සමස්ත සමාජය දෙස බැලීමේ දී මානය නිසා පුද්ගලයන් විවිධාකාර අකටයුතුකම් වලට පත් වන බව පෙනේ. මානය නැත්තේ රහත් උතුමන්ට පමණි.
මානය පිළිබඳව බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල විවිධාකාර දේශනාවන් වදාළා. විශේෂයෙන් පුහුදුන් පුද්ගලයාගේ සිතෙහි බොහෝ දුරට පවතින කෙලෙස් දහම වන්නේ මානය වැඩීම යි. මානය සිත් තුළ වර්ධනය වන බැවින් එය මානසික රෝගී තත්ත්වයක් බවට පත් වේ. බුද්ධ දේශනාවට අනුව ලෝකයේ රෝගීන් කායික මානසික වශයෙන් දෙවර්ගයක් වෙයි. මානය සිත කිළිටි කරන චෛතසිකයකි.
බුදු දහමෙහි සිත පිළිබඳ විග්‍රහ කිරීමේදී චෛතසික පනස් දෙකකි. ඉන් දාහතරක් අකුසල් චෛතසික වෙයි. ඒ අතුරින් මානය රහත් මඟඵල ලැබීමේ දී නැතිවී යයි. මානය පුද්ගලයාගේ විවිධ ස්වරූපයන් අනුව පවතී. මිනිසා ජාතියෙන්, මානයෙන් උසස් තත්ත්වයකින් වැජඹී ධන බලයෙන්, කුල බලයෙන් තම සිතෙහි මානය ඇති කරගැනීමෙන්, තමන්ගේ ඥාතීන් හෙළා දැකීම පිරිහීමට කාරණයක් බව බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයෙන් දේශනා කර වදාළහ.
මානය විශේෂයෙන් ප්‍රභේද තුනකි. එනම් ස්‍යෙය මාන, සදිසි මාන, හීන මාන යනුවෙනි. ‘ස්‍යෙය මාන’ නම් අනුන්ට වඩා තමන් උසස්කොට සිතීම ය. සදිසි මාන යනු නිබඳවම තමන් අනුන් සමඟ සමාන කර සැලකීම ය. හීන මානය යනු අනුන් තමන්ට වඩා පහත් ලෙස සැලකීම ය. මානය බොහෝ මිනිසුන් විවිධාකාරව සලකයි. ජාතිය, කුලය, ධනය, රූපය, පිරිවර, කීර්තිය, ශිල්ප ශාස්ත්‍ර ආදියෙන් තමන් අන් අයට වඩා උසස් ය ,අන්‍යයන් හා සමාන යැයි සිතති. අන්‍යයන් තමන්ට වඩා පහත් බව සලකති. ඒ නිසා මානය බොහෝ භයානක දෙයකි.
එය ඉහළ තත්ත්වයකින් පවතින්නේ නම් මානය අතිමානී වේ. එවැනි පුද්ගලයෝ බොහෝ භයානක ය. සමස්ත සමාජය දෙස බැලීමේ දී මානය නිසා පුද්ගලයන් විවිධාකාර අකටයුතුකම් වලට පත් වන බව පෙනේ. මානය නැත්තේ රහත් උතුමන්ට පමණි. සමාජ ව්‍යාවහාරයේ දී උඩඟු භාවය යනුවෙන් සඳහන් කරන්නේ ද මානයට ය. මානය පවතින තුරු අපට මානසික නිරෝගීතාවයකින් කටයුතු කළ නො හැකි ය. නිරන්තරයෙන් ම සමාජයත් සමඟ ගැටීමේ දී මානය ඉස්මතු වීම නිසා නොයෙකුත් ගැටලු ඇති වේ.
මානය වර්ග කිරීමේදී බුද්ධ කාලයේ විසු ශාක්‍ය වංශිකයෝත්, මාන්නාක්කාර බ්‍රාහ්මණ වංශිකයෝත් මානයෙන් ඉහළ තළයක සිටියහ. ඔවුහු අතිමානී පුද්ගලයෝ යි. එසේම බුදු , පසේ බුදු, මහ රහතන් වහන්සේලා නිහතමානී උත්තමයෝ ය. එනම් මානය දුරැලූ උතුමෝ ය. රාහුල සාමණේරයන් මානය අවම කරවූ උතුමන් ය. එවැනි උතුමෝ අනතිමානී පුද්ගලයෝ ය.
මානය කුමන පැතිකඩකින් සඳහන් කළත් එය අපේ ජීවතවලට අනර්ථකාරී ය. එහෙත් යථාවමානය ඇතැම්විට අර්ථයකට ද හේතු වෙයි. උසස් තත්ත්වයට පත්වූ තැනැත්තාට ස්‍යෙය මානය නිසා තමන්ගේ උසස් තත්ත්වය ආරක්ෂා කරගත යුතු’යි යනුවෙන් සිතයි. ඒ පුද්ගලයා තමන්ගේ ආත්ම ගරුත්වය, උසස් භාවය , තනතුරේ ආරක්ෂාව ගැන සිතා තමන්ට නො ගැළපෙන කටයුතුවල නිරත වන්නේ නැත. එසේ ම ඒ තැනැත්තා සිතන්නේ අපේ වංශයේ අය වැරැදි වැඩ කරනේ නැත. අපේ කුලයේ පිරිස, යහපත් වැඩම කළ යුතුය, යනුවෙනි. එසේ සිතා යහපතෙහි නිරත වෙයි. එසේම හීන වූ තැනැත්තාට මානය නිසාම නිතරම නො මනා ක්‍රියාකාරකම්වල යෙදීම අවම වෙයි. ඔහු අයහපතෙන් වැළකීමට උත්සාහ ගනියි. එසේ ම උසස් වීමට හේතුවන දේ කළ යුතුයි යනුවෙන් යහපත් අදහස් පහළ වෙයි. මෙසේ යථාව මානය පුද්ගලයාගේ අර්ථයටත් හේතු වේ.
එසේ ම අයථාමානය යනු උසස් බවක් නැතත් තමා අන්‍යයන්ට වඩා උසස් බව පෙන්වීම යි. එය බොහෝ බියකරු ය. ස්‍යෙයමාන ඇතිකරගත් තැනැත්තා තවත් පහළ වැටෙනවා මිස උසස් තත්ත්වයකට පත් නොවේ. ඇතැම් අය නැති උසස්කම් සිතට ඇති කර ගැනීම පුහු මානය වේ. එසේ වන්නේ උඩඟු බව හේතුවෙනි. මෙවැන්නෝ ගෙවල් දොරවල් සැකසීමට, යාන වාහන ගැනීමට, කෑම බීමට බොහෝ උත්සාහ ගනිති. එසේ වීමෙන් තමන්ගේ ආර්ථිකය කඩා වැටෙයි. තමන්ගේ ස්වභාවය කඩා වැටෙයි. ඇතැම් අය පුහුදුන් මානයෙන් තමන් උසස් ලෙස සලකා මේ දේ තමන්ට ලැබිය යුතුයි , මේ දේ තමන් විසින් කළ යුතුයි යනුවෙන් සිතා තමන් උසස් තත්ත්වයට ගැළපෙන සේ සිටීමට උත්සාහ ගනිති. අයථාව, හීන මානයක් ද වශයෙන් වෙයි. අයථා මානයෙන් තමන්ට ලැබෙන දේත් අහිමි වී තමන් කරගත් දෙයක් නො මැති වී යයි.
සම්බුද්ධ දේශනාවට අනුව අතිමානී පුද්ගලයන්ට මෙලොව පරලොව විපාක රැසකි. අතිමානී පුද්ගලයෝ මරණින් මතු වඳුරෝ , සුනඛයෝ වී උපත ලබති. ඒ නිසා මානය අවම කිරීමට අපි සැවොම උත්සාහ වන්ත වෙමු.
මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභික
ශ්‍රී සංඝරාජ මහා පිරිවෙනේ පරිවේණාධිපති
ගොකරැල්ල රම්බණ්ඩා පොකුණ විහාරාධිපති දර්ශනපති
මිණිගමුවේ රතනපාල හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ බිනර පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 05 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment