සේ සංසාර සාගරයෙන් ගොඩ එන්නට සතර ඕඝයන් හඳුනාගෙන අප්‍රමාදයෙන් හෙවත් සතිපට්ඨානයෙන් ක්‍රියා කළ යුතුවන්නේය.
විරියේන දුක්ඛං අච්චේති
නූපන් අකුසල් නූපදීමට, උපන් අකුසල් ප්‍රහීණ කිරීමට, නූපන් කුසල් ඉපදීමට උපන් කුසල් වැඩිදියුණු කිරීමට යන මෙම සතර ප්‍රධන් වීර්යයෙන් රාගාදී කෙලෙස් තවමින් (ආතාපී) දුක් නැතිකරගත යුතුවන්නේය. රූපාදි පංචස්කන්ධයම දුකක්වන අතර එය වඩාත් තහවුරු වන්නේ තම පංචස්කන්ධය උපාදාන වශයෙන් සිතින් අල්ලා ගන්නා නිසාය.
සත්වයා තමා ලබාගත් ශරීරය දැඩිකොට අල්ලා ගන්නා අතර කාමඋපාදානය කාම සම්පත් අනුභවයටද දිට්ඨි උපාදානය දශවස්තුක මිථ්‍යා දෘෂ්ඨිග්‍රහණයටද සීලබ්බත උපාදානය ගෝවෘතාදී මිථ්‍යා වෘතයන්ටද, අත්තවාද උපාදානය විංශත් වර්ග උපාදානයට ආධාර වන අතර තණ්හාව නිසා උපාදානයද එයින් මතු භවයටද හේතුකාරක වන්නේය.
පෙර ආත්ම භාවයන්හි පුරුදු පුහුණු කරගත් වීර්ය ඇත්නම් වර්තමාන භවයේ කායික මානසික වීර්ය ඇති කෙතරම් බාධක හිරිහැර පැමිණියද තිර අදිටනයෙන් නොපසුබස්නා වීර්යයෙන් මතුවට ජාති, ජරා ,මරණාදී දුක් ඇතිවීමේ හේතු නැති කරගන්නේය. විශේෂයෙන් ශාසන බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරගන්නට ගිහිජීවිතයෙන් බැහැරව පැවිදි වන බුද්ධශ්‍රාවකයන් වහන්සේලාට පටන්ගත් වීර්ය අත්‍යාවශ්‍ය වන්නේය.
පඤ්ඤාය පරිසුජ්ඣති
බුදුදහමේ සියල්ල අවසන් වන්නේ ප්‍රඥාවෙනි. තිසරණය පන්සිල් ගැනීමේ පටන් චතුරාර්ය සත්‍ය දර්ශනය දක්වා ගමන් කරන ධර්ම මාර්ගය ත්‍රිවිධ ශික්ෂාවෙන් ආවරණය වන්නේය. සීලයෙන් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ ආරම්භයත් සමාධියෙන් පිහිටීමත් ප්‍රඥාවෙන් දර්ශනයත් දක්වා ඇත.
කම්මං විජ්ජාව ධම්මෝච
සීලං ජීවිත මුත්තමං
ඒතෙන මච්චා සුජ්ඣන්ති
නගොත්තේන ධනේනවා
සීලං ජීවිත මුත්තමං
ඒතෙන මච්චා සුජ්ඣන්ති
නගොත්තේන ධනේනවා
මිනිසාගේ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය ප්‍රඥාවෙන් සිදුවන අතර එයට කර්මය, විද්‍යාව, ධර්මය සීලය යන සතර අයත් වන්නේය. සත්වයෙකුගේ සංසාර ගමන ආරම්භ වූයේ කෙදිනකදැයි සොයා ගැනීමට නොහැකි වුවද ඒගමන නතරවෙන්නේ එම ගමනේ යෙදෙන පංචස්කන්ධය පිළිබඳ යථාර්ථය අවබෝධය ලබන සත්‍යඤාණය පහළ වූ විටය.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළවන්නේ සමාජ ධර්මතා පුනරුත්ථාපනය කිරීමට නොව විදර්ශනා ප්‍රඥාවෙන් පංඤ්චස්කන්ධය දෙස බලා එයින් මුදාලීමේ මාර්ගය සොයාදීමටය.
සීලයෙන් කාය,වාග් සංවර සීලය ඇතිකරගෙන සමාධියෙන් චිත්ත සමාධිය උපදවා ධ්‍යාන චිත්තය විදර්ශනාවට යවා ක්‍රමයෙන් සප්තවිශුද්ධි හා නව මහා විදර්ශනා ඤාණයෙන් සෝවාන් ආදි මගඵල පිළිවෙළින් නිවන් පසක් කරගැනීම බුදුදහමේ පරමාර්ථයයි.
මෙම මානව පරපුර ආරම්භයේ පටන් අපේ ගෞතම සර්වඥයන් වහන්සේ පහළවන තුරුම විදර්ශනා ප්‍රඥාවක් කිසිම මිනිසෙකුට පහළ වී නොමැත. කෙතරම් ශිෂ්ඨාචාර ඇතිවුවද මිනිසාට මිනිස් චින්තනයේ උපරිම තලයට පා තබන්නට නොහැකි වූයේ ඒ සඳහා උතුම් මාර්ග උපදේශකත්වයක් දෙන්නට තරම් නුවණැත්තෙකු පහළ නොවීම නිසාය. අප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ හෝ ඒ උතුම් නිර්මල ධර්මය පවත්නා සමයේ හෝ අවශ්‍යතා ඇති කෙනෙකුට බුද්ධාදී තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇතිව අප්‍රමාදයෙන් හා වීර්යයෙන් චිත්ත සමාධිය වඩා විදර්ශනා ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් පසක් කළ හැකි වන්නේය.
මෙම ධර්ම දේශනාව කියවීමෙන් හා සිතේ ධාරණය කර ගැනීමෙන් ඔබටද කෙදිනක හෝ චතුරාර්ය සත්‍ය ධර්ම ඤාණයෙන් නිවන් සුව ලබාගැනීමට හේතුවාසනා වේවා.
ඔබ සැමට තෙරුවන් සරණයි !
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජනවාරි 16 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment