දියුණුවන්නා හා පිරිහෙන්නා ලෙහෙසියෙන් හඳුනාගත හැකිය. ධර්මයට කැමැති වන්නා දියුණුවෙයි. ධර්මයට අකැමැති වන්නා පිරිහෙයි. දියුණුවන්නා පළමුවෙන්ම ශ්‍රද්ධාවෙන් ධර්මයට රුචිකරයි. දියුණුව හා පරිහානිය කෙරෙහි තදින්ම බලපාන්නේ ජාතිය,කුලය, ගෝත්‍රය නොව ඔහු ජීවත්වන පරිසරයයි.
තමන්ගේ ආශ්‍රයට සමීපවන අයගේ ගති ලක්ෂණ තමන් වෙත එන්නේ නොදැනුවත්වමය. කරවල කැබැල්ල දුර්ගන්ධය. එය ආවරණය කළ අසුරණය පිරිසුදු වුවද පසුව දුර්ගන්ධය. එමෙන්ම සුදුහඳුන් කැටය සුවඳවත්ය. එහි ආවරණයද සුවඳ හමයි. යහපත් චරිත ඇසුර තුළින් යහපත් චරිත ගොඩනැගේ. අසත්පුරුෂ ධර්මය යනු අසත්පුරුෂයාගේ ගති සිරිත් ස්වභාවය හා අදහස් උදහස්ය. ඒවා කෙරෙහි යමෙක් රුචි කෙරේ නම් ඔහුද, අසත්පුරුෂ ඇසුර පි‍්‍රය කරන්නෙකි. දෙවැනි පිරිහීමේ දොරටුව අසත්පුරුෂ ආශ්‍රයයි. බුදුදහමේ පිරිහීමේ දොරටු පහක් විස්තර කරයි. නිදනසුළුකම, නිතර නිතර බොහෝ වශයෙන් කථාකරමින් කල්යැවීම, උත්සාහය නැතිකම, කම්මැලිකම, ක්‍රෝධ බහුලවීම යනුවෙනි.
පෞද්ගලික හෝ පොදු වශයෙන් වගකීම් රාශියක් මිනිසාට පැවරේ. ඒවා ඉටුකිරීමට කාලය අවශ්‍යය. නිතර නින්දට ලෝලී පුද්ගලයාට ඒවා ඉටුකර ගැනීමට නොහැකිව පසුතැවේ. ලොව යම් උගතෙක්, දාර්ශනිකයෙක්, විද්‍යාඥයෙක් පහළවූයේ නම් ඒ සෙස්සන් රාත්‍රියේ සුවසේ නිදද්දී, නිදිවරා පාඩම්කර හෝ ගවේශනයේ යෙදීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයකි.
වචනය යනු ඔවුනොවුන් තුළ අදහස් සන්නිවේදන මාධ්‍යයයි. එය හැසිරවිය යුත්තේ අභිවෘද්ධිය පිණිසය. නිතර දොඩමළු වන්නෝ වාග් අසමාචාරයට හසුවේ. උස් මිටිකම් , ඕප දූප සොය සොයා කාලය කා දැමීම පිරිහීමේ ලක්ෂණයකි.
උත්සාහය ජීවිතයේ ආභරණයකි. තම සියලු කටයුතු සපිරෙන්නේ උත්සාහයෙනි. කැලයේ රජා සිංහයාය. එසේ වුවත් කට ඇරගෙන සිටියාට කිසිම ගොදුරක් කටට නොයේ. උත්සාහයෙන් ගොදුරු සොයා ගත යුතුය. නැතහොත් මියැදේ. ඒ ඒ පුද්ගලයා තම කටයුතු උත්සාහයෙන් නොකළහොත් පිරිහෙයි.
“කම්මැලිකම” පරිහානියට අතවනන තවත් හේතුවකි. කාලයේ අනුචිත බව කියමින් තම වැඩ කල් දැමීම කම්මැලියාගේ ලක්ෂණයකි. කාරණ නුවණින් විමසා නිවැරැදි තීරණයකට යා හැක්කේ කිපෙන සුළු අයට නොව ඉවසන්නාටය.එහෙයින් “ඛන්තී පරමං තපෝතිතික්ඛා” යනුවෙන් දේශනාවේ සඳහන් වන්නේ ඉවසීම උතුම්ම තපස බවයි. ආයතනයක ,සමාජයක , රටක ප්‍රධාන තැන ඉවසීම නමැති උතුම් ගුණාංගය පුරුදු නොකළහොත් එම ස්ථාන පරිහානියට ලක්වීම නොවැළැක්විය හැකිය.
දෙමවුපියෝ, දරුවන්ට ඇති වස්තුවකි. දෙමවුපියන්ට දරුවන් සම්පතකි. ලේ කිරි කර පොවා මමායනය කරන්නී මවය. පෝෂණය කරන්නේ පියාය. සතර බ්‍රහ්ම විහරණයෙන් දරුවන් දෙස බලන දෙමාපියන් දරුවන්ට ලබාදුන් සේවයට ප්‍රත්‍යුපකාර කිරීම ලෙහෙසි නැත. තමාට හැකියාව තිබියදී දෙමාපියන්ට නොසලකයිද එය පිරිහීමට හේතුවකි. භික්ෂූන් වහන්සේටත් තම මවුපියන්ට පිඬු සිඟා ගත් දෙය වුවද දී පෝෂණය කිරීම කැප බව බුද්ධ දේශනාවයි. බමුණෙක් ,ශ්‍රමණයෙක් හෝ කවර විධියේ ඉල්ලන්නෙක්, වංචාවෙන්, බොරුවෙන් රවටාද ඒ පිරිහීමේ කරුණකි. යමෙක් යමක් ඉල්ලූ විට නැති බැරි කමක් ඇත්නම් නොදීම මෙයින් අදහස් නොකෙරේ. නමුත් දෙන්නෙමියි කියා අවස්ථාව ඉක්මවා පසුව ඉල්ලූවිට නොදීම බොරුවෙන් රැවටීමකි. බොරුකීම අන්‍යයාගේ පිළිකුලට අවිශ්වාසයට භාජනය වන්නේය. බොරු කියන්නාට මෙලොවදී මෙන්ම පරලොවදීද ප්‍රතිවිපාක ගෙන දෙයි. ගොලුවීම,අපි‍්‍රය දර්ශනය ඇති අයෙක් වීම, දුක්කරදරවලට මුහුණදීම, විශ්වාසවන්ත නොවීම ආදි විපාක ලැබෙයි. එහෙයින් සමාජයේ විශ්වාසය දිනාගැනීමට අන් අයෙක් බොරුවෙන් රැවටීම නොකළ යුතුය.
ධනය සඟවාගෙන පරිහරණය කිරීම පිරිහීමේ කරුණකි. ආර්ථික සාධාරණතාව මෙම පරිහානිය කරුණ තුළින් පුද්ගලයාට මෙන්ම සමස්ත සමාජයට විස්තර කර දෙයි. බෙදා හදා ගෙන නොකෑම, ධනය සඟවා තබා රසවත් ආහාර බොජුන් තනිව භුක්තිවිඳීම බුදුරදුන් වදාළ සමානාත්මතා ධර්මයට පටහැනිය.
ජාතිය, ධනය හෝ ගෝත්‍රය නිසා උඩඟුවීම පිරිහීමේ තවත් ලක්ෂණයකි. කෙනෙකුගේ උසස් පහත් බව මානයෙන් යුතුව මැන බැලීම කවදත් සමාජයේ දක්නට ඇති දුර්වල ලක්ෂණයකි. අතපය ශක්තිය ඇතිතාක් ධනය සෙවීම සමාජයේ ලක්ෂණයකි. නමුත් කොහේදෝ තිබෙනා වස්තුවකට උඩඟුවීම මහ මුලාවකි. එය සොර සතුරන්ගෙන්, ගින්නෙන්, ජලයෙන් හෝ රාජසන්තක වීමෙන් විනාශ විය හැකිය. ධනවත්කම හිටිහැටියේ දුප්පත්කමට හරවන ස්වභාව ධර්මය තුළ උඩඟුව සිටීම පිරිහීමට හේතුවේ.
පරාභව සූත්‍රයට අනුව ස්ත්‍රී ධුර්තවීම, සුරාධුර්තවීම, අක්ෂි ධුර්තවීම එකට ඈඳී යන පරිහානියේ කරුණුය. ස්ත්‍රි ලෝලිත්වය, සුරාලෝලත්වය සූදුවට ලොල්වීම නිසා තමන්ට ලැබෙන ලැබෙන දේ විනාශයට පත්කරයි. ඕනෑම ධන කුවේරයෙකු දිළින්දෙක් බවට පත්කිරීමට මෙම පරිහානීය කරුණු හේතුවෙයි.
මානව සමාජයේ විවාහ බන්ධනයට විශේෂ තැනක් ලැබේ. විවාහ සංස්ථාව දෙදරා නොගොස් පවුල් අවුල් නොවී ස්ථාවර බැඳීමක් ඉදිරියට ගෙන යා යුතුය.
නීතියෙන් හා ආගමෙන් දෙන උපදෙස්වලට පිටුපා පරදාර සේවනයට ලෝලී වූවන්ගේ පවුල් විනාශ වී යයි. පවුල් දෙකක දූ දරුවෝ මෙම අසාධාරණයට මුහුණ දෙති.”
පරාභව මුඛඅතර ඊළඟ කරුණ අකාර්යක්ෂම බවයි. එය පුද්ගලයාගේ ගෘහජීවිතය රැකියා ආයතනය, මෙන්ම සමාජයද ප්‍රපාතයට ඇද දමන්නකි. අකාර්යක්ෂම පුරුෂයෙකු හෝ ස්ත්‍රියක නායකත්වය යම් තැනකට ලැබේද පිරිහීමේ ලක්ෂණ එතැනට පැමිණේ. ලෝකයේ ඥානවන්ත අය පරාභවයට හේතුවන කාරණා අවබෝධ කරගෙන ඒවා දුරින් දුරුකර නිවැරදි කරුණු වටහාගෙන මෙලොව පරාලොව සුබ සිද්ධිය උදාකර ගනිති.
ර/බල/වැලිපතයාය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්ප
දම්වැල්ඕඩය රජමහා විහාරාධිපති
ශාස්ත්‍රපති
වැලිපත පඤ්ඤානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජනවාරි 27 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment