කවර ආකාරයකින් ඇඳුමෙන් පැළඳුමෙන් ආභරණයෙන් සැරසී සුවඳවිලවුන් ආලේප කොට “මම ය”, “මාගේ” යැයි යම් විටක මානයෙන් යුතුව හෝ පවත්වාගෙන සිටියත් බිඳෙන මැටි කළයක් බඳු මේ ශරීරය දෙස රාගයෙන් හෝ ද්වේෂයෙන් තොරව දකින්නට යැයි දහමේ පෙන්වා දෙයි.
“යම් උපක්‍රමයෙකින් උපන් සත්ත්වයෝ නොමියෙත් නම්, එබඳු උපක්‍රමයක් නැත, ජරාවට පැමිණ ද (නො පැමිණ ද) මරණය වෙයි, ප්‍රාණීහු මෙබඳු සැහැවි ඇතියහ.”
“යම් උපක්‍රමයකින් උපන් සත්ත්වයන් මිය යන්නේ නැති නම් එබඳු උපක්‍රමයක් මේ තුන් ලෝකයේ ම නැත. ජරාවට පැමිණ හෝ නො පැමිණ හෝ මරණයට ම පත්වේ. සියලු ප්‍රාණීහු මෙබඳු ස්වභාවයක් උරුම කොට ඇත්තේ ය.”
මේ ලෝකයේ දියුණු ස්වභාවය මොනතරම් දැයි වර්තමාන පරිසරයේ ජීවත්වන ඔබට සිතා ගත හැකි ය. එක්තරා කාලයක සිතකට අරමුණු කර ගත නොහැකි වූ ගමනක් පිළිබඳව මනුෂ්‍යයෝ සඵල කර ගත්හ.
එනම් සඳ තරණය කිරීම ය. මේ සියල්ල ම මනුෂ්‍යයන් විසින් වර්තමාන තාක්ෂණයට අනුව ජය ගත්ත ද උපන්නා වූ සත්ත්වයන්ගේ මරණය නැති කිරීම වැළක්වීම පිණිස කිසිදු තාක්ෂණයකින්, උපක්‍රමයක් සාදාගෙන නැත. රජ මැති, සිටුවරු, ධනවත්, දුප්පත්, ගිහි පැවිදි, මේ සියලු දෙනාම එක හා සමානව ම මරණ ධර්මයට අනිවාර්යයෙන් ම පැමිණෙන බව ස්ථිරය. ජීවිතය අනියත බවත් මරණය නියත බවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ නිසයි. මේ වදන් පෙළ කියවන ඔබට, කතා කරන අපට අපේ සමීපයෙහි පවත්නා වූ සිටින්නා වූ කුමන හෝ ප්‍රිය වස්තූන් වුවත් තමන් වගේ ම ඒ සියලු දෙනාත් මොනයම් වූ හෝ මොහොතක මරණ ධර්මයට පැමිණෙන බව ඉතා ම පැහැදිලි ය.
මේ බව නුවණින් සිතා ගන්නට නොහැකි වූයේ නම්, අපේ සිතෙහි බොහෝ කාලයක් යන තුරු හුලකින් පහර ලැබුවා සේ් ශෝකය, සිත, ගත මහත් සේ දුකකට, වේදනාවකට පත් කරනු ඇත. මරණයෙන් ගැලවෙන්නට, ඈත්වෙන්නට උපක්‍රමයක් නැත්තා සේ ම ඒ මරණය කරා බොහෝ සත්ත්වයෝ ගමන් කරන්නේ සැප සේ නොවේ. දිරාගෙන යමිනි. බොහෝ දුකකට ද පත්වෙමිනි. මේ නිසා සියලු සත්ත්වයෝ ම එවැනි ධර්මතාවයන්ට යටත් බව ඒ දහම් පෙළ අපට මතක් කොට දෙයි.
“පරිපක්ව (ඉදුණු) ඵලයනට ප්‍රාත:කාලයෙහි (අලුයම) පතනයෙන් වන බිය සෙයින් උපන් සත්නට නරතුරු මරණින් බිය උපදන්නේ ය.”
“මනා ලෙස ඉදුණු ඵල හෙවත් ගස්වල ගෙඩි අලුයම් වේලෙහි බිමට කඩා වැටෙන බව අනිවාර්ය සේ, උපන් සත්ත්වයන්ටත් නිරතුරුව ම මරණ බියෙන් යුතුව ම ජීවිතය පවත්වන්නට හේතු වේ. රාත්‍රී කාලයෙහි නින්දට යන මනුෂ්‍යයෝ පසු දා උදෑසන එසේ ම සිටිත්දැයි ස්ථිර ලෙස කාට, කෙසේ නම් කිව හැකි ද? හිමිදිරියේ දකින මනුෂ්‍යයෝ මධ්‍යාහ්නය වන විට හෝ රාත්‍රිය උදාවන විට මහ පොළොවෙහි දෙපයින් නැගී සිටින්නේ දැයි ස්ථිර ලෙස ම කෙසේ නම් පැවසිය හැකි ද? සම්මුතියට අනුව ආයු කාලයක් හා අනාගතය සැලසුම් කෙරේ. එහෙත් ඉදුණු ගෙඩියක් මොන යම් වෙලාවෙහි බිමට කඩාගෙන වැටෙන්නේ දැයි කිව නොහැකි ය. උපන් සත්වයාගේ ජීවිතයේ ඇති අනිත්‍ය ස්වභාවය ද එසේම ය.
“යම් සෙයෙකින් කුඹලු විසින් කරණ ලද මැටිමුවා බදුන් හැම බිඳුම් හිමි කොට ඇතියේ ද, මිනිසුන්ගේ ජීවිතයත් එබඳු වෙයි.”
යම් හෙයකින් කුඹලුන් විසින් කරන ලද, මැටියෙන් සාදන ලද බඳුන් සියලු ආකාරයෙන් ම කැඩීම් බිඳීම්වලට උරුම කොට ඇත්තේ යම් සේ ද මනුෂ්‍යයන්ගේ ජීවිත ද එබඳු ම වේ.
භාග්‍යවතුන් වහන්සේ විසින් විදර්ශනාවට අරමුණු කරගත හැකි කර්මස්ථානයක් ලෙසත් මෙම දහම් පෙළ නිරන්තරයෙන් දේශනා කොට තිබේ.
“කුම්භූපමම් කායමිමං විදිත්වා”. යනුවෙන් පෙන්වා දී ඇත්තේ එයයි. මේ කය මැටි කළයක් බඳු උපමා කොට සිතන්නට යැයි දේශනා කොට ඇත්තේ ය.
මැටි කළය පළමු කොට හදන අවස්ථාවේත්, එය නිමා කරන අවස්ථාවේත්, පෝරණුවට ඇතුලත් කරන විටත්, පෝරණුවෙහි මැටි බඳුන පිළිස්සෙන විටත්, එළියට ගන්නා විටත්, මැටි බඳුන පාවිච්චි කරන හැම මොහොතකමත් සියලු ආකාරයේ කැඩීම් බිඳීම් උරුම කොට ඇත්තේ ය.
ගන්ධබ්භයෙක් මවු කුසකට පැමිණි අවස්ථාව කළලය නම් වේ. මව් කුසේ හට ගත් ඒ කළල අවස්ථාවේ පටන් වැඩීම, මව් කුසෙන් බිහිවීම හා ජීවිතය පවත්වන හැම අවස්ථාවක ම මේ ශරීරය සියලු ආකාරයෙන් කැඩීම්, බිඳීම්වලට උරුමකොට ඇත්තේ වෙයි.
කවර ආකාරයකින් ඇඳුමෙන් පැළඳුමෙන් ආභරණයෙන් සරසා සුවඳවිලවුන් ආලේප කොට “මම ය”, “මාගේ” යැයි යම් විටක මානයෙන් යුතුව හෝ පවත්වාගෙන සිටියත් බිඳෙන මැටි කළයක් බඳු මේ ශරීරය දෙස රාගයෙන් හෝ ද්වේෂයෙන් තොරව දකින්නට යැයි දහමේ පෙන්වා දෙයි. කැඩෙන බිඳෙන වැනසෙන අපවිත්‍ර දැයෙන් පිරුණු බඳුනක ඇති සරු බව කුමක් දැයි දහම් කතාව එසේ ප්‍රශ්න කරයි.
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අගෝස්තු 15 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment