Labels

Thursday, November 24, 2016

සසර අපාගතනොවන්නෝ

අකටයුතුකම්වල යෙදෙන උදවිය සාංසාරික වශයෙන් නිරයේ හා තිරිසන් ආත්මවල උප්පත්තිය ලබමින් දුක් විඳීමට හේතු වෙනවා වගේම සමාජයේ මෙලොව වශයෙන් ගර්හාවට මෙන්ම අවිශ්වාස කටයුතු අයකු බවටත් පත් වී දෙලොවටම අවැඩ සාදා ගන්නවා.
සත්ත්වයා සසර බැඳ තබන ප්‍රධානතම බලය හා ශක්තිය හිමි වී ඇති කර්මය’යි කියනවිට එය සියයට සියයක්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට එකඟ වෙනවා. මෙහිදී චේතනාත්මක කර්මය’යි අප විසින් අදහස් කර තිබෙන්නේ. මේ කරුණ වැඩිදුරටත් පෙළෙහි පෙන්වා දෙන්නේ “චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති, කායෙන වාචාය මනසා” මෙයින් පැහැදිලි කර දී තිබෙන්නේ, කර්මය කියලා කියන්නේ චේතනාව” යන අදහසයි. යමක් සිතිවිලි වශයෙන් සිතූ පමණටම එය කර්මයක් විය හැකි බව ඒ විදියෙන් ගත්තහම ඒ කියන කර්ම රැස් කරන ප්‍රධානම මාර්ග තුනක් වෙනවා.

එය තමා කය හෙවත් ශරීරය, වචනය හා මනස කියන මේ මාර්ග තුන එයින් ම කියැවෙනවා. මනසට කර්ම රැස් කිරීමේ හැකියාව පවතින බව. එනම්, කිසිම පෙනෙන යමක් නොකර සිතීමෙන් පවා කර්ම රැස්වෙන බව. මේ නිසා අපට මේ මනස පරිස්සම් කර ගැනීමට මහත් වෙහෙසක් දරන්නට අවශ්‍ය වෙනවා. මොකද? කය, වචනය යන මාර්ග දෙකම විවෘතයි. නැත්නම් කායික ක්‍රියාවක් ලෙස පෙනෙනවා. වාචසික ක්‍රියාවක් නම් ඇසෙනවා. එහෙම වුණත් මේ කියන මානසික ක්‍රිියා පෙනෙන්ට නැහැ. ඒ නිසාම අපේ රැස්වෙන කර්ම ගැන අප වඩ වඩාත් පරෙස්සම් සහගතව ක්‍රියා කළ යුතු වෙනවා.

අපේ බුදුරජාණන් වහන්සේ “අපායසංවත්තනික” නමින් සූත්‍ර දේශනාවක් කර තිබෙනවා. සැවැත්නුවර වැඩවාසය කරන අවස්ථාවක යි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා මේ දේශනාව කර තිබෙන්නේ. එහිදී උන්වහන්සේ සත්ත්වයා දුගති අවස්ථාවන්ට පත්වීමට හේතුවන කායික හා වාචසික අකුසල හේතුවන ආකාරය කරුණු අටක් යටතේ පෙන්වා දී තිබෙනවා. මේ ලෝකයේ සත්ත්වයා කර්ම විපාක විඳින ආකාරය විවිධයි. දුක් සහිතවත්, සැප සිහිතවත් සත්ත්වයා මේ කර්ම විපාක භුක්ති විඳිනවා. මෙහිදී අප විසින් ඉලක්ක කර ගන්නේ මේ මිනිසත් බව ලබා ජීවත්වන අප වැනි මනුෂ්‍ය සත්ත්ව ප්‍රජාව පිළිබඳවයි. මෙම විපාක භුක්ති විඳීමේදී ගිහි, පැවිදි, දිව්‍ය, මනුෂ්‍ය හැම සත්ත්ව කොට්ඨාශයකටම මේ කර්ම විපාක එකම ආකාරයෙන් බලපාන බව අප පැහැදිලිව තේරුම් ගතයුතු වෙනවා.

කයින් කෙරෙන පළමුවන අකුසලය ලෙස පැහැදිලි කෙරෙන ප්‍රාණහිංසාව හෙවත් සත්ත්ව ඝාතනය දක්වා ඇති සියලුම සත්ත්ව හිංසක ක්‍රියාවලිය මෙයට ඇතුළත් වෙනවා. මෙයින් අනිවාර්යෙන්ම ලැබිය හැකි ඵල විපාකය බුදුදහමේ පෙන්වා දී තිබෙනවා. අඩු ආයුෂ ඇති අය බවට පත්වීමට ඉඩකඩ ඇති බව, දැන් අප ජීවත්වන මේ මිනිස් සමාජය පමණක් ගත්විට ඇතැම් දරුවන් උපතේමදීම, මවුකුසේදීම ඉපදිලා සුළු කාල සීමාවක් තුළ දින කිහිපයකින් , වයස අවුරුදු හත , අට, දහය, දොළහ වැනි වයස් සීමාවේදී එසේත් නොමැති නම් කෙටි ජීවන කාලයක් තුළ මිය යන ආකාරය අප කොතෙකුත් අත්විඳ ඇති බව මෙහිදී සිහිපත් කර ගැනීම වටිනවා. ඒ වගේම ප්‍රේතාත්ම භවයක් ලැබීමටත් මේ අකුසල හේතු වෙන බව අප අමතක කළ යුතු නැහැ.
දෙවනුව අපේ කයින් කෙරෙන ප්‍රබල අකුසල සහගත ක්‍රියාව වන්නේ අන්සතු දෙය හෙවත් නොදුන් දෙය සොර සිතින් ගැනීමයි. මෙයට විපාක වශයෙන් පෙන්වා දී තිබෙන්නේ තමන්ට කිසිඳු ලැබීමක් නොමැතිව ජීවත් වීමට සිදු වීමයි. ඊටත් වඩා තමන් බොහොම වෙහෙස මහන්සි වී හරිහම්බ කර ගන්නා දේ පවා නොරඳා සිටින ස්වභාවය අප කොතෙකුත් අත් විඳලා තිබෙනවා. සමහර අපේ සමාජයේ ජීවත්වන අයම අපත් සමඟ මේ කාරණය මේ විදියටම පවසනවා” අනේ මං කොපමණ හමබ් කළත් පලක් නැහැ. ඒ හැම එකක්ම සිතන්ටවත් බැරි විදියට විනාශ වෙනවා. නැති වෙනවා” මේ විදියට ඔබ, අප අසා තිබෙනවා නේද? කිසියම් ඉපයීමක් කළත් සියල්ල තමා සතුව සැප විපාක විඳීමට තරම් නොරඳන ස්වරූපය මෙයින් අදහස් වෙනවා. ඒ විතරක් නොවේ තමන් ඉපයීමට ගන්නා උත්සාහයේ තරම දිහා බැලුවහම ඒ උත්සාහය ගන්නා අනිත් කෙනෙකුට වඩා අඩුවෙන් තමන්ට ලැබෙන බවත් අප කථා කරනවා. මෙහි රහස තමන් විවිධ භවයන්හිදී අන්සතු දෙය පැහැරගෙන චේතනාත්මකවම සොරකම් කිරීම කියන මේ අකුසලය සිදු කිරීමෙන් ලබන විපාකයක් බව අප සිහියට ගතයුතු වෙනවා. ඒ වගේම තමා මෙහි විපාක වශයෙන් තිරිසන්ගත සතුන් බවට පත්වීම, ප්‍රේතාත්ම භවයන් උරුමවීම වැනි විපාකත් එම සිදු කරන ලද කර්මයේ බලපෑම අනුව තීරණය වෙනවා.
මීළඟට වර්තමාන සමාජයේ බහුලව අද දවසේ අප දකින කම්සැප වැරැදි විදියට භුක්ති විඳීමේ අකුසලය සඳහන් වෙනවා. එනම් කාමමිථ්‍යාචාරයයි. මෙවැනි ක්‍රියාවන්හි යෙදීමත් මහත් වූ විපාක ලෙස දීමට සමත් වෙනවා. ඒ අනුව නිරයෙහි උපතට හේතු වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයාට සතුරන් බහුල වෙනවා. ඒ විතරක් නොවෙයි සමාජයේ ජීවත් වනවිට අනිකුත් උදවිය නිරන්තරයෙන් තමන් ගැරහුමට ලක් කරමින් තමන්ට නොයෙක් ආකාරයෙන් සිතන්නට බැරි තරම් එදිරිවාදිකම් කරනවා. ඇයි? මට මෙහෙම කරන්නේ කියා සිතෙන තරමට මේ විරුද්ධකම් ක්‍රියාත්මක වෙනවා. සමාජයේ දෝෂ දර්ශනයට තමා පත් වෙනවා. පවුල් අවුල් වෙනවා. අඹුදරුවන් අසහනයට පත් වෙනවා. මේ කරුණත් අපේ සමාජයේ අප හොඳින්ම අත්විඳින කරුණක්.
මිනිසාගේ මුඛය හෙවත් අප භාවිත කරන මේ කට නිසා සිදුවන අවැඩ අනර්ථ පහක්ම සිදු වෙනවා. “පුරිසස්ස හි ජාතස්ස කූඨාරි ජාතෙ මුඛෙ” යනුවෙන් ධර්මයෙහි සඳහන් වෙනවා. “ මේ කට හරියට කියනවා නම් දෙපැත්ත කැපෙන කෙටේරියකට උපමා කර තිබෙනවා. කටට ඒ තරම් හානිකර වූ විවිධ දේ කරන්නට පුළුවන්. කෙටේරිය දෙපැත්තටම කැපෙනවා. කටත් එහෙමයි. විවිධ පැතිවලට හැරි හැරී මිනිසා පවසන ඇතැම් වචන හොඳට වගේම භයානක අවියක් වශයෙනුත් පාවිච්චි කරලා පුද්ගලයෙක් පමණක් නොවෙයි රටක් ජාතියක් වුවත් විනාශයට ඇඳ දමන්ට පුළුවන්. මෙයින් බොරු කීම හෙවත් මුසාව යන්න ගත්විට එයින් අදහස් කරන්නේ බොරුවක් කිය ලා හෝ අඟවලා තවත් අයකු හෝ පිරිසක් මුළාවට පත් කිරීමයි. ඒ මගින් තමන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමයි. බොරු කියන පුද්ගලයාට කරන්නට බැරි අපරාධයක් නැහැ කියලත් ධර්මයෙහි සඳහන් වෙනවා. එතරම්ම මේ බොරුව බරපතල’යි යන අදහස’යි එයින් කියැවෙන්නේ. එමෙන්ම ධර්මයට අනුව මෙහි විපාක සොයා බැලුවොත් අපායෙහි ඉපිද දුක් විඳීමට හේතුවන , ප්‍රේතාත්මභාවයන් ලැබීමට හේතුවන අකුසලයක් ලෙසයි ප්‍රකාශවන්නේ. ඒ විතරකුත් නොවෙයි බොරු තෙපලන පුද්ගලයා මොලොවදීම සමාජයේ පිළිකුලට භාජන වෙනවා වගේම සමාජයේ අභූත චෝදනාවන්ට ලක්වී දඬුවම් විඳීමට පවා හේතු වන්නට පුළුවන්කම තිබෙනවා. වෙනත් අය විසින් කරනු ලබන වැරැදි ක්‍රියාවන් තමන් කළ බවට ඔප්පු වී තමා පිට නිරපරාදේ වරද පැටවෙනවා. එයින් නොයෙක් දුක් විපත් කරදරවලට මුහුණ පානවා.
පිසුණු වචන භාවිතය ද මෙවැනිම පරලොව අපායන්හි උපත ලැබීමට හේතු වෙනවා සේම ප්‍රේතාත්මභාවයන්හි උපත ලැබීමටත් හේතු වෙනවා. ඒ වගේම තමන්ට මිතුරු සම්පත්තිය අහිමි වෙනවා. තමන්ට ඇති වෙන මිත්‍රයෝ බොහෝ ඉක්මනින් තමන් කෙරෙන් බිඳී වෙන්ව යනවා. මෙවැනි තත්වයන් පිළිබඳ සමාජයෙන් අපට නිදසුන් කොපමණවත් සපයා ගැනීමට පුළුවන්කම තිබෙනවා.
රළු හෙවත් පරුෂ වචන භාවිතය ද අපේ සමාජයේ සුලබ දෙයකි. රළු වචන නිසා එය අහන අයගේ සිත රිදෙනවා. මහත් වූ දොම්නසට පත් වෙනවා. සැර පරුෂ වචන කථා කරන්නා අපේක්ෂා කරන්නේ ඒ වචන එල්ල කරනු ලබන තැනැත්තා දුකට දොම්නසට හා වේදනාවට පත් කර එයින් සතුටක් භුක්ති විඳීමටයි. එය සැබවින්ම තාවකාලික සතුටකි. ඊළඟ මෙහොතේ සිට තමන්ට පසු තැවෙන්නට සිදු වෙනවා. එය අපායගාමී වීමටත් තිරිසන් ගත ආත්මභාවයන් ලැබීමටත් හේතුවන බලවත් අකුසලයක්, ඒ විතරක් නොවෙයි තමන්ට ද යන යන තැන අහන්ට ලැබෙන්නේ අන් අයගෙන් එල්ල වන රළුපරුෂ වචනයි. තමන්ට ප්‍රිය මනාප වචන අසා සැනසිල්ලේ ජීවත්වන්නට පුළුවන් තත්ත්වයක් ඔහුට පරලොව වශයෙන්ද ලැබෙන්නේ නැහැ. සමාජයේ බොහෝ දෙනා තමන්ගේ සිතට ප්‍රිය වචන තමන් සමඟ කථා නොකරන තත්ත්වයක් ඇති වෙනවා. මෙලොව වශයෙනුත් තමන් නොයෙක් පරිහානිකර තත්වයන්ට මුහුණ දෙනවා
හිස් වචන කථා කිරීම ද මුඛයෙන් සිදුවන තවත් අකුසලයක්. අවැඩක්., හිස් වචන කථා කරන උදවිය මරණින් මතු තිරිසන් ගත ජීවිත ගතකරන්ට වගේම ප්‍රේතාත්මභාවයන් ලැබීමට ඇති ඉඩ වැඩියි. හිස් වචන සමාජයේ කිසිවෙකු විසින් විශ්වාස නොකරන තත්ත්වයකට තමා පත් වෙනවා. එය සමාජයේ ජීවත් වන අයකුට හරිම අවාසි සහගත තත්ත්වයක් . මොකද? එයින් සමාජයේ තමන්ට සාමාජිකයෙකු වශයෙන් කිසිවක් කරකියා ගන්නට බැරිව යනවා. තමන් හිස් අයෙකු ලෙස’යි තමා දෙස සමාජයේ අනෙකුත් අය බලන්නේ. එය ගිහි ජීවිත ගත කරන අයගේ අඹු දරුවන්ට පවා අහිතකර වෙනවා.

මිනිසාගේ කට නිසා, දිව නිසා සිදුවන තවත් අකුසල ක්‍රියාවක් නම් රහමෙර පානයයි. සාමාන්‍යයෙන් වචනයෙන් සිදුවන අකුසල හතරක් ලෙස අප ධර්මයෙහි දැක තිබුණත් මෙම සූත්‍රයේ දී කට නිසා සිදුවන්නට පුළුවන් අවැඩ පිළිබඳ සඳහන් කරුණු දැක්වීමේදී අවසාන කාරණය ලෙස මෙය ඉදිරිපත් වෙනවා. මෙම රහමෙර පානය කී විට අද අප කථා කරන මත්පෙති, මත්ද්‍රව්‍ය, මත්කුඩු, මත්වතුර යන සියලුම ක්‍රම මගින් ඇති කරන මත් ගතිය මෙහිදී අදහස් වෙනවා. මේ නිසා අද වර්තමානයේ සිදුවී ඇති මහා ව්‍යසනය මිනිසාගේ ශාරීරික බරපතල රෝගකාරක තත්ත්වයක් ඇති කරනවා පමණක් නොව ගෘහ ජීවිතය කාබාසිීනියා කොට පවුල් අවුල්වී ජාතික වශයෙනුත් මහා ව්‍යසනකාරී තත්ත්වයක් ඇති කරනවා. මෙවැනි අකටයුතුකම්වල යෙදෙන උදවිය සාංසාරික වශයෙන් නිරයේ හා තිරිසන් ආත්මවල උප්පත්තිය ලබමින් දුක් විඳීමට හේතු වෙනවා වගේම සමාජයේ මෙලොව වශයෙන් ගර්හාවට මෙන්ම අවිශ්වාස කටයුතු අයකු බවටත් පත් වී දෙලොවටම අවැඩ සාදා ගන්නවා.







වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති 
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ නොවැම්බර් 14 වන සඳුදා දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment