අසාර වූ , අතෘප්තිකර වූ, අර්ථ ශූන්‍ය වූ ජාති, ජරා, මරණාදියෙන් අභිභූත වූ, මේ දුක් සහිත සසරින් එතෙර විය හැක්කේ අර්හත්වය සාක්ෂාත් කිරීමෙනි. සියලු කෙලෙස් මුලිනුපුටා දැමීමෙන් ලබන එකී අරහත් බව වූ කලී බුදුදහමෙහි දැක්වෙන අති උතුම් තත්ත්වය යි.
ථෙරවාදී පිළිගැනීම අනුව නිර්වාණාවබෝධය පිණිස රහත් බව ලබාගත යුතු ය. එයම ශාන්ත වූ ප්‍රණීත වූ විමුක්තියයි. රහතුන් වහන්සේ යනු බෞද්ධයකුගේ සදාචාරාත්මක පරමාදර්ශය වේ. උපරිම වශයෙන් වර්ධනය වූ සදාචාරයේ ප්‍රතිමූර්තිය උන්වහන්සේ ය. බුදුරදුන් විසින් නිබඳ ව ම දහම් දෙසා ඇත්තේ අර්හත්වය වෙත ළඟා වීමේ මාර්ගය පෙන්වා දීමට ය. උන්වහන්සේ ලෝකයෙහි උපන් ප්‍රථම රහතුන් වහන්සේ ය.උන්වහන්ස්ගේ ශ්‍රාවකයන් අතුරින් පළමුව රහත් බව ලබා ඇත්තේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ හිමියන් විසිනි.
සසර දුකට මුල්වනුයේ සන්තානගතව මුල්බැස පවත්නා රාග, ද්වේශ, මෝහා දී ක්ලේශධර්මයන් බව ද ඒ සියල්ල මුලිනුපුටා දැමීමෙන් ම පිරිපුන් අද්විතීය පෞරුෂය වූ රහත්බව ලබාගත හැකි බවද බෞද්ධ ඉගැන්වීම ය. රහතුන් වහන්සේ වෙත ඇත්තේ උත්රීතර පෞරුෂයයි. රහත් බව හා රහතුන් වහන්සේගේ ස්වභාවය ද දැක්වීම උදෙසා ආදි බෞද්ධ මූලාශ්‍රය බලවත් ප්‍රයත්නයක් දරා ඇත. එහිලා භාවිත කෙරෙන ව්‍යවහාර සහ විවරණ සමහරක් පෙන්වා දීම මෙම ලිපියේ අපේක්ෂාවයි. සූත්‍රාන්තයන්හි නිතර හමුවන එබඳු ව්‍යවහාර කිහිපයක් මෙසේ ය.
අරහං – රහසින්වත් පව් නොකරන, සියලු අයුරින්මැ සුදුසු යෝග්‍ය
ඛීනාසව – සියලු ආශ්‍රවයන් කෙලෙස් ප්‍රහීණ කළ, ක්ෂය කළ,
වුසිතවන්ත – වැස නිමැවූ බඹසර ඇති, නිවන් පිණිස වු මග ගමන් කළ
කතකරණීය – චතුර් මාර්ග ඥානයෙන් විමුක්තිය පිණිස කළ යුත්ත කළ
අනුප්පත්ත සදත්ථ – සදර්ථය (විමුක්තිය) වෙත අනුප්‍රාප්තික වූ, පැමිණ,
පරික්ඛීන භව සංයෝජන – ක්ෂය කළ භව බන්ධන ඇති, භව බන්ධන සිඳලූ
සම්මදඤ්ඤා විසුත්තො – යථාර්ථය මැනවින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුණු
විමුක්තිලාභී උත්තම පෞරුෂ ඇති රහතුන් වහන්සේ නෙළුම් මලක් හා සමාන වේ යයි පෙළ දහමෙහි සඳහන් වෙයි. ඒ නෙළුම හටගත්තේ අපිරිසුදු ජලයෙහි ය. එය එහිම වැඩුණේ ය. එම මඩ ගොහොරුවෙන් ම පෝෂණය ලැබුවේ ය. එහෙත් එම මඩ සහිත ජලය ඉක්මවා සිටියි. එහි නොගෑවේ. නොඇලේ. එයින් කිළිටි නොවේ. හිරුරැස් පහස විඳිමින් විකසිතව බබළයි. රහතුන් වහන්සේද වසන්නේ මේ රාගාදී කෙලෙස් මඩ වතුරින් පිරුණු ලෞකික ලෝකයේ ම ය.
එහි ම පහළ ව, එයින් ම පෝෂිත ව දිවි ගෙවන උන්වහන්සේ එහි නොඇලෙයි. එය ඉක්මවා සිටිති. දුක් සහිත සසරින් එතෙර වූ , පරතෙරට ගිය, (පාරගතෝ) පහනක් නිවී ගියාක් මෙන් නිවීමට පත් වූ නුවණින් අග්‍රප්‍රාප්ත උතුමා රහතුන් වහන්සේ ය.
සියලු කෙලෙස් මුලිනුපුටා දැමීමෙන් අර්ථවත් වන අද්විතීය වු සන්තානගත පරිවර්තනය, පාරිශුද්ධිය නිසාම රහතුන්වහන්සේ චර්යාවෙන් ද පරමාදර්ශි වෙති. සන්සුන් වූ සිසිල් වූ පරම පවිත්‍ර වූ සන්තාන ඇති බැවින් ම කායික හා වාචසික වශයෙන් සියලු සාවද්‍ය චර්යාවන්ගෙන් ද තොරවෙති. කෙලෙස් සහිත වූ ලෞකික ප්‍රජාවට අයත් මිනිසුන් විසින් කයින්, වදනින් හා සිතින් යම් පව්කමක් කරනුයේද ඒ කිසදු පව්කමක් කෙලෙස් රහිත වූ බැවින් පිරිපුන් වඩන ලද චරිතය ඇති රහතුන් අතින් සිදුවීම අභවය්‍ය ය. රාග, දෝස, මෝහ යන ත්‍රිවිධ අකුසල මූලයන් උන්වහන්සේ විසින් ප්‍රහීණ ය. කාමඡන්ද ,ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ච,කුක්කුච්ච, විචිකිච්ඡා,යන පඤ්චනීවරණයන් මුලිනුපුටා දමන ලද බැවින් නැවත මතුවීමක් උන්වහන්සේ වෙත දක්නා නොලැබේ. කාමාසාව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව, යන ආශ්‍රව ධර්මයන් හෙවත් චතුරෝඝයන් තරණය කරන ලද්දේ ය. කාමුපාදාන,දිට්ඨි උපාදාන,අත්තවාද උපාදාන, සීලබ්බත උපාදාන යන සතර උපාදානයෝ රහතුන් වෙත නොවෙත්. ස්කන්ධ , ධාතු ආයතනාදී පටිච්චසමුප්පන්න වූ ධර්මයන් උන්වහන්සේ විසින් හැර දමන ලද්දේ ය. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරා මාස, කාමරාග, ව්‍යාපාද, රූපරාග,අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා යන ඕරම්භාගිය වූත් , උද්ධම්භාගිය වූත් සංයෝජනවලින් එතුමෝ නිදහස් වූහ. කිසිත් දෘෂ්ටියක එල්බ නොගත් උන්වහන්සේ සියලු වාද පථයන් හැර දැමූහ. දැකුමින් මෙන්ම සිතුමින් ද විකෘතියට පෙරළීමට පත් නොවෙති. ඇති තතු ඇති සැටියෙන් ම දකී. අනිත්‍ය වු ධර්මයන් අනිත්‍ය ලෙස ම දකිති. නිත්‍ය සේ නොසලකති. දුක් සහිත වූ ධර්මයන් දුක් සහිත ලෙසම දකිති. සැප යයි නොගනිති. අනාත්ම වූ ධර්මයන් අනාත්ම ලෙසම දකිති. ආත්ම වශයෙන් නොසලකති. අසුභ වු ධර්මයන් අසුභ ලෙසම දකිති. සුභ වශයෙන් නොගනිති.
රූප,වේදනා, සංඤ්ඤා, සංඛාර , විඤ්ඤාණ යන ස්කන්ධ ධර්මයන් අරබයා මෙය මගේ ය. මෙයින් මා නියෝජනය වේ. මේ මාගේ ආත්මයයි යන අයොනිසෝ මනසිකාරයෙන් තොරවෙති. උන්වහන්සේ තුළ ඇත්තේ මෙය මාගේ නොවේ. මෙයින් මා නියෝජනය නොවේ. මේ මාගේ ආත්මය නොවේය යන යෝනිසෝ මනසිකාරයයි. යථාභූත ඥාන දර්ශනයයි. මෙය මාගේ යයි සිතනුයේ තණ්හාව හේතුවෙනි. මෙයින් මා නියෝජනය වේ යැයි සැලකෙනුයේ මානය හේතුවෙනි. මේ මාගේ ආත්මය වේ යැයි දකිනුයේ දෘෂ්ටිය නිසා ය. විමුක්ත සිත් ඇති රහත්හු තණ්හා, මාන, දෘෂ්ටීන්ගෙන් තොර වෙති. එබැවින් එම අය යථාභූත පරිකල්පනයෙන් ද තොරවෙති. එබැවින් රාගාදී කෙලෙස්වලින් ආතුර වු ලෝකයෙහි උන්වහන්සේ අනාතුරුව සුවසේ වසති. අටලෝ දහමින් කම්පා නොවන සිත් ඇති උන්වහන්සේ සෝක නොකරති. රජසින් තොරවෙති. නිර්භය ෙවි. කෙලෙසුන් කෙරෙන් මිදුණූ ඇති තතු දත් උන්වහන්සේගේ මනස ශාන්ත ය. වචනය ද ශාන්තය, ක්‍රියාව ද ශාන්ත ය. ගෙවුණු අතීතය ගැන නොතැවෙන ඒ රහතුන් වහන්සේ අනාගතය ගැන ද නොතැවෙති. වර්තමානයෙන් ම යැවෙති. එබැවින් එතුමන්ගේ වර්ණය ප්‍රසාද ජනක ය .
“දිගු මගකට පිවිසි පුරුෂයෙකුට සැක බිය සහිත මෙතෙර ඇති, සැක බිය රහිත එතෙර ඇති, මහත් වු දියකඳක් හමුවෙයි. ඔහුට ඉන් එතෙර වීමට නැවක් හෝ හෙයක් නැත. එබැවින් ම මවිසින් ම තනන , ලී දඬු, අතු කොළ කඩා එක්කොට පහුරක් බැඳ,අතින් පයින් වෑයම් කොට මේ දියකදැ තරණය කළ යුතුයැ” යි හෙතෙම සිතයි. හෙතෙම එලෙස ම පහුර තනයි. එහි උපකාරයෙන් සුවසේ එතෙර වෙයි. එතෙර වු පසු “මේ පහුර මට මහත් සේ උපකාරි විය. මෙය ම විසින් හිස හෝ කර තබාගෙන යන්නෙමැයි හෙතෙම නොසිතයි. එය පහුරට යුතුකම් ඉටුකිරීමක් නොවන්නේ ය. එතෙර වූ හෙතෙමෙ මේ පහුර මට මහත් සේ් උපකාරි විය. මම මෙය ගොඩට පමුණුවා හෝ දියෙහි පා කොට යවා හෝ කැමති මගකින් යමි”යි සිතයි. එයම පහුරට යුතුකම් ඉටුකිරීමක් වන්නේ ය. මෙහි බිය සැක සහිතවූ මෙතෙර නම් සසරයි. සැක බිය රහිත එතෙර නම් නිවනයි. දිය කඳ නම් කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන චතුරෝඝයයි. ඉන් එතෙරට ගිය පුරුෂයා නම් විමුක්තිලාභී රහතුන් වහන්සේ ය. පහුර නම් දහමයි. එහි උපකාරයෙන් එතෙරවීම වේ. පහුර කර තබාගෙන යාම නම් දහම දෘෂ්ටියක් සේ දැඩිව ගැන්මයි. රහතුන් වහන්සේ එසේ දැඩිව නොගනිති.
රහත්හු මනසින් ද කයින් ද, වචනයෙන් ද උපශාන්ත වෙති. සසර ගමන නිම කළ ශෝක දුරු කළ උන්වහන්සේට කෙලෙස් දාහයෙන් වන දැවිල්ලක් නැත. යම් කෙනෙකුගේ කර්මය හෝ සිව්පසය රැස්කිරීමක් නැද්ද, තමාගේ භෝජන මාත්‍රාව පිරිසිඳ දන්නේද රාගාදියෙන් මිදුණු එබඳු නිමිති රහිත වූ නිවනට යොමු වේද, එබඳු රහතුන් ගිය මඟ හෝ යන මග දත නොහැකි ය. අහසෙහි කුරුල්ලන් ගිය මග දත නොහැකිවාක් මෙනි. දක්ෂ රියදුරකු විසින් මනාව හික්මවන ලද රිය අදිනා අශ්වයන් මෙන්, යමකුගේ ඉන්ද්‍රියන් සන්සිඳුනේද මානය දුරු කළ ආශ්‍රව නැති අටලෝ දහමින් කම්පා නොවන ගති ඇති, ඒ රහතුන් වහන්සේට දෙවියෝත් කැමතිය. යමෙක් පොළොව මෙන් දුක සැප දෙකෙහි සමව සිටී ද, ඉන්ද්‍රඛීලයක් මෙන් නොසෙල්වේ ද මනා පැවතුම් ඇති මඩ නැති විලක් මෙන් ප්‍රසන්න වූ ඒ රහතුනට සසර සැරිසැරීමක් නැත. යමෙක් සිය නුවණින් මැ දැක පසක් කරන තුරු යමක් නොපිළිගනියි ද අනෙකෙකුගේ මැවීමක් නොවන යෙදුමක් නොවන නිවන ඒ අයුරින් ම පසක් කරයි ද? සසර සියලු සන්සිද්ධීන් සිඳ දමයි ද, මතු උපතට ඇතිඉඩ කඩ නැති කරයි ද, සියලු ආශා වමාරා දමයිද? ඒකාන්තයෙන් ම (ඒ රහතුන්වහන්සේ) උතුම් පුරුෂයෙකි. කාමාදී සංඥාවන් මැනවින් දැන ක්ලේශ ඕඝයන්ගෙන් එතෙර වූ තණ්හා මාන දිට්ඨීන්හි නොඇලුණු ,උදුරා දැමු රාගාදී කෙලෙස් මුල් ඇති ඒ රහත් තෙමේ දෙලොවම නොපතන්නේ ය. තෘෂ්ණාදී නිශ්‍රය ඇති කල්හි ම ඒ ඒ ධර්මයන් අරබයා “මෙයම සත්‍යය. අන් සියල්ල අසත්‍ය යැයි වාදයට එළඹෙයි.’ එකී නිශ්‍රයයන් නැති කල්හි කුමක් නිසා කෙසේ වාද කරන්නේ ද? සියලු දෘෂ්ටීන් ප්‍රහීණ කළ ඒ රහතුන් වෙත ආත්මවාදයද නැත. අනාත්ම වාදය ද නැත.
මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ බිනර පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 05 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment