Labels

Wednesday, September 20, 2017

දුක් ගෙන දෙන වාග් කර්ම

රජගහනුවර වේලුවනාරාමයෙහි වැඩ සිටින බුදුරජාණන් වහන්සේ සවස් යාමයෙහි රාහුල හිමි හමුවීම සඳහා අම්බලට්ඨිකාවට වැඩම කළහ. තමන් සිටින තැනට බුදුරදුන් වඩින බව දුටු රාහුල හිමියෝ බුදුරදුන් වෙනුවෙන් ආසනයක් පනවා පා දෝවනය සඳහා පැන් භාජනයක් ද පිළියෙළ කළහ.
පා දෝවනය කරගත් බුදුරදුහු බඳුනෙහි පැන් ටිකක් ඉතිරි කර එය රාහුල හිමියන්ට පෙන්වූහ. එය මුල් කරගෙන මේ සංවාදය ඇති විය. “රාහුල මේ බඳුනෙහි ඉතිරි වී ඇති වතුර ටික ඔබට පෙනේද?” එහෙමයි, බුදුහාමුදුරුවනේ මට පේනවා.’
“ඒ වගේ තමයි රාහුල, යම්කිසි භික්ෂුවක් ලජ්ජානැතිව දැන දැන බොරු කියනවා නම්, ඔහුගේ මහණකමත් මේ වගේ අල්පයි. ටිකයි. ඒ බව දැන ගන්න.”
ඉතිරි වූ වතුර ටික ඉවතට වීසි කොට එය රාහුල හිමියන්ට පෙන් වූ බුදුරදුහු “දැන් ඔබට හිස් භාජනය පේනවා නේද? ‘එහෙමයි බුදුහාමුදුරුවනේ’, ‘රාහුල, යම්කිසි භික්ෂුවක් දැන දැන බොරු කියන්නේ නම් ඔහුගේ මහණකමත් ඉවත දැමුවා වගෙයි’.

තමන්ටත් අනුන්ටත් අහිතක් පීඩාවක් නොවන දෙපාර්ශ්වයටම සැපය, සුවය ලබාදෙන සිතිවිලි ම සිතන්න උත්සාහ කරන්න. නිවැරැදි කුසල් සිතිවිලි ගැන සිතමින් සතුටුවන්න, පී‍්‍රතිවන්න. රාහුල මේ අයුරින් ඔබ කයින්, වචනයෙන්, සිතින් කිසිම කෙනෙකුට අහිතක් නොවන කුසල ක්‍රියාවන් ම කරනවා යන අධිෂ්ඨානයක් ඇතිකරගන්න.
බුදුරදුහු, ඒ බඳුන යටිකුරු කොට, මුනින් අතට තබා නැවත, මෙසේ ඇසූහ. රාහුල මෙය ඔබට පෙනේද? ‘එහෙමයි, බුදුහාමුදුරුවනේ, ඒවගේ තමයි රාහුල යම්කිසි භික්ෂුවක් ලජ්ජා නැතිව දැන දැන බොරු කියන්නේ නම් ඔහුගේ මහණකමත් මුණින් අතට හැරවූ හිස් භාජනයක් වගෙයි.’ යනුවෙන් දේශනා කළහ. “උන්වහන්සේ තවදුරටත් මෙසේ දේශනා කළහ. රාහුල, ලැජ්ජා නැතිව දැන දැන බොරු කියන භික්ෂුවට ඕනෑම පාපකර්මයක් කළ හැකි ය. රාහුල විහිළුවටවත් බොරු කියන්න එපා.”
“රාහුල කණ්ණාඩියෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද?” “බුදුරජාණන් වහන්ස, එය පරිහරණය කරන්නේ මුහුණ බැලීමටයි.’
“රාහුල, කණ්ණාඩියෙන් මුහුණ බලා අඩුපාඩු සකස් කරගන්නාක් මෙන් නුවණින් සලකා බලා, කයින්, වචනයෙන් සිතින් කෙරෙන කාර්යයන් සකස් කරගන්න. රාහුල, කයින් යමක් කරන්නට පෙර මේ අයුරින් සිතන්න. මේ කරන ක්‍රියාව මට පීඩාවක් අහිතක් පිණිස පවතීද? තමන්ටත් අනුන්ටත් පීඩාවක් අහිතක් පිණිස පවතින්නක් ද? මේ කයින් කරන ක්‍රියාව අකුසල් ද එයින් දුක් විපාක ගෙන දේ ද? මේ අයුරින් නුවණින් සලකා බලා තමන්ටත්, අනුන්ටත්, අහිතකර අකුසල් විපාක ගෙන දෙන ඒ ක්‍රියාව නොකරන්න. තමන්ටත් අනුන්ටත් පීඩාවක් දුකක් ඇති නොවන කුසල් ක්‍රියාවක් නම්, එය සැප විපාක ලබා දෙන්නක් නම් එය කරන්න. එබඳු සැප විපාක ලබා දෙන කුසල් ක්‍රියාවන් නැවැත නැවැත කරන්න.
රාහුල, ඔබ මෙවැනි දුක් විපාක ලබාදෙන කාය කර්ම කර ඇත්නම් එහි වැරැද්ද නුවණින් විමසා බලා බුදුරදුන්ටත්, නුවණැති සබ්‍රහ්මචාරීන්ටත් කියා නැවැතත් එබඳු වරදක් නොකරන බවට අධිෂ්ඨානයක් ඇති කර ගන්න. නිවැරැදි ශික්ෂණය ඇති කර ගන්න. මේ ආකාරයට තමන්ටත් අනුන්ටත් අහිතකර පීඩාවක් දුකක් ඇති නොවන ක්‍රියාවන් කරන්න. එවිට ඔබට ඒ ගැන සිතා සතුටෙන් පී‍්‍රතියෙන් ඉන්න පුළුවන් වේවි. මේ අයුරින් සැනසිල්ල උදාකරන ක්‍රියා කරන්නට අධිෂ්ඨාන කරගන්න.
රාහුල මේ අයුරින් ම වචනයෙන් සිදුවන ක්‍රියා ගැන සිතන්න. තමා පිටකරන වචනය තමන්ටත් අනුන්ටත් දෙපැත්තට ම අහිතකර නම් දුක් ගෙන දේ නම්, එබඳු වචනවලින් වළකින්න.
තමන්ටත් අනුන්ටත් සැප ගෙන දෙන, දුක ඇති නොකරන කුසල් උපදවන වචන ම භාවිත කරන්න. දුක්ගෙන දෙන වචන භාවිත කර ඇත්නම් ඒ ගැන නුවණැති ගුණවත් අයට කියා නැවැත එබඳු වචන භාවිතා නොකරන බවට අධිෂ්ඨානයක් ඇති කරගන්න.
මේ අයුරින් ම ඔබ සිතින් තමන්ටත් අනුන්ටත් අහිතක් පීඩාවක් නොවන දෙපාර්ශ්වයටම සැපය, සුවය ලබාදෙන සිතිවිලි ම සිතන්න උත්සාහ කරන්න. නිවැරැදි කුසල් සිතිවිලි ගැන සිතමින් සතුටුවන්න, පී‍්‍රතිවන්න. රාහුල මේ අයුරින් ඔබ කයින්, වචනයෙන්, සිතින් කිසිම කෙනෙකුට අහිතක් නොවන කුසල ක්‍රියාවන් ම කරනවා යන අධිෂ්ඨානයක් ඇතිකරගන්න.
මේ සඳහන් කළේ බුදුරදුහු රාහුල හිමියන්ට දේශනා කරන ලද අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයේ කෙටි හැඳින්වීමකි. තුන් දොරින් සිදුවන අකුසල්වලින් වළකින අයුරුත් එම තුන් දොරින් ම කුසල් කරන අයුරුත්, ඒ ගැන සිතා සතුටට පී‍්‍රතියට පත්වෙන අයුරුත් පෙන්නුම් කර ඇත. තමන්ටත්, අනුන්ටත් දෙපැත්තටම සැනසිලි උදාකරන ක්‍රම මෙහි දී පැහැදිලිව පෙන්නුම් කර ඇත.
අපි මෙහි දී විශේෂයෙන් බොරුකීම ගැන කරණු සලකා බලමු. පංචශීලය ගතහොත් එය අධ්‍යාත්මික පාරිශුද්ධියට මෙන් ම සමාජ ස්ථාවරත්වයට ද වැදගත්වනු ඇත. පවුලක් තුළ පැවැතිය යුතු සතුට, සංහිඳියාව අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ ඇති විශ්වසනීයත්වයයි.
සත්‍ය ගරුක බව මෙහි දී අවධානයට ලක්කර ඇත. වචනයෙන් කෙරෙන වැරදි හතරක් ගැන බුදුදහමෙහි සඳහන් ය.

අසත්‍ය හෙවත් බොරු කීම.

අසන්නන්ගේ සිත් පාරවන පරුෂ වචන කීම.

භේද ඇතිකරලීමට, කේළාම් කීම.

කිසිම ඵල ප්‍රයෝජනයක් නැති හිස්වචන කීම යනුවෙනි.

අසත්‍ය යනු කුමක්ද?

දුටු දේ නොදුටු ලෙසත්, නොදුටු දේ දුටු දේ ලෙසත් . සිදුනො වූ දෙය සිදු වූ ලෙසත්, සිදු වූ දෙය සිදු නොවන දේ ලෙසත් කළ දෙයක් නොකළ දෙයක් ලෙසත්. නොකළ දේ කළ දෙය ලෙසත් ප්‍රකාශ කිරීමයි. මෙයින් අදහස් වන්නේ සත්‍ය දෙය අසත්‍ය ලෙස දැක්වීමයි.
බොරු කීම යනු කටින් ප්‍රකාශ කිරීම පමණක් නොවේ. කටින් ප්‍රකාශ කරන්නේ තවත් කෙනෙකු ඉදිරිපිට ය. එය ඔහුට සෘජුව ම ඇසේ බොරු ප්‍රකාශ කිරීම අංග චලනයෙන් ද ඉඟියෙන් ද කළ හැකි ය. ඇහි බැම නැටවීමෙන්, හිස වැනීමෙන්, විවිධ ක්‍රම තුළින් මෙය කළ හැකි ය. අසත්‍ය ප්‍රකාශන, ලිපි ලේඛන, රේඛා, චිත්‍ර වැනි මාර්ගවලින් ද බොරුව ප්‍රකාශ කළ හැකි වේ. බොරු ගණන් හිලව්, ශේෂ පත්‍ර, වත්කම්, බැරකම් ප්‍රකාශනය, රේගුව, බදු අයකරන ආයතනවලට පෙන්වන ගණන් කිරීම් වලින්ද අසත්‍ය ප්‍රකාශන සිදුකරන්නට පුළුවන. මේ කවරකින් වුව සිදුවන්නේ අන් අය රැවටීම ය.
හොර ඔප්පු සැකසීම, හොර මුදල් නෝට්ටු මුද්‍රණය, හොර සහතික ඉදිරිපත් කිරීම හෝ බලපත්‍ර, හොර උප්පැන්න සහතික, වංචා සහගත ගමන් බලපත්‍ර යන මේවා ද අසත්‍ය ප්‍රකාශන ලෙස සැලකේ.
බොරුවක් වීමට කරුණු හතරක් සම්පූර්ණ විය යුතු ය.

1. අසත්‍යයක් වීම, 

2. රැවටීමට ඇති ඕනෑකම

 3. ඒ සඳහා ගන්නා උපක්‍රමය, 

4. කියන දෙය අන් අය විශ්වාස කිරීම ය.

සත්‍යයක් ප්‍රකාශ කරන විට එය තවත් සත්‍යයකට ගැළපේ. බොරුවක් කීවොත් එහි දී එය අනික් කරුණට නොගැළපෙන හෙයින් එය වසා ගන්නට තවත් බොරුවක් කිව යුතු ය. මේ අනුව බොරු හොයන්නට මඟ පෑදේ. සත්‍ය ප්‍රකාශ කරමින් සිය ස්ථාවරයේ දිගටම සිටින්නට පුළුවන. බොරුවක් කීවොත් තම ස්ථාවරය වෙනස් කරන්නට සිදුවේ. සත්‍ය ප්‍රකාශ කරනවිට එම ස්ථාවරයෙහි ම දිගටම සිටින විට ඔහු කෙරේ විශ්වාසය තබයි. ඔහු සමාජයේ පිළිගත් පුද්ගලයෙක් බවට පත් වේ. බොරු කියන්නා මහජනතාවගේ නින්දාවට අපහාසයට පත්වනු ඇත. ඔහු මානසික අසහනයට පීඩාවට පත් වනු ඇත.

යො අත්තහේතු පරහේතු
ධන හේතු ච යෝ නරෝ
සක්ඛි පුට්ඨෝ මුසා බ්‍රෑති
තං ඡඤ්ඤා වසලෝ ඉති

යමෙක් තමා වෙනුවෙන් හෝ අනුන් වෙනුවෙන් හෝ ලාභයක්, වාසියක් ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්, සාක්ෂි විචාළ විට අසත්‍ය බොරු ප්‍රකාශන කරයි ද ඔහු වසලයෙකැයි ධර්මයෙහි සඳහන් ය.
පාරමී ධර්ම පුරණ බෝසතුන් පවා පුහුදුන්කම නිසා විවිධ වැරදි ක්‍රියා සිදුකර ඇතත් කිසිම අවස්ථාවක බොරුවක් කියා නැත. කටින් සිදුවන වැරදි ක්‍රියා නිසා, සිදුවන විපාක වශයෙන් මෝඩ වීම, දීන අයෙකු වීම, ගොළුවීම, ගොත ගසන්නෙකු වීම අන් අයට අපි‍්‍රය අයෙකු වීම, දුර්ගන්ධවත් අයෙකු වීම, පුතුන් නොලැබීම, මරණින් පසු අපායගාමී පුද්ගලයෙකු වීම යන කරුණු ධර්මයෙහි සඳහන් ය.
ආලවක සූත්‍රයෙහි සඳහන් වන්නේ ‘සච්චං ගවේ සාධුකරං රසානං’ සත්‍ය තරම් උසස් රසයක් නැති බවයි.
සත්‍ය කතා කරන්නා මිනිසුන් අතර පමණක් නොව දෙවියන් අතර ද ප්‍රසාදයට පත්වෙන බව ධර්මයෙහි සඳහන් ය.


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍බිනර පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 05 වන අඟහරුවාදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment