Labels

Wednesday, September 20, 2017

ඉස්සා ( සිතේ පිවිතුරු බවට )

සෑම තන්හිම තමා අභිබවා යමෙකු හෝ යමෙකුගේ යමක් ඇති කල නිරායාශයෙන් ම පුහුදුන් සිතෙහි වනුයේ ඊ්ර්ෂ්‍යාව යි. මෙයට මූලික හේතුව නම්, කිසිවක් නොව පුද්ගල අතෘප්තිකර බවයි. ස්වභාවයෙන් මිනිසා තමා ලද දෙයින් සතුටු නොවේ. නොලද දෙයම පතයි.
මිනිස් සිත ස්වභාවයෙන් ම ප්‍රභාමත් ය. එය නොකිළිටි සුදු පැහැති වස්ත්‍රයක් මෙනි. සිතක් කිළිටි වනුයේ බාහිර වශයෙන් සිතට පිවිසෙන උපක්ලේශ ධර්මයන් නැතහොත් අකුසල සිතිවිලි හරහාම ය. මෙලෙස සිතක පවිිත්‍රත්වය විනාශ කරන සදොස් උපක්ලේශ ධර්ම පිළිබඳ තථාගතයන් වහන්සේ විසින් දේශනා කර ඇත. ඒ සෑම එකකින් ම පාහේ සිදු කරනුයේ ශෝභාමත් සිත අපවිත්‍ර කිරීම යි. උපක්ලේශ ධර්මයන් මගින් දූෂිත වූ සිත කිළිටි වස්ත්‍රයක් මෙනි. දූෂිත වූ සිතකින් තමාට හෝ සමාජයට වන අර්ථ සිද්ධියක් නොමැත. හුදෙක් අපේක්ෂා කළ යුතු වන්නේ දුගතියක් ම පමණි. පිරිසුදු සිතකින් ම පමණක් සුගතියක් නැතහොත් යහපතක් ලැබිය හැකි වේ. සිතකට දීප්තිමත් වීමට ඉඩ නොදී දූෂිත කරන හෙයින් උපක්ලේශ යන නාමය ලබන ධර්ම පහත පරිදි වේ.
අභිජ්ඣාවිසමලොභො (දැඩි ලෝභය), ව්‍යාපාදො(අනුන් නැසීමේ සිතිවිල්ල), කොධො (දැඩි කිපීම), උපනාහො (බද්ධ වෛරය),මක්ඛො (ගුණමකුකම),පළාසො (එකට එක කිරීම), ඉස්සා (ඊර්ෂ්‍යාව ), මච්ජෙර (මසුරුකම),මායා (වංචනික බව) සාඨෙය්‍ය (කෛරාටික බව),ථම්භ( සිතේ තද බව), සාරම්භ (අභිබවා යෑම),මාන (අහංකාර බව),අතිමාන (දැඩි මානය), මදො (මුසපත් බව), පමාදො (කාමයෙහි දැඩි ඇල්ම)

ඉස්සා හෙවත් ඊර්ෂ්‍යාව පූර්වෝක්ත උපක්ලේශ ධර්ම අතුරින් එකකි. සෑම පුහුදුන් සිතක ම පාහේ බහුල වශයෙන් ඊ්ර්ෂ්‍යාව පහළ වේ. ඊර්ෂ්‍යාව යනු කුමක් ද යන්න විග්‍රහ කර ගැනීමේ දී පෙළ දහමේ එන විවරණයන් උපයෝගී කර ගැනීම බෙහෙවින් වැදගත් වේ.
මජ්ඣම නිකාය අටුවාව - පරෙසං සක්කාරාදීනි ඛීයනා ඉස්සා. පරමත්ථදීපනි – ඉස්සතීති ඉස්සා පරසම්පත්තිං , අසූයතීති අත්ථො
ධම්මසංගණී අටුවාව - පරලාභසක්කාරමානවනවන්දනපූජනාසු ඉස්සා යා එතෙසු පරෙසං ලාභාදිසු කිං ඉමිනා ඉමෙසංතී පසම්පත්තිඛීය්‍යනලක්ඛණා ඉස්සා තත්ථ.
පුග්ගලපඤ්ඤත්ති – තත්ථ කතමා ඉස්සා යා පරලාභසක්කාරගරුකාරමානනවන්දනබූජනාසු ඉස්සා ඉස්සායනා ඉස්සායිතත්තම් උසූයා උසූයනා උසූයිත්තම් අයං වුුච්චති ඉස්සා.
දීඝනිකාය අටුවාව - පරසම්පත්තිඛීයනලක්ඛණා ඉස්සා .
විසුද්ධිමග්ගය - පරසම්පත්ති උසූයන ලක්ඛණා ඉස්සා
අභිධම්මත්ථ ටීකා - ඉස්සතීති ඉස්සා පරසම්පත්ති උසූයන ලක්ඛණා

මෙකී සියලු විග්‍රයන් තුළ එන පොදු වචන දෙකකි. ඒ උසූයන හා ඛීයන යන්නයි. උසූයන යනු නො ඉවසීමයි. ඛීයන යනු ක්ෂය වීමයි. විනාශ වීමයි. මේ අනුව පැහැදිලි වනුයේ අන් කෙනෙකු ලබන සැප සම්පත්, කීර්ති ප්‍රශංසා,ගරු බුහුමන් ,විෂයෙහි තම සිතෙහි ඇති වන නො ඉවසීම් ස්වභාවය මෙන් ම ඒවායෙහි විනාශය අපේක්ෂා කිරීම ඊර්ෂ්‍යාව බවයි. තමා විරූපී වන විට කෙනෙකුගේ රූපවත් බව නො ඉවසයි. තමා දුප්පත් වන කල අන් කෙනෙකුගේ ධනවත් බව නො කැමැති වන අතර එහි පරිහානිය පතයි. කෙනෙකු නූගත් වන විට ද, අලස වන විටද මෙන්ම සෑම තන්හි ම තමා අභිබවා යමෙකු හෝ යමෙකුගේ යමක් ඇති කල නිරායාශයෙන් ම පුහුදුන් සිතෙහි වනුයේ ඊ්ර්ෂ්‍යාව යි. මෙයට මූලික හේතුව නම්, කිසිවක් නොව පුද්ගල අතෘප්තිකර බවයි. ස්වභාවයෙන් මිනිසා තමා ලද දෙයින් සතුටු නොවේ. නොලද දෙයම පතයි. අන් අය විෂයෙහි තම සිතෙහි උපදවා ගන්නා ඊර්ෂ්‍යාවෙන් වනුයේ තමන් කිසිවක් නො ලබන අතර, හුදෙක් සිත කිළිටි කර ගැනීම පමණක් ම ලබයි. ඊර්ෂ්‍යාව ට ප්‍රතිවිරුද්ධ වනුයේ මුදිතාවයි. මුදිතාව නම්, අන් අයගේ අභිවෘද්ධිය දැක තම සිතේ ඇති කර ගන්නා සතුටයි. දෙමාපියන් තම දරුවන්ගේ දියුණුව දැක සතුටු වුව ද සමස්ත සමාජය විෂයෙහි එය ප්‍රදානය කළ නොහැකි වෙයි. හුදු සමාජය විෂයෙහි ම මුදිතාව දායාද කළ හැක්කේ ක්ලේශ ධර්ම ප්‍රහාණය කළ ක්ෂීණාශ්‍රව උතුමන්ට පමණි. අප විසින් කළ යුතු වන්නේ ලද දෙයින් සතුටු වීමයි. එසේ ඇති කල සිතේ ජනිත වන ඊර්ෂ්‍යාව තුනී වෙයි. සිත දූෂිත නොකරවයි. සිත පවිත්‍රව පවතියි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 
සම්භාව්‍ය භාෂා අංශයේ 
සහකාර කථිකාචාර්ය 
මහඇස්සැද්දුමේ සීලානන්ද හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍බිනර පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 05 වන අඟහරුවාදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment