" යම් වස්තුවක ට තමා මොනතරම් කැමැති, අකැමැති වුණත් ඒ සියල්ලෙහි ම පවතිනුයේ උදයව්‍ය බවයි. එනම් හට ගැනීම හා නැසී යාම බව සිත් තුළ පුරුදු විය යුතුම යි. ඒ පිළිබඳව නොවඩනා ලද සිත කැමැති අරමුණෙහි ඇලීමත්, ගැටීමත් සිදු කරයි. මෙහි අතුරුඵලය ශෝකය යි. මෙය හුලකි."
පඨවි ආදී හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ සියලු සංඛත වස්තූන් අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ධර්මතාවයන් ට යටත් බව විදර්ශනා මනසට හසුවෙ යි. විදර්ශනා මනසින් අරමුණු දැක ගන්නට අපොහොසත්වන සිතක ආලය සේ ම ශෝකයත්, පටිඝයත් එනම් තරහවත්, අකැමැත්තත් එකසේ ම හට ගනී. ඇලෙන සෑම අරමුණක් ම සංඛත බැවින් ඒවා වෙනස්වීමේ දී විදර්ශනාවෙන් පුරුදු නො කරන ලද සිතකට එය මහත් දුකකි. වේදනාවකි. එම වෙනස්වීම පිළිගන්නට ඇති අකැමැත්ත පටිඝයක් ලෙස ද්වේශයක් ලෙස සකස් වේ. එහි ඵලයක් ලෙස ශෝකය, බලවත් සිත් තැවුල, හැඬීම, වැළපීම සහ දැවෙන කායික, මානසික ස්වභාවය දැක්විය හැකි ය.
යම් වස්තුවක ට තමා මොනතරම් කැමැති, අකැමැති වුණත් ඒ සියල්ලෙහි ම පවතිනුයේ උදයව්‍ය බවයි. එනම් හට ගැනීම හා නැසී යාම බව සිත් තුළ පුරුදු විය යුතුම යි. ඒ පිළිබඳව නොවඩනා ලද සිත කැමැති අරමුණෙහි ඇලීමත්, ගැටීමත් සිදු කරයි. මෙහි අතුරුඵලය ශෝකය යි. මෙය හුලකි.
ශෝකය සල්ල හෙවත් හුලක් බව නුවණින් දැක විදර්ශනාව ම සිතෙහි පුරුදු කොට පරමාර්ථ වශයෙන් ඇලීම, ගැටීම දුරුකිරීමත් එමඟින් ශෝකය සංසිඳුවා ගැනීමටත් උත්සාහ ගත යුතුම යි. ඒ සඳහා පොහොය දින සතරක් පුරා විස්තර කළ මේ සල්ල සූත්‍රයේ සඳහන් දහම් පෙළ ඔබට දහම් කතිකාවතක් වූ බව නො අනුමාන යි.
“යම්මැ අයුරෙකින් සත්ත්වයෝ හඟිත් නම්, එය එයින් අන් පරිදි වෙයි. මෙබඳු විනාභාවයෙක් ඇත. ලෝක ස්වභාවය බලව.”
ඔබ බොහෝ කෙනෙකුට ඉතා ම හුරුපුරුදු මෙම දහම් පෙළ සිතා බලන්න. එනම් යම් කෙනෙක් යමක් සිතන්නේ නම් එය එසේ නොවන බවත් නොසිතන දෙයම සිදුවන බවත් ය.
යම් අයුරකින් සත්ත්වයෝ යමක් ගැන සිතත් නම්, එය එසේ නොවී අන් අයුරක් ම වෙනස් ආකාරයකටම මුහුණ දෙන්නට සිදු වේ. මෙබඳු ස්වභාවයක් මේ ජීවිතය ලෝක ස්වභාවය තුළ පවත්නා බව නුවණින් සිතා බලන්න.
“ ඉදින් මිනිස් තෙමේ සිය වසක් හෝ ඉන් වැඩියක් හෝ ජීවත් වේ නම්, නෑ ගණයාගෙන් (මරණ විසින්) වියෝ වේ මැයි. මෙලොවෙහි දිවි මෙසේ දන්නේ ය.”
ඉදින් මිනිස් තෙමේ අවුරුදු සියයක් හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්වුනත්, ඥාති සමූහයාගෙන් වෙන්විය යුත්තෝ ම ය. මරණයට පත්විය යුත්තෝ ම ය.
මෙලොව ජීවිතය පවත්වා ගත යුත්තේ මෙසේ බව “තම සිත ගැන නුවණින් දකින හැම මනුෂ්‍යයෙකුට ම සිහිපත් විය යුත්තේම ය. එනම් අද හෝ හෙට හෝ ළඟකදී හෝ ටික දවසකින් හෝ තව අවුරුදු කීපයකින් හෝ සියවසක් ඇතුළත හෝ එයට ටිකක් වැඩියෙන් හෝ ඇතුළත මේ ස්වභාවයට පත් විය යුතු වන්නේ ම යි. ඔබට ඔබ ගැන ම ශෝකයක් ඇති වන්නේ දැයි පළමුව සොයා බලන්න. ඔබ ඔබගේ ම අධ්‍යාත්මික කතාව ධර්ම සංවේගයක මාර්ගය පිණිස ආරම්භ කළ යුතුමයි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ‘නිද්භින්ධති’ යන වචනයෙනි. එනම් ජීවිතයෙහි කලකිරෙයි යන අදහසයි. භවයෙහි ස්වභාවය, සසරෙහි ස්වභාවය, උපන් ජීවිතයේ ස්වභාවය, උපන් සියලු සත්ත්වයන්ගේ ස්වභාවය මෙය නම්, උපන් සත්ත්වයෝ මම ය, මාගේ, යැයි ඇලෙන්නේ ද ඇළුණු දේ වෙනස්වන විට ගැටෙන්නේ ද එහි පවතින්නේ කලකිරීමකි. “නිද්භින්ධති” යනුවෙන් එය විස්තර කෙරේ.
“එකරුණින් මැ රහත්හුගේ (සම්බුදුන්ගේ) මෙබඳු ධර්මදේශනා අසා පරිදේවනා හැරපියා කළුරිය කළ පරලොව ගියහු දැක තෙල ප්‍රේත මා විසින් යළි නොලද හැක්කේ”යි පරිදේවනා හැර පියන්නේය.”
රහතුන් වහන්සේලාගේ සිතට අරමුණුවන ධර්ම සංවේගයට මාර්ගයත්, මේ ශෝකයේ සැබෑ ස්වභාවය නුවණින් දකිමින් අපට අප කෙරෙහි ම ඇති කර ගත හැකි වන්නේ ය.
නුවණැත්තෝ මේ ආකාරයෙන් තථාගත බුදුරජාණන් වහන්සේ ගේ හෝ රහත් උතුමන්ගේ මෙබඳු පරමාර්ථ දේශනා ශ්‍රවණය කරමින් හැඬීම, වැළපීම හැර පියා කළුරිය කළා වූ හෙවත් පරලොව ගියා වූ ඥාති හිතමිතුරන් හෝ ප්‍රිය අය දැක එසේ ගිය අය නැවත අප විසින් නොදැක හැක්කේ යැයි, සිත සනසා ගත යුතු ය. හැඩීම, වැළපීම අවබෝධයෙන් යුතුව ම සංසිඳවා ගත යුතු වන්නේ ම ය.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරන්නේ අර්ථය පිණිස ම ය. අනන්ත සංසාරයේ ඇති යථා ස්වභාවය නුවණින් දැකීම ය. එසේ නම් ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා ඇතිවන ශෝකයේ ඇති අනර්ථ ස්වභාවය හෙවත් නිසරු බව ඔබට ද මැනවින් වැටහිය යුතු වන්නේ ය.
“ගින්නෙන් ඇවිළැගත් ගෙයක් දියෙන් යම් සෙයින් නිවන ලදු යේ ද එසෙයින් කෙලෙස් පිරිනිවී ධෘතිසම්පන්න ස්වාභාවික ප්‍රඥා ඇති (බහුශ්‍රැත ප්‍රඥායෙන්) පණ්ඩිත වූ චින්තාමය ප්‍රඥායෙන් දක්ෂ වූ නර තෙම උපන් ශෝකය මාරුතය පුළුන් පොදක් සෙයින් වහා පිඹ හරන්නේ ය,”
ගින්නෙන් ඇවිලගත් ගෙයක්, දියෙන් යම් සේ නිවන්නේ ද යම් සේ ද, එසේ ම කෙලෙස් පිරිනිවීමෙන් යුක්ත මනා කොට සිහිය පවත්වන ස්වභාවයෙන් යුතු සම්‍යක් ප්‍රඥාව ඇති, නුවණැති වූ නැවත නැවත මෙනෙහි කිරීමේ ප්‍රඥාවෙන් දක්ෂ වූ පුද්ගලයා ම, යම් වූ ද උපන් ශෝකය නම් වූ චණ්ඩ මාරුතයක් වේ නම් එය පුළුන් පොදක් සෙයින් වහා පිඹ බැහැර කරන්නේ ය.
ඒ සඳහන් දහම් පෙළ ඔබ අප හැම කෙනෙකුට ම මනා වූ දහම් ඖෂධයක් බවට පත් කර ගත හැකියි. අශ්‍රැතවත් පෘතග්ජන ස්වභාවය නිසා යම් වූ ද ප්‍රිය අයකුගේ වෙන්වීම ශෝකයක් ලෙස ඇවිල ඇවිල දුකකට පත්වෙමින් එන්නේ නම් ඇවිළෙන ගෙයක් දිය ඉස නිවන්නා සේ රාග, ද්වේෂ, මෝහයේ ඇති අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ස්වභාවය නුවණින් මෙනෙහි කොට සතර සතිපට්ඨානයේ පුරුදු කරන ලද සිහිය නැවත මෙනෙහි කොට ඒ ශෝකය බැහැර කිරීමට පුළුන් පොදක් සේ වහා පිඹ ඉවත් කර ගැනීමට උත්සාහ කළ යුතු වන්නේ ය. අපේ දෙ සවන්වලින් සිතට දැනුණු, තැන්පත් වූ මෙනෙහි කළ විදර්ශනා ප්‍රඥාවෙන් යුතු ඒ සම්‍යක් ප්‍රඥාව ම ශෝකය නම් වූ හුල ඉවත් කිරීමටත් ශෝකය නම් වූ හුලෙන් සිදු වූ තුවාලය සුවපත් කර දුක්ඛ වේදනාව බැහැර කර ගැනීමටත් භාග්‍යවතුන් වහන්සේ මහත් වූ කරුණාවෙන් දේශනා කළ ඒ සදහම් පෙළ ඔබ අප විසින් නිතර මෙනෙහි කළ යුතුම ය.
“තම හට සුව පතනුයේ තමාගේ පරිදේව යැ තෘෂ්ණා යැ, දොම්නස යැ යන ශල්‍යයන් උදුරා ලන්නේ ය.”
භාග්‍යවතුන් වහන්සේ අවසන් ලෙස මේ සූත්‍ර දේශනාවෙහි මෙසේ දේශනා කරන්නා හ, තමාට තමා සැප ප්‍රාර්ථනා කරන්නේ නම් තමාගේ හැඬීම, වැළපීම තෘෂ්ණාවක් ලෙස දැකිය යුතුය. ඒ තෘෂ්ණාවත් දොම්නසත් නම් වූ මේ හුල් උදුරා දැමීමට උත්සාහ කළ යුතු ය.
“උදුරාලූ සෝ හුල් ඇතියේ තෘෂ්ණාදෘෂ්ඨි නි:ශ්‍රිත නොවූයේ චිත්ත ශාන්තියට පැමිණ සව්ශොකයන් ඉක්මැවූයේ කෙලෙස් පිරිනිවීයේ අශොක වේ යයි.”
යම් කෙනෙකුට ඒ ශෝක හුල උදුරා දමන්නට හැකි නම් තෘෂ්ණා දෘෂ්ඨියෙන් බැහැර වී සිතේ ශාන්තිය ඇති කරගෙන සියලු ශෝකයන්ගෙන් ඉවත් ව රාගාදී සියලු කෙලෙසුන්ගෙන් පිරිනිවීමට පත්වන්නට පුළුවන්කම ලැබෙන්නේ ය. එය අශෝක නම් වේ ය. මහා මංගල සූත්‍රයේ “අසෝකං විරජං ඛේමං” යනුවෙන් දැක්වූයේ ද එයයි.
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ බිනර පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 05 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment