Labels

Wednesday, September 20, 2017

කුක්කුච්ඡ ( පසුතැවීම නිසා වන හානිය )


කළ වරදක් නැවත නැවත සිතමින් පසුතැවීම එය තවත් ප්‍රබල කරයි. තමන් අතින් සිදු වූ අකුසලයන්, යම් පාපී ක්‍රියාවන් නිරතුරුව ම සිතීම ද එවැනි අකුසලයන් ගැන සිතා පසුතැවිලි වීම ද, කුක්කුච්ඡයට හේතුවකි. බොහෝ විට පසුතැවිලිවීම හේතුවෙන් මෝහයත්, ද්වේෂයත් හට ගැනීමට ඉඩ ප්‍රස්ථාව ඇත.
කළ පාප කර්ම පිළිබඳ ව හා තමන් නො කරන ලද කුසලයන් පිළිබඳ ව පසු කාලයක සිතෙහි හට ගන්නා තැවෙන ස්වභාවය කුක්කුච්ඡ නම් වේ.
කෙනෙක් සිය ජීවිතයේ යමක් අවබෝධ කර ගන්නට හැකි කාලයේ දී යහපත් ගුණ ධර්ම පුරුදු පුහුණු නොකළ නිසා ත්, භික්ෂූන් වහන්සේ නමක් හෝ ධර්මයට ලැදි කල්‍යාණවන්ත ඇසුරක් නොලද නිසා ත් හොඳ නරක කුසල්, අකුසල් අඳුරන්නේ නැත. ඒ නිසා ම ඒ පුද්ගලයා වෙතින් පසු කාලයක දී තමන් අතින් සිදු වූයේ අකුසල කර්ම බව වටහා ගත් පසු ඇතිවන පසුතැවිල්ල එක් කාරණයකි.

තාරුණ්‍ය බොහෝ විට විනෝදයට බර ය. ශක්ති සම්පන්න බව හැඟේ. ජීවත් වන්නට තවත් කල් ඇති බව සිතයි. ඒ නිසා ම සිල් ගන්නට, පින්දහම් කරන්නට තව කාලයක් ඇතැයි සිතයි. කුසලය මඟ හරියි. වැරැදි දේ අත්හදා බලන්නට යයි. පසුව ඒ ගැන සිතමින් පසුතැවෙයි. එලෙස ම යම් පුද්ගලයෙක් අකුසල් කර, පසු කාලයක දී එනම් වයස් ගත වූ පසුව තමන් විසින් සිදුකළ අකුසල කර්ම සිහිකොට, මරණයෙන් මතුව ද නරකයේ ඉපදෙන්නට වේ යැයි පසුතැවෙයි.
මෙවැනි සිතිවිලි නිසා සිතෙහි සංතෘෂ්ටිය එනම් සතුට නැතිවෙයි. “කුක්කුච්ඡය” එනම් පසුතැවිල්ල හොඳ යැයි සිතන පිරිසක් ද වේ. එහෙත් තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කළ වරදක් නැවත නැවත සිතමින් පසුතැවීම එය තවත් ප්‍රබල කරයි. තමන් අතින් සිදු වූ අකුසලයන්, යම් පාපී ක්‍රියාවන් නිරතුරුව ම සිතීම ද එවැනි අකුසලයන් ගැන සිතා පසුතැවිලි වීම ද, කුක්කුච්ඡයට හේතුවකි. බොහෝ විට පසුතැවිලිවීම හේතුවෙන් මෝහයත්, ද්වේෂයත් හට ගැනීමට ඉඩ ප්‍රස්ථාව ඇත. ධර්මයෙහි කුක්කුච්ඡය කොටස් දෙකක් ලෙසින් පෙන්වා දී තිබේ. එනම් යථාව කුක්කුච්ඡය සහ අයථාව කුක්කුච්ඡය ලෙසිනි. තමන් කළ අකුසල් පිළිබඳවත්, ඒ වගේ ම නොකළ කුසලයක් පිළිබඳවත් පසුතැවීමක් ඇති වූ විට එය හඳුන්වන්නේ “යථාව කුක්කුච්ඡය” ලෙසයි. තවත් සමහරෙක් නොකළ අකුසලයක් පිළිබඳව වගේ ම විශේෂයෙන් ම කළ කුසලය පිළිබඳව පසුතැවිලි වන අවස්ථාව ද ඇත. උදාහරණයක් ලෙස දානයක් දීම වැනි පුණ්‍ය ක්‍රියාවක් සිදුකොට පසුව එහි අඩුපාඩු ගැන සිතා, ‘අනේ මම එහෙම කළේ ඇයි? නිරපරාදේ එයට කොතරම් වියදමක් කළා ද” ඒ ආකාරයෙන් පසුතැවේ. එය ද කුක්කුච්ඡයට අයත් ය. එය අයථාව කුක්කුච්ඡයයි.
යම් පුද්ගලයෙක් විසින් කුසල් යැයි කියා අකුසල් කර පසුතැවෙන්නට ද පුළුවන. අකුසල කර්ම සිදුකොට තිබෙන්නේ කුසලයක් යැයි සිතාගෙන ය. එවිට එතැන ඇතිවන්නේ මිථ්‍යාදෘෂ්ටික අදහසකි. මේ හේතුව නිසා ද කුක්කුච්ඡය හට ගන්නට පුළුවනි. ඒ වගේ ම මේ කුසල කර්ම සිදුකොට, කල්පනා කරනවා, මට මහ පාඩුවක් වුණා. මේ ආකාරයෙන් යථාව කුක්කුච්ඡය සහ අයථාව කුක්කුච්ඡය පිළිබඳ ව අප අතීතයේ කළ පවක් එනම් අකුසලයක් ගැන සිතා, එය නැවත, නැවත සිහි කිරීම කුක්කුච්ඡයට අයිති වන්නේ නැහැ. යම් දෙයක් සිහිකොට ඒ ගැන පසු තැවෙන්නේ නම් පමණයි කුක්කුච්ඡය යන නාමයෙන් හඳුන්වන්න පුළුවන් වන්නේ.
කළ පව්, ගැන සිතමින් තැවීම, කනගාටුවීම, පසුතැවීම, කළ පව් තුනී කරන යහපත් ගුණයක් යැයි සමහරු සිතති. ඒ ආකාරයෙන් සිතුවාට පවින් මිදෙන්නේ නැත. පව් තුනී කිරීමක් ව න්නේ ද නැත. ඒ වෙනුවට නැවත නැවත සිත දූෂ්‍ය වීමකි සිදුවන්නේ. එවිට කලින් කළ සුළු පාපය පවා බරපතල ආකාරයට පත්වීමට පුළුවන. ඒ නිසා සමහර වෙලාවට කළ අකුසලයෙන් අපාගතවීමට තරම් නොවුණත් කුක්කුච්ඡය ඇති වූ නිසා, එනම් පසුතැවිල්ල නිසා සමහර විටක අපාගතවීමට තරම් ප්‍රබල අකුසලයක් බවට ද පරිවර්තනය විය හැකි ය.

නොකළ පින් ගැන පසුතැවිලි නොවීම යහපත් ක්‍රියාවකි. පසුතැවිලි වූවා කියා එයින් අපට විශේෂ යහපතක් එනම් පිනක් සිදුවන්නේ ද නැත. එසේ පසුතැවිලිවීමෙන් සිදු වන්නේ පින් කිරීමට උත්සාහවත් වූ සිත නැවත දුර්වල කර, සිත දූෂ්‍යවීම පමණයි. කුක්කුච්ඡ නම් වූ පසුතැවිල්ල සහිත සිතිවිලිවලින් මිදී සිත එක අරමුණක පවත්වා ගැනීමට උත්සාහ කළ යුතුය.

උතුරු කොළඹ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ 
ප්‍රධාන ලේඛකාධිකාරී
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
කරපුටුගල රේවත හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍බිනර පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 05 වන අඟහරුවාදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment