“වස්සානයේ කථාව” යන මේ වචන දෙසවන වැටෙන විට ම අපේ සැදැහැති බෞද්ධයන්ට මහත් වූ සැනසිල්ලක් දැනෙන්නේ වෙනදාට වඩා තමන්ට පින්දහම් රැස් කරගන්නට ලැබෙනවා කියන සිතිවිල්ල නිසයි.
අපේ ජීවිතය තත්පරයෙන්, පැයෙන්, දවසෙන්, මාසයෙන් අවුරුද්දෙන් යන කාල චක්‍රයට අනුව ගෙවී යනවා. ඉතින් අවුරුද්දේ දින 365 තුළ විවිධ වකවානු විවිධ කරුණුවලට අපි වෙන් කර ගන්නවා. සාමාන්‍යයෙන් අලුත් අවුරුදු සමය, වෙසක් සමය, පොසොන් සමය ආදී වශයෙන් එය බෞද්ධයෝ විශේෂ කොට සලකනවා. එහෙම වුණත් මේ “වස්සානයේ කථාවට” හසු වන කාලය දින දෙක තුනකට සීමා වන කාලයක් නම් නොවෙයි. එයට සාමාන්‍යයෙන් මාස 04 ක් ම ගැනෙනවා. බෞද්ධ භික්ෂූන් වහන්සේලා “වස් වැසීම” සඳහා නිශ්චිත වශයෙන් යොදා ගන්නේ නම් මාස තුන යි.
ඒ වුණත් “චීවර මාසය” කියලා වස් කාලයට ම තවත් මාසයක් එකතු කර ගෙන ඒ කාලයත් එක්ක මාස 04 ක් ම ඉතා වැදගත් කාල පරාසයක් ලෙස බෞද්ධයෝ වෙන් කරගෙන මේ චීවර මාසය තුළ වඩ වඩාත් උනන්දුවෙන් ක්‍රියා කරන ආකාරය අපට අත්විඳීන්නට පුළුවන්. සිංහල බෞද්ධ ව්‍යවහාරය අනුව වර්ෂයේ මාස දොළහ සෘතු තුනකට බෙදෙනවා. හේමන්ත, ගිම්හාන හා වස්සාන වශයෙන් ඒ කාල පරිච්ඡේද තුන හැඳීන් වෙනවා. සිංහල බෞද්ධ මාස චක්‍රය අනුව ඉල් මාසයේ(නොවැම්බර්) අව පෑලවිය සිට මැදින් මාසයේ (මාර්තු)යෙදෙන පුර පසළොස්වක පොහෝ දින දක්වා වන මාස හතර හේමන්ත සෘතුව යි. ගිම්හාන සෘතුවට අයත් වන්නේ මැදින් මාසයේ(මාර්තු) අවපෑලවිය දින සිට ඇසළ පුරසළොස්වක් දා තෙක් මාස හතරයි.
ඇසළ මාසයේ පුරපසළොස්වක ගෙවී (ජූලි)අවපෑලවිය දිනයේ සිට ඉල් (නොවැම්බර්)මාසයේ පුරපසළොස්වක් දා දක්වා මාස හතර වස්සාන සෘතුව යි. ඉතින් මේ කාල චක්‍රය අනුව බලන විට හේමන්ත සෘතුව(නොවැම්බර් මාසයේ මැද සිට, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාසයේ මැද දක්වා) කාලය සුවපහසු කාලය ලෙස භාරත දේශවාසීන් පොදුවේ කල්පනා කරනවා. එහෙම වුණත් එහි ද සනීපදායක බවක් දක්නට නැහැ. මොක ද? සාමාන්‍යයෙන් මේ මාස හතරේ මුල් කාලය එම සුවදායක බව පෙනුණත් පසුවට දැඩි ශීත සමයක් බවට පත් වෙනවා. වර්තමානයේ වුවත් මේ දැඩි ශීත සමය නිසා විශේෂයෙන් වයස් ගත ඇතැම් ජනකොටස් මරණයට පවා පත් වෙනවා. ඊ ළඟට එන්නේ ගිම්හාන සෘතුව යි. (මාර්තු මාසයේ මැද සිට ජූලි මාසයේ මුල් කොටස දක්වා කාලය යි.
මේ කාලය ඉවසුම් නොදෙන තරම් දැඩි ඌෂ්ණයකින් යුක්ත යි. මේ ඌෂ්ණය ද ඉවසිය නොහැකි තරම් තත්වයන්ට පත් වී ඇතැම් ජනකොටස් මිය යන අවස්ථා අදත් තිබෙනවා. ඉතින් මේ මාස අට තුළ ම වැස්ස නැහැ. ඒ නිසා කිසියම් විදයකින් වැසි ගතියක් ඇති වුවහොත් එය අකල් වැස්සක් ලෙස යි භාරත වැසියන් කල්පනා කරන්නේ. ජූලි මාසයේ මැද සිට ඉල් මාසයේ මැද දක්වා මාස හතරක කාල සිමාව වස්සාන සෘතුව යි.
ඉතින් එක දිගට වැස්ස පවතින කාලයක්. ඒ නිසා ම යි “වස්සානය” කියන්නේ. මේ කාලය තුළ දඹදිව ඉන්දියාවේ පරිසරය හරිම ලස්සනයි. දූවිලි නැහැ. තනි කොළ පැහැයෙන් අවට පරිසරය බබළනවා. හැබැයි ගමනක් බිමනක් යාමට හෝ වැඩක් පළක් කර ගෙන නිදහසේ ජීවිකා වෘත්තිය කර ගෙන යාමට බැරි තත්වයක යි ජනතාව ඉන්නේ. ඉතින් අද මේ සඳහා නවීන තාක්ෂණයෙන් පිළියම් යොදා ගෙන ජනතාව රැකී රක්ෂා කරමින් වර්ෂය පවත්වා ගෙන ගියත් එදා බුදුරජාණන් වහන්සේ දවස වැහි කාලය තුළ ජනතාව රැකීරක්ෂා ආදියෙන් ද වැළකී අනිකුත් කාලවල එක් රැස්කර ගන්නා ආහාරද්‍රව්‍ය වලින් ජිවිකාව කර ගෙන ගියා. වස් විසීම ඇරඹුම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී පළමු වස් විස්ස තුළ උන්වහන්සේගේ ශ්‍රාවක සමූහයාට මේ වස්කාලයෙහි වස්විසිම සඳහා අනුදැන වදාරා තිබුණේ නැහැ.
එහෙම වුණත් බුදුරජාණන් වහන්සේ හා රහතන් වහන්සේලා ද මේ කාලයේ ජනපද චාරිකාවෙන් වැළකී මේ වැහිකාලය තුළ සුදුසු සෙනසුනකට වී ඒ කාලය එහෙම නැතිනම් වැහි කාලය අවසන් වනතුරු ම ගත කළා. මේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ ප්‍රථම රහත් හැට නමකගෙන් ආරම්භව උන්වහන්සේලා වෙත බුදුරදුන් ලබා දුන් අනුශාසනය අනුව ජනපද චාරිකාවේ යෙදෙමින් සසරගත මිනිස් සත්වයා සසරින් එතෙර කොට සසරදුකින් මුදවාලීම පිණිස මහත් කැපවීමෙන් ක්‍රියා කළා. ඒ වගේ ම දවසින් දවස බුද්ධශ්‍රාවක භික්ෂු පිරිසේ වර්ධනයක් ද ඇති වුණා.
මේ පිරිසට රහතන් වහන්සේ පමණක් නොව පුහුදුන් භික්ෂූන් වහන්සේලා ද ඇතුළත් වුණා. මේ ආකාරයෙන් පිරිස වැඩි වීමත් සමඟ ඇතැම් පුහුදුන් භික්ෂූන් වහන්සේ මේ වැහි කාලය තුළත් ජනපද චාරිකාවේ හැසිරෙමින් සමහර විට ඇතැම් භික්ෂු කෙනෙක් කැපසරුප් නොවන ලෙස අලුත් තණඇතිරි මඩිමින් ගමන්බිමන්වල ද නිරත වුණා. මේ අවදිය වනවිට දඹදිව ඉන්දියාවේ අතිශයින් ප්‍රකටව සිටි ශාස්තෘවරයාව සිටියේ ජෛන නිගණ්ඨනාථ පුත්ත හෙවත් ජෛනමහාවීර යි. මොහු උග්‍ර අවිහිංසාවාදියෙක්. ඔහු ගහකොළවල පවා ප්‍රාණයක් ඇතැයි තරයේ ප්‍රකාශ කළ අයෙක්.
අවිහිංසාවාදයෙන් අන්තයට ගිය අයෙක්. එහෙත් බුදුදහමේ උගන්වන පරිදි ගහකොළවල ප්‍රාණයක් ඇතැයි කිසිටවිටෙකත් කියවෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගහකොළවලට ජීවයක් ඇතැයි ද ප්‍රකාශ කර නැහැ. එහෙම වුණත් බෞද්ධ භික්ෂූන් වහන්සේ වන බුද්ධශ්‍රාවක භික්ෂු පිරිස මේ ආකාරයෙන් මේ වස්සාන කාලයේ ද වැසි සමයත් සමඟ හටගෙන කොළ පැහැයෙන් ශෝභාමත්ව දළු ලා හට ගැනෙන මේ ළා තණකොළ, ඉතා කුඩා ජීවීන් හා පැළෑටි පා ගමනින් මඩිමින් ජනපද චාරිකාවේ හැසිරෙනවා දැක මහජනතාව ඊට විරුද්ධත්වය පාමින් මහත් ජනමතයක් ඇති කළා. මෙම මහජනමතයට මහත් සේ සැලකිලිමත් වූ බුදුරජාණන් වහන්සේ එදා පිළිගත් ඒ මතයට අනුව භික්ෂූන් වහන්සේට ප්‍රඥ්ප්තියක් පැනවුවා ඇසළ මාසයේ(ජූලි)අවපෑලවිය දිනයේ සිට ඉල් (නොවැම්බර්) මාසයේ පුරපසළොස්වක් දා දක්වා වන මාස හතර වස්සාන සෘතුව තුළ උපසම්පන්න භික්ෂූන් වහන්සේ විසින් වස් විසිය යුතුය කියා. වස්විසුම සඳහා සෙනසුනක් සපයා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මුල් යුගයේ අද මෙන් භික්ෂුන් වහන්සේට ස්ථිර වාසස්ථාන තිබුණේ නැහැ.
උන්වහන්සේ සංචාරක ජීවිතයක් ගත කරමින් මහජනතාව වෙනුවෙන් ක්‍රියා කළා. ඉතින් මේ තත්වය යටතේ වැසිකාලය ආරම්භ වීමට ආසන්න වෙද්දි දායකයන් විසින් පන්සලක් හෙවත් සෙනසුනක් සාදවා නො දුන්නොත් හෝ තමන්ට සෙනසුනක් සපයා ගැනිමට හැකියාවක් නො වුණහොත් මිස සෑම භික්ෂුවක් ම ආරාධනාවක් ඇතත් නැතත් වැහි කාලයේ එක් තැන්ව ම සෙනසුනක වස්විසීම අත්‍යවශ්‍ය වෙනවා.
වාරියපොල
ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ බිනර පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 05 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment