ඊට ඉහතදී එනම් මුල්වර්ෂ 20 තුළදී බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළ භික්ෂූන් වහන්සේ වූහ.
නාගසමාල, නාගිත,උපවාන , සුනක්ඛත්ත, සාගත, රාධ,මේඝිය යන තෙරහු ද චුන්ද සාමණේර යන මොවුන් වහන්සේ කලින් කල විශේෂයෙන් භාග්‍යව තුන් වහන්සේට උපස්ථායක වූහ. අනඳ තෙරණුවෝද නොයෙක් විට උවටැන් කළහ. එහෙත් ඒ කිසිවෙකුට තමාගේ උපස්ථායක භාවය කඩ නොකොට දිගටම රැක ගත හැකි නොවීය. (ශාක්‍ය මුනීන්ද්‍රවදා නය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමිපාණන් වහන්සේ – පි. 191)
ආනන්ද තෙරුන් උපස්ථායක තනතුරට පත් කිරීමට පෙර සිදු වූ එක් සිදුවීමක් මෙසේය. මෙම සිදුවීමෙන් පසුව ස්ථිර වශයෙන්ම උපස්ථායක භික්ෂූන් වහන්සේ නමක් පත් කළ යුතු බවට තීරණය වී ඇත.
බුදුරජාණන් වහන්සේ දිනක් චාරිකාවෙහි යෙදෙන කල්හි එක් දවසකට එක් භික්ෂුව බැගින් උපස්ථායක වූහ. දිනක් මෙසේ සැරිසරන කල්හි එදා උපස්ථායක භික්ෂුව වූයේ නාගසමාලනම් භික්ෂුවය. මාර්ගයෙහි හන්දියකට පැමිණි කල්හි තෙරණුවෝ මෙසේ කීහ. “අරකයි පාර ස්වාමිනි,ඒ පාරෙන් යමු. එවිට බුදුරජාණන් වහන්සේ “නාගසමාලයිනි,මේකයි පාර මේකෙන් යමුයි කීහ. එහෙත් එසේ කියන ලද කල්හි තෙරණුවෝ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය හා සිවුර බිම දා මෙන්න ඔබගේ සිවුර හා පාත්‍රය යැයි කියා ඒ තමන්ම කී පාරෙන් යන්නට ගියහ.
මගදී හමුවී පල් හොරු උන්වහන්සේට තළා පාත්‍රය බිඳ සිවුරද ඉරා දැමූහ. වරෙක බුදුන් හැරපියා අඹ වනයක භාවනා වඩන්නට ගිය මේඝිය තෙරහු නපුරු සිතුවිලි විසින් ආක්‍රමණය කරන ලදහ. එකල තනිව හැසිරීම අනාරක්ෂිත වූ බව නො පෙනේද? මෙකී නොකී කරුණු නිසා තමන් මහලු වෙමින් සිටින නිසාද තමන්ට ස්ථිර උපස්ථායෙකු අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරදී වදාළහ. මෙසමයෙහි බුදුපියාණන් වහන්සේ සැට වැනි වියේ පසු වූ සේක. සැරියුත් මුගලන් දෙනම තමන් ඒ කටයුත්ත භාරගනිමිහයි කීහ. බුදුරජාණන් වහන්සේ ඒ දෙනම එයින් වළක්වන ලදහ. අසූ මහ සව්වන්ද එසේම කිව්වත් බුදු රජාණන් වහන්සේ එය නොඉවසූහ.(බුද්ධ චරිතය මහාචාර්ය සුචරිත ගම්ලත් පි. 299(2006)
විසිවන වසින් පසු බුදුරජාණන් වහන්සේ දිනෙක ගඳකිලියෙහි පනවන ලද බුද්ධාසනයෙහි වැඩ හිඳ තමන්ට නිත්‍ය උපස්ථායකයෙකු පත් කළ යුතු බව දැන්වූහ. සැරියුත් මුගලන් ආදි පිළිවෙලින් සියලු මහා ශ්‍රාවකයෝ තම තමා කැමති බව පැවසූහ. භාග්‍යව තුන් වහන්සේ ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ සේක. මේ වේලාවෙහි තුෂ්ණිම්භූතව හුන් ආනන්ද ස්වාමීන් වහන්සේ දැක “ඇවැත්නි ඔබත් භාග්‍යවතුන් වහන්සේට උපස්්ථායක තනතුර ඉල්ලුව මැනවැයි කීහ. එවිට ඉල්ලා ගත් තනතුර මාහැඟි නොවේ. ශාස්තෘන් වහන්සේ කැමැති නම් තමන් වහන්සේම වදාරනවා ඇතැයි ආනන්ද ස්වාමින් වහන්සේ කීය. එවිට බුදුරජාණන් වහන්සේ මහණෙනි, ආනන්ද තෙම අනුන් විසින් මෙහෙවිය යුතු නොවේ. තෙමේම දැන මට උපස්ථාන කරන්නේ යැයි වදාළ සේක.
භික්ෂූහු ඇවැත් ආනන්දයෙනි, නැගිට උපස්ථායක තනතුර බාරගත මැනවැයි කීහ. අනඳ තෙරණුවෝද නැගිට පොරොන්දු අටක් පිට භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක බව බාරගත්හ. (ශාක්‍ය මුණීන්ද්‍රාව දානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය – පි. 191)
මේ අවස්ථාවේදී ආනන්ද හිමියන් එම උපස්ථායක තනතුර බාරගත්තේ මෙසේය.
“මුවෙන් නො බැන හුන් අනඳ තෙරණුවෝ බුදුරජාණන් වහන්සේ විසින් තමන්ගේ කාර්යය සඳහා පත් කරන ලද කල්හි පොරොන්දු අටකට යටත්ව එය භාර ගත්හ. ඒ මෙසේය.
ප්‍රතික්ෂේප සතර
- භාග්‍යවතුන් වහන්සේට පූජා කරනලද සිවුරු තමනට නොදිය යුතුය.
- භාග්‍යවතුන් වහන්සේ ලත් පිණ්ඩපාතය තමනට නොදිය යුතුය.
- භාග්‍යවතුන් වහන්සේ හා එක ගන්ධකුටියෙහි විසීමට තමනට ඉඩ නොදිය යුතුය.
- භාග්‍යවතුන් වහන්සේ පෞද්ගලිකව ආරාධනා පිළිගෙන තමන් කැඳවා ගෙන නොවැඩිය යුතුය.
ඒ ප්‍රතික්ෂේප කළ කරුණු හතරය. ආයාචනා කළ කරුණු සතර
- තමන් පිළිගත් ආරාධනයට භාග්‍යවතුන් වහන්සේද වැඩම කළ යුතු වන්නේය.
- භාග්‍යවතුන් වහන්සේ දැකීමට ඈත සිට එන අය භාග්‍යවතුන්වහන්සේ වෙත කැඳවාගෙන ඒමට තමන්ට අවසර තිබිය යුතුය.
- සැකයක් ඇතිවූ විට භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණීමට තමන්ට අවසර තිබිය යුතුය.
- තමන් නැති තැන දෙසූ ධර්මය භාග්‍යවතුන් වහන්සේ තමනට දෙසිය යුතුය.
මෙතැන් සිට එළඹි විසිවස තුළ බුදුරජාණන්වහන්සේගේ ස්ථිර උපස්ථායක වූවෝ අනඳ තෙරණුවෝය.
(බුද්ධ චරිතය මහාචාර්ය සුචරිත ගම්ලත් පි. 300)
මෙසේ ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේගේ ස්ථිර උපස්ථායකයාණන් වහන්සේ ලෙසින් හැසිරුණු අන්දම ගැන මෙසේද සඳහන් වේ.
එතැන් පටන් කොට ආනන්ද ස්ථවිර තෙම ශීත, උෂ්ණ යන දෙවැදෑරුම් ජලය පිළියෙල කිරීමෙන් ද, හීන මධ්‍යම ලොකු යැයි තුන් වැදෑරුම් දැහැටි දීමෙන්ද ,පා මිරිකීමෙන් හා පිට මිරිකීමෙන් , ගඳකිලි ඇමදීමෙන්ද මේ ආදි වශයෙන් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමෙහි යෙදුණේය. මේ වේලාවෙහි මෙනම් දෑ භාග්‍යවතුන් වහන්සේට ලැබිය යුතු යැයි පරීක්ෂාවෙන් දිවා කාලයෙහි උන්වහන්සේගේ සමීපයෙහි හැසිරේ. රාත්‍රියෙහි මහත් දඬු වැට පහනක් ගෙන නව වරක් ගඳකිළිය වටා ඇවිදියි. මෙසේ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ හදිසියෙන් කථා කළොත් පිළිවදන් දෙනු සඳහා නින්දට නොවැටී සිහියෙන් යුක්තව ඉඳිනු පිණිසය. (ශාක්‍ය මුනින්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය – පි. 192)
පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා M sc පර්යේෂණ
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ නොවැම්බර් 14 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment