කුසිනාරාවේ උපවර්තන සල් උයනේ යමක සාල රුක්ෂය අතර පැන වූ පිරිනිවන් මංචකයේ වැඩ හිඳිමින් අපගේ මහා කාරුණික ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙසේ වදාළ සේක .
පින්වත් ආනන්ද, ඔබට මෙබඳු අදහසක් ඇතිවෙන්න පුළුවනි. මේ ශ්‍රී සද්ධර්මය අතීතයට ගිය ශාස්තෘවරයෙකුගේ ය. දැන් අපට ශාස්තෘන් වහන්සේ නැත කියා. පින්වත් ආනන්ද, එය ඒ ආකාරයෙන් නො දැකිය යුතු ය. ආනන්දය, මා විසින් යම් ධර්මයක් දේශනා කරන ලද්දේ ද, විනයක් පනවන ලද්දේ ද, මාගේ ඇවෑමෙන් ඒ ධර්මයත්, විනයත් ඔබට ශාස්තෘවර වන්නේ ය. (මහා පරිනිබ්බාන සූත්‍රය- දීඝ නිකාය)
අද අප ජීවත් වන මේ යුගයේ ඒ උතුම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2560 කුත් ඉක්මවා ගිය යුගයකි. සම්බුද්ධ පරිනිර්වාණය සිදු වී මේසා දීර්ඝ කලක් ගත වීද, තවමත් මේ ගෞතම බුදු සසුනේ පිළිසරණ ලැබීමේ අවකාශය තිබෙනවා. එයට හේතුව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම – විනය තවමත් ඉතා පිරිසුදුව ආරක්ෂා වී තිබීම යි.
සම්බුදු රජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වී තෙමසක් ඉක්ම ගිය කල්හි ම ප්‍රථම ධර්ම සංගායනාව සිදු කරනු ලැබී ය. ඒ සඳහා මූලිකත්වය ගනු ලැබුවේ මහා කස්සප මහරහතන් වහන්සෙ ්ය. අජාසත් මහ රජුගේ රාජ්‍යනුග්‍රහය යටතේ උතුම් මහරහතන් වහන්සේ පන්සිය නමක් ඒකරාශිව සිදු කළ ඒ උතුම් ධර්ම සංගායනාව “පඤ්ච සතිකා” නමින් හඳුන්ව යි. එහි දී උතුම් රහතන් වහන්සේ විසින් ම යි නිකාය වශයෙන් ධර්ම – විනය සංග්‍රහ කරනු ලැබුවේ.
අනතුරුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100 ක් ඉක්ම ගිය කල් හි කාලාශෝක රජු සමයේ සබ්බකාමි, යස හා රේවත යන උතුම් මහරහතන් වහන්සේ ප්‍රමුඛ හත් සියයක් රහතුන් එක් වී දෙවැනි ධර්ම සංගායනාව සිදුකොට වදාළා. එමෙන් ම සම්බුද්ධ පරිනිර්වාණය සිදුවී වසර 236 ක් ව තිබිය දී තෙවැනි ධර්ම සංගායනාව සිදුවුණා. ධර්මාශෝක මහ රජුගේ රාජ්‍යානුග්‍රහය යටතේ රහතන් වහන්සේ් දහස් නමක් එක් ව සිදුකළ එම සංගායනාවේ මූලිකත්වය ගනු ලැබුවේ මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ විසිනු යි.
ගෞතම මුනි රජුන්ගේ පරම පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මය ලංකාද්වීපයේ බිහි වූ මහා සංඝ පරපුර විසින් මහත් වූ කැප කිරීමකින් යුතුව ආරක්ෂා කර ගනු ලැබුවා. ඒ නිසා ම ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඉතා පිරිසුදු ලෙස ඉගෙන ගන්නට අදත් අවස්ථාව තිබෙනවා. ඒ සඳහා කැමැති කෙනෙක් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.
ඒ තමයි, තමන් ධර්මය යැයි සිතාගෙන අසන්නේ, කියන්නේ සැබැවින ්ම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය දැයි විමසා, සොයාබලා ගැනීමේ දක්ෂකමක් තිබීම. එසේ නොවුනහොත් අපගේ ශාස්තෘන් වහන්සේගේ අදහස ශාස්තෘ මතය වෙනුවට පසුකාලීන ආචාර්යවරුන්ගේ අදහස එනම්, ආචාර්ය මතය අපට ධර්මය නාමයෙන් ඇසෙන්නට පුළුවනි.එවිට අප පිළිගත යුත්තේ කුමක්දැයි තෝරාබේරා ගන්නේ කෙසේද? යන ගැටලුවට අප මුහුණ දෙනවා.
බුදුරජාණන් වහන්සේ “සද්ධර්ම පතිරූපක සූත්‍රයේ” දී ලස්සන උපමාවක් දේශනා කොට වදාළා. පින්වත් මහණෙනි, මේ ලෝකයේ රත්තරන් විතරක් තිබෙනතුරු රත්තරන් අතුරුදහන් වන්නේ නැහැ. නමුත්, මේ ලෝකයේ රත්තරන් වගේ පෙනෙන රත්තරන් නොවන දෙයක් පහළ වෙනවා. එවිට රත්තරන් මේ ලෝකයෙන් සැඟ වී යනවා. අතරුදහන් වෙනවා. මේ ආකාරයට පින්වත් මහණෙනි, තථාගත ශ්‍රී සද්ධර්මය පමණක් ලොව තිබෙන තාක් ධර්මය අතුරුදහන් වන්නේ නැහැ. නමුත් පින්වත් මහණෙනි, තථාගත ශ්‍රී සද්ධර්මය වගේ පෙනෙන ධර්මය නොවන දෙයක් ලොව පහළ වෙනවා. එවිට තථාගත ශ්‍රී සද්ධර්මය සැඟ වී යනවා. අතුරුදහන් වෙනවා.
ඉතින් මේ අනතුරින් තමන් බේරෙන්නට නම් ඉතාමත් බුද්ධිමත් ව ධර්මය හැදෑරිය යුතුයි. ඒ සඳහා වටිනා උපදේශයක් අපට පරිනිබ්බාන සූත්‍රයේ දී මුණ ගැසෙනවා.
අපගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ එක් කලෙක භෝග නුවර ආනන්ද චෛත්‍යස්ථානයේ දී භික්ෂුන් අමතා සතර මහෝපදේශයන් දේශනා කොට වදාළා. ධර්මය ඉගෙන ගන්නට කැමැති කෙනෙක් මේ මහෝපදේශයන් දැන සිටීම ඉතා ම වැදගත්.
යම්කිසි භික්ෂුවක් කියන්නට පුළුවනි මම මෙය ඇසුවේ භාග්‍යවතුන් වහන්සේ හමුවේදී ම යි. මෙය යි ධර්මය, මෙයයි විනය, මෙයයි ශාස්තෘ ශාසන ය කියා. එවිට ඒ භික්ෂුවගේ වචනය ප්‍රතික්ෂේප නො කළ යුතු යි. නො පිළිගත යුතු යි. ඒ ප්‍රකාශය ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුතු යි. විනයෙහි සසඳා බැලිය යුතු යි.
තවත් භික්ෂුවක් මෙසේ කියන්නට පුළුවනි. අසවල් ආවාසයේ ස්ථවිරයන් වහන්සේ සහිත, ප්‍රමුඛයන් වහන්සේ සිටින සංඝයා වැඩ වාසය කරනවා. මම මේ කරුණ ඇසුවේ ඒ සංඝයා ඇසුරේදී ය. මේ තමයි ධර්මය, මේ තමයි විනය, මෙය යි ශාස්තෘ ශාසනය කියා ඒ භික්ෂුවගේ ප්‍රකාශයත් නො පිළිගෙන, ප්‍රතික්ෂේප ද නො කොට ධර්මයේ බහා බැලිය යුතුයි. විනයෙහි සසඳා බැලිය යුතුයි.
එසේ නැතිනම් භික්ෂුවක් මෙසේ කියන්නට පුළුවනි. අසවල් ආවාසයේ බහුශ්‍රැත වූ, උගත් සුත්‍රාන්තයන් ඇති, ධර්මධර වූ, විනයධර මාතෘකාධාර වූ සංඝයා වැඩ වාසය කරනවා. උන්වහන්සේ සමීපයේ දී යි මම මෙය ඇසුවේ. ධර්මය මෙය යි. විනය මෙය යි. ශාස්තෘ ශාසනය මෙය යි කියා. එවිට ඔහුගේ ප්‍රකාශයත් ප්‍රතික්ෂේප නො කොට, පිළි ගන්නේත් නැතිව ධර්මයේ බහා විනයේ සසඳා බලන්නට ඕන.
යම් භික්ෂුවක් මේ ආකාරයට කියන්න පුළුවනි. අසවල් ආවාසයේ වැඩ ඉන්නවා බහුශ්‍රැත, උගත් සුත්‍රාන්ත ඇති ධර්මධර, විනයධර, මාතෘකාධර එක් ස්ථවිරයන් වහන්සේ නමක්. උන්වහන්සේගෙන් මම මේ කාරණය ඇසුවේ. මෙයයි ධර්ම ය, මෙය යි විනය, මෙය යි ශාස්තෘ ශාසනය කියා. එකල්හිත් ඒ කරුණ පිළිගත යුතු නැහැ. ප්‍රතික්ෂේප කළ යුතු නැහැ. එය ධර්මයේ බහා බලන්නට ඕන. විනයේ සසඳා බලන්නට ඕන.
බුදුරජාණන් වහන්සේ වදාළේ මෙයයි. ධර්ම ය, මෙයයි විනය, මෙයයි ශාස්තෘ ශාසනය. . . කියලා. නොයෙක් කෙනා නොයෙක් ආකාරයෙන් කියන ඒ වචන අවසානයේ ධර්ම විනයේ ගලපා බලන්න කියල යි. වර්තමානයේ බොහෝ දෙනෙක් තුළ එසේ විමසීමක් නැහැ. අසන්නේ මොකක් ද? එය ඒ ආකාරයට ම පිළි ගන්නවා. එය අනුවණකමක්. මේ සතර මහෝපදේශයන් පෙන්වා වදාළ අංගුත්තර නිකායේ ‘මහෝපදේසදේසනා’ සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් මෙසේ වදාළා.
පින්වත් මහණෙනි, ඉතින් ධර්මයේ බහා බලද්දී, විනයේ සසඳා බලද්දී, ඒ පැවසූ දෙය ධර්මයේ නො බැස ගනී නම්, විනයෙහි නො සැසඳෙයි නම්, නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ඒකාන්තයෙන් ම මෙය ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ වචනයක් නොවෙයි. මේ භික්ෂුව විසින් වැරැදි ලෙස ගන්නා ලද දෙයකි යි. මහණෙනි, මෙය මෙසේ බැහැර කොට දමන්න.
එහිදී සුත්‍රයෙහි බහා බලද්දී, විනයෙහි සසඳත් දී ඒ පැවසු දෙය සුත්‍රයෙහි බැස ගනී නම්, විනයෙහි ලා සැසඳෙයි නම් ඒ පිළිබඳව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ඒකාන්තයෙන් ම මෙය ඒ භාග්‍යවත් අරහත් සම්බුදු රජාණන් වහන්සේගේ වචනය යි. මේ භික්ෂුව විසින් මැනැවින් ගන්නා ලද දෙයකියි. මහණෙනි, මේ මහෝපදේශයන් දරාගත යුත්තේ ය.
ඒ නිසා මහා කාරාණික බුදුරජාණන් වහන්සේ වදාළ මේ අර්ථය අප ඉතා සැදැහැ සිතින් සිහියේ තබාගත යුතුයි. හොඳින් විමසා බලා ධර්ම විනය හඳුනාගත යුතුයි. එලෙස කටයුතු කළොත්, මේ දුර්ලභ ලෙස මුණ ගැසුණු බුදු සසුනේ මේ මිනිස් ජීවිතය අවසන් වන්නට පෙර මහත් වූ යහපතක් සලසා ගන්නට හැකියාව ලැබේවි.
පොල්ගහවෙල
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ බිනර පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 05 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment