Labels

Tuesday, November 29, 2016

මානය දියුණුවට බාධාවකි

" භාරතයේ බොහෝ ශාස්තෘවරු සිටියත් ඒ සියල්ලෝ ම අතර බුදුරදුන් මනා නිහතමානී ගුණයෙන් යුක්ත විය. ඒ සඳහා බොහෝ උදාහරණ සැපයිය හැකිය. අන්‍ය ඉගැන්වීම්වල ඇති යහපත් දේ උකහා ගැනීමට බුදුරදුන් නිහතමානී වූහ. ජෛන පංච විරතිය ඊට කදිම නිදසුනකි. එහෙත් ඇතැම් ශෘස්තෘවරු බුදු දහමේ ඇති හරය එකතු කර ගැනීමට මැලිවූහ. ඊට දැක්විය හැකි හොඳම අවස්ථාව සංජයගේ ප්‍රකාශයයි. සංජයට උපතිස්ස කෝලිත දෙපළ බුදු දහමේ සත්‍ය ප්‍රකාශ කළ විට ඔහු එය බාරගැනීමට මැලි විය. එපමණක් නොව තමන්ට හැලියක්ව සිට හැන්දක්ව විය නොහැකි බවයි."

බුදුරදුන් තුළ පැවති නායකත්ව ගුණ අතර සහනශීලීත්වය ඉතා වැදගත් වූ ගුණයකි. ශ්‍රාවකයන් උදෙසා මෙන් ම තම අනුගාමිකයන් උදෙසා ද සහනශිලීත්වයෙන් යුක්තව කටයුතු කළහ.

ජීවිතය සැපවත් කරන අරපිරිමැස්ම

"රජය ඇතැම් සම්පත් ජනතාවට ලබා දෙන්නේ ලාභයට වඩා සේවාවක් වශයෙනි. විදුලිය, ජලය, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි පහසුකම් සැලසීමේදී රජය ක්‍රියා කරන්නේ සුබසාධකයකු වශයෙනි. "
පින්වත්නි බුදුන්වහන්සේ දේශනා කළ ධර්ම දේශනා අතර ලෞකික ජීවිතයෙහි සාර්ථකත්වය උදෙසා වදාළ එක් මාතෘකාවක් නම් අරපිරිමැස්මයි. මෙය බෞද්ධ සම්ප්‍රදායෙහි ඉතා ඉහළින් අගැයීමට ලක්වූවක් බව බෞද්ධ සාහිත්‍ය පරිශීලනය කිරීමෙන් මැනවින් ප්‍රකට වෙයි. අධිපරිභෝජනවාදී හා තරගකාරී ආර්ථික ක්‍රමයක් තුළට තල්ලු වී ගොස් සිටින ලෝකවාසීන් අරපිරිමැස්මෙන් තොරව යන ගමන කොතැනින් නිමාවේදැයි සිතා ගැනීමට පවා බැරි තරම් ය. බුදුන් වහන්සේ තම ශ්‍රාවකයින්ට යථාලාභ සන්තුෂ්ටිය අදාළ කරගත් අල්පේච්ඡ ජීවිතයක් නිර්දේශ කරන අතර එවැනි බෞද්ධ ජීවන ක්‍රමයක් මත මිනිසා පමණක් නොව ගහකොළ, සතා සීපාවා මෙන්ම ජලය, භූමිය වැනි පරිසර සාධක ද නොනැසී ආරක්ෂා වෙයි.

Thursday, November 24, 2016

ශ්‍රී දළදා මාළිගාවේ කාර්තික මංගල්‍යය

බුදුපියාණන් වහන්සේ උපන් භාරත දේශයේ වැසියන්ටත් වඩා ශ්‍රී ලාංකික බෞද්ධයෝ අතිශයින්ම භාග්‍යමත් වෙති.ඒ අන් කවරක් නිසා හෝ නොව බුදුරදුන්ගේ ශාරීරික , පාරිභෝගික, ධාතුන් වහන්සේලා වැඩි වශයෙන් මේ අපේ කුඩා ශී‍්‍ර ලංකාවේ අදටත් නිරුපද්‍රිතව වැඩසිටීම නිසාය.
වාම ශ්‍රී දළදා වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, ගී‍්‍රවා ධාතුන් වහන්සේ මෙන්ම බොහෝ ශාරීරික ධාතුන් වහන්සේලාත්, ජයශ්‍රී මා බෝධින් වහන්සේ, පාත්‍රාධාතුන් වහන්සේ වැනි පාරිභෝගික ධාතුන් වහන්සේලාත් වැඩ සිටින්නේ මේ පුංචි ශ්‍රී ලංකාද්වීපයෙහිය. මේ කී පූජාවස්තුන් වටා පූජා සංස්කෘතියක් නිර්මාණය වීම දක්වා ලාංකීය ජනජීවිතය තුළට ප්‍රබල බලපෑමක් මේ නිසා ඇතිවී තිබේ.

විශ්මිත ගුණ දෙන පිරිත

සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ උතුම් සම්බුදු බව ලබා සියලු සත වෙත පතල වූ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් සූත්‍ර ධර්මයන්ගෙන් විශේෂයෙන් තෝරාගන්නා ලද සූත්‍ර එකතු “පිරුවානා පොත් වහන්සේ” යන නාමයෙන් සංග්‍රහ කොට ඇති “මහ පිරුවානා පොත් වහන්සේ” පිළිබඳව අද සිට ඉදිරියට අප සාකච්ඡා කරන්නෙමු.



අනෙකාගේ ජයග්‍රහණය දරාගැනීමේ නොහැකියාව ඊර්ෂ්‍යාවයි

අනෙකාගේ ජයග්‍රහණය, අනෙකාගේ සාර්ථකත්වය දරාගැනීම හෙවත් උහුළාගැනීම අපට තිබෙන නොහැකියාව ඊර්ෂ්‍යාව යන චෛතසිකය බව අප අවබෝධ කරගත යුතුයි. ද්වේෂය, පටිඝය, තරහව යන ගැටෙන සුළු මානසික තත්ත්වය ඊර්ෂ්‍යාව තුළ සැඟවී ඇත. සෝමනස්ස සහගත සිතක් තුළ ඊර්ෂ්‍යාව හට නොගන්නා අතර එය ද්වේෂ මුලික සිතක් තුළ ගොඩනැගෙයි. ඊර්ෂ්‍යාව විසින් අප තුළ අලුත් චෛතසික ධර්මයන් උපදවනු ලබයි. අනෙකාගේ සම්පත් අනෙකාගේ දියුණුව නොඉවසන්න පටන්ගැනීම තුළ අස්ථානයේ විචිකිච්ජාව නමැති චෛතසික තත්වයන් ඇති වේ.

මහා ප්‍රජාපතී ගෝතමිය සිදු කළ චීවර පූජාව



අද දහම් ලිපිය සඳහා අප සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්නාසකයේ විභංග වර්ගයට අයත් දක්ෂිණා විභංග සූත්‍ර දේශනාව පිළිබඳවයි. දන් පූජා කළයුතු වන්නේ කවුරුන් උදෙසා ද. එසේ පූජා කරනු ලබන දාන වර්ග මොනවාද? එසේ පූජා කරන්නා වූ දානයන් හි ආනිසංස මොනවාදැයි මේ දක්ෂිණා විභංග සූත්‍ර දේශනාවෙන් පැහැදිළිකොට දක්වනවා.
අපි පළමු කොට සූත්‍ර දේශනාවෙහි අදහස තේරුම් ගෙන පසු ලිපි පෙළකින් මෙහි සඳහන් වන දානයන් හා එහි ආනිසංස පිළිබඳව සාකච්ඡා කරමු.
භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ වැඩ වාසය කරනවා. දිනක් මහා ප්‍රජාපතී ගෝතමී දේවිය අලුතින් කළ වස්ත්‍ර යුගලයක් රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. භාග්‍යවතුන් වහන්සේට මනාකොට වන්දනා කරමින් අනතුරුව එකත් පසෙක වාඩි වුණා. එකත් පසෙක වාඩි වූ මහා ප්‍රජාපතී ගෝතමි දේවිය භාග්‍යවතුන් වහන්සේට මෙසේ සඳහන් කළා. භාග්‍යවතුන් වහන්ස, මා සතු මේ අලුත් වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ උදෙසාමයි පිළියෙල කළේ. මා විසින් ම නූල් කැට එනම් නූල් කඩමින් මා විසින් ම වියන ලද්දක්. මා විසින් එසේ සකස් කරන ලද මේ වස්ත්‍රය මා කෙරෙහි අනුකම්පා කොට පිළිගනු ලබනු සේක්වා.

අපල සපල කරගෙන ප්‍රශ්නවලින් ගොඩඑමු

ශ්‍රී ලංකාවේ ජීවිත අර්බුදවලින් පෙළෙන බොහෝ අය විසඳුම් සොයමින් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ හෝ දේවාලවල පිහිට පතන බව අපි දනිමු. මුහුණපෑමට සිදුවී තිබෙන අර්බුදය විසඳා ගැනීමට මඟක් සොයමින් කරනු ලබන මෙබඳු පිහිට පැතීම් හරි හෝ වැරැදි යැයි කීමට අපි ඉක්මන් නොවෙමු. ඊට හේතුව මේවායේ ඇත්ත නැත්ත සෙවීමට කරන ලද විධිමත් ගවේෂණයක විශ්වසනීය ප්‍රතිඵලයක් මෙම ශාස්ත්‍ර සමඟ වර්ෂ සිය දහස් ගණනක් ජීවත් වූ අපට මෙතෙක් ලැබී නොමැති හෙයිනි. අනෙක් අතින් මේවා අපගේ සංස්කෘතිය හා බැඳුණු අභිචාර විධි වන අතර තවත් අතකින් එහි මනෝ උපදේශනාත්මක වටිනාකම් ද ගැබ්වී ඇත.

රස තෘෂ්ණාවෙන් වැනසෙන්නට ගිය සුන්දර සමුද්ද තෙර වත

සැවැත්නුවර එක්තරා ධනවත් පවුලක සැදැහැති කුමරෙක් උපන්නේය. හේ සුන්දර සමුද්ද නම් වූවේය. සතළිස් කෙළක් ධන සම්පත් හිමි දෙමාපියන් ඇති මෙම කුමරා කුඩා කල සිටම ධර්මයට ප්‍රිය කළේය.
බොහෝ විට බොහෝ පිරිස් සමඟ දෙව්රම් වෙහෙරට යාමටත් නිතර නිතර බුදුරදුන්ගෙන් ධර්ම ශ්‍රවණයටත් හුරු පුරුදුව සිටි සුන්දර සමුද්ද එක් දිනක් පිරිසක් සමඟ දහම් අසද්දී ගිහිගෙයි වසමින් පිරිසුදු බ්‍රහ්මචර්යාව රැකිය නොහැකි අයුරු පෙන්වා දුන් බුදුරදුන්ගේ දෙසුමක් කෙරෙහි විශේෂයෙන් පැහැදිණි. එසේ නම් පැවිදි විය යුතු යැ’යි අදිටනින් ඔහු ඒ සඳහා බුදුරදුන් වෙතින් අවසර ප්‍රාර්ථනා කළේය. එහෙත් දෙමාපිය අනවසරයෙන් පැවිද්ද ලබා දිය නොහැකි බව බුදු හිමියන් වදාළ බැවින් නිවසට පැමිණි ඔහු තම අදහස දෙමාපියන් ඉදරියේ තැබුවේය.

ධර්මය පහුරක් වැනිය එය එතෙර වීමට මිස කර තබාගෙන යාමට නොවේ

" මෙම කරුණ උපමා කතා ගෙනහැර දක්වමින් සඳහන් කරන්නේ මෙලෙසිනි. සර්පයෙකුගෙන් වැඩ ඇති පුරුෂයෙක් වනයට ගොස් සර්පයකු දැක කඳින් හෝ වල්ගයෙන් හෝ අල්ලා ගනියි. එසේ අල්ලා ගත් කළ සර්පයා පෙරලා අල්ලා ගත් පුරුෂයාටම පහර දෙන්නාක් මෙන් ධර්මය අවැසි පුද්ගලයෙක් වැරදි ලෙසින් ධර්මය අල්වා ගතහොත් ඔහුට ම පෙරළා දීර්ඝ කාලීන දුකට හේතුවක් බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනාව විස්තර කර දෙයි."
අලගද්දූපම සූත්‍ර දේශනාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ සැවත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා සමයක ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂූන් වහන්සේ අරබයාය. අලගද්දූපම සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයට අයත් සූත්‍ර දේශනාවකි. ‘අලගද්ද’ යනු සර්පයා යන අදහසයි. සර්පයෙක් උපමා කොට දේශනා කළ සූත්‍රයකි. ඕපම්ම වර්ගයට අයත් සූත්‍ර දේශනා සියල්ල ම දේශනා කර තිබෙන්නේ උපමා කතා ආදේශ කරගෙනය.

ධාර්මික ගොවිතැනක් වස විස නැති රටක්

විද්‍යාවේ පියා ලෙස ලෝක ප්‍රකට අයින්ස්ටයින් විසින් ප්‍රකාශ කළ මතයක් මේ සඳහා මා මූලිකවම උපුටා දක්වමි.
‘අනාගත දහම වන්නේ විශ්ව ලෝකීය ආගමකි, එය ස්වකීය සර්වබලධාරි , මැවුම්කාර දෙවියන් ඉක්මවා යා යුතු අතර සිද්ධාන්තයක් ලෙස සළකා හුදු මතයක් සහ දේව ධර්මවාද වලින් බැහැර වූවක් විය යුතුය. ස්වභාවිකත්වයත්, අධ්‍යාත්මිකත්වයත් යන දෙකොටසම අන්තර්ගත කර ගනිමින් එහි පදනම කරගත යුත්තේ, ස්වභාවිකත්වයේ හා ආධ්‍යාත්මයේ එක්වීම,සියලුම දේ තුළින් ඍජුවම අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ වීම නිසා හට ගන්නා ධාර්මික අවබෝධයයි.”

ගීතයෙන් බණ කී ධර්ම ප්‍රචාරකයා

අර්ථාඞ ගෘහේ නිවර්තන්ති
ක්ෂමසානේ මිත්‍ර බාන්ධවාඞ
සුකෘතං දුෂ්කෘතං චෛව
ච්ඡන්තමිව ගච්ඡති

මේ සම්භාවිත ධර්මපාඨයෙන් කියැවෙන්නේ අප ගත කරන මේ ජීවිතයේ අවසානය පිළිබඳවය. ජීවිත කාලයක් පුරා රැස්කරනු ලබන ධනය හා වත්කම් නිවසේ හෝ බැංකු ගිණුම්වල නවතිනු ලැබේ. ඉතා ආදර සමාදර පෙරටුව ඇසුරු කළ දූ දරුවන් ආදි ඥාති මිත්‍ර පිරිස සුසාන භූමියේ නවතිනු ලැබේ. එහෙත් එසේ අතර මග නතර නොවී අප සමගම අනිවාර්යයෙන්ම ගමන් කරන එක් දෙයක් ඇත. එනම් ජීවත්වන කාලය පුරා අප විසින් කරන හොඳ හා නරක ක්‍රියාවන්හි ප්‍රතිඵලයයි. එසේත් නැතිනම් සිත කය වචනය යන තුන්දොර මෙහෙයවා කළ කී හොඳ හෝ නරක දෙයෙහි ආනිශංස හෝ විපාක ශක්තියයි.
මේ නයින් සලකන විට පසුගියදා රාජ්‍ය ගෞරව මැද අවසන් ගමන් ගිය ඩබ්ලිව්. ඩී. අමරදේව මහතාණන්, තම කර්මානුරූප ගමනේ දී ගෙන යන්නට ඇත්තේ කුමක්ද? වයස අවුරුදු 88ක් තරම් දීර්ඝ වූ එතුමාගේ ජීවන කාර්යය සංසිද්ධිය විමසා බලන විට පෙනී යන්නේ, මහා පරිමාණ කුසලානිසංස ප්‍රමාණයක් එතුමා පරලොවට ගෙන යන්නට ඇති බවය. ඒ පිළිබඳ ධර්මානුකූලව විමසා බැලීම ජීවත්ව සිටින,

හොඳ - නරක විනිශ්චයෙහිබොදු පිළිවෙත

හොඳ , නරක දෙක විනිශ්චය කළ හැකි දැනුමක් හා මැදි මඟක් පෙන්වන ආගම බුද්ධාගම වන අතර එම මාවතේ එබඳු වූ දැනුමක් ඇතිව ගමන් කරන පුද්ගලයා බෞද්ධ නාමයෙන් හැඳින්වීමට සුදුසුකම් ලබන්නෙකු වේ. එමෙන්ම යමෙකු බුදුරදුන්, දහම් හා සඟුන් සරණ යයිද (යො ච බුද්ධං ච ධම්මං ච සරණං ගතො) එමෙන්ම චතුරාර්ය සත්‍ය දකියි ද ඔහුම දුකින් මිදේ යැයි (චත්තාරි අරිය සච්චානී සම්මපඤ්ඤාය පස්සති) දක්වන සඳහනින් ද ඉස්මතුකොට පෙන්වනුයේ බෞද්ධයාගේ චර්යා පද්ධතිය හා පුද්ගල ශක්‍යතා ලක්ෂණයෝය. බෞද්ධයකු නම් හෙතෙම සත්‍ය සතර පිළිබඳ නිවැරැදි වැටහීමක් ලද්දකු විය යුතුය. එමෙන්ම තෙරුවන්ගේ ගුණය නිවැරැදිව හඳුනාගත යුත්තකු විය යුතුය. එබඳු පුද්ගලයකුගේ බුද්ධිමය අවකාශය ධර්මය හා බැඳෙන අතර තමා පිළිබඳව නිවැරැදිව නුවණින් දකින්නකු වන බවද එමඟින් ගම්‍ය කෙරේ.
පුද්ගලයකුගේ ශක්‍යතාවය පිළිබඳව තමා විසින් නිශ්චය කළයුතු බවත් අගැයුම ද ඉන් ලබන ඵලයද තමා සතුවන ආකාරයත් බුදුදහමින් අවධාරිතය. තමා විසින් තමා දමනය කර ගැනීම පහසු කටයුත්තක් නොවේ. (අත්තා හි කිර දුද්දම)අපහසු වුවද තමාට පිහිට තමාමය. තමාට පිළිසරණත් තමාමය.

ධර්ම දානයෙහි ආනිශංස රැසක්

“සද්ධම්මො පරම දුල්ලභො” සද්ධර්මය පරම දුර්ලභය. සද්ධර්මය යනු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කොට දෙසා වදාළ නවලෝකෝත්තර වූ ශ්‍රී සද්ධර්මය වේ. අනුන් වෙනුවෙන් ධර්ම දානය කළ හැකි ක්‍රම කිහිපයක් දැක්වේ. ධර්ම දේශනා කිරීම, කරවීම, හා ධර්ම පූජා කිරීම, දහම් පොත් පත් මුද්‍රණය කර බෙදා දීම,ධර්මය ඉගැන්වීම, සීලයෙහි පිහිටුවීම, ධර්මය ඉගෙන ගන්නා සිසුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, දහම් පාසල් අධ්‍යාපනය ලබාදීම, ධර්ම ශාලා කරවීම, ධර්මායතන කරවීම මේ සියලු දේ ධර්ම දානමය කුසලය ලැබීමට හේතු වේ.
බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන විට එක්තරා දෙවියෙක් පැමිණ දානයන් අතුරෙන් කවර දානයක් ශ්‍රේෂ්ඨද?

එක් පැත්තක් දකින්නෝ වාද කරමින් ගැටෙන්නෝ

‘සැවැත්නුවර එක්තරා රජෙක් විය. හෙතෙම එක් පුරුෂයකු අමතා, ‘එම්බා පුරුෂය, සැවැත් නුවර යම්තාක් උපතින්ම අන්ධ වූවන් වේ නම් ඔවුන් එක් තැනකට රැස් කරව“යි අණ කළේය. රජ අණ ලත් පුරුෂ තෙමේ එසේම කළේය. රජුටද ඒ බව දැන්වීය. “එසේ නම් සගය, ඒ ජාත්‍යන්ධයනට ඇතෙකු දක්වව“යි රජ තෙමේ දෙවනුව අණ කළේය. පුරුෂ තෙමේ, ඇතා මෙබඳු යැයි ඇතැම් අන්ධයන්ට ඇතුගේ හිස දැක්වීය. (අතගෑමට සලස්වන ලදී) ඇතැමුනට කන දැක්වීය. ඇතැමුනට ඇතුගේ දළයක් ද, ඇතැමුනට සොඬ ද දැක්වීය. ඇතැමුනට දැක්වූයේ ඇතුගේ කඳ හෙවත් සිරුරය. ඇතැමුන්ට පයක්ද,ඇතැමුන්ට කළවද දැක්වීය. ඇතැම් අන්ධයන්ට ඇතුගේ නගුට දැක්වූ අතර ඇතැමුන්ට වල්ගය දැක්වීය.

රජ තෙමේ උප්පත්ති අන්ධයන් වෙත පැමිණියේය. තොප විසින් ඇතා දක්නා ලද්දේ දැයි විමසුවේය. එසේය දේවයන් වහන්ස, අපි ඇතා දැක්කෙමු. අන්ධයෝ පැවසුහ. ඇතා කෙබඳුද? යනු රජු ඉන්පසුව ඇසූ ප්‍රශ්නයයි.

හිස අත ගෑ ජාත්‍යන්ධයෝ ඇතා කළය බඳු යැයි කීහ. කන අත ගෑවෝ ඇතා කුල්ලක් වැනි යැයි කීහ. දළ අත ගෑවෝ ඇතා හී වැල වැනි යැයි කීහ. සොඬ අතගෑවුන් පැවසුවේ ඇතා නඟුල් හිස බඳුය යනුවෙනි.

ප්‍රවේශමෙන් වචන පරිහරණය කරන්න

බුදුරජාණන් වහන්සේ අපට මනාව සංවරවීම පිළිබඳව ධර්මයෙහි උගන්වා ඇත. අප විසින් සංවර කර ගත යුතු කාරණා තුනකි. එනම් සිත, කය සහ වචනයයි. ඒ අතරින් මා ඔබට මෙම ලිපිය මගින් පැහැදිලි කර දීමට බලාපොරොත්තු වන්නේ වචනය සංවර කර ගැනීමේ වටිනාකම මෙන්ම එය නිවන පිණිස උපකාර වන ආකාරයයි.
බුදුරජාණන් වහන්සේ අපට නිවන පිණිස උතුම් මාර්ගයක් පෙන්වා ඇත. එනම් අංග අටකින් යුතු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ඒ තුළ විග්‍රහ වන්නේ සීල, සමාධි, ප්‍රඥා යන කාරණා ප්‍රගුණ කිරීම පිළිබඳවයි. සීලය අංග තුනකි. එනම් සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීවයයි. සමාධි යටතේ අංග තුනක් විග්‍රහ වේ. එනම් සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධිය ප්‍රඥා කොටස යටතේද අංග දෙකක් විග්‍රහ වේ. එනම් සම්මා දිට්ඨියත්, සම්මා සංකල්පයත්ය.මෙසේ බෙදා දැක්වීමේදි මුල් මාර්ග අංග දෙක ප්‍රඥා කොටසට අයිති වුවද නිවන් මග ඔබ තුළ ප්‍රගුණ වන්නේ සීල,

සම්මා දිට්ඨිය තුළින් දැනගන්නා කුසලය සහ කුසල මූලය

" සිතෙහි කෙලෙස් සමාජගත කරන්නේ කයින් සහ වචනයෙනුයි. සිතිවිලි නරක නම් කය සහ වචනයෙන් පිට වන්නේ නරක කි‍්‍රයා සහ නරක වචනයි. කයින් සිදුකරනු ලබන නරක ක්‍රියා හෙවත් පව් තුනකි. සත්ත්ව ඝාතනය,
සොරකම සහ වැරැදි කාම සේවයනයයි.'
තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වී දුක් විඳින මිනිසුන්ට ඒ දුකෙන් නිදහස් වන මාර්ගය දෙසා වදාළ සේක. ඒ මාර්ගයේ ගමන් කොට නිදහස් වූ තථාගතයන් වහන්සේ අපටද ඒ මාර්ගය වදාළේ අප කෙරෙහි ඇති වූ අප්‍රමාණ වූ කරුණාව නිසාවෙනි. මේ ධර්ම මාර්ගයේ ගමන් කරන අප ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය යන දෙකෙන් එකකට අයත් වෙති. භාග්‍යවතුන් වහන්සේ මේ දෙක අතරින් වර්ණනා කළ ලෞකික සම්මා දිට්ඨිය පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.
සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ සම්මා දිට්ඨිය කවරාකරදැයි සම්මාදිට්ඨි සූත්‍රයෙන් මනාව පිළිබිඹු වෙයි. ඒ ආර්ය ශ්‍රාවකයා

1. අකුසලය දැන ගනියි.

2. අකුසල මූලය දැනගනී,

3. කුසලය දැන ගනී.

4. කුසල මූලයද දැන ගනී. 
අකුසලය වශයෙන් දස අකුසලය මෙසේ විස්තර වෙයි.
 (1. ප්‍රාණඝාතය 

(2. අදත්තාදානය 

(3. කාමමිථ්‍යාචාරය

 (4. මුසාවාදය 

(5. කේලාම් කීම 

(6. රළු වචන කීම

 (7. හිස් වචන කීම 

(8. විෂම ලෝභය 

(9. ව්‍යාපාදය

 (10. මිත්‍යාදෘෂ්ටිය යන අකුලසයන්ය.

ඒ වගේම මෙම අකුසලයන්ට හේතු වන්නා වූ අකුසල මූලයන් දක්වා තිබේ
 1. ලෝභය 
2. ද්වේශය 
3. මෝහය යන අකුසල මූලයන්ය.

සම්මාදිට්ඨිකයා කුසලයද, කුසල මූලයද දැන ගන්නා බව ඉන්පසු දක්වා තිබෙයි. මෙහිදී දස කුසලය මෙසේ දක්වයි. ප්‍රණඝාතයයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාමමිථ්‍යාචාරයෙන් වැළැකීම, බොරු කීමෙන් වැළැකීම, කේළාම් කීමෙන් වැළැකීම, පරුෂ වචනයෙන් වැළැකීම, හිස් වචනයෙන් වැළැකීම, විෂම ලෝභයෙන් වැළැකීම, ව්‍යාපාදයෙන් වැළැකීම මෙන්ම සම්මා දිට්ඨිය ද කුසලයක් වෙයි.

ඒ වගේම මෙම කුසලයන්ට හේතු වන්නා වූ කුසල මූලයන් මෙසේ දක්වා තිබේ.
 1. අලෝභය කුසල මූලයකි,

 2. අද්වේෂය කුසල මූලයකි 

3. අමෝහය කුසල මූලයකි.

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවකයා මේ කියන ලද අකුසලයත් අකුසල මූලයත්, කුසලයත්, කුසල මූලයත් මනා ලෙස දැන ගනීද, ඔහු සියලු ආකාරයෙන් රාගානුසය නැතිකොට පටිඝානුස්සය දුරු කොට මම ය යන දෘෂ්ඨිය මුල්කරගත් මානානුසය නසා අවිද්‍යාව හැර දමා විද්‍යාව උපදවා මේ ආත්ම භවයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. මේ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයෙකු වෙයි. ධර්මය පිළිබඳව ඔහුගේ දෘෂ්ඨිය සෘජු වෙයි. ධර්මය ගැන පැහැදෙන ලක්ෂණයෙන් යුක්ත වෙයි. පෘථග්ජන භූමිය ඉක්මවා ලෝකෝත්තර භූමියට පැමිණ වාසය කරන්නෙක් වෙයි.

ආර්ය ශ්‍රාවකයා තුළ සම්මාදිට්ඨිය පිහිටන්නේ ඔහු කාරණා හතරක් ගැන මනා ලෙස දැන ගන්නා බැවිනි. ඒවානම් 

1. අකුසලය දැන ගනී, 

2. අකුසල මූලය දැනගනී,

 3. කුසලය දැනගනී,

 4. කුසල මූලය දැනගනී. 
මෙයට අමතරව ආර්ය ශ්‍රාවකයා අකුසලය නමින් නම් කරන ලද දස අකුසල් මනාලෙස දැන ගනී. එයට හේතු වශයෙන් ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් බව මනා ලෙස දැන ගනී. දස අකුසලයන්ගෙන් වැළැකීම දස කුසලය බව දැන එයට හේතුව අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල මූලයන් බව මනා ලෙස දැනගනී.
මේ ලෝභ, ද්වේෂ, මෝහ මුල් වී දස අකුසල් සිදු වන්නේ කෙසේද? සිතෙහි කෙලෙස් ක්‍රියාත්මක වන ආකාරයද තුනකි. ඒ අනුසය, පරියුට්ඨාන හා විතික්කම යි. අනුසය අවස්ථාවේ ක්‍රියාත්මක වන සිතිවිලි ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් වශයෙන් දැක්වේ. පරියුට්ඨාන අවස්ථාව යනු - සිතින් සිතන අවස්ථාවයි. ලෝභ, ද්වේෂ මෝහ මනසින් ක්‍රියාත්මක කිරීම චේතසික කර්ම වශයෙන්ද දක්වා තිබේ. චේතසික කර්ම වශයෙන් හඳුන්වනු හෙවත් සිතින් කරන පව් තුනකි. අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි ඒවායි. මේවා සිතෙහි කි‍්‍රයාත්මකවීම පරියුට්ඨාන අවස්ථාව හෙවත් ඇතුළත සිතිවිලි කැකෑරෙන අවස්ථාව ලෙසින් දැක්වේ. මේවා සිතෙහි ම යෙදෙන අකුසල කර්ම නිසා, පව් නිසා චේතසික කර්ම වශයෙන් දක්වා තිබේ. අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන සිතිවිලි සිතෙහි පාලනය කර ගත නොහැකි විට ඒවා කයින් සහ වචනයෙන් ක්‍රියාත්මක වේ. එළියට දැමේ. පිට කෙරේ. සමාජගත කෙරේ. විතික්කම අවස්ථාව යනු එම අවස්ථාවටයි. සිතෙහි කෙලෙස් සමාජගත කරන්නේ කයින් සහ වචනයෙනුයි. සිතිවිලි නරක නම් කය සහ වචනයෙන් පිට වන්නේ නරක කි‍්‍රයා සහ නරක වචනයි. කයින් සිදුකරනු ලබන නරක ක්‍රියා හෙවත් පව් තුනකි. සත්ත්ව ඝාතනය, සොරකම සහ වැරැදි කාම සේවයනයයි. බොරුකීම, කේළාම්කීම, පරුෂවචන කීම, හා හිස් වචන කීම වචනයෙන් සිදුවන පව් හතරයි. මේ අනුව සිත, කය සහ වචනය යන තුන් දොරින් සිදු කරනු ලබන වැරැදි සියල්ල දහයකි. මේ දහය ම සිදු කරනු ලබන්නේ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් නිසාය.

මේ අකුසල මූලයන් අතුරෙන් මෝහය නම් වූ අකුසලය සෑම අකුසල ක්‍රියාවකට මුල් වෙයි. අනෙක් සිතිවිලි ඒ ඒ ක්‍රියාව අනුව වෙනස් වෙයි. ඒ අනුව ලෝභය මුල් වී අභිජඣාව නම් සිතින් කරනු ලබන පව් ද, සොරකම හා කාමය වරදවා හැසිරීම නම් කයින් කරනු ලබන පව්ද, බොරුකීම නම් වචනයෙන් කරනු ලබන පවද සිදුවෙයි. ද්වේෂය මුල් වී ව්‍යාපාදය නම් වූ සිතින් කරනු ලබන පවද, සත්ත්ව ඝාතනය නම් වූ කයින් කරනු ලබන පවද සිදුවෙයි. පරුෂ වචනකීම සහ කේලාම්කීම නම් වූ වචනයෙන් කරනු ලබන පව්ද සිදුවෙයි. මෝහය මුල් වී මිච්ඡාදිට්ඨි නම් වූ සිතින් කරන වරද ද, හිස් චචනකීම නම් වූ වචනයෙන් කරනු ලබන පවද සිදුවයි. මෙහිදී කයින් වචනයෙන් සිදු කරනු ලබන පව් චේතනා කර්ම වශයෙන් දක්වා තිබේ. කයින් වචනයෙන් සිදු කරනු ලබන එම ක්‍රියාවන්නට සෘජුවම සිතින් කරනු ලබන වැරැදි හෙවත් නරක සිතිවිලි වන අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන සිතිවිලි තුන මුල්වන බැවින් ඒවා චේතනා කර්ම වශයෙන් දක්වා තිබේ. මේ කියන ලද ක්‍රමවේදය මනා ලෙස දැනගැනීම “අකුසලං ච පජානාති” වශයෙන් හඳුන්වයි. එසේ ම අකුසලයන් නිසා ඇති වන විපාක මිහිරි ඒවා නොවන බවත්, කටුක වේදනාබර ඒවා බවත් ඒවා නිසා දුක් විඳින්නට සිදුවෙන බවත් ඒ අනුව මෙලොව සහ පරලොව කිසියම් දුකක් තිබේනම් එයට මුල මේ ලෝභ, ද්වේශ, සහ මෝහයන් නිසා ඇති වූ අකුසල කර්මයන් බව දැන ගැනීමද මෙහි දී “අකුසලංච පජානාති” යන්නෙන් අදහස් කරයි.


ඒ වගේම ආර්ය ශ්‍රාවකයා ලෝභ, ද්වේශ, මෝහ සිත තුළ ඇති වන්නේ කෙසේදැයි නුවණින් දැන ගනී. සත්ත්වයා තම ඉන්ද්‍රියයන්ට ගොදුරුවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම නම් වූ අරමුණු පි‍්‍රයමනාප ලෙසින් රස විඳින්නට යාම නිසා මෙම අකුසල මූලයන් සිතෙහි ඇතිවයි. උදාහරණ ලෙස යමෙක් ඇසින් රූපයක් දකී. ඒ රූපය ලස්සන රූපයක් නම් පි‍්‍රයමනාප රූපයක් නම් ඒ තැනැත්තාගේ සිතෙහි ඒ රූපය නිසා කිසියම් වින්දනයක් ඇතිවෙයි. එය වේදනාව යනුවෙන් පැවසේ. පි‍්‍රයමානප රූප නිසා ඇතිවෙන වේදනාව සුඛ වේදනාවකි. අපි‍්‍රය අමනාප රූපයක් නම් ඇතිවන්නේ එය දුක්ඛ වේදනාවකි. පි‍්‍රයත් නැති, අපි‍්‍රයත් නැති රූපයක් නම් ඇතිවන්නේ මැදහත් වේදනාවකි. මෙයත් උපේක්ෂා වේදනාවක්. මේ කියන ලද සුඛ වේදනාව නිසා ඇතිවන්නේ ලෝභයක්. දුක්ඛ වේදනාව නිසා ඇතිවන්නේ ද්වේෂයක්. උපෙක්ඛා වේදනාව නිසා ඇතිවන්නේ මෝහයකි. ඒ අනුව සිතෙහි වන අකුසල මූලයන්ට හේතු වී තිබෙන්නේ මේ තුන් ආකාර වේදනාවයි. “අකුසල මූලං ච පජානාති” යන ප්‍රකාශයෙන් කියැවෙන්නේ ආර්ය ශ්‍රාවකයා ලෝභ, ද්වේෂ, මෝහ ඇති වන්නට හේතු වූ මේ ත්‍රිවිධාකාර වේදනාව ද මනා ලෙස දැනගන්නා බවයි.





ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි









ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ නොවැම්බර් 14 වන සඳුදා දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

සසර අපාගතනොවන්නෝ

අකටයුතුකම්වල යෙදෙන උදවිය සාංසාරික වශයෙන් නිරයේ හා තිරිසන් ආත්මවල උප්පත්තිය ලබමින් දුක් විඳීමට හේතු වෙනවා වගේම සමාජයේ මෙලොව වශයෙන් ගර්හාවට මෙන්ම අවිශ්වාස කටයුතු අයකු බවටත් පත් වී දෙලොවටම අවැඩ සාදා ගන්නවා.
සත්ත්වයා සසර බැඳ තබන ප්‍රධානතම බලය හා ශක්තිය හිමි වී ඇති කර්මය’යි කියනවිට එය සියයට සියයක්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට එකඟ වෙනවා. මෙහිදී චේතනාත්මක කර්මය’යි අප විසින් අදහස් කර තිබෙන්නේ. මේ කරුණ වැඩිදුරටත් පෙළෙහි පෙන්වා දෙන්නේ “චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති, කායෙන වාචාය මනසා” මෙයින් පැහැදිලි කර දී තිබෙන්නේ, කර්මය කියලා කියන්නේ චේතනාව” යන අදහසයි. යමක් සිතිවිලි වශයෙන් සිතූ පමණටම එය කර්මයක් විය හැකි බව ඒ විදියෙන් ගත්තහම ඒ කියන කර්ම රැස් කරන ප්‍රධානම මාර්ග තුනක් වෙනවා.

නිවනට මඟ සදන පීති සම්බොජ්ඣංගය

" පී‍්‍රති යන වචනයේ අර්ථය හිනාවීම යන්නයි. (පීනයතී’ ති පීති) අරමුණ මනාප කරවීම, පි‍්‍රය කරවීම පී‍්‍රතියේ ස්වභාවයයි. ලක්ෂණයයි. කයත් සිතත් පුබුදුවන ගතිය පී‍්‍රතියෙහි ඇත. ඛුද්ධිකා, ඛණිකා, ඔක්කන්තිකා, උබ්බේගා, ඵරණා යැයි පී‍්‍රතිය පස් ආකාරයකට වර්ග කර ඇත. එසේ වර්ග කර ඇති එම පී‍්‍රතිය පස්වනක් පී‍්‍රතිය යැයි කියනු ලැබේ."
සත්ත බොජ්ඣංගයන් අතර සිව්වැන්න සේ සැලකෙන්නේ පීති සම්බොජ්ඣංගයයි. සතුට විපුල භාවය, සමෘද්ධිය වැනි අරුත් එම වචනයෙහි ගැබ් වී ඇත. එය බොජ්ඣංගයක් වශයෙන් ගත් විට එයින් කියවෙන්නේ අරූපි ධර්මයෙකි. එය එසේ කී පමණින් පීති සම්බොජ්ඣංග ධර්මය වැටහෙන්නේ නැත.
දුක්ඛ, සමුදය, නිරෝධ මග්ග යන චතුරාර්ය සත්‍යය තේරුම් ගත් යම් සිතක් වේ නම්, එම සිතෙහි ඇතුළත් ව තිබෙන සති,

ගිනියම් වූ සිතැඟිවලට ඉඩදෙන්න එපා

බුදු රදුන් ජීවමානව වැඩ සිටි සමයේ එක්තරා දේවතාවෙක් උන්වහන්සේ වෙත පැමිණ මෙසේ පවසන්නේ ය.
‘අන්තෝ ජටා බහි ජටා - ජටාය ජටිතා පජා
තං තං ගෝතම පුච්ඡාමී - කෝ ඉමං විජටයේ ජටං’
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස! මේ ලොව මිනිසුන්ගේ ඇතුළාන්තය ගැටලුව. බාහිරත් ගැටලුය. ලිහා ගන්නට බැරි, විසඳා ගන්නට බැරි පැටලිලි ගොඩක සිරවී මිනිසුන් විඳින මේ වේදනාව, පීඩාව, අසහනකාරී බව විසඳන්නට සමතා කවරෙක්ද?

Monday, November 21, 2016

මත් උවදුර බුදුන් වහන්සේ විග්‍රහ කළ අයුරු

මුදල් හම්බ කරන්නවුනට හොඳම ජාවාරමක් වූ බාල, තරුණ, මහලු කොයි කවුරුත් පහසුවෙන් පොළඹවා ගත හැකි. පහසුවෙන් වැළඳ ගත හැකි, දුක සේ බැහැර කළ යුතු මත් වතුර, මත්ද්‍රව්‍ය වර්තමාන ලෝකයේ සංවර්ධනය වූ සහ සංවර්ධනය වන්නාවූ හැම රටකම පාහේ මුහුණ පාන්නට සිදුවී ඇති ප්‍රධාන පෙළේ උවදුරකි.
පුද්ගලයා හා සමාජය දැනුමෙන්, විනයෙන් පසෙකට ඇද දමන, අර්ථයෙන් ධර්මයෙන් පිරිහීමට පත්කරන, සාමය, සංවරය හා සදාචාරය වල්බිහි කරවන, සුව පහසුව, සෞඛ්‍ය අකා මකාදමන, සිහිය නුවණ විකල් කරන,

ප්‍රධාන උපස්ථායකයාණන් වහන්සේ ලෙස ආනන්ද හිමියන් පත්කිරීම

ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේගේ ස්ථිර උපස්ථායක ලෙස පත් කෙරුණේ සම්මා සම්බුද්ධත්වයට පත්ව විසිවැනි වසරේදී බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ
ඊට ඉහතදී එනම් මුල්වර්ෂ 20 තුළදී බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළ භික්ෂූන් වහන්සේ වූහ.

අර්හත් ධජයෙන් ලොවම එකලු කළ ඉල් මහ පොහොයේ අසිරිය

මහ රහතන් වහන්සේ සැට නමක් ලොව මුල්වරට ධර්ම ප්‍රචාරක කටයුතු ඇරැඹීම , බුදුරදුන් තුන් බෑ ජටිලයන් දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම වීම, සැරියුත් මහරහතන් වහන්සේගේ මෑණියන් මගඵල ලැබීම හා උන්වහන්සේ තම මෑණියන්ගේ නිවසේදී පිරිනිවන් පෑම, මෙත් බෝසතුන් නියත විවරණ ලැබීම හා පසුවස් පවාරණය කළ යුතු දිනය මෙන්ම කඨින චීවර පූජාව සිදු කළ හැකි අවසන් දිනය ආදී බොහෝ ශාසනික වටිනාකම ඇති දිනයක් ලෙස ඉල් මස පුර පසළොස්වක දිනය හඳුන්වා දීමට පුළුවන.
බුදුරජාණන්වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් වහන්සේ සමඟ මුල්වරට වස් සමාදන් වූ අතර එම වස් කාලයේදීම ප්‍රථම ධර්ම දේශනාව පවත්වා උන්වහන්සේ සැමටම රහත්වීමට මග පෙන්වා වදාළ සේක.

Friday, November 18, 2016

කඨින චීවර පූජාව මහානිශංස වන්නේ ඇයි?

මහ පොළොව කම්පා වුවද කඨිනයක් පූජා කිරීමෙන් ලැබෙන පින කම්පා වන්නේ නැහැ. මහා මේරු පර්වතය මෙන් සුළඟින් සෙලවීමටද නොහැකියි. දියමන්ති කන්දක් මෙන් බිඳින්නටද නොහැකියි. කඨිනයෙන් ලබන පිනද බිඳින්නට නොහැකි තරමට ස්ථාවරයි. ශක්තිමත්. බලසම්පන්නයි.කඨිනය නමින් හඳුන්වන්නේ ඒ නිසයි.

Thursday, November 17, 2016

මාර්ගයන් අතර විශිෂ්ටතම මාර්ගය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
මග්ගානට්ඨංගිකො සෙට්ඨො
සච්චානං චතුරො පදා
විරාගො සෙට්ඨෝ ධම්මානං
දිපදානඤ්ච චක්ඛුමා

පින්වත්නි,
මෙය ධම්ම පද පාලියෙහි විසිවන (20) වග්ගයෙහි ආරම්භයෙහිම දැක්වෙන එකට සම්බන්ධවී ඇති ගාථා සතරක ආරම්භක ගාථාවයි.
ලොව අතීතයෙහි පහළ වී ඇත්තාවූත්, වර්තමානයෙහි පහළව පවත්නාවූත් අනාගතයෙහි පහළවිය හැකිවූත් සියලු ආගමික ශාස්තෘන් හා ඔවුන් විසින් දක්වන ලද හා දක්වනු ලබන ආවසානික විමුක්තීන් හා එම විමුක්ති සාදනය සඳහා පෙන්වා දුන් හා පෙන්වා දෙනු ලබන සියලු විමුක්ති මාර්ගයන් අතරින්,

Sunday, November 6, 2016

විරිය සම්බොජ්ඣංගය


සප්ත බොජ්ඣංගයන් අතර තුන්වැන්න සේ සැලකෙන්නේ විරිය සම්බොජ්ඣංගයයි. වීර්යය කායික ,මානසික වශයෙන් දෙවැදෑරුම් වෙයි. එය බොජ්ඣංගයක් වශයෙන් ගත් විට එයින් මානසික ශක්තිය අපේක්ෂා කරනු ලැබේ. පටන් ගත් කටයුතු අතර මග නොනවත්වා නිමාවක් දක්නා තුරු කිරීම වීර්යයේ ලක්ෂණයයි. එම ගති ලක්ෂණය ඇත්තෝ වීර ගණයෙහිලා සැලකෙති.
ආරම්භක ධාතු , නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් වීර්යය තුන් වැදෑරුම් වෙයි. ඒවා අනුපිළිවෙළින් ගත් විට එකකට වඩා එකක් ප්‍රබලය. ආරම්භක ධාතු වශයෙන් සැලකෙන පළමු වන වීර්යය කාමාශාවන් දුරු කිරීම පිණිසත්, නික්කම ධාතු නමින් සැලකෙන දෙවන වීර්යය කෙලෙස් සංසිඳුවීම පිණිසත්, පරක්කම ධාතු නමින් සැලකෙන තෙවන වීර්යය කෙලෙස් බැමි කඩා බිඳ දැමීම පිණිසත් හේතු වෙයි.

මියගිය අතීතය නූපන් අනාගතය හා අත්දකින වර්තමානය

දිනක් බුදුරදුන් හමුවීමට පැමිණි එක් දේවතාවෙක් උන්වහන්සේගෙන් මෙසේ විමසුවේය. වනගත ව වැඩ සිටින, එක් වේලක් අහර වළඳන, ශාන්ත වූ බ්‍රහ්මචාරී පැවිද්දෝ කුමක් නිසා ප්‍රසන්න පෙනුමෙන් යුක්ත වන්නෝද?බුදුරජාණන් වහන්සේ
මෙසේ වදාළහ. ඔවුහු අතීතය (ඉකුත් වූ දේ ) ගැන ශෝක නොකරති. අනාගතයේ (නොලැබුණු දේ ) ගැන නොපතති. එබැවින් වර්තමානයෙහිම යැපෙති. අනාගතයට අයත් (නොලත් දෙය ) පතන, අතීතයට අයත් (ඉකුත් වූ දෙය ගැන) ශෝක කරන අනුවණයෝ සිඳ දැමූ බව දණ්ඩක් මෙන් වියැලෙත්. ඔවුන්ගේ වර්ණය (පෙනුම) දකින්නන් පහදවන්නේය
මෙහි පළමු ප්‍රකාශය සියලු කෙලෙසුන් කෙරෙන් මිදී ගත් බුද්ධාදී උතුමන්ගේ නොවේ නම් වනගතව පැවිදි දම් පිරූ විරාගී උතුමන්ගේ චින්තනය අර්ථවත් කරයි. දෙවන ප්‍රකාශය කෙලෙස් භරිත වූ අවිදු අඳුරෙහිම වසන්නා වූ අනුවණ ලෝ වැස්සන් ගැන එනම් අප ගැන කියන්නකි.