Labels

Wednesday, September 20, 2017

මෙලොවත් යහපත් කොට පරලොවත් සුවපත් කිරීම

මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවන්මග ලෙස සඳහන් ය. ආර්ය මාර්ගය ලෝකෝත්තර මෙන් ම ලෞකික වශයෙන් හඳුනාගත හැකි ය. මෙහි දී විමසීමට ලක්කරනුයේ ලෞකික මාර්ගයක් ලෙසින් ආර්ය අෂ්ටාංග මාර්ගයෙහි උපයෝගිතාවය යි. සියල්ලෝ ම නිවන අරමුණු කර නොගත්තත් මෙලොව හොඳින් ජීවත්වීමට කැමැත්තක් දක්වන්නෝ වෙති.
ඒ සඳහා බොහෝ බාධා ඇතිවේ. එය නිරාකරණය කරගනිමින් සාමයෙන් සහජීවනයෙන් ජීවත්වීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම වැදගත් ය. මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වීමේ දී ගැටුම් අවමවීමට එය ඉවහල් වේ. අන්තගාමී බව, ගැටුම් ප්‍රශ්න දියුණු තියුණු කරයි. බුදුදහමේ අපේක්ෂාව වන්නේ මෙලොව යහපත් කොට පරලොව සුවපත් කිරීමයි. නිවන වුව ද මරණින් පසු තත්වයක් නොව ජීවත් වී සිටිය දී ලැබිය යුත්තකි. අන්ධූපම සූත්‍රයේ දී දියුණුව ලෙස දක්වන්නේ අධ්‍යාත්මික දියුණුව පමණක් නොව භෞතික දියුණුවයි. ඒ අරුතින් ගත් කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික ජීවිතයේ යහපත වෙනුවෙන් යොදගත යුතු ම ය. මන්දයත් දහම, දහම සඳහා නොව අප සඳහා බැවිනි.

ප්‍රශ්නවලට හේතුව

සම්මාදිට්ඨිය යනු යහපත් දැකීම හෙවත් දර්ශනය යි. දැකීම ආකාර දෙකකි. නිවැරැදි දැක්ම සහ වැරදි දැක්ම වශයෙනි. මේ ලෝකයෙහි බොහෝ ප්‍රශ්නවලට හේතුව වන්නේ මිනිසුන්ගේ නිවැරදි නොවන දැක්මයි. එය සාමාජිය, දේශපාලන, ආර්ථික සංස්කෘතික වශයෙන් විය හැකි ය. මේ තුළ ඇතිවන්නේ අයහපතකි. වැරදි මිථ්‍යා දැක්මක් ඇති වූ විට ප්‍රශ්න ගැටුම් ,අරගල නිර්මාණය වෙයි. ඇතැම් සිද්ධීන් හා අවස්ථා පිළිබද නිවැරදි නොවන දර්ශනයන් හේතුවෙන් බොහෝ ප්‍රශ්න උග්‍රවීම දැකි ය හැකි ය. යහපත් දැක්මක් යනු වර්තමානය ගැන පමණක් සිතා තීරණ තීන්දු ගැනීම නෙවේ. එළඹෙන අභියෝග පිළිබඳ බුද්ධියෙන් කටයුතු සම්පාදනය කිරීමයි. නිවැරදි වූත් යහපත් වූත් දැක්මක් නැති මිනිසුන්ගේ ක්‍රියාකාරකම් සහජයෙන් ම අර්බුදයකට තල්ලු කරයි. මිථ්‍යා දෘෂ්ටීන් මත ඇතැමුන්ගේ ධනය , බලය පෞරුෂය හීන වූ අවස්ථා දැකිය හැකි ය. මිත්‍යාමත කරපින්නා ගැනීම සිදුවන්නේ නිවැරැදි දැක්මක් නැතිකම නිසා ය. තවත් පිරිසකට කෙනෙකුගේ අසරණකම, දුක සැපතක් වනුයේ මේ නිසා ය. හක්බෙල්ලන්, අලිකෙඳි, කොටිදත්, ගජමුතු, මුතු මැණික් , සෙමර වලිගය, කස්තුරි සෞභාග්‍ය ගෙනෙනවා යැයි සිතා මිල මුදල් නැති කර ගනිමින් කපටි මිනිසුන්ගේ ගොදුරක් වන්නේ මේ හේතුවෙනි.
පංචකාමයෙන් ඉවත් ව අව්‍යාපාදයෙන් සහ අවිහිංසාවෙන් කටයුතු කිරීම සම්මා සංකප්පය යි. ලෞකික ජීවිතයේ දී පංචකාමයෙන් ඉවත්වීම ඒ සඳහා සිත සකසා ගැනීම අසීරු ය. එහෙත් තම සැපත වෙනුවෙන් අනෙකාට අලාභ නොකර සිටිය හැකි ය. ඇස, කන, නාසය, දිව , ශරීරය පිනවීම උදෙසා, ජාතියක්, ආගමක්, රටක් අයහපතට නොහෙළා කටයුතු කිරීම උතුම් ය. එමෙන් ම අනුන් නැසීමෙන් ඉවත්වීම හෙවත් අව්‍යාපාදය සමාජයක් තුළ තිබිය යුතු ම ගුණයකි. බොහෝ අපරාධ හිත් අමනාපකම් දේපළ ජීවිත විනාශයට මුල පුද්ගල සිත තුළ පවතින ව්‍යපාදය යි. අවි ආයුධ, යුද්ධ,යුද්ධ උපක්‍රම, සැකසෙන්නේ මේ නිසාවෙනි. යුද්ධයේ මූල බීජය ඇතිවන්නේ පුද්ගල සිත්සතන් තුළ ය.

මිනිස්කමට වටිනාකම්


එහෙයින් අව්‍යාපාද සංකල්පනාව වැගත් ය. ව්‍යාපාදය නැති තැන ඇතිවන්නේ අවිහිංසාව යි. මහත්මා ගාන්ධි වැනි ශ්‍රේෂ්ඨයන් අදත් හිත් තුළ රැදෙනුයේ අවිහිංසා ගුණය මත ය. ජාති, කුල, භේදයකින් තොරව සියල්ලෝ ම නිදහස් නිවහල් සාමකාමී පරිසරයකට කැමැත්තෝ වෙති. සුනඛයන් මිනිසුන් සපා කෑව ද මිනිසුන් එසේ නොකරයි. මිනිසත් කමට වටිනාකම් එකතු වී ඇත්තේ අවිහිංසා ගුණය නිසාවෙනි. කෙසේ හෝ කෙහොම හෝ ජීවත්වනවා යැයි නොසිතන කල ව්‍යාපාදය නැති වී යයි. අව්‍යාපාදය ඇතිවිට අවිහිංසාව ඇති වේ. හිංසාවෙන් තොර බව නිසා සමාජ සාමය, සෞභාග්‍ය හොඳ හිත වර්ධනය වේ.

රටක් ගිනි තැබිය හැකි අවිය


රටක් ගිනි තැබිය හැකි අවිය ශික්ෂණයෙන් තොර වචනයයි. බොරු, කේළාම්, හිස්වචන, පරුෂ වචන නොකීම සම්මා වාචා ගුණය යි. බොරුව සත්‍ය ලෙස පවසා, සත්‍ය අසත්‍ය ලෙස හුවා දක්වා මිනිසුන් තුළ හුඹස් බිය ඇති කිරීම මහත් පාපයකි. පවුල, ගම , රට ආයතනය තුළ ගැටුම් නිර්මාණය වීමට අසත්‍ය වචනය හේතුවකි. කටින් පිටකරන අනවශ්‍ය වචන හිස්වචන පරුෂ වචන නිසා හිත් බිඳීමට ලක් වේ. එක අකුරක් වචනයක් නිසා බොහෝ විනාශයන් සිදුවිය හැකි ය. යහපත් සස්නිවේදනය උදෙසා මිනිසාට උරුම වු බස අයහපත වෙනුවෙන් යෙදවීම සසර මහත් අලාභයකි. කෙතරම් අලාභයක් වුවත් අයහපත් වචන නුසුදුසු වචන භාවිතයෙන් ඉවත්වීම අවශ්‍යයි. අරි අටඟි මගෙහි සම්මා වාචා රැකෙනුයේ එවන් තත්ත්වය මත ය. මේ තුළින් පුද්ගල සංවර්ධනය හා සමාජ සංවර්ධනය ඇති කරගත හැකි ය. භාෂාව යහපත් ව හැසිරවීමට අවශ්‍ය වන්නේ මානසික ශික්ෂණය යි. ඒ සඳහා බස භාවිත කිරීම නිසා සුගතිගාමී වූ අය මෙන් ම දුගතිගාමී වූ අය පිළිබදව දැනගැනීමට පේ‍්‍රත වත්ථුව විමාන වත්ථුව කියවීම අවශ්‍ය යි.

අයිති නැති දේ ගැනීම


නිවැරැදි කර්මාන්ත හෙවත් සතුන් මැරීමෙන්, නුදුන් දේ ගැනීමෙන් වැළකීම හා කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම යහපත් පිරිසක් ඇති කරගැනීමට බෙහෙවින් ඉවහල් වේ. සත්ව ඝාතනය යහපත් මානුෂීය ගුණාංගයක් නොවේ. ශිෂ්ට මිනිසුන් තවකෙනෙකුගේ ජීවිත විනාශ කිරීමට අනුබල නොදෙයි. ප්‍රශ්න විසඳාගනුයේ සාකච්ඡා මාර්ගයෙනි. එසේ ම අනෙකාගේ ජීවත්වීම අපෙක්ෂා කළ යුතු ය. ඕනෑම ප්‍රශ්නයක් විසදා ගැනීමට අනෙකා ජීවත්විය යුතු ය. ඝාතනය කිරීම විසඳුමක් නොවේ. අරිඅටඟි මගෙහි ගමන් කරන්නා සත්ව ඝාතනයෙන් ඉවත්ව කටයුතු කරයි. තමාට අයිති නැති දේ ගැනීම ඉතාම පහත් ක්‍රියාවකි. පොදුවේ විශාල පිරිසකට ලැබිය යුතු වරප්‍රසාද පෞද්ගලිකව අයිතිකරගැනීම අයෝග්‍යවේ. මිනිස් ශ්‍රමය අයුතු ලෙස යොදාගැනීම අයිති වන්නේ ද මේ ගණයට ය. කෙනෙකු තවකෙනෙකුගේ දෙයක් ගැනීම නිසා ඔවුන් පීඩාවට, අසහනයට, කනස්සල්ලට පත්වේ. එසේ ම ඔවුන්ගේ බලාපොරොත්තු මහන්සිය අපතේ යයි. බුද්ධිමය දේපළක් වුවත් මේ තත්ත්වය පොදු ය. අන් සතු දෑ ගැනීමට යාමේ දී සමාජ සාමය, සහජීවනය දෙදරා යයි. එසේ ගැනීම අසු වුවහොත් අපහාස, උපහාස දඩුවම් විඳීමට සිදුවේ.

පවුලේ සහජීවනය


සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමට ආගමක්, ජාතියක් අදාළ වන්නේ නැත. ජීවිතය යහපත් නම් ඔහුගේ පැවැත්ම තුළ කාමයෙහි වරදවා හැසිරීම් දකින්නට නො ලැබේ. පවුල් සංස්ථාව ඉක්මවා ඇතැමුන් කටයුතු කරයි. මෙහි ප්‍රතිඵලය වන්නේ සමාජයේ මුල් ම ඒකකය වන පවුලේ සමඟිය, සහජීවනය විනාශ වීමයි. වැරදි ක්‍රියාවන්ට පෙළඹුණු මිනිස්සු එම වැරැද්ද නැවත නැවත විවිධ අයුරින් සිදුකිරීමට පෙළඹීම සාමාන්‍යය ය. එවිට ජීවිත පරිහානියට පත්වීම තුළ සමාජ පිරිහීම ඇතිවේ. සම්මා කම්මන්ත ආර්ය මාර්ගය මිනිසා ඉන් වළකාලයි.

අගාධයට යන සැටි


බොහෝ සමාජ ප්‍රශ්න උද්ගත වන්නේ වැරැදි ජීවිකාවන් හේතුවෙනි. යහපත් ජීවන පැවැත්මක් හෙවත් සම්මා ආජීවයෙන් යුක්ත වීම රටක් පුද්ගලයෙක් හැටියට ගත් කල ද ඉතා වැදගත් ය. තමන් ගැන පමණක් සිතා ජීවන වෘත්තීන්වල යෙදීම සමාජ ප්‍රශ්න රාශියකට මුල ය. අවි ආයුධ, මස් මාංශ, වස විස, ගිනි අවි, මිනිස් ශ්‍රමය,අයථා ලෙස වෙළෙදාම්, කිරීම අයහපත් ය. මෙහි දී සිදුවනුයේ අගතිගාමී ක්‍රියාවන් ය. පිරිසක් අගතිගාමී වීමේ දී ඉපදුන සහ ඉපදෙන්න සිටින පිරිස පවා අගාධයට වැටෙයි. තම බඩ, මුදල් පසුම්බිය ගැන පමණක් සිතා කටයුතු කිරීමේ දී තවත් බොහෝ පිරසකගේ අයිතිවාසිකම්, නිදහස නැති වී යයි. අයහපත් වෙළදාම් අතර වර්තමානයේ ගිලගෙන ඇති නරකම වෙළදාම මත්ද්‍රව්‍යයි. මිනිස් මනස දුර්වල කිරීම,අධ්‍යාපනය කඩාකප්පල්වීම, ආර්ථික , සෞඛ්‍ය පිරිහීම මේ නිසා ඇතිවන දුබලතාවයන් ය. දෙමාපියන්, දරුවන් අතර යහපත් සබඳතා දුරස්කොට නිසරු දේවල් වැළදගන්නා පරපුරක් බිහිකිරීම මෙයින් සිදුවේ. එක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක උවමනාවන් මත සමස්තය පිරිහීමට පත්වන්නේ නම් ඒ පිළිබද ගැඹුරින් සිතිය යුතු ය.

හෘද සාක්ෂියට එකඟ වීම


යමක් සිදු කිරීමේ දී ආධිපත්‍ය ධර්ම මත පිහිටා සිදුකිරීම අවශ්‍ය ය. එනම් සිදුකරන ක්‍රියාව තමන්ට අනුව නිවැරදිදැයි බැලිය යුතු වේ. ධර්මයට අනුව ලෝක සම්මතයන්ට අනුව නිවැරදි නොවන්නේ නම් ඉන් වැළකිය යුතු ම ය. තම හෘද සාක්ෂියට අනුව කරන ක්‍රියා අයහපත් දැයි තේරුම් ගැනීම පාට පක්ෂ භේදයකින් තොර හැමෝටම කළ හැකි ය. සිදුකිරීමෙන් ලැබෙන ප්‍රතිවිපාක දෙලොව වශයෙන් කල්පනාකිරීමට මැරෙන මිනිස්සු හැටියට යුතුකමක් ඇත. එසේ සිතන්නේ නම් අයහපතින් මිදීමට පසුබිම සැකසේ. ලෝකාපාලක ධර්ම අනුව ගත් කල මේ තත්වය එසේ ම ය.
යහපත් ක්‍රියා සිදුකිරීමට වෑයම් කිරීම හෙවත් සම්මා වායාමය සරු දෙය තෝරාගෙන නිසරු දැය ඉවත් කිරීමයි. හැමවිටම පුද්ගලයා වෙර වැඩිය යුත්තේ ඇති අයහපත දුරුකර යහපත් දෑ එකතු කර ගැනීම සඳහා ය. එමෙන් ම නැති යහපත් ඇති කරගෙන ඇති අයහපත නැති කිරීම සඳහා ය. සෑම අතින් ම නිවැරැදි, අංග සම්පූර්ණ පිරිස් සොයාගත නොහැකි ය. කෙනෙකු හොඳ යැයි හඳුන්වනුයේ ඔහු තුළ නරක නැති නිසා නොව හොඳ වැඩි නිසා ය. උපතින් ම අංග සම්පූර්ණ මිනිසුන් නැත. ඒ ඒ අවස්ථාවන්වලදි වැරැදි අඩුපාඩුකම් සිදුවේ. එසේ වූයේ යැයි ඔහු කොන්කර වෙන් කිරීම නුසුදුසු ය. අවශ්‍ය වන්නේ වැරැදි නිවැරදි කරගනිමින් එවන් වරදක් නැවත නොවෙන තැනට කටයුතු සම්පාදනය කිරීමයි. එය සැම අතින් ම යහපත් ය. පුද්ගලයෙක් වශයෙන් මේ පිළිබඳ සිහියෙන් සිතිය යුතු ය. එසේ සිතමින් කටයුතු කරන්නේ නම් සිදුවන,සිදුවීමට ඇති අයහපතින් ගොඩ ඒමට හැකි වේ. අප වෑයම් කළයුතු වන්නේ ඒ සඳහා ය.

අතපසුවීම් නොවන්නට


යහපත් සිහිය හෙවත් සම්මා සතිය ලෞකික වශයෙන් අනතුරු,අතපසුවීම් නැති කිරීමට සමත් ය. කථා බහ කරන විට, ගමන් බිමන් යන කල පුද්ගලයා තුළ මේ අඩුපාඩුව දැකිය හැක. බොහෝ සමාජ ප්‍රශ්නවලට මූලය අසිහිය යි. එහෙයින් නිවැරදි සිහිය, සමස්ත, සමාජයේ දියුණුවට, යහපතට හේතුවේ. සිහියෙන් තොරව ආවේග මත කටයුතු කිිරීම නිසා සමගිය සහජීවනය පළුදු වේ.

අවසාන වශයෙන් සිත සමාධිගත කර ගනිමින් යථාවත්ව, ලෝකය ඇතිසැටියෙන් දකිමින් කටයුතු කිරීම තුළින් මැදුම් පිළිවෙතේ හි ආශිර්වාදය ජාති ආගම් භේදයකින් තොරව හැමෝට ම ලැබිය හැකි වේ.


කොළඹ 
මහානාම විද්‍යාලයේ ආචාර්ය 
කොලොන්නාව පුරාණ විහාරවාසී 
සියඹලාගොඩ ධම්මින්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍බිනර පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 05 වන අඟහරුවාදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment