මහ පොළොව කම්පා වුවද කඨිනයක් පූජා කිරීමෙන් ලැබෙන පින කම්පා වන්නේ නැහැ. මහා මේරු පර්වතය මෙන් සුළඟින් සෙලවීමටද නොහැකියි. දියමන්ති කන්දක් මෙන් බිඳින්නටද නොහැකියි. කඨිනයෙන් ලබන පිනද බිඳින්නට නොහැකි තරමට ස්ථාවරයි. ශක්තිමත්. බලසම්පන්නයි.කඨිනය නමින් හඳුන්වන්නේ ඒ නිසයි.
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වස් සමාදන් වීමට නීතියක් පැනවූයේ ශාසන ආරම්භයෙන් අවුරුදු 20 කට පසුවය.බුදුරජාණන් වහන්සේ හැම දෙනාගේම හිත සුව පිණිස වැසි සාර මස භික්ෂූන් වහන්සේලා චාරිකාවෙන් තොරව එක තැනක වාසය කළ යුතු බවට ශික්ෂා පදයක් පැනවූහ.
කඨින චීවර මාසය වෙනුවෙන් මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේ සමඟ කළ සාකච්ඡාව ඇසුරෙන් සැකසූ ලිපියකි.
ස්වාමීන් වහන්ස, වස් සමාදම් වීමට සුදුසුම කාලය පිළිබඳව බෞද්ධ ඉගැන්වීම් මොනවාද?
වස් ශික්ෂා පදය පැනවීමෙන් පසු වස් එළඹෙන්නේ කවර දිනයකද? යන ප්‍රශ්නය භික්ෂූන්හට ඇති වුණා. ඒ අනුව වස් එළඹිය යුතු දිනයන් දෙකක් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබුවා.
"මහණෙනි, වස්සාන කාලයෙහි වස් වසන්නට අනු දනිමි. මහණෙනි, වස් එළඹීම් දෙකකි. එනම්"පෙරවස් විසීම" සහ "පසු වස් විසීම" යනුවෙනි"ලෙස බුදුරජාණන් වහන්සේ දන්වා සිටි බව පත පොතේ සඳහන් වනවා. පෙර වස් විසීම කියන්නේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනට පසුදා ඇසළ අව පෑළවියදා වස් එළැඹීමය. ඇසළ පුර පොහොය දිනයෙන් මාසයක් ගිය පසු නිකිණි පුන් පොහෝ දිනට පසු දින නිකිණි අව පෑළවියදා පසු වස් සමාදම් වනවා. යම් හෙයකින් ඇසළ අව පෑළවියට වස් සමාදම් වීමට නොහැකි වුවහොත් ඊට මාසයකට පසු නිකිණි අව පෑළවියට පසුවස් සමාදම් විය හැකියි.
වස් ආරාධනාව සම්බන්ධ සිරිත් විරිත් මොනවාද?
බුදුරජාණන් වහන්සේ ඇසළ පුර පසළොස්වක පොහොය දින ධම්මචක්ක පවත්තන සූත්‍රය පස්වග තවුසන්ට දේශනා කර ඔවුන්ට උපසම්පදාව ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේ ආරාධනාවකින් තොරව වස් සමාදන් වී මිගදායේ වැඩ වාසය කළ බවත් සඳහන් වනවා. වස් ආරාධනා කරන විට බුලත් කොළ කිහිපයක් ගෙන එය බුලත් හෙප්පුවක තබා ඊට උඩින් සුදු ලේන්සුවකින් වසා භික්ෂූන් වහන්සේට ආරධනා කරන සිරිත තමයි තිබෙන්නේ. වස් ආරාධනා කරන විට වස් ආරාධනා කරන සැදැහැවතුන් මෙහෙම කියන්න ඕන.”ස්වාමීන් වහන්ස, මෙතැන් පටන් ඉදිරි තුන් මාසය මුළුල්ලේ මේ විහාරස්ථානයේ රැඳී සිටිමින් එම කාලය තුළ දායකයන් වන අප ඔබ වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන බවත්, එම කාලය තුළ අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලෙසත් ඉල්ලා සිටිනවා යනුවෙන් වස් ආරාධනා කරන්න ඕන. මේ ආරාධනාව සමග වැසිසළු පූජාවත් කරනවා.
වස් සමාදන් වෙනවා යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?
"ඉමස්මිං විහාරේ ඉමං තේමාසං වස්සං උපේමි ඉධ වස්සං උපේමි" යනුවෙන් තනි තනිව කියලා වස් සමාදන් වනවා. මේ ගාථාව කියලා වස් තුන් මාසයෙහි විහාරස්ථානයේ වාසය කරන්න ඕන. ආගමික කටයුතු වැඩියෙන්ම භික්ෂූන් වහන්සේලාට කරන්න පුළුවන් වන්නේ වස් තුන් මාසය තුළදිය. ඒ වගේම ගිහි පක්ෂයටත් පින් වැඩියෙන්ම කර ගැනීමට හැකි වන්නේ වස් තුන් මාසයේ දීයි.
‘වස් පවාරණය ලෙස හැඳීන්වෙන්නේ කුමක්ද?
වස් කාලය අවසානයේ භික්ෂූන් වහන්සේ පවාරණ පොහොය කොට නික්ම යාම විනය චාරිත්‍රය වනවා. උපෝසථ කර්මයෙන් පසු සියලුම භික්ෂූන් වහන්සේ වෙන් වෙන්ව සංඝ රත්නය ඉදිරියේ උක්කුටිකයෙන් හිඳගෙන “ස්වාමීනි, දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සිතීමෙන් මා වරදක් කර ඇතැයි හැඟේ නම් මා වෙත අනුකම්පා කර කියනු මැනවි” යනුවෙන් ඉල්ලා සිටිනවා. වරදක් ලෙස පෙනේ නම් එය සකසා ගන්නා බවද පවසනවා. වස් පවාරණ දින දෙකක් විනයෙහි සඳහන් වෙනවා.! පෙරවස් සමාදන් වු භික්ෂුව ඔක්තෝබර් පෝයට වස් පවාරණය කරනවා. පසුවස් විසු භික්ෂුව නොවැම්බර් මස පෝය දිනට වස් පවාරණය කරනවා.
කඨින චීවර පූජාව කියන්නේ කුමක්ද?
එකම චීවරය දෙපාරක් පූජා කිරීම නිසා කඨින පූජාව සුවිශේෂී පූජාවක් වනවා. ගිහි පැවිදි දෙපිරිසම එකට එකතු වී කඨින චීවරයක් සකස් කරන්නේ. එයත් විශේෂත්වයක්, කඨින චීවරය පළමුව පින්වතුන් විසින් මහා සංඝ රත්නයට පූජා කරනවා. ඉන් අනතුරුව එම කඨින චීවරයම සංඝ සම්මතයෙන් එක් භික්ෂුවකට පූජා කරනවා. දෙපට සිවුර , තනිපට සිවුර, අඳන සිවුර වශයෙන් දායක දායිකාවන් හට කැමති චීවරයක් පූජාකරන්න පුළුවන්. කඨින චීවරයක් හිමිදිරි පාන්දර ගරු ගාම්භීරව පෙරහරින් වැඩම කරවා මහා සංඝරත්නයට පූජා කරනවා. කඨින චීවරය සමඟ සිවුරු, පාත්‍ර, කුඩ,ආහාර පාත්‍ර, භාජන , දැළි පිහියා, පිහි, ඉදිකටු, නූල් බෝල, වටාපත්, තෙල් බෙහෙත් වර්ග, පෙරහන් කඩ, ඉන පටි, බෙහෙත් , සැරයටි, රෝද පුටු, පාවහන්, ඇඳ පුටු, පැදුරු, පහන්, ධාතු, කරඬු, සුවඳ දුම්, දැහැටි, ප්‍රණීත වූ ආහාර පුජා කරන්න පුළුවන්. එවිට පින් වැඩිවෙනවා. කඨින චීවරය සමඟ පූජා කරන එබඳු වූ පූජා භාණ්ඩ පරිවාර පරිස්කාර කියලා කියනවා.
හාමුදුරුවනේ කඨිනානිශංස ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?
මහ පොළොව කම්පා වුවද කඨිනයක් පූජා කිරීමෙන් ලැබෙන පින කම්පා වන්නේ නැහැ. මහා මේරු පර්වතය මෙන් සුළඟින් සෙලවීමටද නොහැකියි. දියමන්ති කන්දක් මෙන් බිඳින්නටද නොහැකියි. කඨිනයෙන් ලබන පිනද බිඳින්නට නොහැකි තරමට ස්ථාවරයි. ශක්තිමත්. බලසම්පන්නයි.කඨිනය නමින් හඳුන්වන්නේ ඒ නිසයි.
මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර
වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ නොවැම්බර් 14 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment