Labels

Saturday, September 2, 2017

සදහම් දැනුම


ප්‍රශ්නය -

බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව හා මහා ප්‍රඥාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර -

බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව පිළිබඳව ශ්‍රී මුඛ පාඨයක් වශයෙන් දම්සක් පැවතුම් සූත්‍රයෙහි සඳහන් වන “මයා සම්ම දක්ඛාතො භාවිතො බහුලී කතො අභිඤ්ඤාය සම්බෝධය – නිබ්බා - ණාය” ආදී වශයෙන් තමා අවබෝධ කරගත් සද්ධර්මය තමා විසින්ම ප්‍රඥා මහිමයෙන් ම ලබා ගත්තක් බව සඳහන් කිරීමෙන් මුළු ලොව ම අන්ධකාරයෙන් ආලෝකය කරගෙන යා හැකි ශ්‍රේෂ්ඨ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ බව පාලි නිකායගත තොරතුරු අනුව තහවුරු වේ.


සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතයෙහි ප්‍රඥාවෙහි ආරම්භය බුදුවීම වුවත් පෙළ පොත්හි එය සඳහන් වන්නෙ සිවුසස් (චතුරාර්ය සත්‍යය) අවබෝධය ත් ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මාවබෝධයත් නිසා ප්‍රඥාවඋදා වූ බවයි.

ඡලභිඤ්ඤ හා තේවිජ්ජ ගුණ ශ්‍රාවකයන් වහන්සේට පොදු වන අතර බුදුරදුන්ගේ ප්‍රඥාව ප්‍රකට වන්නේ ‘සතර වෙසාරජ්ජ’ ගුණයෙනි.

පාලි පොත පතෙහි එන ඡළභිඤ්ඤ-

1. පුබ්බේ නිවාසානුස්සති (තමන්ගේ පෙර ආත්ම භාවය පිළිබඳ අවබෝධය)

2. චුතුපපාතඤාණය

(අන්‍යසත්වයන්ගේ චුති උප්පත්තිය පිළිබඳ අවබෝධය)

3. ආසවක්ඛඤාණය

(සියලු කෙලෙසුන් මුළුමනින්ම නැසීම පිළිබඳ ඤාණය)

4. ඉද්ධිවිධ ඤාණය – ප්‍රාතිහාර්ය පෑම

5. දිබ්බසෝත ඤාණය - ළඟ, දුර, ආදී ශබ්ද ඇසීම

6. පරචිත්තවිජානන ඤාණය (චෙතොපරිය) – අනුන්ගේ සිත් ඇදගන්නා ඤාණය

බුදුරදුන්ට ආවේණික ඇතැම් ගුණ රහතන් වහන්සේ තුළ ද පැවතිණි.මේ නිසා ඇතැම් දෙනෙකු බුදුරදුන් ශ්‍රාවකයන් වහන්සේලා හා සම තත්ත්වයෙහිලා සලකා ඇත.

එහෙත් මෙහිදී පවතින මූලික වෙනස නම් තථාගතයන් වහන්සේ ගුරුවරයා වන අතර, ශ්‍රාවකයන් ශිෂ්‍යයන් වීමය. එමෙන්ම මාර්ගය සොයා ගත් මුල්ම උතුමාණෝ බුදුරජාණන් වහන්සේ ය. ශ්‍රාවකයෝ බුදුරදුන්ගෙන් අසා ඒ මඟ ගමන් කොට දෙවනුව රහත් බව ලබා ගත් අය වෙති. මේ පිළිබඳව ‘මහා සකුළුදායි’ සූත්‍රයෙහි සඳහන් වන්නේ.

“බුදුරදුන් විසින් ප්‍රතිපත්තිය කියන ලදී. එම ප්‍රතිපත්තිය අනුගමනය කළ ශ්‍රාවකයෝ සියලු ආශ්‍රව දුරුකොට මෙලොවදීම ඵලසමාධිය හා ඵල ප්‍රඥාව ලබා වාසය කරති.” යනුවෙනි. වරෙක ආනන්ද තෙරුන්ගෙන් ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා බුදුරදුන් හා සමාන ශ්‍රාවකයෙකු වේදැයි ඇසූ විට උන්වහන්සේ මෙසේ කියති.

“නත්ථි ඛො බ්‍රාහ්මණ එක භික්ඛුපි තෙහි ධම්මෙහි සබ්බේන සබ්බං සබ්බථාසබ්බං සමන්නාගතොයෙහි ධ්වෙහි සමන්නාගතොසොභගවා අහොසි අරහං සම්මා සම්බුද්ධො”

(ම.නි. ගොපකමොග්ගල්ලාන සූත) උ.දෙවදහවග්ග)

භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයකින් සමන්විත වූ සේක් ද ඒ සියලු ප්‍රඥා හා සර්වඥතා ගුණ ඇතුළු සියල්ලෙන් සියල්ල සම්පුර්ණ වූ ශ්‍රාවකයකු නොමැති බවය.

බුදුරදුන් හා ප්‍රඥාවෙන් හා වෙනත් ධර්මතාවයකින් හෝ සමාන වන කිසිදු ශ්‍රාවකයකු නැත. බුදුන්වහන්සේගේ මහා කරුණාව පිළිබඳ පෙළ පොත්හි එන පරිදි, මහා කරුණා සමාපත්තිඤාණයක් සේ බොහෝ විට සටහන් වී තිබේ.

මානසංභාවයේ අපරිමාණං කරණීයමෙත්ත සූත්‍රයෙහි එන පරිදි අරමුණක් සීමාවක් නැති කරුණාව මහා කරුණවයි.

ආභිධම්මිකයන් සඳහන් කරන පරිදි, බුද්ධ කරුණාව මහා කරුණාව වීමට හේතු පහක් දක්වා ඇත.

මහා කරුණාව සඳහා කරන ලද කුසල් උසස් වන්නාසේම එය ලබාගැනීමට කළ කුසල් කරුණාව සඳහා වූ කුසල්වලටවඩා බලවත් වේ.

ස්වරූපය අතින් උසස් වන මහා කරුණාව දුක හා සැප යන දෙකෙහිම එක සේ දැක්වෙන අතර කරුණාව දුකෙහි දී පමණක් (පරදුක්ඛෙ සතිහදය කම්පනය) ක්‍රියාවට නැංවේ.

උසස් අරමුණෙහි පවතින මහා කරුණාව කාමරූප හා අරූප යන ධාතු ත්‍රයෙහිම ක්‍රියාත්මක වන අතර කරුණාව කාම ධාතුකෙරෙහි පමණක් ක්‍රියාවට නැංවේ.

මහා කරුණාව සියලු සචේතනික අචේතනික ධර්ම සමූහය උදෙසාම ක්‍රියාවට නැංවෙන අතර කරුණාව පුද්ගල ඒකීය භාවය සඳහාම යොමු වේ.

මහා කරුණාවේ පැතිරීම ප්‍රමාණයෙන් හා කාලය වැනි සීමාවන්ගෙන් ඔබ්බට යන අතර කරුණා සීමිත පරිමාණයක් තුළ ක්‍රියාවට නැංවෙනු ඇත.


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අගෝස්තු 15 වන අඟහරුවාදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment