Labels

Thursday, November 24, 2016

ගිනියම් වූ සිතැඟිවලට ඉඩදෙන්න එපා

බුදු රදුන් ජීවමානව වැඩ සිටි සමයේ එක්තරා දේවතාවෙක් උන්වහන්සේ වෙත පැමිණ මෙසේ පවසන්නේ ය.
‘අන්තෝ ජටා බහි ජටා - ජටාය ජටිතා පජා
තං තං ගෝතම පුච්ඡාමී - කෝ ඉමං විජටයේ ජටං’
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස! මේ ලොව මිනිසුන්ගේ ඇතුළාන්තය ගැටලුව. බාහිරත් ගැටලුය. ලිහා ගන්නට බැරි, විසඳා ගන්නට බැරි පැටලිලි ගොඩක සිරවී මිනිසුන් විඳින මේ වේදනාව, පීඩාව, අසහනකාරී බව විසඳන්නට සමතා කවරෙක්ද?

එදා බුද්ධ කාලීන සමාජයට මෙන්ම අද සමාජයටද පොදු ගැටලුය වේ. ඇතැම් විට එදාටත් වඩා අද සමාජය බරපතල ලෙස ගැටලුවල පැටලී සිටිනවා විය හැකිය. එක් පැත්තකින් අඹු සැමි ප්‍රශ්නය.මවුපියන්ට දරුවන් නිසා, දරුවන්ට මවුපියන් නිසා ප්‍රශ්නය. බලාපොරොත්තු කඩවීම් ය. ආර්ථික, සමාජයීය, පාරිසරික, රැකියා ආදී අනේක ගැටලුය. තවත් පැත්තකින් මේවාට පිළිතුරු සොයන ක්‍රමවේදයන් හි ගැටලුය. කෙනෙක් කේන්දර, පුද පූජා, යන්ත්‍ර මන්ත්‍ර ආදියේ පිහිට සොයති. තවත් කෙනෙක් නිවෙසේ දොර, උළුවහු, වෙනස් කරති. ප්‍රේත, භූත දෝෂ යැයි පිළියම් සොයති. මේ සමාජයේ අපේම මිනිසුන් අතරින් අසන්නට, දකින්නට ලැබෙන දේය. මේ කවරදේ පසු පස හඹා ගිය ද අප මුහුණ දෙන ගැටලු හමුවේ. හොඳම විසඳුම ඇත්තේ අප කෙරෙහිමය. අපේ සිත තුළමය.
බුදු හිමියන් දේශනා කළේ,

‘සංතුට්ඨි පරමං ධනං’ සතුට පරම ධනය වන බවය. ඒ සඳහා සිත සතුටින් තබා ගැනීම වැදගත්වන බවය. නිරන්තරයෙන් නොසන්සුන්වන, වේදනාත්මක, එහාට මෙහාට පෙරළෙන මනස සුවපත් කරන්නට, සතුටක් දනවන්නට අවශ්‍ය කරුණු රාශියක් උන්වහන්සේ පෙන්වා දුන්හ. එහිදී සිතේ ස්වභාවය මනාව පැහැදිලි කර දුන්හ.
එනම්, සිත දකින්නට අමාරුය. තේරුම් ගන්නට අපහසුය. සිත නිතරම තැන තැන දුවන්නේ ය. කොතැනටද? තමන් කැමති තැනටය. ආශා කරන තැනටය. එය වළක්වන්නට අපහසුය.
‘ඵන්දනං චපලං චිත්තං’ සිත පැන පැන යන්නේ ය. අරමුණෙන් අරමුණට වහ වහා වෙනස් වන්නේ ය. ‘දූරං ගමං’ හුඟක් ඈතට යන්නේ ය. ‘අසරීරං’ ඊට ශරීරයක් නැත. ‘ඒක චරං’ තනිව හැසිරෙන්නේ ය. හිතේ ස්වභාවය මාළුවෙකු ගොඩ දැම්මා වාගේය. ගොඩට වන් මාළුවා මියෙන තුරු එහාට පනී. මෙහාට පනී. සිතද එවැනි ය. එහෙත් මේ දකින්නට අමාරු සිත දියුණුකළේ නම්, ආරක්ෂා කර ගත්තේ නම්, එක්තැන් කර ගත්තේ නම් එහි ප්‍රතිඵලය සුවදායී ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව උදා වීමය.
සමාජ ජීවිතයේ දී යාන වාහන, මාලිගා වන් නිවාස, මිල මුදල් ඇති අය දකින විට එවැනි සැප සම්පත් නැති, අමාරුවෙන් ජීවිතය ගැට ගසා ගන්නා, කෙනෙක් ඒ අය මොන තරම් සතුටින් ජීවත් වෙනවාද? යි සිතන්නට පුළුවන. එහෙත් සැප සම්පත් වැඩි වන්නට, වැඩිවන්නට සිතට විවේකයක් නැත. තව තවත් ධනය ගොඩ ගසා ගන්නටම කල්පනා කරනු ඇත.
යුරෝපයේ සමහර පිරිස් දීර්ඝ කාලයක් වැඩ කිරීම නිසා වෙහෙසට පත් වූ සිතට, විරාමයක් දෙන්නට දින ගණන් වනගත වෙති. දෙනෙත් වසාගෙන අවටින් ඇසෙන කුරුලු නාදයට, දිය ඇලිවලින් රූරා හැලෙන දිය බිඳිතිවල හඬට සවන් යොමු කරති. එයින් අපමණ මානසික සුවයක් ලබති.
දියුණු කළ සිත බොහෝ ශක්තිමත් ය. බුද්ධගයාව බේරා ගන්නට ඉන්දියාවට ගිය ධර්මපාලතුමාට එක්තරා අවස්ථාවක සිරගත වන්නට සිදුවිය. තමන් පැමිණි කාර්ය සඵල කරගන්නට එය බාධාවක් වන නිසා චිත්ත ශක්තිය යොදවා ඉන් මිදෙන්නට මඟක් කල්පනා කළේ ය. බුදුහිමියන්ගේ රුව සිතින් මවාගෙන මෛත්‍රී භාවනාව වැඩුවේ ය. තමන් සිරගත කළ ඉංගී‍්‍රසි ආණ්ඩුකාරවරයාට නිදුක්, නීරෝගී බව ප්‍රාර්ථනා කරමින් ‘යහපත් කාර්යයක් සඳහා පැමිණි මා නිදහස් කිරීමට ඔහුගේ සිත නැමේවා’යි මෙත් වැඩුවේ ය. පසුදා උදෑසනම ධර්මපාලතුමා නිදහස් කෙරුණි. ඒ, එතුමා බුදු දහමේ ඉගැන්වෙන මෛත්‍රීය වැඩීමේ ශක්තිය ප්‍රායෝගිකව අත්හදා බැලූ අවස්ථාවකි.
‘ලූතර් බෑන්ක්’ උද්භිද විද්‍යාඥයෙකි. එහෙත් චිත්ත ශක්තිය දියුණු කරගත් කෙනෙකි. සෑම උදෑසනකම කටු සහිත පතොක් පැළයක් ඉදිරියේ සිට ‘ඇයි ඔබ මේ කටු උල්කරගෙන ඉන්නේ. ඔබට කිසිවෙකුගෙන් කරදරයක් නෑ. ඒ නිසා මේ කටුවලින් වැඩක් නෑ.’ තුන් මාසයක් පුරා ඔහු පතොක් පැළයට කීවේ ය. ක්‍රමයෙන් පතොක් ගසේ කටු වියළී ගැලවී ගියේ ය. අනතුරුව ඔහු කටු ගිලිහී ගිය ශාකයෙන් අලුත් බීජ නිෂ්පාදනය කළේ ය. ඒ බීජ රෝපණයෙන් ඔහුට ලැබුණේ කටු නැති පතොක් ශාකය. ගස්වැල්වලට පවා මානසික ශක්තිය යෙදවිය හැකි බව මේ අනුව පැහැදිලිය.
අපගේ මනසට වද දෙන, පීඩාවට පත් කරන, අසහනයට, නෝසන්සුන් බවට පත් කරන කරුණු පහක් බුදුරජාන් වහන්සේ දේශනා කළහ. ඒ ‘පංච නීවරණ’ ධර්මයන්ය. එනම් කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ද, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා යන කරුණු පහය. මේ නීවරණ ධර්ම හොඳින් තේරුම් ගෙන මනසින් ජීවිතය හදා ගන්නට හැකිනම් ලද හැකි සුවය අප්‍රමාණය.
කාමච්ඡන්ද නම් ආසාවන් පසුපස යාමය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියයන් සයම මෙසේ ආශාවන් පසුපස හඹා යන්නේ ය. අපේ බුදු හාමුදුරුවෝ පන්සාළිස් වසක් පුරා දේශනාකොට වදාළේ මේ ඉන්ද්‍රියයන් හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳවය. ආශාවන් පසු පස පන්නා යන සැම තත්පරයක් පාසාම ඇති වන්නේ වේදනාවකි. පීඩනයකි. ප්‍රතිඵලය හඬා වැළපෙන්නට සිදුවීමය. ඉන්ද්‍රියයන් පි‍්‍රයකරන දේම සොයා යාමේ කෙළවර ඇති වන්නේ අවුල්ජාලයකි. ආර්ථිකය, සමාජ ජීවිතය, රැකියාව, අධ්‍යාපනය කඩාකප්පල් වීමය. ‘සිනාසෙන විට එකවතාවක් හඬා වැළපෙමු සියවතාවක්’ යන කියමන අපි නිතර අසා ඇත්තෙමු. ලෝකයට පෙනෙන්නට මුවින් සිනාසෙන බොහෝ දෙනා වැඩිපුරම හදවතින් හඬා වැළපෙන්මෝ වෙති. ඒ ඇස සේම කන පිනවීම, නාසය, දිව, ශරීරය පිනවීම අසීමාන්තිකව, අනවබෝධයෙන් සිදු කරන්නට යාම නිසාය. එමඟින් ජීවිතය පටලවා ගැනීම නිසාය. බොහෝ දෙනා උන්මත්තකයින් බවට පත්වන්නේද නිවැරැදි සිහි කල්පනාවෙන් තොරව මෙම ඉන්ද්‍රිය පිනවීමට යාම නිසාය. ඕනෑම කාර්යයකදී සතිය හා සම්පඡ්ඤ්ඤය ඇවැසිය. සතිය නම් කරන දේ පිළිබඳ හොඳ සිහියය. සම්පඡඤ්ඤය නම් නුවණින් ඒ දෙස බැලීමය.
හොඳ සිහිය තිබෙනවානම් ඕනෑම දෙයක විපාකය තේරුම් ගන්නට පුළුවන. එහෙත් බොහෝ දෙනා ජීවිතය අවුල් කරගන්නේ යම් දෙයක් පිළිබඳව නුවණින් දකින්නට ඇති නොහැකියාව නිසාය. ඉන්ද්‍රිය අවබෝධයෙන් පාලනය කරනු මිස ඒවාට අසු නොවිය යුතු ය.
‘ව්‍යාපාද’ නම් තරහවය. පාලනය කරගත නොහැකි තරහව ජීවිත මොන තරම් අවධානමේ හෙළනවාද? ඇතැම් විට ඒ ඉතාම සුළු දෙයක් නිසා සිදු වූවක් විය හැකි ය.
දිනක්, පියෙක් සිය නවීනතම වාහනය සෝදා පිරිසුදු කරමින් සිටියේ ය. ඔහු ගේ පුංචි පුතා පාට පැන්සලක් ගෙන රථයේ යම් දෙයක් කුරුටු ගාමින් සිටිනු දැක කෝපයට පත්ව අතට අසූ වූ යමකින් ක්ෂණිකව දමා ගැසුවේ ය. පුංචි පුතාගේ ඇඟිලි පහම ඉන් තුවාල විය. වහාම රෝහලට ගෙනගොස් ප්‍රතිකාර ලබාදුන් ඔහුගෙන් කඳුළුපිරි ඇස් දෙකෙන් යුතුව පුතා ඇහුවේ ‘තාත්තේ මගේ ඇඟිලි සනීපවෙයිද?’ කියාය. තමා කළ වරද ගැන සිය දහස් වතාවක් තැවෙමින් වදවෙමින් ගෙදරට ආ මේ පියා වාහනය අසළට ගොස් ඒ දෙස බැලුවේ ය. ‘තාත්තේ මං ඔයාට ආදරෙයි.’ පුතා එහි ලියා තිබුණේ ය. තරහව පාලනය කරගත නොහැකිවීම නිසා මේ පියාත්, පුතාත් පීඩාවට පත් වූයේ එලෙසය. ඇතැම් විට මීට වඩා දරුණු කරදරයක් වුව වීමට ඉඩ තිබුණි. මේ ඉතා සුළු උදාහරණයක් පමණි. මේ නිසා තරහව, කේන්තිය පාලනය කරගන්නට මනස හුරු කර ගත යුතු ය.
“ථීන මිද්ද’ නම් සිතේ සහ ගතේ මැලි බවය. ක්‍රියාකාරී නොවීමය. නිදිමත ස්වභාවයෙන් යුතු වීමය. ධර්මයෙහි අපට උගන්වන්නේ ‘උට්ඨාන වීර්ය’ ඇතිව මිනිසා අලස නොවී, උත්සාහයෙන් වැඩ කළ යුතු බවය. වැඩ කිරීමේ හැකියාව, සක්‍රීය බව නැති පුද්ගලයා ගේ ඒ අක්‍රීය බවම පසු කලෙක හේ මානසික රෝගියෙක් බවට පත් කරගන්නේ ය.
“උද්ධච්ච කුකුච්ඡ’ නම් නොසන්සුන් බව හා පසුතැවිල්ල ය. එවැනි පුද්ගලයා තැන්පත් නැත. හිස අවුල් වූ ස්වභාවය ඇත්තේ ය. නිතරම කලබලකාරී ය. මතකයක් නැත. අධ්‍යාපනය, රැකියාව ආදී කරන ඕනෑම කාර්යයක් අවුල් කර ගනී.
තමන් කළ වැරදි ගැන නිතරම පසු තැවේ. අවසන අසහනකාරීව, වේදනා විඳින්නෙක් බවට පත්වේ.
‘විචිකිච්ඡා’ නම් සැකයයි. සැකය නිසා පවුල් ජීවිතය, සමාජ ජීවිතය, රැකියාව ආදී ජීවිතය හා සබැඳි බොහෝ දේ අවුල් ජාලාවක් කර ගන්නා අය බොහෝ ය. ඇතැම් විට කෙනෙක් තවත් කෙනෙකුගේ කේළාම් අසා සැකය ඇති කර ගනී. විසඳුමක් නොවන බව දැනේ නම් ඒ සැකයම, සියදිවි හානි කර ගැනීම්, පවුල් බිඳී විසිරී යාම, දරුවන් අතරමං වීම, රැකියා අහිමිවීම ආදී තත්ත්වයන් දක්වා වර්ධනය වේ.
‘පංච නීවරණ’ හරියට තේරුම් ගත හැකි නම් සිත පෙළන අසහනය, පීඩාව පහසුවෙන් දුරුකරගත හැකිවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ පසුතැවිල්ලකින් තොරව ලෝකය දෙස බලන ලෙසය. සක්‍රිය මනසකින් ලෝකය දෙස බැලුවේ නම් සජීවී පුද්ගලයෙක් බවට පත්විය හැකි බවය. උන්වහන්සේ අපට පෙන්වා දුන්නේ රවා බැලීමෙන් වැළකී අනුන් දෙස පි‍්‍රයංකර ඇස්වලින් බලන ලෙසය. තමන්ගේ පවුල් ජීවිතය අසාර්ථක නම් අනුන්ගේ පවුල් ජීවිත දෙස අකැමැත්තෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් නොබලන ලෙසය.

ගඟෙහි ජලය රත් කිරීමට යැයි සිතා ගඟට ගින්දර දැම්මාට පළක් නැත. සිත ගිනියම් කරන වට පිටාවේ ප්‍රශ්න, ගැටුම් දෙස බැලිය යුතු වන්නේ ගිනියම් වූ සිතැඟිවලින් නොව ගඟක ගලායන සිහිල් ජලබිඳිති සේය. දකින, ඇසෙන, පෙනෙන දෙයින් සිත රත් වෙන්නට, පිච්චීමට ඉඩ නොදිය යුතු ය. එදෙස ඉවසීමෙන් බලන්නට හුරු විය යුතු ය. එවිට තමත් නොදැනීම, සිතට සැනසීම උදාවේ. සක්‍රීය පුද්ගලයෙක් බවට පත්වේ.






ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 
රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක 
කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහ නා හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ නොවැම්බර් 14 වන සඳුදා දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment