අභිධමර්යෙහි විස්තර වන සිව් වැදැරුම් පරමාර්ථ ධර්ම අතරින් චෛතසික යනු දෙවැන්න යි. සිත සමඟ ම ඉපදීම, සිත සමඟම නිරෝධ වීම, සිත ගන්නා අරමුණ ම ගැනීම හා එක් වස්තුවක් ඇසුරු කොට පැවතීම යන මේ කරුණු සතර චෛතසිකයන්ගේ පොදු ලක්ෂණයන් බව එකුප්පාද නිරොධා ච - එකාලම්භන වත්ථුකා චෙතොයුත්තා ද්විපඤ්ඤාස - ධම්මා චෙතසිකා මතා (අභිධර්මාර්ථ සංග්‍රහය) ගාථාවෙන් පැහැදිලි කෙරේ.
උද්ධච්චය ලෙස හඳුන්වනු ලබන්නේ සිතෙහි සැලෙන ස්වාභාවය යි. නිවන් මඟ අවුරන පංච නීවරණ ධර්ම අතර ද සිව්වැනිව සිටින්නේ උද්ධච්චය හා කුක්කුච්චය යි. මේ අනුව උද්ධච්ච චෛතසිකය යනු නිවන් මඟට බාධා කරන්නා වූ නීවරණ ධර්මයන්ට මඟ හෙළිකරන්නා වූ බලවත් අකුසල චෛතසිකයක් බව මැනවින් පැහැදිලි වේ උද්ධච්ච චෛතසිකය සියලු අකුසල සිත් තුළ යෙදෙමින් පෘථග්ජන සිත අකුසලය කරාම මෙහෙයවනු ලබයි.
සිතෙහි සැලෙන ස්වාභාවය හෙවත් අරමුණෙහි සැලෙන ගතිය උද්ධච්චය නම් වේ. උද්ධච්ච චෛතසිකයෙහි ස්වාභාවය පහසුවෙන් අවබෝධය පිණිස ධර්මයෙහි විවිධ උපමා ඉදිරිපත් කොට තිබේ. ඒ අතරින් “කන්දුකෝපමාව හෙවත් පන්දුවක උපමාව වඩාත් සරල ය. අමු මැටි ගුලියක් පොළොවෙහි පතිත වූ කල, පොළොව බදාගෙන නිසොල් ව පවතී. එහි කිසිදු සෙලවීමක් හෝ සිදු නොවේ.
එහෙත් යම් ගෝලාකාර පන්දුවක් බිම දැමූ කල එය මැටි ගුළියක් සේ එක් තැනක නොසිට ඒ මේ අත සැලෙමින් සසලව පවතී. සිත් අතර ද එලෙස පන්දුවක ආකාරයෙන් අරමුණෙහි සැලෙමින් පවතින සිත් ඇත. එසේ අරමුණුවල සැලෙන සිත්වල එම සැලෙන ස්වාභාවය ඇතිකරනු ලබන්නේ මෙම උද්ධච්ච චෛතසිකයෙනි. සිත සොලවන බව උද්ධච්චය නම් වේ. එනම් සිත මැනවින් අරමුණෙහි නොපිහිටන ස්වාභාවය යි.
යම් අරමුණක ස්වාභාවය මැනවින් හඳුනාගැනීමට නම් සිත නිශ්චල ව පැවතිය යුතු ය. චංචල වූ සිතකට හොඳ නරක, යහපත අයහපත හෝ කුසලය අකුසලය වටහා ගැනීමට නොහැකි ය. මෝහ චෛතසිකයෙන් මුළාවට පත් වන පෘථග්ජන සිත අරමුණු වරදවා ගන්නා විට මෙම උද්ධච්ච චෛතසිකය මඟින් සිත සසල කරමින් සැමවිටම සිත නොමඟට යොමුකරවනු ලැබේ. මෙලෙස නොසන්සුන් බවින් සත්ත්වයාගේ සිත අකුසලයට යොමු කරමින් අකුසල් සිදුකරනු ලබන්නේ උද්ධච්ච චෛතසිකයෙහි උපකාරයෙනි. යම් සේ සුළඟ වේගයෙන් ගස්, අතු, කොළ සොලවනු ලබන්නේ ද එපරිද්දෙන් ම උද්ධච්චය මඟින් සිතත් සම්ප්‍රයුක්ත ධර්මයනුත් සොළවමින් ඔවුන්ගේ කටයුතුවලට බාධා පමුණුවමින් නොසන්සුන් බව ඇති කරවයි.
එහෙත් උද්ධච්ච චෛතසිකයෙන් යුක්ත වූ සිත් තුළ ලෝභ දෝෂ ආදී අකුසල් සිදුකරවනු ලබන පාප ස්වාභාවය නොමැති හෙයින් කර්ම පථයක් හෙවත් පසුව විපාක දීමට හැකි කර්මයක් බවට පත් නොවේ. එහෙත් උද්ධච්චය මඟින් සිත අරමුණෙහි සසල කොට සිතෙහි නොසන්සුන් බව ඇති කොට සිත නොමඟට ම යොමු කරමින් සත්ත්වයා අකුසලයට යොමු කර ඔවුන්ගේ සසර ගමන වඩ වඩාත් දීර්ඝ කරමින් දුකට ම ඇද දමනු ලබයි.
උද්ධච්චය අරහත් මාර්ගඵලයෙන් ම නැසිය යුතු ය. සෝවාන්, සකෘදාගාමි හා අනාගාමි ඵලයන්ට පත් වූයේ නමුදු උද්ධච්චය එලෙසින් ම පවතී. එක් අරමුණක පිහිටන ස්වාභාවය හෙවත් ඒකග්ගතා චෛතසිකය සබ්බචිත්ත සාධාරණ චෛතසිකයකි. එනම් සෑම සිතකම සාධාරණ වශයෙන් යෙදෙන්නකි. එලෙස ඒකග්ගතාවෙන් යුක්ත වූ සිතක උද්ධච්චය හෙවත් අරමුණෙහි සැලෙන ස්වාභාවය ඇතිවන්නේ කෙසේදැයි ගැටලුවක් ඇති විය හැකි ය. ඒකග්ගතාවෙන් හා උද්ධච්චයෙන් යුක්ත වූ සිත එනම් එකග්ගතා උද්ධච්ච සම්පයුක්ත චිත්තය, ගැස්සෙන කරත්තයක වාඩි වී සිටින්නෙකුට උපමා කොට ධර්මයෙහි විස්තර කෙරේ. කරත්තයෙහි වාඩි වී සිටින පුද්ගලයා කරත්තය ගැස්සෙන විට තෙමේ ද ගැස්සෙයි. එපරිද්දෙන් උද්ධච්ච සම්පයුක්ත ඒකග්ගතා චිත්තය, ඒකාග්‍රතා වශයෙන් අරමුණෙහි පිහිටා සිටිමින් උද්ධච්ච වශයෙන් සැලෙන්නේ ය. එබැවින් අකුසල චෛතසික තුදුස අතුරින් සබ්බාකුසල සාධාරණ හෙවත් සියලු අකුසල සිත්හි සාධාරණ වශයෙන් පිහිටන උද්ධච්ච චෛතසිකය සිත අරමුණෙහි සැලෙන ගතිය හෙවත් නොසන්සුන් බවට පත් කරමින් සිත අකුසලය කරා යොමුකරවයි.
පුහුදුන් සත්ත්වයා නිරන්තරයෙන් සතර මහා භූතයන්ගෙන් සැදුම්ලත් සියලු දෙය තමාට පෙනෙන, ඇසෙන, දැනෙන අයුරින් ම පිළිගැනීමට පුරුදුව ඇති බැවින් මුළාවට පත් ව යහපත අයහපත ලෙසත්, අයහපත යහපත ලෙසත්, කුසලය අකුසලය ලෙසත්, අකුසලය කුසලය ලෙසත් වරදවා වටහාගනිමින් එහි ප්‍රතිඵලයක් ලෙස නිරතුරු දුකට පත්වෙමන් සසර ගමන් කරයි. උද්ධච්චය හෙවත් සිතෙහි නොසන්සුන් බව නිසා අරමුණු නිවැරදිව වටහාගත නොහැකි ව අකුසලයට ම යොමු වීම නොදියුණු මනස් ඇති පෘථග්ජනයන්ගේ ස්වාභාවය යි. සසරින් මිදී නිවන් අවබෝධය පිණිස උත්සාහවත් වන පුද්ගලයා විසින් ලෝකයෙහි යථා ස්වාභාවය, රූප, ශබ්දාදී අරමුණුවල ඇති අස්ථීර බව මැනවින් වටහාගනිමින් අනර්ථය සළසන අකුසල චෛතසික පිළිබඳ ව හොඳීන් අවබෝධ කොටගෙන නුවණත් වීර්යයත් දියුණු කරගනිමින් පාපයෙන් දුරස් ව සිටීමට අදිටන් කර ගත යුතු ය.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ බිනර පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 05 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment