" මෙම කරුණ උපමා කතා ගෙනහැර දක්වමින් සඳහන් කරන්නේ මෙලෙසිනි. සර්පයෙකුගෙන් වැඩ ඇති පුරුෂයෙක් වනයට ගොස් සර්පයකු දැක කඳින් හෝ වල්ගයෙන් හෝ අල්ලා ගනියි. එසේ අල්ලා ගත් කළ සර්පයා පෙරලා අල්ලා ගත් පුරුෂයාටම පහර දෙන්නාක් මෙන් ධර්මය අවැසි පුද්ගලයෙක් වැරදි ලෙසින් ධර්මය අල්වා ගතහොත් ඔහුට ම පෙරළා දීර්ඝ කාලීන දුකට හේතුවක් බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනාව විස්තර කර දෙයි."
අලගද්දූපම සූත්‍ර දේශනාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ සැවත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා සමයක ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂූන් වහන්සේ අරබයාය. අලගද්දූපම සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයට අයත් සූත්‍ර දේශනාවකි. ‘අලගද්ද’ යනු සර්පයා යන අදහසයි. සර්පයෙක් උපමා කොට දේශනා කළ සූත්‍රයකි. ඕපම්ම වර්ගයට අයත් සූත්‍ර දේශනා සියල්ල ම දේශනා කර තිබෙන්නේ උපමා කතා ආදේශ කරගෙනය.
ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂූන් වහන්සේට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව තිබුණේ වැරැදි ළාමක දෘෂ්ටියක්. යම් කාරණයක් ස්වර්ග මෝක්ෂ සම්පත් දෙකට අන්තරායකර යැයි, එනම් මෙලොව, පරලොව දෙකට විපත් ඇති කරන, සුගතියට, නිවනට බාධා කරන යන්නෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙසූ විට ඒවා අන්තරාය කරවන්නේ නැතැයි එනම් ඒවා ආශ්‍රය කිරීම වරදක් නොවේ යැයි අරිට්ඨ ස්වාමීන් වහන්සේ පවසනවා.
වර්තමානයේ වූවත් බොහෝ දෙනෙක්ගේ සිත් තුළ මෙවැනි අදහස් ඇතිවෙන්න පුළුවනි, ‘භාග්‍යවතුන් වහන්සේ දේශනා කළාට සසරක් තිබෙනවා, පින්පව් තිබෙනවා යනුවෙන්, නමුත් ඒවා දැක තිබෙන්නෙ කවුද? එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නෙ නැහැ.” මේ ආකාර දෘෂ්ඨීන් ඇතිවෙන්න පුළුවනි. ඒවා පාප දෘෂ්ඨින්. අපට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට එහා ගිය විස්තරයක්, විවරණයක් සපයන්න පුළුවන්ද? මේ පාප දෘෂ්ඨිය පිළිබඳව දැනගත් කල්‍යාණවන්ත ස්වාමීන් වහන්සේලා අරිට්ඨ ස්වාමීන් වහන්සේ වෙත ගොස් මේ කරුණ පිළිබඳව විමසනවා.
එවිට අරිට්ඨ භික්ෂුව උන්වහන්සේලාට පවසන්නේ බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය තමන් වහන්සේ ඉතා හොඳින් දන්නා බවත් “අහං ආවුසො භගවතා ධම්මං දේසිතං ආජානාමි” නමුත් අන්තරාය කර ධර්ම පිළිපැදීමෙන් එසේ නොවන බවත් උන්හන්සේ තමන් හමුවට පැමිණි භික්ෂූන් වහන්සේලාට පවසයි. කල්‍යාණවන්ත ස්වාමීන් වහන්සේලා නොයෙක් ආකාරයෙන් කරුණු ඉදිරිපත් කළ ද අරිට්ඨ ස්වාමීන් වහන්සේගේ එම ලාමක පාපී දෘෂ්ඨියෙහි කිසිඳු වෙනසක් නොවු තැන, එම ස්වාමීන් වහන්සේලා භාග්‍යවත් බුදුරජාන් වහන්සේ වෙතට ගොස් මේ බව සැළ කරති. එහි දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරිට්ඨ භික්ෂුවට ධර්මය වැරැදි ලෙස වටහා ගැනීම පිළිබඳව නිග්‍රහ කොට තමන් වහන්සේ මනාව ධර්මය දේශනා කොට ඇති බව පහදා දුන්හ.
එහි දී තමන් වහන්සේ අන්තරායකර ධර්මයන් අන්තරාය කර බව නොයෙක් ආකාරයෙන් දේශනා කොට ඇති බව පහදා දෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිදර්ශන කිහිපයක් ද පෙන්වා දෙති. කාමය අල්ප වූ ආස්වාදයක් ඇති බවත් “අප්පස්සාදා” බවත් බොහෝ දුක්වලට හේතුව බවත් “බහුදුක්ඛා” බොහෝ වෙහෙස උපදවන්නක් බවත් “බාහූපායාසා” බොහෝ අනිටු විපාක “ආදීනවො” ඇති බවත් පහදා දෙයි. කාමය ඇටසැකිල්ලකටත්, මස්වැදැල්ලකටත්, ගිනි අඟුරුවළකටත් ආදී ලෙස අනේක විධ උදාහරණයන් මඟින් දේශනා කොට පහදා දෙන්නේ අල්ප වූ ආස්වාදයක් පිණිස බොහෝ දුකක් බොහෝ උත්සාහයක් සහ අනිටු ඵල විපාකයන් විඳියි යුතු බවයි.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහි දී අපට අනුශාසනා කරනු ලබන්නේ තමන් වහන්සේ විසින් යමක් අන්තරාය කර යැයි දේශනා කරන ලද්දේ ඒවා සැබවින් ම අන්තරාය කරවන නිසාත් ඒවායෙන් ඈත්වීමෙන් අන්තරාය කර තත්ත්වයන්ට පත්නොවන බවත්ය. මේ ශාසනයේ ඇතැම් හිස් පුරුෂයන් සුත්තං, ගෙය්‍යං,වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවාංග සත්ථු ශාසනය මහත් වුවමනාවෙන් හදාරන්නේ අර්ථය දැනගෙන ධර්මය අවබෝධ කිරීමට නොව අනුන් හා වාද කිරීමේ අපේක්ෂාවෙන් බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරති. එලෙස ධර්මය හැදෑරීම ඔවුනට දීර්ඝ කාලීන අයහපත පිණිස “දීඝරත්තං අහිතාය” දුක් පිණිස “දුක්ඛාය” පවතින බව පහදා දෙති. ඒ නිසා ධර්මය වැරදියට භාවිත නොකළ යුතු බව විස්තර කරයි.
මෙම කරුණ උපමා කතා ගෙනහැර දක්වමින් සඳහන් කරන්නේ මෙලෙසිනි. සර්පයෙකුගෙන් වැඩ ඇති පුරුෂයෙක් වනයට ගොස් සර්පයකු දැක කඳින් හෝ වල්ගයෙන් හෝ අල්ලා ගනියි. එසේ අල්ලා ගත් කළ සර්පයා පෙරලා අල්ලා ගත් පුරුෂයාටම පහර දෙන්නාක් මෙන් ධර්මය අවැසි පුද්ගලයෙක් වැරදි ලෙසින් ධර්මය අල්වා ගතහොත් ඔහුට ම පෙරළා දීර්ඝ කාලීන දුකට හේතුවක් බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනාව විස්තර කර දෙයි. ඒ නිසා සර්පයන්ගේ අවශ්‍යතාවය ඇති පුරුෂයෙක් වනයට ගොස් සර්පයෙකු දුටු විට එළු කුරයක් (කුරයන්) වැනි දණ්ඩක් ගෙන මැනවින් සිරකොට බෙල්ලෙන් අල්වා ගන්නාක් මෙන් ධර්මය අවැසි පුද්ගලයා ඉතාමත් සංයමයකින් හා අවබෝධයකින් ධර්මය හැදැරීමත්, ප්‍රගුණ කිරීමත් කළයුතු වේ. එසේ නොවී අන්‍යයන් හා වාද කිරීමේ අදහසින් ධර්මය හදාරන්නේ නම් ඔහුට ම පෙරළා දුක පැමිණෙන බව දේශනා කොට ඇත.
එමෙන් ම මෙහි දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මය පහුරකට උපමාකොට දේශනා කොට ඇත. ජලාශයකින් එතෙරවීමට අවශ්‍ය පුද්ගලයා එයින් එගොඩවීම සඳහා පහුරක් භාවිත කරයි. එගොඩ වූ පසු එගොඩ වීමට උපකාර වූයේ පහුර යැයි සලකා එයට ගරු කිරීමක් වශයෙන් කරමත තබාගෙන යයි. එය පහුරට ගරු කිරීමක් නොවන බවට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරති. එමෙන් ම මහණෙනි, මම ද ධර්මය පහුරකට උපමාකොට දේශනා කරමි. එය එතෙරවීම පිණිස මිස කර තබාගෙන යෑම පිණිස නොවේ. “ඒව මේව ඛෝ භික්ඛවේ කුල්ලෝපමෝ මයා ධම්මෝ දේසිතෝ නිත්තරනත්තාය නෝ ගහණත්තාය” එගොඩවීමෙන් පසු ධර්මයත් අත්හැරිය යුතුනම් අධර්මය ගැන කවර කතා ද? “ධම්මා පි වෝ පහාතබ්බා පගේව අධම්මා” මෙයින් පැහැදිලි වන්නේ ධර්මය හැදැරිය යුත්තේ අනුන් හා වාද විවාද කිරීමේ බලාපොරොත්තුවෙන් නොව සංසාරික විමුක්තිය සාක්ෂාත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් බවයි.
කොළඹ මාලිගාකන්ද,
විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය,
පොළොන්නරුව,ධනංජය රජමහා විහාරාධිකාරී,
රාජකීය පණ්ඩිත, දර්ශනපති
කන්දේගම දීපවංසාලංකාර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ නොවැම්බර් 14 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment