ස්ථානෝචිත ප්‍රඥාව නැතහොත් තැනට සුදුසු නුවණ අප හැමෝම තුළ තිබිය යුතු මහඟු ගුණාංගයක්. එහ ිදී තමන් කරන කියන දේ පිළිබඳව හොඳ දැනුම්වත් බවක් අවබෝධයක් අවශ්‍යයි. බොහෝ දෙනා යමක් සිදු කිරීමේදී යමක් කිරීමේදී ඒ ගැන නුවණින් විමසා බලන්නේ නැහැ. ඒ නිසා ම විවිධ ආරවුල්, අනවශ්‍ය අර්බුද ඇති වෙනවා.
බුදුපියාණන් වහන්සේ පුංචි රාහුල හිමියන්ට අවවාද කරන්නේ සිතින්, කයින් සහ වචනයෙන් සිදු කරනු ලබන සියලු ක්‍රියාවන් හි දී නුවණින් සිතා බලන ලෙසයි. “රාහුල, නුවණින් විමසා බලා කයින් සිදු කරනු ලබන කර්මයන් සිදු කරන්න. රාහුල, නුවණින් විමසා බලා වචනයෙන් සිදු කරනු ලබන කර්මයන් සිදු කරන්න. රාහුල, නුවණින් විමසා බලා මනසින් කරන ක්‍රියාකාරකම් සිදු කරන්න” යැයි උන්වහන්සේ දේශනා කළා.මෙහි දී නුවණින් මෙනෙහි කළ යුතු වන්නේ කුමක්ද?
යම්කිසි ක්‍රියාවක් කිරීම ප්‍රථම ඒ කාර්යය නිසා තමන්ට කරදරයක් වේ ද, අනුන්නට කරදරයක් වේ ද, තමන්ටත්, අනුන්ටත් කරදරයක් වේද කියා තමන් විසින් සිහියෙන් හා නුවණින් විමසා බැලීමයි. ඒ ආකාරයෙන් තමන්ටත්, අනුන්ටත් කරදයක් නොවේ නම් පමණක් එය සිදු කිරීම මැනැවින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.
ඇතැම් කෙනෙක් තමන්ට හොඳ යැයි සිතන දේ කිසිදු විමසා බැලීමකින් තොරව සිදු කරන්නට ඉදිරිපත් වෙනවා. “ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න ඕනෑදැයි” කියමින් සමහරු බොරු කියමින් ඇත්ත පමණක් කතා කරන කෙනෙක් සේ අනුන්ට අඟවනවා. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව ඇත්ත වුවත් අනවශ්‍ය අර්බුද ප්‍රශ්න ඇති කරනවා නම් ඒවා නොකිව යුතුයි. අන් අයට අප්‍රසන්න වුවද, සත්‍යය පැවැසිය යුතු වන්නේ අවස්ථාව බලා ඒ ගැන සැලකීමෙන් පසුවයි. එසේ නොමැතිව කිසිදු සංවරයකින් තොරව දන්නා සියල්ල, කටට ගලා ගෙන එන සියල්ල කියා දැමීම හෝ සිතන සියල්ල පාලනයකින් තොරව ක්‍රියාත්මක කිරීම සුදුසු වන්නේ නැහැ. එය තැනට සුදුසු නුවණින් කටයුතු කරන කෙනෙකුගේ හැසිරීම නොවෙයි.
කරණීය මෙත්ත සූත්‍රයේ දී තැනට නිසි නුවණ වන “නිපක ගුණය” ගැන දක්වා තිබෙනවා. පුංචි ඔබ මෛත්‍රී භාවනාවේ වටිනාකම ගැන හොඳින් දන්නවා. නිපක ගුණය නැති පුද්ගලයාට මෛත්‍රී භාවනාව පුරුදු කිරීම අපහසුයි. මෛත්‍රීය වඩන පුද්ගලයා සෑම විටම තමන්ගේ ක්‍රියාකාරම් ගැන පරිස්සම් වෙනවා. තමන් කියන, කරන දේ නිසා අන් අයට කරදයක් වේදැයි කල්පනා කරනවා. එසේ අන් අයට කරදරයක් වන දේ කියමින්, කරමින් මෛත්‍රී භාවනාව වැඩිය නො හැකියි. තමන් කයින්, වචනයෙන් අන් අයෙකුට කරදරයක් හෝ අයහපතක් වූයේ නම් එතැන සුහදත්වය රැඳෙන්නේ නැහැ. මිත්‍රත්වය රැදෙන්නේ නැහැ.දිනක් මෙරට ඉතා දක්ෂ දේශකයාණන් වහන්සේ නමක් ධර්ම දේශනාවකට වැඩම කොට තම වාහනයෙන් ආපසු විහාරස්ථානයට වැඩම කරමින් සිටියා. හදිසියේම උන්වහන්සේ වැඩිය වාහනය ක්‍රියා විරහිත වුණා. එතැනින් තවත් වාහනයකින් ගිය එක්තරා මහත්මයෙක් මේ ස්වාමින් වහන්සේ දැක තොරතුරු විමසා වාහනය සාදා ගැනීමට තවත් වේලාවක් ගතවන බැවින් තමන්ට ස්වාමින් වහන්සේ විහාරස්ථානයට වඩමවා ගෙන යා හැකි බව සදහන් කළා. තවත් උන්වහන්සේ එම ඉල්ලීමට එකඟ වුණා. රියදුරුට වාහනය සාදාගෙන එන ලෙස දන්වා උන්වහන්සේ ඒ මහතාගේ වාහනයේ පන්සලට වැඩම කිරීමට පිටත් වුණා.
ස්වාමින් වහන්සේ සමඟින් සුහද කථාවක යෙදී සිටි දායක මහතා මගදී කඩයක් අසල වාහනය නවතා “ස්වාමින් වහන්ස, පොඩ්ඩක් වැඩ ඉන්න. මේ කඩයෙන් බඩු ටිකක් ගන්න තිබෙනවා” යැයි පවසා ඉතා හදිස්සියෙන් වාහනයෙන් බැස කඩයට දිවගියා. ඒ වෙළෙඳ සැලේ නම දුටු ස්වාමින් වහන්සේගේ මතකයට ආවේ තම ප්‍රදේශයේ මිනිසුන් මේ කඩේ මුදලාලි ගැන කියා තිබුණ නුගුණ යි. “මේ මුදලාලි හරිම අධාර්මික කෙනෙක්. හොරට බඩු කිරන,බාල බඩු ගිනි ගණන් වලට විකුණන කෙනෙක්. කිසි දිනක ණයට නොදෙන කෙනෙක්.” ආදී ඔහුගේ බොහෝ නුගුණ ස්වාමින් වහන්සේ සිහිපත් වුණා.
ස්වාමින් වහන්සේ කල්පනා කළා මෙතරම් කඩ තිබියදී ඇවිත් මේ කඩයටම ගියේ මේ මහත්මයා මේ පැත්තට ආගන්තුකයෙක් වෙන්න ඇති.තමන්ටත් උදව්වක් කළ මේ මහත්තයාට මුදලාලි පිළිබඳව කියා ඔහු දැනුවත් කොට වචනයෙන් හෝ උදව්වක් කළයුතුයි සිතුවා. විශාල බඩු මලු දෙකක් ගෙනවුත් වාහනයට දමා රිය පවදවාගෙන යන ඒ මහතාට ස්වාමින් වහන්සේ කඩේ මුදලාලි පිළිබඳව කියන්නට සිතා ඊට පළමුව “ඔබතුමා හැමදාම බඩු ගන්නේ මේ කඩෙන්දැයි ප්‍රශ්න කර සිටියා. ඒ මහතා කියා සිටියේ “ස්වාමින් වහන්ස, මේ මගේ පුතාගේ කඩය” කියායි.
මේ කතා පුවතින් අපට පැහැදිලි වන්නේ තැනට සුදුසු නුවණ ඇතිව කටයුතු කිරීමේ වැදගත්කමයි. කටට එන වචන අවිචාරවත්ව කියන්නට යාම තුළ කොතරම් අර්බුද නිර්මාණය වෙනවාදැයි කල්පනා කර බලන්න. මේ ස්වාමින් වහන්සේ තම දායකයන් කී දේ කීවා නම් එතැන ගැටලුවක් ඇතිවීමට තිබුණා. එබැවින් ඇත්ත වුවත් කියන්නට සුදුසු තැනක්, වේලාවක්, එය අසන්නාට තේරුම් ගත හැකි මානසික තත්ත්වයක් තිබෙනවාද යන්න විමසා බලා ප්‍රකාශ කළ යුතු වෙනවා. වචනයෙන් කරනු ලබන ප්‍රකාශයන් පමණක් නොව කයින් සිදු කරනු ලබන ක්‍රියාවන්ද එලෙසින්ම අවධානයට යොමු කිරීම වැදගත්. ස්ථානෝචිත ප්‍රඥාව හෙවත් තැනට සුදුසු නුවණ කියන්නේ එයටයි.
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිතතලල්ලේ චන්දකිත්ති හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අගෝස්තු 15 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment