සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ උතුම් සම්බුදු බව ලබා සියලු සත වෙත පතල වූ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් සූත්‍ර ධර්මයන්ගෙන් විශේෂයෙන් තෝරාගන්නා ලද සූත්‍ර එකතු “පිරුවානා පොත් වහන්සේ” යන නාමයෙන් සංග්‍රහ කොට ඇති “මහ පිරුවානා පොත් වහන්සේ” පිළිබඳව අද සිට ඉදිරියට අප සාකච්ඡා කරන්නෙමු.
පිරුවානා පොත
”පිරිත් පොත” නැතිනම් “පිරුවානා පොත” ලෙස බෞද්ධයන් අතර ව්‍යහාර වේ. පිරුවානා පොත යන්නෙහි එක් තේරුමක් නම් කටපාඩම් කළ යුතු යන අදහසයි. සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස වන භික්ෂු, භික්ෂුණී,උපාසක,උපාසිකා යන සිවු පිරිසම ඉමහත් ශ්‍රද්ධා ගෞරවයෙන් පරිශීලනය කරන්නේ මේ පිරුවානා පොත් වහන්සේය. අතීතයේ පංචකාම සම්පත් විඳිමින් ගිහි ජීවිත ගත කළ බොහෝ උපාසක උපාසිකාවන්ටද, පිරිත් පොත් වහන්සේ කටපාඩම්ව තිබුණි. අද එම තත්ත්වය බොහෝ වෙනස් වී ඇත. කරණීයමෙත්ත සූත්‍රය ආදී පිරිතක් හෝ පාඩම් නැතිනම් එය මහත් අවාසනාවකි.
පාලි භාෂාවෙන් “පරිත්ත” සිංහලෙන් “පිරිත” වචනයෙන් තේරුම වන්නේ සියලු ආකාරයෙන් ම හැම පැත්තෙන්ම ආරක්ෂාව සැලසීම යන්නයි. එය “පරිසමන්තතො තායකි රක්ඛතීති පරිත්තං (පරිසමන්තතෝතායති රක්ඛතීති පරිත්ත) යන පාලි වැකියෙන් සනාථ වේ. වරෙක අපගේ ධර්මස්වාමි වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිත ගැන මෙසේ වදාළ සේක. “ඉමං පරිත්තං උග්ගණ්හා ඒතං මේ පරිත්තං කම්මට්ඨානං භනිස්සති” මෙම පිරිත් ධර්මයෝ ඉගෙන ගන්න. කටපාඩම් කරන්න. මෙය ඔබට ආරක්ෂාවක්ද, කර්මස්ථානයක්ද වන්නේය (යනුවෙනි).
පිරිතේ රැකවරණය
කෙනෙකුට පිරිතෙන් ලැබෙන්නේ ආරක්ෂාව පමණක් ම නොවේ. ශාන්තිය,විමුක්තිය ආදියත් වේ. එමනිසා පිරිතෙන් දෙව් මිනිස් ලෝකයාට සිදුවන්නේම අතිමහත් යහපතක්මය. පිරිත්වල ඇත්තේ මේ ලෝක ධර්මයේ පවතින ඇති මධුර වූ පරම සත්‍යයයි. ඒ මධුර වූ පරම සත්‍යයේ ආශිර්වාදය දෙව් මිනිස් ලෝකයාට ලබා දෙන්නේ සියලු දෙවි මිනිසුන්ගේ එකම ශාස්තෘ වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේය. උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යනු මධුර වූ ඒ සදාතන සත්‍ය ධර්මයේ උත්තරීතර නිර්මාණයකි. ලෝක සත්ත්වයාට වැළඳෙන විවිධ රෝග සඳහා විවිධ ඖෂධ ඇත්තේය. එහෙත් එම ඖෂධවලින් ලෝක සත්ත්වයාට අප්‍රමාණ වූ පීඩා දෙන මානසික රෝග, සංසාරය නමැති රෝගාදිය කිසිසේ්ම සුවකළ නොහැක්කේය. ඒ අතර රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය අපාය බිය, සංසාර බිය ආදී මේ සියලු රෝගයන්ට හා භීතීන්ට පිරිත් ධර්මය විශ්මිත රැකවරණයක් සලසයි. “ධම්මෝෂධං සමංනත්ථි ඒතං පිවථ භික්ඛවේ” (ශ්‍රී සද්ධර්මයට වඩා උතුම් වූ කිසිම ඖෂධයක් මේ විශ්වයේ කොතැනක හෝ නැත.) එනිසා “මහණෙනි, සංසාර ගත සියලුම රෝගයන් නසාලන මේ ශ්‍රී සද්ධර්මය නමැති ඖෂධය පානය කරව්” කියා බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
සාමාන්‍යයෙන් පිරිතට ආරාධනා කිරීමේදී දේශකයන් වහන්සේට පිරිත් ශ්‍රාවක පිරිස ආරාධනා කරන්නේ “විපත්ති පටිභාහාය, සබ්බ සම්පත්ති සිද්ධියා, සබ්බ දුක්ඛ, සබ්බ භය, සබ්බ රෝග විනාසාය, පරිත්තං බ්‍රෑථ මංගලම් (කියාය) විපත්ති සියල්ල දුරුකොට, සියලු සම්පත් සිදුවීම් සියලු දුක්, සියලු භය, සියලු රෝග, නැසීම පිණිස බුදුරජාණන් වහන්සේ විසින් වදාළ පරිත්‍රාණ ධර්මය දේශනා කරන සේක්වා කියාය.
වර්තමාන සමාජයේ බොහෝ දෙනාට පිරිතෙන් ලැබෙන අරුත පිළිබඳව හරි වැටහීමක් නොමැති තරම්ය. පැරැණි බෞද්ධයා තමාට යම්කිසි බියක් වූ කල්හි ස්වභාවයෙන්ම ඉතාම ශ්‍රද්ධාවෙන් “ඉතිපිසෝ ”පාඨය (ගාථාව) හඬ නඟා සජ්ඣායනා කළෝය. එය පරම්පරාගතව විත් අද ඉතා අතළොස්සක් දෙනා එය දනී. තාක්ෂණික මෙවලම් හා විවිධ මාධ්‍ය දියුණු වීමත් සමඟම මනුෂ්‍යයාගේ උත්තරීතර සදාචාර ධර්ම වේගයෙන් පිරීහියාම නිසා ලෝක සත්ත්වයාට යහපත් සලසන ලොව්තුරු සුවසලසන සම්බුදු දහම මිනිසාගෙන් ඉතාම අවාසනාවන්ත ලෙස ඈත්වෙමින් පවතී. මෙහි භයානක ප්‍රතිඵල දැන් ලෝකයාට භුක්ති විඳීමට සිදුව ඇත.
අපගේ භාගවතුන් වහන්සේ මේ ලෝකයේ කිසිදු ශාස්තෘවරයෙක්, කිසිඳු ගුරුවරයෙක්, කිසිඳු නායකයෙක්, කිසිඳු මවක්, පියෙක් නොසිතූ අයුරින් නොපැතූ අයුරින් තම ශ්‍රාවකයෙන්ගේ ආරක්ෂාව ගැන නිතර නිතර (තම) අවධානය යොමුකළ සේක. උන්වහන්සේ ධජග්ග සූත්‍රයේදී මෙසේ වදාරණ සේක. “අහඤ්ච ඛෝ භික්ඛවේ ඒවං වදාමි” පින්වත් මහණෙනි, මම ඔබට මේ ආකාරයෙන් පවසමි “සචේ තුම්හාකං භික්ඛවේ අරඤ්ඤ ගතානං වා රුක්ඛමූලගතානං වා, සුඤ්ඤාගාරගතානංවා උප්පජ්ජෙය භයං වා ඡම්භිතත්තංවා, ලෝමහංසෝවා මමේව තස්මිං සමයේ අනුස්සරෙය්‍යාථ” පින්වත් මහණෙනි, ඔබ කැළයකට ගියවිට හෝ රුක් සෙවනකට ගිය හෝ පාළු (නිවසකට) තැනකට ගිය විට හෝ බියක් හෝ තැති ගැනීමක් හෝ ලොමු ඩැහැගැනීමක් හෝ ඇතිවන්නේ නම් ඒ වෙලාවට මා ගැන සිහි කළ යුත්තේය. ඉතිපි සෝ භගවා අරහං.. . . බුද්ධෝ භගවාති. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ “අරහං” වන සේක. . . . බුද්ධ වන සේක, භගවා වන සේක. මමංහිවෝ භික්ඛවේ අනුස්සරතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලෝම හංසෝ වා සෝ පහීයිස්සති” පින්වත් මහණෙනි, එවිට යම් බියවීමක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩැහැ ගැනීමක් හෝ ඇති වන්නේ නම් මා ගැන සිහිකරන ඔබ හට එය නැතිවෙලා යන්නේය. මා ගැන සිහි නො කරන්නේ නම් ධර්මය ගැන සිහි කළ යුත්තේය. යම් හෙයකින් ධර්මය සිහි නොකරන්නාහුු නම් ආර්ය සංඝරත්නය ගැන සිහි කළ යුත්තේය. එවිට එම බිය ,තැති ගැනීම, ලොමුඩැහැ ගැනීම ඒකාන්තයෙන්ම නැතිවී යන්නේය.
”තං කිස්ස හේතූ” එයට හේතුව කුමක්ද? තථාගතෝ භික්ඛවේ, අරහං සම්මා සම්බුද්ධෝ, වීතරාගෝ, වීතදෝසෝ, වීත මොහෝ අභීරු අච්ඡම්භි අනුත්‍රාසි අපලායීති. පින්වත් මහණෙනි තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාගය දුරුකළ සේක. ද්වේශය දුරු කළ සේක. මෝහය දුරුකළ සේක. බිය නොවන සේක. තැති නොගන්නා සේක නො පසුබසින සේක. පළා නොයන සේක යනාදී වශයෙනි.
බියක් තැතිගැනීමක් ඇති වූ විට
උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට හැර අවංකව සත්‍යවාදීම මෙම ප්‍රකාශය මේ සකල විශ්වයේ කිසිවෙකුට හෝ කිව නො හැක්කේමය. මෙය පරම සත්‍යයකි. අපේ මුතුන් මිත්තෝ මේ පිරිත් ධර්මයන් තමන්ගේ ජීවිතය හා කොතරම් සම්බන්ධ කරගෙන තිබුණාද කිවහොත් ඇතැම් වයසක උදවිය අදටත් තම දරු මුණුබුරන්ට යම් බියක්, තැති ගැනීමක්, ඇඟ කිලිපොළා යෑමක්, නපුරු සිහින දැකීමක්, සැක සංකාවක්, නින්ද නොයෑමක් ඇතිවූ විට දරුවනේ, ඉතිපිසෝ ගාථාව කියාපල්ලා කියයි.
අතීතයට ගොස් පිරුවානා පොත් වහන්සේ පිළිබඳව තොරතුරු සොයා බලන විට පෙනී යන්නේ මේ මහා පිරුවානා පොත් වහන්සේ විවිධ කාල වකවානුවල යම් යම් සංශෝධනයන්ට භාජනය වී ඇති බවයි. එහිදී පසුකාලීනව පිරිත් අතිරේකයේ එන නොයෙකුත් ආරක්ෂා පිරිත්,පොත් වහන්සේට එකතුකර ඇති බව පෙනේ. එම පිරිත් තුළ අන්තර්ගත සූත්‍ර දේශනා පිළිබඳව වෙන් වෙන් වශයෙන් අප ඉදිරි ලිපිවලින් සාකච්ඡා කරන්නෙමු. එහිදී පිරිත් ධර්මයන්හි පවතින විවිධ වූ විශ්මිත බලයන් ඔබට තේරුම් යනු ඇත.
පිරිතේ බලය අප හොඳින් හඳුනා ගෙන පිරිත් සජ්ඣායනා කරන සියලු දෙනාම ඉතා කරුණාවෙන්ම පිරිත් කිව යුතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇත. එදා විශාලා මහනුවරට සිදුවූ භයානක විපතේදී ආනන්ද හිමියන් උතුම් කරුණාවෙන් මෛත්‍රියෙන් පිරිත් කියා නුවර පුරා පිරිත් පැන් ඉසුවේද, එවන් වූ ම කරුණාවකින් යුතුව අපද පිරිත් කිවයුතු වන්නේය.
බෞද්ධයාගේ සිරිත්
එසේම තම තමන්ගේ ජීවිතවල මංගල සම්මත සියලු කටයුතු වලද පිරිත් කියවා ගෙන ඒවා ආරම්භ කිරීම බෞද්ධයාගේ සිරිත වී ඇත. නිවෙස් ගොඩනැඟීම ආවාහ විවාහ රැකී රක්ෂා වෙත යෑම නිවෙස්වලට ගෙවදීම මියගිය අය වෙනුවෙන් කරන පින්කම් මෙන්ම රටට පැමිණෙන සතුරු උවරුවලදී නොයෙක් ලෙඩදුක් වලදී ආදී වූ විවිධ අවස්ථාවල මේ උතුම් පිරිත් ධර්මයන් සජ්ඣායනා කරවා ගනිති. රටට බත සපයන හෙළ ගොවීහු තම ගොවිතැන් කටයුතු ආරම්භ කිරීමට පෙර කෙත් යායේ එක් තැනක කරවන මනරම් පිරිත් මණ්ඩපයේ පිරිත් කියා පිරිත් කරන ලද පිරිත් පැන් මුළු කෙත් යායටම ඉස තෙරුවන් ආශිර්වාදය ගෙන ආරම්භ කරයි.
පිරිත් කීමේදී තෙරුවන් සරණ ගිය ලෝකපාලන දෙවියන්ගේ විශේෂ අවධානයද යොමුවන බැවින් පිරිත් කියන පිරිස් ඉතා සිල්වත්ව විශේෂ වතාවත් සිදුකොට පිරිත්කීම පිරිතෙන් ලැබෙන ආනිසංස බලවත් කරයි. මෙලොව යහපත හා දියුණු සලසන පරලොව සුගති සැප සලසන උතුම් නිවන් සුව සලසන චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත උතුම් ශ්‍රී සද්ධර්මය අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට සෙත සලසන උතුම් ශ්‍රී සද්ධර්මය නිසාය. ඒ උතුම් සද්ධර්මයට අවමන් නො කොට දෙව් මිනිස් ලෝකයා ගැන මෛත්‍රීයෙන් හා කරුණාවෙන් යුතුව උතුම් පිරිත් ධර්මය සජ්ඣායනා කළ යුතු වේ.
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ පවතින සම්බුදු බලය, ධර්ම බලය, ශාන්තිය, ආරක්ෂාව, පිළිසරණ ආදී උත්තම ගුණයන්ගේ බලයෙන් ඔබට සෙත්වේවා.
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ නොවැම්බර් 14 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment