Labels

Sunday, November 6, 2016

විරිය සම්බොජ්ඣංගය


සප්ත බොජ්ඣංගයන් අතර තුන්වැන්න සේ සැලකෙන්නේ විරිය සම්බොජ්ඣංගයයි. වීර්යය කායික ,මානසික වශයෙන් දෙවැදෑරුම් වෙයි. එය බොජ්ඣංගයක් වශයෙන් ගත් විට එයින් මානසික ශක්තිය අපේක්ෂා කරනු ලැබේ. පටන් ගත් කටයුතු අතර මග නොනවත්වා නිමාවක් දක්නා තුරු කිරීම වීර්යයේ ලක්ෂණයයි. එම ගති ලක්ෂණය ඇත්තෝ වීර ගණයෙහිලා සැලකෙති.
ආරම්භක ධාතු , නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් වීර්යය තුන් වැදෑරුම් වෙයි. ඒවා අනුපිළිවෙළින් ගත් විට එකකට වඩා එකක් ප්‍රබලය. ආරම්භක ධාතු වශයෙන් සැලකෙන පළමු වන වීර්යය කාමාශාවන් දුරු කිරීම පිණිසත්, නික්කම ධාතු නමින් සැලකෙන දෙවන වීර්යය කෙලෙස් සංසිඳුවීම පිණිසත්, පරක්කම ධාතු නමින් සැලකෙන තෙවන වීර්යය කෙලෙස් බැමි කඩා බිඳ දැමීම පිණිසත් හේතු වෙයි.

ප්‍රධාන වශයෙන් ද වීර්ය සිව් වැදෑරුම් ලෙස දක්වා ඇත. එනම් 

1. සංවරප්පධාන 

2.පහානප්පධාන 

3. භාවනාප්පධාන 

4.ආරක්ඛණකප්පධාන වශයෙනි. මෙහි පධාන යන වචනය ද විරිය යන ශබ්දයට සමාන අරුත් ඇත්තකි. පඤ්චේන්ද්‍රියයන්ට පඤ්චකාම වස්තුන් ගෝචර වූ විට ක්ලේශ කාමයන් උපදී නම් එයට ඉඩ නොදී හික්මීමට ගන්නා වීර්යය සංවරප්පධානයයි. සිතේ ඇතිවන කාම, ව්‍යාපාද, විහිංසා විතර්කයන් දුරු කිරීමට ගන්නා උත්සාහය පහානප්පධානයයි. චතුරාර්ය සත්‍යය අවබෝධයට උපකාර වන බොජ්ඣංග විෂයෙහි වන අප්‍රමාද පැවැත්ම භාවනාප්පධානනයි. සිතේ පිරිසුදුකම හා සංවරකම ඇති කර ගැනීමෙහිලා පහළ වන වීර්යය අනුරක්ඛණප්පධානයයි.
වීර්යය නොයෙක් ලක්ෂණයන්ගෙන් යුක්තය. ඒ සඳහා භාවිත වන සමානාර්ථවාචී පද කීපයක් මෙසේය. උස්සාහ,පග්ගහ, ආතප්ප, වායාම, පරක්කම , පධාන, උය්‍යාම මේ සෑම පදයක්ම විරිය යන පදයට සමානාර්ථවාචී වෙයි. වීර්යය දස පාරමිතාවන් අතර විරිය පාරමිතා නමින්ද ආර්ය මාර්ගාංගයන් අතර සම්මා වායාම නමින්ද ,ඉන්ද්‍රිය ධර්මයන් අතර විරියින්ද්‍රීය නමින්ද , බල අතර විරිය බල නමින්ද ඍද්ධිපාදයන් අතර විරියිද්ධිපාද නමින්ද සත්ත බොජ්ඣංගයන් අතර විරිය සම්බෝජ්ඣංග නමින්ද ව්‍යවහාරයට පැමිණ ඇත.

1.නූපන් අකුසල් නූපදීමට ගන්නා වීර්යය.

 2.උපන් අකුසල් යටපත් කොට දැමීමට ගන්නා වීර්යය

 3.නූපන් කුසල් උපදවා ගැනීමට ගන්නා වීර්යය. එනම් ධ්‍යාන මාර්ගඵල ආදිය උපදවා ගැනීමට ගන්නා වීර්යය. 

4.උපන් කුසල් එනම් තම සිතින් උපදවා ගෙන ඇති ධ්‍යාන මාර්ග ඵල ආදිය වැඩි දියුණු කර ගැනීමට ගන්නා වීර්යය වශයෙන්ද වර්ග කර ඇත. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉගැන්වෙන සම්මා වායාමයයි.

වීර්ය කළ යුත්තේ තම තමා විසිනි. බුදුරජාණන් වහන්සේගෙන් සිදු වී ඇත්තේ එවැන්නවුන්ට යා යුතු නිසි මග පෙන්වා දීමයි. උන්වහන්සේ “මා නිවත්ත අභික්කම” තමා උතුම් අරමුණු ඉටු කර ගනිමින් ඉදිරියට යන්නැ”යි උපදෙස් දුන්හ. අප කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මගෙහි අරි අටගි මඟ දැන එමගෙහි නො සැලී ඉදිරියට යාමයි. එවිට බුදුරජුන් අප ළඟම වැඩ සිටින සෙයක් අපටම වැටහෙනු ඇත. යමෙක් ධර්මය දකීද, හෙතෙම මා දකී (යො ධම්මං පස්සති, සො මං පස්සති) යි වදාරා ඇත්තේ එයයි.

වීරිය සම්බෝජ්ඣංගය ඉපදීමට හා වැඩීමට හේතුවන කරුණු එකොළොසකි. ඒ මෙසේය.
“ඒකාදස ධම්මා විරිය සම්බෝජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති

1.අපායභය පච්චවෙක්ඛණතා (අපා බිය නුවණින් සලකන බව)
සැපයෙන් තොර වූ තැන අපාය නමින් සැලකේ. නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර, යනුවෙන් අපාය හතරක් ඇත. ඒ හතර අපායන්හි උපන් සත්වයන් විඳින දුක් නුවණින් සලකා බලන්නකුට සිව්මඟ නුවණින් නිවන් අවබෝධ කර ගැනීමේ වීර්ය ඇති වෙයි.

2.ආනිසංස දස්සාවිතා (ආනිශංස දන්නා බව)
කම්මැලියන්ට සතරමඟ, සතර පල නිවන් ලබන්නට නොහැකිය. එය ලැබිය හැක්කේ ආරම්භක ධාතු, පරක්කම ධාතු ,නික්කම ධාතු යන වීර්යයෙන් යුතු පුද්ගලයන්ටය. මෙසේ ආනිසංස සලකන්නන්ට වීර්ය උපදවා ගෙන සසර කතරින් එතෙර විය හැකිය.

3.ගමන විථි පච්චවෙක්ඛණතා (රහතුන් වැඩි මග සැලකිල්ලට ගැනීම)
බුදු,පසේ බුදු, මහරහතන් වහන්සේලා ලෞකික සැප සම්පත් අතහැර දමා නිවන් සැප පසක් කර ගත් අයුරු උන්වහන්සේලාගේ චරිත හදාරන විට පැහැදිලි වෙයි. ඒ අනුව කටයුතු කරන විට සිව්මග නුවණින් නිවන් අවබෝධ කර ගැනීමේ වීර්ය ඇති වෙයි.

4.පිණ්ඩපාත පච්චවෙක්ඛණතා (පිණ්ඩපාතයට ප්‍රති පූජා කිරීම)
තමන්ට සිව්පසයෙන් සලකන ලද සැලකිලි කරන පුද්ගලයින් එසේ කරන්නේ ඇයි දැයි මෙනෙහි කරන භික්ෂුව තුළ ඔවුන්ට ප්‍රතිපූජා කළ හැක්කේ තමන් නිවන් පසක් කර ගැනීමෙනැයි යන වීර්යය ඇති වෙයි.

5.දායජ්ජ මහන්ත පච්චවෙක්ඛණතා (දායාද මනත්වය ප්‍රත්‍යවේක්ෂා කරන බව)
දෙමාපියන්ගෙන් දරුවන්ට ලැබෙන ඉඩකඩම්, වතුපිටි, ගේදොර ආදි ලෞකික සම්පත් ද දායාද නමින් සැලකේ. එහෙත් මෙහිලා දායාද නමින් සැලකෙන්නේ එවැනි ලෞකික සම්පත් නොවේ. තෙරුවන් සරණ යන බෞද්ධයා සප්තාර්ය ධනය දායාද කොට ඇත්තෙකි. ඒ ශ්‍රද්ධා, ශීල, හිරි, ඔත්තප්පිය, ශ්‍රැත ,ත්‍යාග, ප්‍රඥා යන සප්තාර්ය ධනයයි. තමාට බුදු පසේ බුදු , මහරහත් පරපුරෙන් ලැබිය හැකි ඒ උතුම් දායාද ගැන සිතන්නෙකුට ඒවා තම උත්සාහයෙන්ම ලැබිය යුතු බව වැටහෙන විට වීර්ය සම්බොජ්ඣංගය උපදවා ගෙන නිවන පසක් කරගත හැකිය.

6.සත්ථු මහන්ත පච්චවෙක්ඛණතා (ශාස්තෘවරයාගේ නුවණින් කරන ශ්‍රේෂ්ඨත්වය මෙනෙහි කරන බවය)
බුදුවරයෙකුගේ පහළ වීම, මිනිසත් බව ලැබීම, සද්ධර්ම ශ්‍රවණය, ආදි දුර්ලභ කරුණු සැලකීමෙන්ද, බුදුරදුන්ගේ චරිතය, දහම් හැදෑරීමෙන්ද බුදු ගුණ සිහිකිරීමෙන්ද ආදී වශයෙන් ශාස්තෘවරයාගේ ශ්‍රේෂ්ඨත්වය මෙනෙහි කිරීමෙන් මෙබඳු සමයක උපන් මා උදාසීන නොවී වීර්ය වැඩිය යුතු යැයි විරිය සම්බොජ්ඣංගය උපදවා ගෙන නිවන් අවබෝධ කර ගනී.

7.ජාති මහන්ත පච්චවෙක්ඛණතා (ජාති මහත්වය නුවණින් මෙනෙහි කරන බවය)
බුදුරජුන් සරණ ගිය තැන් පටන් මම දැන් හීන ජාතිකයෙකු නොවෙමි. මහා සම්මත රාජ පරම්පරාවේ ඔක්කාක රාජවංශයට අයත් වූවෙක්මි. සුදොවුන් මහරජුන්ගේත්, මහාමායා දේවියගේත්, මුණුපුරෙක්මි,යි එබඳු වූ මා කුසීතයෙකු කම්මැලියකු සේ කල් යැවීම සුදුසු නොවේ.’ යනාදී වශයෙන් ජාති මහත්වය නුවණින් මෙනෙහි කරමින් මා සම්බොඣංගය වඩා නිවන් අවබෝධ කර ගනී..

8 සබ්‍රහ්මචාරි මහන්ත පච්චවෙක්ඛණතා (සබ්‍රහ්මචාරි මහත්වය නුවණින් මෙනෙහි කරන බවය)
‘සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාත්, අසූ මහ සව් මහරහතන් වහන්සේලා ඇතුළු මහරහතන් වහන්සේලාත් සිව්වැදෑරුම් වීර්ය වඩාගෙන ලොව්තුරු දහම අවබෝධකර ගත්හ. සබ්‍රහ්මචාරි වූ මම ද උන්වහන්සේලා වැඩි මග අනුගමනය කරන්නේද? “ඒ අයුරින් සබ්‍රමචාරි මහත්වය නුවණින් මෙනෙහි කරන යෝගාවචරයා විරිය සම්බොජ්ඣංගය වඩා නිවන් පසක් කර ගනී.

9.කුසීත පුද්ගල පරිවජ්ජනතා (කම්මැලි කුසීත පුද්ගලයන් දුරු කරන බව)
කුසීත පුද්ගලයෝ අගාරික, අනගාරික වශයෙන් කොටස් දෙකකි. ඒ අය ගොදුරු ගිල කුස පුරවාගෙන සිටින පිඹුරන් මෙනි. එවැනි කායික, මානසික අකර්මණ්‍ය පුද්ගලයන් ඇසුරු නොකළ යුතුය.
ගිහියකු වශයෙන් තමන්ගේ වගකීම් ඉටු නොකර ඈලි මෑලි දුබල ගතියෙන් යුතුව, වාසනාව ඇතොත් හැම දෙයක්ම ඉටු වෙතැ’යි කියමින් කල් මරන පුද්ගලයා අගාරික කුසීත පුද්ගල ගණයට වැටේ. අනගාරික කුසීත පුද්ගල ගණයට වැටෙන්නේ, පසිඳුරන් පිනවමින්, ජීවත්වන, අහාරයෙහි පමණ නොදන්නා ඉන්ද්‍රීය සංවරයක් නැති, බණ භාවනා වත් පිළිවෙත් නොකරන පැවිදි පිරිසය. අගාරික වුත් අනගාරකි වූත් ඒ කුසීත පුද්ගලයින් ඇසුරු නොකොට, වීරිය සම්පන්න පුද්ගලයින්, ඇසුරු කරමින් යෝගාවචරයා විරිය සම්බොජ්ඣංගය උපදවා ගත යුතුය.

10.ආරද්ධ විරිය පුග්ගල සේවනතා (ආරබ්ධ වීර්යයෙන් යුතු පුද්ගලයා සේවනය කරන බව)
පටන් ගත් වීර්යය ඇති ආරම්භ කළ කටයුතු නිමාවන තෙක් අතරමඟ නතර නොකොට අවසාන ප්‍රතිඵලය ලැබෙන තුරු ක්‍රියා කරන වීර්යවන්ත පුද්ගලයන් ඇසුරු කරමින් විරිය සම්බොජ්ඣංගය උපදවාගෙන නිවන් පසක් කරගත යුතුය.

11.තදධිමුත්තතාව
සිව් ඉරියව්වේදීම විරිය සම්බොජ්ඣංගය කෙරෙහි ඇලී ගැලී වාසය කිරීම මෙහිලා තදධිමුත්තාව ලෙස සැලකෙයි





ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
අධිකරණ නායක ධුරන්දර 
ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති 
මකුලෑවේ විමල නාහිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ඔක්තෝබර් 15 වන සෙනසුරාදා  දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment