Labels

Monday, November 21, 2016

අර්හත් ධජයෙන් ලොවම එකලු කළ ඉල් මහ පොහොයේ අසිරිය

මහ රහතන් වහන්සේ සැට නමක් ලොව මුල්වරට ධර්ම ප්‍රචාරක කටයුතු ඇරැඹීම , බුදුරදුන් තුන් බෑ ජටිලයන් දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම වීම, සැරියුත් මහරහතන් වහන්සේගේ මෑණියන් මගඵල ලැබීම හා උන්වහන්සේ තම මෑණියන්ගේ නිවසේදී පිරිනිවන් පෑම, මෙත් බෝසතුන් නියත විවරණ ලැබීම හා පසුවස් පවාරණය කළ යුතු දිනය මෙන්ම කඨින චීවර පූජාව සිදු කළ හැකි අවසන් දිනය ආදී බොහෝ ශාසනික වටිනාකම ඇති දිනයක් ලෙස ඉල් මස පුර පසළොස්වක දිනය හඳුන්වා දීමට පුළුවන.
බුදුරජාණන්වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් වහන්සේ සමඟ මුල්වරට වස් සමාදන් වූ අතර එම වස් කාලයේදීම ප්‍රථම ධර්ම දේශනාව පවත්වා උන්වහන්සේ සැමටම රහත්වීමට මග පෙන්වා වදාළ සේක.

තවද එම කාලය තුළදීම යස කුල පුත්‍රයා ඇතුළු තවත් යහළුවන් පනස් පස් දෙනෙකු පැවිදි කරවා දහම් දෙසා උතුම් මහ රහත් බවට පත් වීමට උන්වහන්සේ මග පෙන්වූ සේක.
මෙලෙස මහරහතන් වහන්සේ හැට නමක් ලෝකයේ පහළ වු සේක. වස් අවසන් වූ පසු උන්වහන්සේ ඇමතූ බුදුරජාණන් වහන්සේ “චරථ භික්ඛවේ චාරිකං , බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පාය,අත්ථාය හිතාය, සුඛාය දේව මනුස්සානං” යනුවෙන් “මහණෙනි, බොහෝ දෙනාගේ හිත පිණිස බොහෝ දෙනාගේ සැප පිණිස ලෝ වැසියන්ට අනුකම්පා පිණිස, දෙව්, මිනිසුන්ගේ යහපත සැප පිණිස චාරිකාවේ හැසිරෙන්න”යි වදාළ සේක. තවද එකම මගක දෙනමක් නොවඩින්නැ’යි වදාළ උන්වහන්සේ වස් පවාරණයෙන් පසු උදා වූ ඉල් පොහෝදා එම රහතන් වහන්සේ පිරිස ධර්ම ප්‍රචාරය පිණිස පිටත් කර යවා තමන් වහන්සේ උරුවෙල් දනව්ව කරා වැඩම කළ සේක.
නේරංජනා නදිය අසල විසූ උරුවෙල් කාශ්‍යප තාපසයාට පන්සියයක් පිරිසද, නදී කාශ්‍යප තාපසයාට තුන්සියයක් පිරිසද, ගයා කාශ්‍යප තාපසයාට දෙසියයක් පිරිසද වූහ. බුදුරදුන් පළමුකොට බලවත් කරුණාවෙන් උරුවෙල් කාශ්‍යප ඇතුළු පන්සියයක් පිරිසට ප්‍රාතිහාර්ය දක්වා ඔවුන් පැවිදි කළ සේක. ඔවුන්ගේ තවුස් පිරිකර ගඟෙහි පාකර හැරී අතර ඒවා දුටු නදී කාශ්‍යප සිය වැඩිමහල් සොහොයුරාට අනතුරක් යැයි සිතා පැමිණි අවස්ථාවේදී ඔවුන්ටද දහම් දෙසීමෙන් ඒ පිරිසද පැවිදි කළ සේක.
තමන්ගේ තවුස් පිරිකරද ගඟට දැමූ අතර ඒවා දුටු ගයා කාශ්‍යප ද සහෝදරයන් දැකීමට පැමිණී මොහොතේදී බුදුරජාණන් වහන්සේ ඔවුන්ටද දහම් දෙසා පැවිදි කරවූ සේක. ඉන් අනතුරුව එසේ ඉල් පොහෝදා අරඹන ලද දහම් පණිවුඩය ගයා ශීර්ෂයේදී ඒ සැමට, ලබා දුන් බුදුරජාණන් වහන්සේ ‘ආදිත්තපරියාය සූත්‍රය’ දේශනා කර ඒ සැමදෙනා වහන්සේම රහත්වීමට මගපෙන්වූ සේක.
සැරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව් ලෙස වැඩ සිටි අතර ධර්ම සේනාධිපති වූයේද උන්වහන්සේය. තවද උන්වහන්සේගේ සහෝදර සහෝදරියන් වන චුන්ද, උපසේන, රේවත මාලා, උපචාලා, සිසුපචාලා යන පිරිසද පැවිදිව රහත්ව සිටි මුන් උන්වහන්සේගේ මෑණියන් ඒ වන විටත් සිටියේ මිථ්‍යා දෘෂ්ඨිකවය. පෙර කරන ලද අකුසල කර්මයක් නිසා මුගලන් මහ රහතන් වහන්සේ ‘කාලසිලා’ පර්වත විහාරයේ වැඩවසන සමයේ සොරුන් විසින් පහරදී පිරිනිවන් පෑවේ ඉල් මස අව පසළොස්වක දාය. සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේ හරියටම ඊට සති දෙකකට පෙර එනම් ඉල් මස පුර පසළොස්වක පොහෝදාය. වරක සැරියුත් මහ රහතන් වහන්සේ තම ආයු කාලය විමසා බැලු සේක. තමන්ට තව ජීවත් වන්නට ඇත්තේ සතියක් පමණක් බව දැක, තම මව සම්‍යක් දෘෂ්ටික කොට නිවසේදීම පිරිනිවන්පෑ යුතු බව දැක බුදුරජාණන් වහන්සේට වැඳ අවසර ගෙන විශාල භික්ෂු පිරිසක් සමඟ නාලක ගමට වැඩම කොට මවට බණ දෙසා ඇය සෝවාන් ඵලයට පත් කොට එම නිවසේදී ම පිරිනිවන් පෑ සේක. ඒ ඉල් මස පුර පසළොස්වක පොහෝදා දිනකය.
චුන්ද තෙරුන් වහන්සේ සැරියුත් හිමියන්ගේ පාත්‍ර සිවුරු හා ධාතුන් වහන්සේ ද රැගෙන ජේතවනාරාමයට වැඩමකර සියල්ල බුදුරදුන්ට පිළිගැන්වූ සේක. බුදුරදුන්, සැරියුත්, තෙරුන්ගේ ගුණ දෙසා ධාතු තැන්පත්කර චෛත්‍යයක් කරවා රජගහනුවරට වැඩි සේක.
සංකස්ස පුර සිරිවඩ්ඪ නම් වූ ධනවතෙකුගේ පුතෙකු ලෙස උපන් මෛත්‍රී බෝධිසත්වයෝ බුදුරජාණන් වහන්සේ වප් පොහෝ දින දිව්‍ය ලෝකයේ සිට මනුෂ්‍ය ලෝකයට වැඩි මොහොතේ සැරියුත් තෙරුන් සමඟ කළ ධර්ම සාකච්ඡාව අසා පැහැදී පැවිදි වූහ. ඉන් අනතුරුව උන්වහන්සේට ලැබුණු වටිනා වස්ත්‍ර යුගලක් බුදුරදුන්ගේ ගඳකිළියෙහි එල්ලා මහත් පිනක් සිදු කරගත්හ. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බෝධි සත්වයන්ගේ අභිප්‍රාය දැක භික්ෂු මධ්‍යයේ වැඩ සිටි උන්වහන්සේ පෙන්වා.
“මහණෙනි”, උතුම් වස්ත්‍ර යුගලකින් බුදුරදුන් පිදූ මේ භික්ෂුව බලන්න. මේ භික්ෂුව මෙම මහා භද්‍ර කල්පයේදීම මෛත්‍රී නම් වූ සම්බුදුරදුන් වන්නේය. එකල බරණැස් නුවර කේතුමතී රාජධානියේ සංඛ නම් සක්විති රජුගේ පුරෝහිත බමුණා වන සුබ්‍රහ්ම මොහුගේ පියා වන අතර බ්‍රහ්මවතී මෑණියන් වන්නේය. බෝරුක වන්නේ නා ගසකි.” යැයි වදාළ සේක. මෙලෙස මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලබා ගත්තේද ඉල් මස පුර පසළොස්වක පොහෝ දවසකය.
කඨින පින්කම්වල අවසානය සිද්ධ වන්නේද ඉල් පොහොය දවසකය. වප් පුර පසළොස්වක පොහෝ දින ආරම්භ වූ මෙම කඨින චීවර මාසය ඉල් මස පසළොස්වක පොහෝ දවසින් අවසන් වෙයි. කඨින චීවර පූජාව කරන්නේ මේ කාලයේ පමණි. තවද ඇසළ පොහෝදා වස් සමාදන් වීමට නොහැකි උපසපන් භික්ෂූන් වහන්සේ නිකිණි පොහොයෙන් පසුව පසු වස් සමාදන් වූ විට වස් පවාරණය කරන්නේ ඉල් මස පුරපසළොස්වක පොහෝදාය.
මේ අනුව පැහැදිලි වන්නේ උතුම් වූ සදහම් රසය ලොව පුරා පැතිරයාමට ප්‍රධානම හේතුව වූයේ එදා ඉල් මස පුර පසළොස්වක පොහෝ දින මහරහතන් වහන්සේ හැට එක් නමක් විසින් ආරම්භ කළ ධර්ම ප්‍රචාරය යි. තවද බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ උන්වහන්සේ ලෝකානුකම්පාවෙන් යුක්තව සිදු කරන ලද ඒ මහා සේවාවෙහි ප්‍රතිඵලය බවට පත් වූයේ සම්බුදු සසුනෙහි පැතිරීමයි. සැරියුත්, මුගලන් ආදි මහ රහතන් වහන්සේ පහළවීම මෙන්ම මෛත්‍රී බෝධි සත්වයන්ගේ පැවිදිවීම ද සිද්ධ වූයේ මේ ආකාරයෙනි.
එපමණක් නොව ලංකාවේ මුල්ම මහ රහතන් වහන්සේ වන අරිට්ඨ තෙරණුවන් ඇතුළු භික්ෂූන් වහන්සේ මිහින්තලේ වස් වැස පවාරණය කිරීමෙන් අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේ බුදුරදුන්ගේ ධාතු තැන්පත් කොට චෛත්‍යයක් තැනීමේ යෝජනාව දෙවනපෑතිස් රජුට කළ සේක.
මෙම යෝජනාව කරන ලද්දේ ද ඉල් මස පුර පසළොස්වක පොහෝ දිනකදීය. එහි ප්‍රතිඵල ලෙස සුමන සාමණේරයාණන් වහන්සේ ධාතුන් වහන්සේ වැඩමවීම පිණිස දඹදිවට වැඩි අතර බුදුරදුන්ගේ අකුධාතුව ප්‍රමුඛ ධාතුන් වහන්සේ මහත් ප්‍රමාණයක් මෙරටට ලැබුණේ මිහිඳු මහරතන් වහන්සේගේ එම යෝජනා නිසාය.
ලංකාවේ බුදු සසුන පිහිටීමෙන් පසු සාදන ලද මුල්ම චෛත්‍යය ලෙස ථූපාරාමය තනවා එහි මෙම අකුධාතුන් වහන්සේ තැන්පත් කරන ලදී.

මෙලෙස ලංකාවේ ගලක් ගලක් පාසා වන සෙනසුනක්ද, වැවක්, වැවක් පාසා, සෑයක් ද ඉදිකිරීමේ උතුම් සැනසීමේ මග බිහි විය. වර්තමාන බෞද්ධයන් වන අප කවුරුත් කළ යුතු වන්නේ ඒ උතුම් සදහම් නදියෙන් සදහම් නමැති පැන් වළඳා නිවන් පිපාසය නිවා ගැනීමයි. බුදුරජාණන් වහන්සේ එදා ඉල් පොහෝදා දේශනා කර වදාළ සේ ආරම්භ වූ ධර්ම යාත්‍රාව මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවටද පදවාගෙන එන ලද සේක. ඒ සැනසීමේ මාර්ගය ගලේ කෙටූ අකුරු සේ පොත්පත්වල ලියවීමෙන් පසු අද දක්වාම මැනවින් සුරැකී ඇත. බෞද්ධ වත් පිළිවෙතට යොමු වූ අප කවුරුත් කළ යුතු වන්නේ හැකි තාක් ඉක්මනින් ඒ සදහම් මග අනුගමනය කිරීමයි. සසර කතරින් එතෙර වන්නට ඒ මහ රහත් දෙසුම ඔබ, සැමට එකසේ හේතු වාසනා වේවා.!






කැලණිය විශ්වවිද්‍යාලයේ 
නූතන භාෂා අංශයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
අලුතෑපොල ගණේකන්ද පුරාණ රජමහාවිහාරාධිපති 
ආචාර්ය රාජකීය පණ්ඩිත 
නැදලගමුවේ ධම්මදින්න හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ නොවැම්බර් 14 වන සඳුදා දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment