Labels

Wednesday, September 6, 2017

දුක සතුට බෙදාගන්නා පවුල සැනසිලිදායකයි


පාලනය කරගත නොහැකි තරහව, කෝපය, වෛරය වැනි සිතිවිලි නිසා බොහෝ දෙනෙක් ජීවිතය ගිනිගොඩක් බවට පත් කර ගන්නවා. අඹු සැමියන්, දූ දරුවන් අතර ප්‍රශ්න ඇති කර ගන්නවා. පවුලේ සැනසිලිදායක බව, සමඟිය නැති කර ගන්නවා. සිත දවන එවැනි හැඟීම් පාලනය කරගෙන පී‍්‍රතිමත්, පවුලක් නිර්මාණය කර ගැනීමට නම් කළ යුතු හොඳම දේ කුමක්ද? මේ, ඒ පිළිබඳව කළ සාකච්ඡාවකි.

ජීවිතයේ සතුට, සැනසුම අපේක්ෂා කළත් එදිනෙදා මුහුණ දෙන සංකීර්ණ ගැටලු හමුවේ අපේ සමාජයේ ඇතැම් පවුල් තුළ අසමඟිය, අසතුට වර්ධනය වෙලා. අපේ හාමුදුරුවනේ, අඹුසැමියන් කෙරෙන්, මවුපිය දූ දරුවන් කෙරෙන් මෙලෙස සාමය, සංහිඳියාව දුරස්වන බවක් දැනෙන්නේ ඇයි?

පවුලක සාමය, සතුට සහ සමඟියේ පදනම ඉවසීමයි. ඉස්සර පවුලේ ගෘහ මූලිකයා, එසේත් නැතිනම් ගෙදර ස්වාමියා ආවේගශීලීව මොන දේ ප්‍රකාශ කළත් අහගෙන ඉන්නට තරම් ඉවසීමක් බිරිඳට තිබුණා. ඇය ආවේගශීලී වූයේ නෑ. අම්මා ලෙස ඒ ආදර්ශය ඇය දරුවන්ට ලබා දුන්නා. දරුවන් ඇය වෙතින් අන්‍යමතවලට ගරු කරන සැටි ඉගෙන ගත්තා. දැන් සමාජය සංකීර්ණවෙලා. සැමියා වගේ ම බිරිඳත් බොහෝවිට රැකියාවට යනවා. ඒ වෙහෙසකර බව එක පැත්තකින් ඉවසීම අඩු කරනවා. එහෙත් නුවණින් කල්පනා කර බලනවා නම්, ආගම දහමට අනුව ජීවිතය පවත්වා ගන්නවා නම් ගෙදර අම්මා කවර හේතුවක දී හෝ ආවේගශීලී වන්නේ නෑ.
ඒ වගේම එදා අධ්‍යාපනය ගමට සීමා වුණා. දැන් ඒ තත්ත්වය වෙනස්වෙලා. තාක්ෂණික දියුණුව සමඟ දරුවන්ගේ සිතුම් පැතුම් ආකල්ප වේගයෙන් වෙනස්වෙනවා. හොඳ, නරක ගැන උපදෙසක් ලැබුණත් අම්මා, තාත්තා සමඟ තර්ක කරනවා. මේ හැසිරීම් මවුපියන්ට අසහනයක්, අසතුටක් ගෙන දෙනවා. ඔවුන් වැඩිපුරම සතුටු වෙන්නේ දරුවන් දෙස බැලීමෙනුයි. අද ඇතැම් පවුල්තුළ ඒ සතුට නෑ. ආගන්තුකයන් වගේ, කතා බහක් නෑ.


සුහද කතා බහක් නොවන තරමට මවුපිය දූ දරුවන් අතර දුරස්බව, අන්‍යෝන්‍ය අනවබෝධය වළක්වා ගැනීමට නම්, වැඩිහිටියන් ලෙස මවුපියන්ගේ වගකීම කෙබඳු විය යුතුද?

අතීතයේ ගැමි ගෙදර කතා කරන පරිසරයක් තිබුණා. ඒ තුළින් ගොඩ නැඟෙන සම්බන්ධතාවය පවුලට මහත් ශක්තියක් වුණා. විශේෂයෙන් රාත්‍රී ආහාරය ගන්නා වේලාව. එදා අම්මා, තාත්තාට මුල් ම බත්පත බෙදාදීමෙන් අනතුරුවයි දරුවන්ගේ බත්පත බෙදුවේ. සියල්ලන්ටම ආහාර බෙදාදීමෙන් පසුවයි ඇයගේ කුසට අහරක් වැටුණේ.
ආදර්ශයෙන් ඇය වෙසෙස් පාඩමක් දරුවන්ට ඉගැන්වුවා. පියාට ගරු කරන හැටි, අනුන් ගැන හිතන හැටි, සැලකුම් කරන හැටි ඒ ආදර්ශයන් හි සැඟවී තිබුණා. ඒ වගේම ගෙදර හැමෝම අනිවාර්යයෙන් ම රාත්‍රී කෑම වේලට එකට එක්වුණා. සුහදශීලී කතා බහට, ප්‍රශ්න ගැටලු නිරාකරණයට, අඩුපාඩු දුර්වලකම් මඟ හරවා ගන්නට හැකි වුණේ සෑම දිනකම කෙරෙන ඒ හමුවෙන්. අද පවුලේ සාමාජිකයන් දුරස්වනවා නම් ඊට මූලිකම හේතුව වන්නේ ඒ සුහදශීලී අවස්ථාව නොලැබීමයි. සමහර නිවෙස්වල රාත්‍රී දහය, දොළහ වනතුරුත් කෑම මේසය අස්කරන්නට ඉඩක් නෑ. එක්කෝ තාත්තාට කුසගිනි නෑ. එක්කෝ දරුවන්ට කුසගිනි දැනෙන්නේ නෑ. වෙන වෙන ලෝකවල ජීවත් වෙනවා. කනගාටුවට කරුණක් වුණත් මේ අප අත්දකින සැබෑ සිදුවීම්. සමහරු ආහාර ටික ගන්නේත් රූප පෙට්ටියේ නාටක නරඹමින්. අන්තිමට ආහාර ගත් බවවත් මතකයේ නෑ. මේ පරිසරය වෙනස් කිරීමේ වගකීම හිමි වන්නේ අම්මට සහ තාත්තටයි. මොනතරම් කාර්ය බහුල වුණත් අනිවාර්යයෙන් ම, අඩුමතරමින් දිනකට පැය භාගයක් හෝ පවුලේ කතාබහක් ඇතිවිය යුතුයි. දුක සතුට බෙදාගත යුතුයි. ප්‍රශ්න සාකච්ඡා කළ යුතුයි. ඒ තුළ අපත් නොදැනීම ඔවුනොවුන් අතර සුහද බව වැඩිදියුණු වෙනවා.

අපේ හාමුදුරුවනේ, කායික මානසික සුවතාව ඇතිවන ලෙස පවුලේ සාමාජිකයන්ගේ හැසිරීම් හසුරුවා ගන්නා ආකාරය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළ හැකි ද?

මෙහිදී පවුලක සිටින සෑම සාමාජිකයෙක් ම කරුණු හයක් පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. පළමුවැන්න ඔවුනොවුන්ගේ සැප සනීප සොයා බැලීමයි. එවිට තමන් වෙනුවෙන්, තමන්ගේ පවුලේ අය ඉන්නවා, සොයා බලනවා යන ශක්තිමත් හැඟීම ඇති වෙනවා. පවුල තුළ තමන්ට වැදගත් තැනක් තිබෙනවා යන හැඟිම මත ඔවුනොවුන් ගැන ආදරය, සෙනෙහස වැඩිදියුණු වෙනවා.
දෙවැන්න ඔවුනොවුන් අතර සමඟියයි. සහෝදර සහෝදරියන් එකිනෙකාගේ ජයග්‍රහණවලදී සතුටු විය යුතු යි. ඊර්ෂ්‍යාවෙන් නො බැලිය යුතුයි. දුක් සහිත විටෙක දුක බෙදා හදා ගත යුතු යි. මවුපිය දෙපළටත් එහි වගකීමක් පැවරෙනවා. දරුවන් අතර අසමඟිය ඇතිවන ලෙස එක් අයෙකුට වැඩියෙනුත් අනෙක් දරුවාට අඩුවෙනුත් නොසැලකිය යුතුයි.
තෙවැන්න ඔවුනොවුන් සිනහමුසු මුහුණින් යුතු වීමයි. ඒ වගේම කායික මානසික සුවතාවයෙන් යුතු සැනසිලි දායක පරිසරයක වටිනාකම ගැන විවෘතව කතා කළ යුතුයි. දරුවන්ගේ අධ්‍යාපනයට, පවුලේ දියුණුවට ආදී සෑම කරුණක දී ම එය වැදගත් බවට අවබෝධයක් පවුලේ සැමට තිබිය යුතුයි.

සමහර නිවෙස්වල කුඩා දරුවන් අතර පවා රණ්ඩු දබර ඇතිවෙනවා. ඔවුනොවුන් නුරුස්නා ස්වභාවයක් තිබෙනවා. මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට කළයුතු වන්නේ කුමක් ද?

නිවෙසක අම්මා, තාත්තා හිංසාකාරී චරිත නම්, ආවේගශීලීව ඔවුනොවුන් කායිකව හා මානසිකව රිදුම් ඇති කර ගන්නවා නම් දරුවන් ද ඒ ආදර්ශය ම ලබනවා. ගෙදර වැඩිහිටියන් අනුන්ගේ දේ සොරකම් කරනවා නම්, අල්ලපු ගෙදර දේ සොර සිතින් ගන්නවා නම්, ඒ පරිසරයේ සහනයක් නෑ. ගෙදරත් ප්‍රශ්න. බාහිරත් ප්‍රශ්න. ඉතින් එවැනි දේ දකින දරුවා ද සොරකමට බිය නෑ. ගෙදර බඩු භාණ්ඩ පවා සොරකම් කර තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්නට පෙළඹීමට පුළුවන්.
අඹුසැමියන් අතර අවිශ්වාසය, අනවබෝධය ගෙදර සාමය බිඳ වැටීමට හේතුවක්. ඔවුන්ගේ අඬ දබර, අසංවර වචන, ක්‍රියාකාරකම් දරුවන්ගේ සිතට තදින් දැනෙනවා. ඔවුන් තුළින් දැකිය හැකි වන්නේ ප්‍රචණ්ඩත්වය මිස සාමයක් නොවේ. බොහෝ විට සමඟිය බිඳ වැටෙන්නේ වචනය නිසා. බුදුරජාණන් වහන්සේ ගිහියාට පංචශීල ප්‍රතිපදාව හඳුන්වා දුන්නේ මේ තත්ත්වයන් වළක්වාලීමටයි.

අපේ හාමුදුරුවනේ, සිතට තරහක්, කෝපයක් ඇති වූ අවස්ථාවක වචනය හසුරුවා ගන්නේ කවර ආකාරයකින් ද?

භූතභාණී, පුප්ඵභාණී, මධුභාණී ලෙස වචන භාවිත කරන ක්‍රම තුනක් පිළිබඳව බුදු දහමේ සඳහන් ‘භූත භාණී’ කියන්නේ. අපිරිසුදු, නරක වචනවලට. දුර්ගන්ධය හමනවා යන අර්ථය එහි ඇතුළත්. අම්මා, තාත්තා එවැනි වචන කියනවා නම් නිවස ගඳ ගසන තැනක් වෙනවා. එහි හැදෙන වැඩෙන දරුවන්ගේ මුවින් පිටවන්නේ ද දුර්ගන්ධය, හමන වචනයන්මයි. එවැනි පරිසරයක සැනසිලිදායක බවක් නෑ. මේ නිසා මොනතරම් නරක සිතිවිලි ආවත් ඒවා වචනයට පෙරළන්නට හොඳ නෑ. පාලනය කර ගන්නට උත්සාහ කළ යුතුයි. ඒ සඳහා වුවමනාවක්, ස්වයං පාලනයක් ඇති කර ගත යුතුයි.
බොරුකීමෙන් වැළකී, සත්‍යම කතා කළයුතුයි. පරුෂවචන, කේළාම් නොකිව යුතුයි. සමහර සහෝදර සහෝදරියන් ඔවුනොවුන් අමතන්නේ ‘මෝඩයා’ ‘පෙරේතයා’ ආදී වචනවලින්. මේ ගැන සැලකිලිමත් විය යුතු යි.

සිතුම්, පැතුම්, හැසිරීම් එකිනෙකට වෙනස්වීම ඇතැම් ගැටුම්වලට මුල්වෙනවා. අපේ හාමුදුරුවනේ, පවුලක සාමාජිකයන් එවැනි තත්ත්වයන්ට ඉවසීමෙන් මුහුණ දෙන්නේ කෙලෙසද?

බුද්ධ කාලීන භාරතයේ භාරද්වාජ නමින් බමුණෙක් සිටියා. ඔහුගේ බිරිඳ ධනංජානී බැමිණියයි. ඇය තෙරුවන් සරණ ගිය කාන්තාවක්. සැමියා වෙනත් ආගමිකයෙක්. ඔහු ඉක්මනින් කෝප වෙනවා. තෙරුවන් සිහි කිරීම ගැන, වන්දනාමාන කිරීම ගැන බැමිණියට තදින් දෝෂාරෝපණය කරනවා. ඒත් ඇය කිසි විටෙක කලබල වුණේ නෑ. පෙරළා බමුණාට දොස් කීවේ නෑ. ඇය දිගින් දිගටම තෙරුවන් වන්දනාමාන කළා. දවසක් බමුණා බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්නට ගියා ‘ස්වාමීන් වහන්ස, සුවසේ නිදා ගන්නට, ශෝක නොකරන්නට, සැනසීමෙන් ජීවත් වෙන්නට කුමක් කළ යුතුද?’ බමුණා උන්වහන්සේගෙන් විමසුවා. ‘ කෝප වෙන්න එපා. ක්‍රෝධ කරන්න එපා. සුව නින්දක් ලැබෙනවා. ශෝකයක් ඇති වන්නේ නෑ. ප්‍රශංසාත්මක පරිසරයක ජීවත් වෙන්න හැකි වෙනවා.’ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා.

මේ උපදේශය අපේ සමාජයට ඉතා වැදගත්. ඒ වගේම හැම ගෙදරකම මොනතරම් කාර්ය බහුලවුණත් බුදුන් වඳින්නට වේලාවක් වෙන්කර ගත යුතුයි. තුන් සූත්‍රය සජ්ඣායනා කිරීම ඉතාම හොඳ දෙයක්. එවැනි පරිසරයක සිත් සුවපත් වෙනවා. පි‍්‍රයමනාප බවක් ඇති වෙනවා.





කරගොඩ උයන්ගොඩ 
මෛත්‍රීමූර්ති මහා නා හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අගෝස්තු 15 වන අඟහරුවාදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment