Labels

Tuesday, November 29, 2016

ජීවිතය සැපවත් කරන අරපිරිමැස්ම

"රජය ඇතැම් සම්පත් ජනතාවට ලබා දෙන්නේ ලාභයට වඩා සේවාවක් වශයෙනි. විදුලිය, ජලය, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි පහසුකම් සැලසීමේදී රජය ක්‍රියා කරන්නේ සුබසාධකයකු වශයෙනි. "
පින්වත්නි බුදුන්වහන්සේ දේශනා කළ ධර්ම දේශනා අතර ලෞකික ජීවිතයෙහි සාර්ථකත්වය උදෙසා වදාළ එක් මාතෘකාවක් නම් අරපිරිමැස්මයි. මෙය බෞද්ධ සම්ප්‍රදායෙහි ඉතා ඉහළින් අගැයීමට ලක්වූවක් බව බෞද්ධ සාහිත්‍ය පරිශීලනය කිරීමෙන් මැනවින් ප්‍රකට වෙයි. අධිපරිභෝජනවාදී හා තරගකාරී ආර්ථික ක්‍රමයක් තුළට තල්ලු වී ගොස් සිටින ලෝකවාසීන් අරපිරිමැස්මෙන් තොරව යන ගමන කොතැනින් නිමාවේදැයි සිතා ගැනීමට පවා බැරි තරම් ය. බුදුන් වහන්සේ තම ශ්‍රාවකයින්ට යථාලාභ සන්තුෂ්ටිය අදාළ කරගත් අල්පේච්ඡ ජීවිතයක් නිර්දේශ කරන අතර එවැනි බෞද්ධ ජීවන ක්‍රමයක් මත මිනිසා පමණක් නොව ගහකොළ, සතා සීපාවා මෙන්ම ජලය, භූමිය වැනි පරිසර සාධක ද නොනැසී ආරක්ෂා වෙයි.

විශේෂයෙන් ම අරපිරිමැස්ම පිළිබඳ බුදුන් වහන්සේ තම භික්ෂු ශ්‍රාවකයින්ට වදාළ කරුණු අතිශයින් ම වැදගත් වේ. මේ පිළිබඳ සුවිශේෂ සිදුවීම් රැසක් බෞද්ධ සාහිත්‍යයේ ද නො අඩුව දක්නට ලැබේ. එයින් එක් අවස්ථාවක් නම් භික්ෂූන් වහන්සේගේ සිවුර සම්බන්ධයෙන් බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ හා කොසොල් මහ රජතුමා අතර ඇතිවන සංවාදය. මෙකී කතා පුවත ධම්මපදට්ඨ කතාවේ පහත පරිදි සඳහන්ව ඇත.
යම් සේ දුර්වර්ණ වී ගිය සිවුරක් වූ විට එහි සිදුරු ආදි තැන් ඇත්නම් ඒවා වසාගෙන පොරවයි. එසේ පෙරවීමට අපහසු වූයේ නම් එයින් අඳනයක් සකස් කොට පරිහරණය කරයි. එයද පරිහරණය කොට වැරහැළි වූයේ නම් ඇතිරිල්ලක් කොට භාවිත කරයි. මේ ආකාරයෙන් පිළිවෙලින් පාපිස්නාවක් බවට ද කඩමාල්ලක් වූ විට ආවාස ගෙවල් වරිච්චි බැඳීම සඳහා ලනු වශයෙන් යොදා ගන්නා බව පෙන්වා දුන් සේක. මේ අනුව භික්ෂූන් වහන්සේ කිසිම විටෙකවත් සිවුරු පිරිකර අනවශ්‍ය ලෙස පරිහරණය නොකරන බවත් තම දායක දායිකාවන්ට පින් සිදුවන ආකාරයෙන් පුළුවන් හැකි අයුරින් පරිහරණය කරන බවත් පෙන්වා දුන්හ.
ඉහතින් පෙන්වා දුන්නේ සිවුරු පරිහරණය කිරීමේ පිළිවෙතයි. එමඟින් බෞද්ධ චර්යාවෙහි නියුක්ත වූවන්ගේ අරපිරිමැස්ම ඉතා මැනවින් ප්‍රකාශිතය. භික්ෂූන් වහන්සේ උදෙසා දේශනා කළ වතාවත්හි අරපිරිමැස්මේ ගුණාංගය පිළිබඳව ඉතා මැනවින් කරුණු අඩංගු බව විනය පිටකයේ චුල්ලවග්ගපාලියේ හා තදාශි‍්‍රත විනය ග්‍රන්ථවල සඳහන් වේ.
එ පමණක් නොව භික්ෂූ ජීවිතයේ වැදගත් වන බොහෝ සාධක, ගුණාංග රැසක් බුදුන් වහන්සේ නොයෙක් වර දේශනා කර ඇත. ඉන් තවත් එක් කරුණක් වන්නේ ආහාර පරිභෝජනය පිළිබඳ බුදුහිමියන් භික්ෂූන් වහන්සේ උදෙසා ලබා දුන් උපදේශ රැසයි. භික්ෂූ ජීවිතයක් සාර්ථක කර ගැනීම උදෙසා බෙහෙවින්ම බලපාන කරුණක් ලෙස ආහාරය පෙන්වාදී ඇත. ආහාර අනුභවය වැඩි වූ කල මහත් අසහනයට පත්වේ. වේදනාවට පත් වේ. ආහාරයෙන් තොරව ද ජීවත් විය නොහැකිය. බුදුන් වහන්සේ ආහාරය ප්‍රමුඛ කොට දක්වා ඇත්තේ කිසිවෙකුට ආහාර අනුභවයෙන් තොරව දිගු කලක් ජීවත් විය නොහැකි නිසාවෙනි. එනමුදු ආහාරයම යමෙකුගේ ජීවිතයට අලසකම, කම්මැලිකම, කුසීතකම වර්ධනය කිරීමට බලපෑ හැකිය. ඒ නිසා භික්ෂූන් වහන්සේ ආහාරයෙහි පමණ දැන ගත යුතු බව උන්වහන්සේ දේශනා කර ඇත. ඒ නිසා යම් විටෙක පිණ්ඩපාතයේ දී ආහාර පමණට වැඩි බව තමන්ට හැඟී යන්නේ නම් පිණ්ඩපාතය ප්‍රතික්ෂේප කරන ලෙස වදාරා ඇත. එය භික්ෂු විනයෙහි ද දක්නට ලැබේ.
බුදුන් වහන්සේගේ ධර්ම දේශනාවන් අදාළ වන්නේ භික්ෂුවට පමණක් නොවේ. උන්වහන්සේ සරණ ගිය සියලු බෞද්ධ ජනතාවම උන්වහන්සේගේ දේශනාවන් අනුව තම ජීවිතය සාර්ථක කර ගනු වස් වෙහෙසිය යුතු වන්නේ ය. එහිදී උන්වහන්සේගේ උපදේශය නම් ‘නාස්තිය’ දුරු කළ යුතු බවයි. ආලෝප (කෑම කටවල්) හතරක් පහක් තවදුරටත් කෑමට තිබියදී පැන් පානය කළ යුතු බවත් බ්‍රහ්මචර්යාවෙහි උත්සුකවන්නා වූ භික්ෂුවට එය පහසු විහරණය සඳහා හේතුවන බවත් ය. ආහාර ගැනීම එපාවන තුරු ආහාරයෙන් කුස පුරවා ගැනීම බෞද්ධ සාරධර්මය නොවන බව මින් ප්‍රකාශ වේ.
ගිහි පිරිස් දිනකට ආහාරවේල් තුනක් ගනිති. ඒවායේ කාල පරාසය පැය හයක් හතක් පමණ වේ. එක් වේලකදී ඇතිවන අඩුපාඩු පියවා ගැනීමට දිගු කාලයක් බලා සිටීමට සිදු නොවන බව ඒ අනුව පෙනේ. ආහාරගන්නා ඒ ඒ වේල්වලදී මදි නොකියා තිබෙන ප්‍රමාණය ඇති තරම් නොවෙතත් බෙදා හදාගෙන අනුභව කිරීම බෞද්ධ සාරධර්මයක් බව සිතට ගත යුතු ය. බෞද්ධ සම්ප්‍රදායයේ නාස්තිය අවම කිරීම හා අරපිරිමැස්ම පිළිබඳ සංකල්පය ජනතාව තුළ ඇගයීමට ලක් වූ කරුණු බව සනාථ කෙරෙන ජනකතා රාශියකින් ද අපේ ජන සාහිත්‍ය පෝෂණය වී ඇත. ඉන් එකකි පහත දැක්වෙන්නේ.
එක්තරා ගමරාළ කෙනෙක් තම පුත්‍රයාට බිරියක් සරණ පාවා දීමේ දී යුවතියක් පරීක්ෂණයකට භාජනය කළේ ය. නිවසේ ආහාර පිසු බඳුන් හා වළං ගඟට ගොස් සේදීමට සැළැස්වීම මෙකී පරීක්ෂණයයි. බොහෝ විට තරුණිය කරන්නේ ගඟෙන් එක් එක් වළඳට හෝ භාජනයට වෙන වෙනම වතුර ගෙන ඒවා සේදීමය. මෙවන් වූ තරුණියන් වැඩිහිටි පාර්ශ්වය මගින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ගමරාළ ද ඇය ප්‍රතික්ෂේප කළේ ය. එක් බඳුනකට ජලය ගෙන එය අරපරෙස්සමෙන් යුතුව වළං සියල්ලම සෝදන තරුණිය කෙරෙහි වැඩිහිටියෝ ප්‍රශංසා සහගතව කැමැත්ත පළ කරති. එවන් වූ තරුණියන් තම පුතුන්ට සරණ පාවා දීමට කැමති වන්නේ. ගමරාළ ද එවන් දියණියක් තම පුතා වෙනුවෙන් කරකාර බැඳ දුන්නේ ය. තම ලේලිය බවට පත් කර ගත්තේ ය. මෙවන් කතා රැසක් අපේ ජනකතා අතර ඇත.
මෙවන් කතා ප්‍රවෘත්ති මඟින් පෙන්වා දීමට යෙදෙන්නේ අරපිරිමැස්මේ ඇති වැදගත්කමයි. රජය ඇතැම් සම්පත් ජනතාවට ලබා දෙන්නේ ලාභයට වඩා සේවාවක් වශයෙනි. විදුලිය, ජලය, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි පහසුකම් සැලසීමේදී රජය ක්‍රියාකරන්නේ සුබසාධකයකු වශයෙනි. රජය අඩු ආදායම්ලාභීන් වෙත සලසන මෙම සේවා පොදුවේ සැපයීම නිසා වැඩි ආදායම් ලබන්නන්ට ද ඉන් ප්‍රතිලාභ නො අඩුව ලැබේ. වැඩි ආදායම්ලාභීන්ගේ ආදායම්වලට සාපේක්ෂකව සලකන විට ඔවුන්ට එම ප්‍රතිලාභ සඳහා වැයවන්නේ ඉතා පහසුවෙන් දරාගත හැකි වියදමකි. එම නිසා ලාභයට ලැබෙන මේ පහසුකම් නාස්තිකාරී ලෙස අරපිරිමැස්සෙන් තොරව පරිහරණය කිරීම ඒවාට සැබෑ හිමිකම් ඇති අඩු ආදායම්ලාභීන්ට කරන එදිරිවාදිකමක් වැනිය. නාස්තිය නිසා රජයකට එම පහසුකම් සැලසීමේ අපහසුතා ඇතිවන්නේ නම් ඉන් පීඩාවට පත්වන්නේද අඩු ආදායම්ලාභී පිරිස්වීම ඊට හේතුවයි.
පොදු දේපල පරිහරණයේ දී භික්ෂුවක් ඉතා සැලකිලිමත් විය යුතු බව භික්ෂු විනයෙහි (චුල්ලවග්ගපාලියේ වත්තක්ඛන්ධකයේ විශේෂයෙන්ම) දක්වා තිබේ. අතීතයේ ගම්වල පැවැති ආවාස ගමින් ගම සැරිසරණ භික්ෂූන් වහන්සේලාගේ තාවකාලික වාසස්ථාන විය. එසේ පැමිණෙන භික්ෂූන් එම ආවාසවල රැඳී සිට පෙරළා යාමේ දී ආවාසය කළින් පැවති පියවි තත්ත්වයෙන් තබායාමට වගබලාගත යුතු බව එහිදී පෙන්වා දෙන වැදගත් කරුණකි. මෙයින් පෙනී යන්නේ පොදු වස්තු පරිහරණයේදී ඒවා පොදු අයිතියට හිමිවන බව දැන ප්‍රවේශමෙන් ක්‍රියාකළ යුතු බවයි.


බිබිල, යල්කුඹුර, 
ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ
පදියතලාවේ ඤාණවිමල හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ ඉල් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ නොවැම්බර් 28 වන සඳුදා දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment