වස් කාලය තුළ එළඹෙන බිනර පුර පසළොස්වක පෝය දිනයේ සම්බුදු සසුනේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම සුවිශේෂී සිදුවීමකි. කාන්තාවන්ට පැවිද්ද හා උපසම්පදාව ලබා දීමට තථාගත බුදුරජාණන් වහන්සේ ගත් උතුම් තීරණය මනුෂ්‍ය ඉතිහාසයේ අතිශය වැදගත්කමක් දරයි. කාන්තාව මාතෘත්වයේ සංකේතය යි. සිය ස්වාමියා මළ විට එම දර සෑයට පැන තම දිවි හානිකර ගැනීමට සිදු වූ කාන්තාවට විමුක්තිය උදාකරගැනීමට හැකියාව ලැබුණේ බිනර පෝය දිනයක ගෝතමී දේවිය පැවිද්ද හා උපසම්පදාව ලැබීමෙන් භික්ෂුණී ශාසනය ආරම්භ වීමෙනි.
ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවීමට පෙර තම සුළු මව වූ මහා ප්‍රජාපති ගෝතමී දේවිය කාන්තාවන්ට පැවිද්ද ඉල්ලා සිටි විට තෙවරක් ම ප්‍රතික්ෂේප කරන ලද්දේ ඇයි දැයි බුද්ධිමත්ව සළකා බැලිය යුතු කරුණකි. එකල සමාජ සංස්ථාව කාන්තාවන්ට ලබා දී තිබුණු තත්ත්වය මෙන් ම පවුල් සංස්කෘතියට කාන්තාව සම්බන්ධවීමේ මනෝවිද්‍යාත්මක පසුබිම ද බුදු ඇසට විද්‍යමාන වන්නට ඇත.
එබැවින් වැඩුණු හැල් කෙතක වී බොල් වන ලෙඩ බෝවීමක් ලෙස කාන්තා පැවිද්ද උපමා කළ බුදුරජාණන් වහන්සේ පසුව අෂ්ට ගරු ධර්ම පිළිපදින්නේ නම් පමණක් කාන්තාවන්ට පැවිද්ද හා උපසම්පදාව ලැබීමට අවසර ඇති බව දේශනා කළ බව අටුවාවේ සඳහන් වේ.
මෙසේ බුද්ධ මාතාව විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ භික්ෂුණී ශාසනය පිහිටුවන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී ම එය ඉටු කළේ නම් කාන්තා පැවිද්දේ වටිනාකමක් නොදැනෙන බැවිනි. කාන්තා පැවිද්ද අපහසුවෙන් ලබා ගත් විට එහි වටිනාකමක් ද ඇත. මේ අනුව බුදුරදුන් පළමුවර කාන්තා පැවිද්ද ප්‍රතික්ෂේප කිරීම යම් උපායශීලී ක්‍රියාමාර්ගයක් වන්නට ඇතැයි සිතිය හැක.
රෝහිණි ගංගා තීරයෙහි දී ශාක්‍ය කෝළීය කුමාරවරුන් පන්සියයක් දෙනා පැවිදි වූ පසු ඔවුනගේ භාර්යාවන් කෙස් වැටි කපා කහ වස්ත්‍ර පොරවා මැටි පාත්‍ර අතැතිව යොදුන් ගණනක් දුර ගෙවා පා ගමනින් විශාලා මහනුවරට පැමිණිවිට දහදිය දූවිලිවලින් හෙම්බත්ව ඉතා වෙහෙස මහන්සි ඇතිව කූටාගාර ශාලාවේ දොරටුව අභියස ඉතා වේදනාවෙන් සිටින අවස්ථාවේ දී ප්‍රජාපතී දේවිය දුටු ආනන්ද හිමියන් විමසුවේ මෑණියනි , විශාලා මහනුවර කරදරයක් වත් ද යනුවෙනි. ශෝකීව විඩාබරව සිටි බුද්ධ මාතාව පිළිතුරු දුන්නී ‘පුතනුවණි, අපට කිසිදු කරදරයක් නැත. කාන්තා පැවිද්ද ලබා ගැනීමේ අරමුණින් බුදුරදුන් හමුවීමට පැමිණියෙමු” යනුවෙන් ය.
මේ සංවේදී අවස්ථාවේ ආනන්ද හිමියන් භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ වෙත වැඩම කොට කාන්තා පැවිද්ද ලබා දෙන ලෙස ඇයැද සිටියේ ය. එහි දී බුදුරදුන් කාන්තා පැවිද්ද ගැන කතා නොකරන ලෙස ආනන්ද හිමියන්ට වදාළහ. කිහිප විටක් අයැද සිටි ආනන්ද හිමියෝ කාන්තාවන්ට පැවිද්ද ඇකැපද? යනුවෙන් විමසී ය. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ වදාළේ ආනන්දය අෂ්ට ගරු ධර්ම පිළිපදින්නේ නම් එයම ඔවුන්ගේ පැවිද්ද හා උපසම්පදාව වන්නේ ය යනුවෙනි. මේ අනුව බිනර පෝය දිනය කාන්තා විමුක්ති දිනයක් ලෙස සැළකීම යුක්ති සහගත වේ. එය සමස්ත කාන්තා පරපුරටම මානව අයිතිවාසිකම් තහවුරු කෙරෙන නිවනේ සැනසිල්ල ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසුන උත්කෘෂ්ට දිනයක් වන්නේ ය.
විනය පිටකයේ චුල්ල වග්ග පාලියේ සඳහන් අෂ්ට ගරු ධර්ම මෙසේ ය.
- උපසම්පදාවෙන් වසර සියයක් ගත වූ මෙහෙණියක විසින් වුව ද උපසම්පන්න වූ භික්ෂුවට වැඳුම් පිදුම් කිරීම, හුනස්නෙන් නැගිටීම ආදී ගෞරව කළ යුතු වේ.
- භික්ෂුණිය තමාට අවවාද ලබා ගැනීමට සුදුසු භික්ෂුවක් නොමැති ප්‍රදේශයක මෙහෙණවරක වස් නොවැඩිය යුතු වේ.
- අඩ මසක් පාසා භික්ෂුණින් විසින් භික්ෂු සංඝයාගෙන් පොහොය විචාළ යුතු ය. අවවාද දීමට භික්ෂුවකගේ පැමිණීම ද බලාපොරොත්තු විය යුතු ය
- වස් විසූ භික්ෂුණිය වස් අවසානයේ දී භික්ෂු , භික්ෂුණි යන උභතෝ සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතු ය.
- ඇවැතකට පත් භික්ෂුණිය දෙසතියකට නො අඩු කාලයක් උභය සංඝයා ඉදිරියෙහි වත් මානත් පිරිය යුතු ය.
- උපසම්පදාව ලබනු කැමති මෙහෙණිය දෙවරසක් ම ශික්ෂා මානකව සිටිය යුතු ය.
- කවර කරුණක් නිසා හෝ භික්ෂුණිය විසින් භික්ෂුවකට අක්‍රෝශ පරිභව නොකළ යුතු ය.
- භික්ෂුණිය විසින් භික්ෂුන්ට අවවාද නොකළ යුතු අතර භික්ෂුන්ගේ අවවාද පිළිගත යුතු ය.
බිනර පෝදා මෙම ගරු ධර්ම අට පිළිගෙන පැවිද්ද හා උපසම්පදාව ලබා ගැනීමට එකඟ වූ කාන්තා විමුක්තිය සඳහා තම දිවි පරදුවට තබා කටයුතු කළ මහා ප්‍රජාපති ගෝතමී රහත් භික්ෂුණියක් ලෙස සමස්ත ස්ත්‍රී වර්ගයාටම ආදර්ශයකි. වර්තමානයේ විහාරස්ථානවල සිදුකෙරෙන පින්කම්වල දී කාන්තාව පෙරමුණ ගෙන සම්බුදු සසුනේ දියුණුවට ඉමහත් සේවයක් කරන අතර, එහි ආරම්භක පියවර තැබූ මහා ප්‍රජාපති ගෝතමී උත්තමාවියට බිනර පෝයදා ගෞරව සැමරුම් පැවැත්වීමට සුවිශේෂී දිනයක් ද වන්නේ ය.
බිනර පෝදිනක සිදු වූ මෙම අසිරිමත් සිදුවීම හේතුකොටගෙන සමස්ත කාන්තා ප්‍රජාවටම පොදු වූ දිනයක් ලෙස ද සැළකිය හැකි වන්නේ එදා ගෝතමි දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් ගත් නායකත්වය බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් පිළිගත් නිසා ය.
දෙහිවල ශ්‍රී සුදර්ශනධර්ම නිකේතනාධිපති
කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය
ශාස්ත්‍රපති
ලේල්වල සමිත හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ බිනර පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 05 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment