Labels

Thursday, November 24, 2016

එක් පැත්තක් දකින්නෝ වාද කරමින් ගැටෙන්නෝ

‘සැවැත්නුවර එක්තරා රජෙක් විය. හෙතෙම එක් පුරුෂයකු අමතා, ‘එම්බා පුරුෂය, සැවැත් නුවර යම්තාක් උපතින්ම අන්ධ වූවන් වේ නම් ඔවුන් එක් තැනකට රැස් කරව“යි අණ කළේය. රජ අණ ලත් පුරුෂ තෙමේ එසේම කළේය. රජුටද ඒ බව දැන්වීය. “එසේ නම් සගය, ඒ ජාත්‍යන්ධයනට ඇතෙකු දක්වව“යි රජ තෙමේ දෙවනුව අණ කළේය. පුරුෂ තෙමේ, ඇතා මෙබඳු යැයි ඇතැම් අන්ධයන්ට ඇතුගේ හිස දැක්වීය. (අතගෑමට සලස්වන ලදී) ඇතැමුනට කන දැක්වීය. ඇතැමුනට ඇතුගේ දළයක් ද, ඇතැමුනට සොඬ ද දැක්වීය. ඇතැමුනට දැක්වූයේ ඇතුගේ කඳ හෙවත් සිරුරය. ඇතැමුන්ට පයක්ද,ඇතැමුන්ට කළවද දැක්වීය. ඇතැම් අන්ධයන්ට ඇතුගේ නගුට දැක්වූ අතර ඇතැමුන්ට වල්ගය දැක්වීය.

රජ තෙමේ උප්පත්ති අන්ධයන් වෙත පැමිණියේය. තොප විසින් ඇතා දක්නා ලද්දේ දැයි විමසුවේය. එසේය දේවයන් වහන්ස, අපි ඇතා දැක්කෙමු. අන්ධයෝ පැවසුහ. ඇතා කෙබඳුද? යනු රජු ඉන්පසුව ඇසූ ප්‍රශ්නයයි.

හිස අත ගෑ ජාත්‍යන්ධයෝ ඇතා කළය බඳු යැයි කීහ. කන අත ගෑවෝ ඇතා කුල්ලක් වැනි යැයි කීහ. දළ අත ගෑවෝ ඇතා හී වැල වැනි යැයි කීහ. සොඬ අතගෑවුන් පැවසුවේ ඇතා නඟුල් හිස බඳුය යනුවෙනි.
සිරුර අතගෑවෝ ඌ අටුවක් වැනි යැයි කීහ. පය අත ගා බැලු අන්ධයෝ ඇතා කණුවක් වැනි යැයි පැවසුවෝය. කළවය අතගෑවෝ ඌ වංගෙඩිය බඳු යැයි කීහ. නගුට අතගෑවවුන් පැවසුවේ ඇතා මෝල් ගස වැනිය යනුවෙනි. වල්ගය අතගෑවෝ ඌ මුස්න (කොස්ස) වගේ යැයි කීහ. ඔවුහු ‘ඇතා මෙබඳුය. එබඳු නොවේ. මෙබඳු ම ය, එබඳු නොවේ’ යැයි තම මතය ම දැඩිව ගෙන වාද කළෝය. අන්තවාදීව තම දැක්මම , තම අදහසම දැඩිව ගත් ඔවුහු එකිනෙකාට මිටින්ද පහර දුන්හ.
මේ ලෝකය හා ජීවිතය පිළිබදව තම තමන් දැන, දැක ගත් අයුරින්, ඒ දැනුමටම, දැක්මටම වහල්ව, එහිම අන්තවාදීව වාද විවාද නගමින් ගැටුම් ඇති කර ගත් සමකාලීන මහණ බමුණන් අරභයා බුදුරදුන් වදාළ උපමා කථාවකි. නිත්‍ය ආත්මයක් ඇත. ලෝකය ශාස්වතය. එයම සත්‍යය, අන් සියලු මතවාද අසත්‍යයැයි සමකාලීන ව විසූ ඇතැම් මහණ බමුණෝ වාද විවාද කළහ. ඔවුන්ට එරෙහි වූ මහණ බමුණන් වාද විවාද කළේ නිත්‍ය වු ආත්මයක් නැත. ලෝකය අශාස්වතය. සියල්ල මරණයෙන් කෙළවර වේ. මෙයම සත්‍යය අන් සියලු මතවාද අසත්‍යය’ යනුවෙනි. එසේ අන්තවාදීවූ දෘෂ්ටිගතික වූ ඔවුන් ඉදිරිපත් කළ මතවාද දෙසැටකැයි බ්‍රහ්මජාල සූත්‍රය කියයි. එබඳු මතවාද බොහෝ වූ බව සුත්ත නිපාත, අට්ඨක හා පාරායන වග්ග වල සඳහන් වෙයි. ලෝකය දෙස එක්පැත්තකින් පමණක් දැකීමේ (ඒකංග දස්සි වීමේ) ප්‍රතිඵල වශයෙන් එම මතවාද ගොඩනගා ගෙන සිටි බව බුදුදහම පෙන්වා දෙයි. (උදාන පාලි, නානා තිත්ථියි සූත්‍රය)

කිසියම් ගැටලුවක්. කිසියම් කාරණයක් දෙස එක් පැත්තකින් පමණක් බලා නිගමනවලට පැමිණ අන්තවාදීවීම බුදුදහම දකින්නේ ඇතාගේ ඒ ඒ අඟපසඟ වෙන් වෙන්ව අත ගා බලා ඒකංග දස්සිව, වාද නැගූ අන්ධයන්ගේ පිළිවෙතටයි. එසේ කවර දෙයක් දෙස වුවද එක් පැත්තකින් පමණක් නොබැලීමට, විවිධ පැතිවලින් බැලීමට (අනේකංග දස්සි වීමට) බුදුදහම මග පෙන්වයි. ඇතෙකු කෙබඳු දැයි ඇති හැටියෙන් දැන දැක ගත හැක්කේ ඉහත කී පරිදි ඇතාගේ ඒ ඒ අඟපසඟ වෙන් වෙන්ව අතපත ගා බැලීමෙන් නොවෙයි. ඇස් ඇත්තකු මෙන් ඇතාගේ සමස්තය දෙස බැලීමෙනි. ඇතා දෙස සියලු පැතිවලින් බැලීමෙනි. ඇතාගේ සියලු අඟපසඟ එක්වර දැකීමෙනි. එහි දි අන්තවාදි දෘෂ්ටිමය මති මතාන්තර නූපදී. ගැටුම් ඇති වන්නේද නැත. එසේම නුවණැස් ඇත්තේ අවිවාදී වන්නෝය. ඔවුන් ඇති තතු ඇති සැටියෙන් දක්නා බැවිනි. මෙකී බෞද්ධ පිළිවෙත වු කලී හුදෙක් දාර්ශනික සංකල්පවලට පමණක්ම අදාළ නොවන්නේය. ජීවිතය හා බැඳුණූ පෞද්ගලික වූත්, සාමාජික වූත් අප වටා ඇති කවර කරුණක දී වුවද, කවර ගැටලුවකදී වුවද යතාර්ථය අබෝධ කර ගැනීමට නම් අප ඒකාංග දස්සි නොවිය යුතුය.එසේ වීම ඇති තතු දැක ගැන්මටද, සාමය ඇති වීමටද, විසඳුම වෙත ළඟා වීමටද උපකාරි වන්නේය.


දෙව්රම් වෙහෙරේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ හමුවට එක් අවස්ථාවක දී දේවතාවෝ සදෙනෙක් පැමිණියෝය. ඔවුහු බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සද්පුරුෂයන් හා එක්ව ඔවුන් සමග මිත්‍රවී වසනා, ඔවුන් පෙන්වා දෙන සදහම් මග යන්නාට ලැබෙන ආනිසංස වෙන් වෙන්ව පැවසූහ. ඒ දේවතාවුන් විසින් වෙන්වෙන්ව පැවසූ සද්පුරුෂ ආශ්‍රයේ ප්‍රයෝජන හෙවත් ඔවුන්ගේ සද්ධර්මය දැන ගැනීමේ අනුසස් ලෙස වෙන් වෙන්ව ප්‍රකාශ කළ මතවාද මෙසේය.

1.සද්පුරුෂයන්ගේ සද්ධර්මය දැනගැනීමෙන් දියුණුව ම වේ. පිරිහීමක් නොවේ.

2.සද්පුරුෂයන්ගේ සද්ධර්මය දැන ගැනීමෙන් ප්‍රඥාව ලැබේ

3.සද්පුරුෂයන්ගේ සද්ධර්මය දැන ගැනීමෙන් ශෝක කරන්නවුන් අතර ශෝක නොකරන්නෙකු වේ.

4.සද්පුරුෂයන්ගේ සද්ධර්මය දැන ගැනීමෙන් ඥාතීන් අතර බැබලිය හැකිය

5.සද්පුරුෂයන්ගේ සද්ධර්මය දැන ගැනීමෙන් සුගතියට යා හැකිය

6.සද්පුරුෂයන්ගේ සද්ධර්මය දැකීමෙන් බොහෝ කල් සුව සේ විසිය හැකිය.

ඉහත කී ඒ ඒ දේවතාවුන්ගේ ප්‍රකාශන අසා සිටි බුදුරජාණන් වහන්සේ ඒ කිසිදු 
අදහසක අන්තගාමී ව එල්බ නොගත් සේක. ප්‍රතික්ෂේප ද නොකළ සේක. ඔබ සියලු දෙනා විසින්ම මැනවින් කරුණු දක්වන ලදැයි වදාළහ. ඒ දේවතාවුන් සදෙනාගේම අදහස් අනුමත කළහ. පිළිගත්හ. . ඒ පිළිබඳ වෙනත් දේවතාවෙකුට ඇති වුයේ විමතියෙකි. ‘භාග්‍යවතුන් වහන්ස, සද්පුරුෂයන් සමඟ එක්ව මිත්‍රත්වයෙන් වසන සද්පුරුෂයන්ගේ සද්ධර්මය දැනගන්නා තැනැත්තාට ලැබෙන්නේ යැයි ඒ ඒ දේවතාවුන් පැවසූ කරුණුවලින් කුමක් නිවැරැදිද? කවරෙකු මැනවින් පැවසුවේ දැ’යි දෙවිවරු ප්‍රශ්න කළහ.

“සියල්ලන් විසින් සද්පුරුෂ ධර්මය දැනගැන්මේ ඵලදායිත්වය මැනවින් කියන ලදී. මම එයට තවත් කරුණක් එක් කරමි. සද්පුරුෂයන්ගේ සද්ධර්මය දැනීමෙන් සසර සියලු දුකින් මිදිය හැකිය.” යනු උන්වහන්සේගේ පිළිතුර විය.
සද්පුරුෂ ආශ්‍රයෙහි ඵලදායිතාව විවිධ පැතිවලින් දුටු ඒ දේවතාවුන්ගේ අදහස් පිළිගනිමින් ඒ දෙස තවත් පැත්තකින් බලා ඒ පිළිතුර පිරිපුන් බවට පත්කරලීම බුදුරදුන්ගේ පිළිවෙත වූයේය. උන්වහන්සේ ඒකංග දස්සි නොවූහ.

අපට දුක හෝ සැප ලැබෙන්නේ කෙසේද? කවර නියාමයන් අනුව දැයි විටෙක පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ ඒකංග දස්සිව එක්පැත්තකින් පමණක් බලා කරුණු නොදැක්වු බව ප්‍රකට කරුණකි. අපට දුක හෝ සැප ලැබීමට තුඩු දෙන කරුණ හෙවත් නියාමයන් පහක් ඇතැයි උන්වහන්සේ වදාළහ. එනම් කාලගුණ විද්‍යාත්මක නියාම (උතු නියාම) උද්භිද විද්‍යාත්මක නියාම (බීජ නියාම) මනෝ විද්‍යාත්මක නියාම (චිත්ත නියාම) සොබාදහමේ නියාම (ධම්ම නියාම) කුසලාකුසල කර්ම නියාම (කම්ම නියාම) යනුවෙනි. මේ උන්වහන්සේ ඒකංග දස්සිව දහම් නොදෙසු බවට නිදසුනකි. කර්මයෙන් ම සියල්ල සිදු නොවන බවත්, ඊට අදාළ වු විවිධ නියාමයන් ඇති බවත් උන්වහන්සේ පිළිගත්හ. එහි ලා අප ඒකංග දස්සි නොවිය යුතුය. බුදුදහමට අනුව මිනිසුන්ට වැළඳෙන රෝගාබාධ වුවද එක හේතුවකින් හට නොගන්නේය. එම රෝගාබාධයෝ ඒවාට තුඩු දෙන විවිධ හේතු අනුව නම් කරනු ලැබෙත්, වාතය කිපීමෙන් වැළඳෙන ආබාධ (වාත සමුට්ඨානා) සෙම් කිපීමෙන් වැළඳෙන ආබාධ (සෙම්හ සමුට්ඨානා) පිත කිපීමෙන් වැළඳෙන ආබාධ (පිත්ත සමුට්ඨානා) තුන් දොස් කිපීමෙන් වැළඳෙන ආබාධ (සන්නිපාතිකා) ඍතු විපර්යාස නිසා වැළඳෙන ආබාධ (උතු පරිනාමජා) විවිධ හැසිරීම් නිසා ඇතිවන ආබාධ (විසම පරිහාරජා) විවිධ උපක්‍රමවලින් වැළඳෙන ආබාධ (ඔපක්කමිකා) කර්ම විපාක වශයෙන් වැළඳෙන ආබාධ (කම්ම විපාකජා) ආදි වශයෙනි. මෙයින් පැහැදිලි වන්නේ අපට ලෙඩ රෝග වැළඳෙන්නේ කෙසේද? යන ප්‍රශ්නය දෙස විවිධ පැතිවලින් බලා බුදුරදුන් කරුණු දැක්වු බවය. කර්මයම හෝ වෙනත් එකම කරුණක් හෝ ඊට හේතු වේ යැයි ඒකංග දස්සි නොවූ බවය. ඒකහේතුවාදී නොවූ බවය.

බුදුදහමේ පදනම වූ එහි න්‍යායාත්මක ඉගැන්වීම වූ පටිච්ච සමුප්පාදය මධ්‍යම දේශනාවකි. නිත්‍යාත්මයක් ඇත යන අන්තයටද නැත යන අන්තයටද, වෙනත් අන්තයකට ද නොවැටෙන එකී මධ්‍යම චින්තනය උපදිනුයේ ඒකංග දස්සි නොවීමෙනි. එක් පැත්තකින් පමණක් නොබැලීමෙනි. නානා හේතු, නානා ඵල එහි ලා පෙන්වා දීමෙනි. බුදුදහමෙහි එන ප්‍රායෝගික පිළිවෙත එනම් විමුක්ති මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාවකි. කාමසුඛල්ලිකානු යෝගය, අත්තකිලමථානු යෝගය යන අන්තවාදී පිළිවෙත්වලට හෝ වෙනත් අන්තවාදී පිළිවෙත්වලටද නොවැටෙන එම පිළිවෙත උපදිනුයේද ඒකංග දස්සි නොවීමෙනි. එහිදී මධ්‍යම දේශනාව මත පිහිටි මධ්‍යම ප්‍රතිපදාව අනුව යන බෞද්ධයෝ සාමකාමී වන්මෝය. ගැටුම් ඇති කර නොගන්නෝය. ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව යථාර්ථය දකින්නෝය.





මහාචාර්ය 
දේවාලේගම මේධානන්ද හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ නොවැම්බර් 14 වන සඳුදා දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment