ශ්‍රී ලංකාවේ ජීවිත අර්බුදවලින් පෙළෙන බොහෝ අය විසඳුම් සොයමින් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ හෝ දේවාලවල පිහිට පතන බව අපි දනිමු. මුහුණපෑමට සිදුවී තිබෙන අර්බුදය විසඳා ගැනීමට මඟක් සොයමින් කරනු ලබන මෙබඳු පිහිට පැතීම් හරි හෝ වැරැදි යැයි කීමට අපි ඉක්මන් නොවෙමු. ඊට හේතුව මේවායේ ඇත්ත නැත්ත සෙවීමට කරන ලද විධිමත් ගවේෂණයක විශ්වසනීය ප්‍රතිඵලයක් මෙම ශාස්ත්‍ර සමඟ වර්ෂ සිය දහස් ගණනක් ජීවත් වූ අපට මෙතෙක් ලැබී නොමැති හෙයිනි. අනෙක් අතින් මේවා අපගේ සංස්කෘතිය හා බැඳුණු අභිචාර විධි වන අතර තවත් අතකින් එහි මනෝ උපදේශනාත්මක වටිනාකම් ද ගැබ්වී ඇත.
කෙසේ වුවත් මෙබඳු ගුප්ත ශාස්ත්‍ර පසුපස යන්නන් හදවතේ දරා සිටින, ඔවුන්ගේ නිබඳ කතා බහට ලක්වන බරපතලම වචනය වන්නේ අපල නිසා යන්නයි. මෙම වචනය වේදනාකාරීය. මනස වෙහෙසවන්නකි. අසන්නාට විශ්වසනීය පදනමක් නැති වචනයකි. ඇතැම් විටෙක අවිද්‍යාවෙන් අවිද්‍යාව කරා යන පදයකි. ඇතැම් විටෙක විසඳුම් සොයා ඉබාගාතේ ඇවිද්දවන වචනයකි. එබැවින් තමාට අපල ඇති බව අසා ඇති අයට ඒ පිළිබඳ දැන ගැනීම වඩා පලදායක වනු ඇත.
අපලයක් යනු කුමක්ද සොයා බලන විට එහි සරලම තේරුම වන්නේ ඵලයක්, ලාභයක් හෝ ලැබීමක් නැති යන්නයි. කුමක් නිසා එසේ වන්නේද? ඡ්‍යොතිෂඥ මත අනුව එසේ වන්නේ උපන් වේලාවේ පවතින ග්‍රහ චක්‍රයේ නරක පිහිටීම් නිසා ය. මේ නිසා ඇතැම් අනුවණයෝ සුබ ග්‍රහ පිහිටීම් පරීක්ෂා කරවාගෙන සුබ මුහුර්තයක් අනුව සැත්කම් මගින් දරුවන් පවා මව්කුසින් එළියට ගන්නා අවස්ථා ද ඇත. එසේ කොට ද ව්‍යසනවලට භාජනය වන මව්පියෝ සහ දරුවෝ බොහෝ වෙති. එසේ නම් නරක ග්‍රහ පිහිටීමක් අපට ලැබෙනුයේ කෙසේද යන ගැටලුව පැන නැගේ. ඊට ඔවුන් විසින් දෙනු ලබන පිළිතුර වන්නේ ඒ අනෙකක් නිසා නොව පූර්ව කර්ම ශක්තිය නිසාය යන්නයි. මේ නිසා ගුප්ත ශාස්ත්‍ර මගින් කෙරෙනුයේ තාක්ෂණික මෙවලම් ලෝකයට නිෂ්පාදනය කරන්නාක් බඳු කාර්යයක් නොව පවතින තත්ත්වයට හේතු පරීක්ෂා කොට එයට කළ හැකි පිළියම් හඳුනා ගැනීමකි. එයට විශ්ව ශක්තිය, ධර්ම නියාමය ඉක්මවා යාමේ හැකියාවක් නැත. එබැවින් ඡ්‍යොතිෂාදී ශාස්ත්‍රයන් පවතින්නේ ආගමික ඉගැන්වීම්වලට වඩා පහළින් බව තේරුම් ගත යුතු ය.
අප අත්දැකීමෙන් දන්නා පරිදි ලාභයක් ඇති වීමට නම් බුද්ධිය හා උත්සාහය යොදා යම් යම් දේ කළ යුතු ය. උත්සාහයක් නොමැතිව ලැබෙන දේ අප සලකනුයේ වාසනාවට ලැබෙන දේ වශයෙනි. එම නිසා මිනිසුන්ට සිතන පතන දේ ලැබීමට නම් ඔවුන් තුළ පැවතිය යුතු ප්‍රධාන කරුණු දෙකක් ඇත. ඉන් පළමුවැන්න ස්වෝත්සාහයෙන් මෙන්ම උපායශීලීව හා ධෛර්යයෙන් වැඩ කිරීමයි. දෙවැන්න වාසනාවයි. ඇතැම්විට මෙම ක්‍රම දෙකම නිෂ්ක්‍රීය වන අවස්ථා ඇත. එබඳු අවස්ථාවල මානසිකව ඇද වැටෙන මිනිස්සු වහා ක්‍රියාත්මක වී ඒ පිළිබඳව බැලීමට තෙවන ඇසක් ලෙස ගුප්ත ශාස්ත්‍රය යොදා ගනිති. මෙය මිනිස් ඉතිහාසයේ ආරම්භයේ සිටම පාහේ දක්නට ලැබෙන්නකි. එසේ බැලීමෙන් ලද ප්‍රතිඵලය නිවැරැදි වූයේ නම්, ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් වශයෙන් භාවිත උපාය සහ ප්‍රතිඵලය අනුව දැනට නොවරදින ගුප්ත විද්‍යාවක පල අප විසින් අත්විඳිය යුතු ය. එහෙත් එවැන්නක් සිදු වන්නේ නැත. යම් ලෙසකින් මෙකී දීර්ඝකාලීන භාවිතය වැරදි වූයේ නම් මිනිසා විසින් එය අත්හළ යුතු ය. එහෙත් එවැන්නක් ද සිදු නොවේ. මේ නිසා ගුප්ත ශාස්ත්‍ර සම්බන්ධ කතන්දරය තවමත් විවාදාපන්න මාතෘකාවකි. ගුප්ත බව නම් එයමැයි.
යම් යම් දේ නොලැබීම සම්බන්ධයෙන් ඡ්‍යොතිෂය හෝ එබඳු වෙනත් ගුප්ත ශාස්ත්‍රවලට පෙනෙන ප්‍රධාන හේතුව ග්‍රහ පිහිටීම හෝ අපලයයි. මෙම දුර්දශාපන්න ග්‍රහ පිහිටීම හෝ අපලය යනු ඔවුන්ගේම විග්‍රහය අනුව කර්ම ශක්තියයි. පෙර කළ කර්මවල බලපෑමයි. ඡ්‍යොතිෂය හා ගුප්ත ශාස්ත්‍ර බුදුදහම හා සම්බන්ධ වන න්‍යෂ්ටිය ඇත්තේ මෙතැනය. එනම් කර්ම ශක්තිය නිසා අපල ඇතිවේ යන්නයි. බුදුදහම අනුව අයහපත් කර්ම කළහොත් අයහපත් ප්‍රතිවිපාක ලැබේ. යහපත් කර්ම කළහොත් යහපත් ප්‍රතිඵල ලැබේ යන්න මූලික ඉගැන්වීමකි. එබැවින් විශ්වය තුළ ධනාත්මක හා සක්‍රිය මිනිසෙකු වීමේ මූලික කරුණ යහපත් කර්ම කිරීම බව බුදුදහමේ විවිධ ක්‍රමවලින් පෙන්වා දී ඇත. තවද මිනිසාට විශ්ව ශක්තිය උරා ගැනීමට ඇති එකම මාර්ගය වන්නේ ජීවත් වන කාලය තුළ සචේතනික, අචේතනික වස්තූන්ගේ වාසභූමිය වන විශ්වය සමඟ යහපත් ගනුදෙනුවක් පවත්වා ගැනීමයි. වෙනත් විධියකින් කිවහොත් ජීවත්වීම යනු ලෝකයේ දෘශ්‍යමාන හෝ අදෘශ්‍යමාන වස්තූන් සමඟ කෙරෙන ගනුදෙනුවකි. එය නිසි පරිදි කිරීමේ හැකියාව ට බුද්ධිය යැයි කියනු ලැබේ. එය බෞද්ධ න්‍යාය ශාස්ත්‍රයේ 'සර්ව ව්‍යවහාරහේතුර්ඥනං බුද්ධිඞ' යනුවෙන් සඳහන් වේ. බුදුදහමේ බුද්ධිමත් මිනිසා අගය කරනුයේත් අපට බුද්ධියක් තිබිය යුතු වන්නේත් මේ නිසා ය.
යන්ත්‍ර, මන්ත්‍ර, බලි, තොවිල් ආදිය කිරීමෙන් මිනිසා බලාපොරොත්තු වන්නේ විශ්වීය ප්‍රපඤ්චය තුළ කලම්බනයක් කොට එමගින් යම් යම් දේ ලබා ගැනීමට ඇති හැකියාව පිරික්සීමයි. මෙය ධර්මමය පැතිකඩකින් බැලුවහොත් එය තමා විසින් පෙර හෝ මේ ආත්මයේ හෝ කරන ලද යම් යම් යහපත් කර්මවලට නියමිත, ඉදිරියේදී එනම් ඊළඟ ආත්මයේ දී ලැබෙන්නට ඇති දෙයක් මේ ආත්මයේ දීම බලයෙන් ඇද ගැනීමට දරණ තැතක් වැනිය. එසේ වූ කල්හි අපි ඊළඟ ආත්මයට ණයකරුවෝ වෙමු. එයින් සිදු වන්නේ විපතින් විපතට පත්වීමකි. නූතන ව්‍යවහාරයන්ට අනුව කිවහොත් මෙයින් ණයකරුවෙක් එම ණය ගෙවීමට තවත් ණය ගැනීමෙන් දැරිය නොහැකි ණය බරකින් පෙළෙන්නෙක් වන්නාක් මෙන් අපි අපල ගොඩක් උරුම කර ගත්තෝ වෙමු. මේ නිසා අනියම් ක්‍රම මගින් ලාභ ඉපදවීමේ භයානක බවක් ඇත.
ඡ්‍යොතිෂ, ගුප්ත ශාස්ත්‍ර ආදියේ පවසන පරිදි පෙර කර්මානුරූපව මේ ආත්මයේදී අපට අපලවලට මුහුණ දීමට සිදුවේ නම් ඒවාට විසඳුමක් ද තිබිය යුතු ය. අපල මඟ හරවා ගැනීමට ඇතැම් තැන්වල බාරහාර වීම්, දෙවියන්ට ප්‍රේතයන්ට හා භූතයන්ට බලි බිලි දීම්, පූජා වට්ටි දීම් ආදිය සිදු කරන අයුරු විස්මය ජනකය ඔබ දැක ඇත. අපමණ භක්තියකින්, බියකින් හා බලාපොරොත්තුවකින් එසේ කළ ද ඒවායින් පලක් නොමැතිව වෙසෙනා අපමණ මිනිසුන් ද අපි දකිමු. මෙයට බුදුදහමෙන් යෝජනා කෙරෙන නිර්දේශය කුමක් ද? යන්න විමසා බැලිය යුත්තකි.
අප අත්විඳින සමාජයේ දක්නට ලැබෙන පරිදි ජීවත්වීම යනු ඉහත දැක් වූ පරිදි බෙහෙවින්ම මිනිසා ඇතුළු භෞතික වස්තූන් සමඟ සිදු කෙරෙන ගනුදෙනුවකි. සිත් පිත් නැති අයුරින් සිදුවන මෙම ගනුදෙනුව අප්‍රාණික, අචේතනික වූවක් වන හෙයින් ආධ්‍යාත්මයක් එයට එක්විය යුතු ය. කර්මඵල ඉගැන්වීම සම්බන්ධ මෙය සිද්ධාන්තමය වශයෙන් බැඳේ. නිදසුනක් ලෙස යම් බිරිඳක්, ස්වාමි පුරුෂයා සමඟ දිගුකාලීන විරසක වීමකින් අප්‍රසන්න අත්දැකීම් පොඳි බැඳ සිටී නම් ඒ හා සම්බන්ධ වන නැන්දම්මා, මාමා හා ඥාතීන් ආදීන් කෙරේ ද ඇය තුළ අප්‍රසන්නභාවයක් හෝ වෛරයක් හෝ එවැනි වෙනත් මනෝභාවයක් ඇතිවිය හැකිය. මෙය පුරාකෘත කර්මයක් නිසා මෙලොවදී ලබන අපලයක් නම් ගුප්ත ශාස්ත්‍රාදියෙන් නිර්දේශ කෙරෙන බාරහාරවලින් පමණක් එය නැතිකළ නොහැකිය. කුමක් නිසා ද යත් වෛර කිරීම, පළිගැනීමට සිතීම වැනි දේ තුළින් තමා තුළ පවතින කර්ම ශක්තිය බලවත් කෙරෙන හෙයිනි. බුදුදහම අනුව කර්මය යනු අනෙකක් නොව චේතනාවයි. බුදුදහමේ ප්‍රකට දේශනා පාඨයක් වන “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි” යන්නෙන් කියැවෙන්නේ මෙම අදහසයි. ක්‍රියාවකට මුල්වන චේතනාව එම ක්‍රියාවේ සරුබව හෝ නිසරු බව තීරණය කරයි. පළිගැනීමට සිතීම, වෛර කිරීම වැනි චේතනා සමඟ වෙසෙමින් අපල දුරු කිරීමට හැකියාවක් නොමැත. එසේ නපුරු මානසිකත්වයකින් කටයුතු කිරීම හුදෙක් භෞතික ගනුදෙනුවක් වන හෙයිනි. එබැවින් එබඳු මානසිකත්වයක් ඇත්නම් ඒවායින් මිඳී විසඳුම් සෙවීමට පෙළඹීම අපල හෙවත් නපුරු ජීවිත අත්දැකීම් ඉක්මවා යාමට ඇති මූලික උපාය මාර්ගය වේ. එම ආධ්‍යාත්මික තත්ත්වයේ නොසිට යන්ත්‍ර මන්ත්‍ර, පුද පූජා, බාර හාර ආදිය මගින් ඵල සිද්ධියක් බලාපොරොත්තු වීම නිෂ්ප්‍රයෝජන වේ.
බුදුදහම අනුව සෑම ඵලයකටම හේතුවක් තිබිය යුතු ය. කෙනෙකුට දහඩිය දමන්නේ උෂ්ණය නමැති හේතුව නිසාය. එකී උෂ්ණය නමැති හේතුව නොමැති නම් දහඩිය දමන්නේ නැත. එලෙසම පලයක් ලැබීමට හේතුවක් තිබිය යුතු ය. අපලය නම් සිතන දේ නොලැබීමයි. නැතහොත් හරවත් දෙයක් නොලැබීමයි. එසේ නොලැබීම අපලයි. එකී නොලැබීමේ හේතුව නම් ලැබීමට අවශ්‍ය වන චේතනා මූලික කර්ම නොකර තිබීමයි. එබැවින් අපල, අපල යැයි කියමින් ලතැවෙන්නන් විසින් අපලයන්ගේ ක්‍රියාකාරීත්වය නැතිකර ගැනීමට හෝ අවම කර ගැනීමට හෝ අවශ්‍ය ප්‍රතිපත්තිමය කාර්යය තේරුම් ගැනීම අවශ්‍ය වේ. එනම් සාර්ථකභාවයේ රහසක් වන අපගේ චේතනාබද්ධ ප්‍රතිපදාවයි. මිනිසෙකුගේ සාර්ථකභාවය දිනෙන් දින වර්ධනය වීමට නම් මිනිසාට පිරිසුදු මානසිකත්වයක් පැවතිය යුතු ය. සමාජයේ විවිධ ස්තරවල වෙසෙන උසස් යැයි සම්මත ඇතැම් අය නිතර කාර්ය බහුල අය ලෙස සිටිනු ඔබ දැක ඇත. කාර්ය බහුල බව, අවිවේකී බව මිනිසෙකුගේ සාර්ථකත්වයේ රහසක් නොවේ. බිරිඳ දරුවන් ඥාතීන් සමඟ සිනා මුසු මුහුණින් ජීවිතය භුක්ති විඳීමට නොහැකි, එනිසාම කෝපයෙන්, ආවේග බහුලව වෙසෙන මිනිසුන්ගේ කවර නම් සාර්ථකභාවයක් ද? බුදුදහම අනුව අපගේ මනස නිබඳවම බැඳීම්, ගැටීම්, ආදියෙන් විනිර්මුක්තව තබා ගැනීමට නැණවත් විය යුතු ය. මනස හැකිතරම් හිස්ව තබා ගත යුතු ය. පරිගනකයකට ඇතුළු වන දත්ත වැඩිවීමෙන් එය අක්‍රිය වන බව අපි දනිමු. එසේම එහි අනවශ්‍ය දත්ත ඉවත් කිරීමෙන් යළි සක්‍රිය තත්ත්වයට පත්කරවිය හැකිය. එමෙන්ම මනස ද අනවශ්‍ය දත්තවලින් නිදහස් කළ විට අපල තත්ත්වයන් දුරුකොට හෙවත් යහපල දෙන තත්ත්වයක් උදා කරවිය හැකිය.
එබැවින් භෞතික ලෝකය තුළ ලැබීම් වැඩිවීමට නම් මෛත්‍රී භාවනා කළ යුතු ය. එසේ කළ නොහැකි නම් අවම වශයෙන් වැරදි චේතනාවලින් සිත නිදහස් කරවා ගත යුතු ය. ද්වේෂය, වෛරය, පළිගැනීමේ සිතිවිලි බැහැර කළ යුතු ය. ධනාත්මකව සිතන්නට, පිරිසුදුව සිතන්නට, පිරිසුදුව සිටින්නට, අන් අය සමඟ සිනහ මුසු මුහුණින් සබඳතා පවත්වන්නට, නිවස ප්‍රසන්න ලෙස තබා ගන්නට, බුදුන් වැඳීම, මල් පහන් පිදීම වැනි ක්‍රියාවල නිරත වන්නට මළවුන්ට පින් දෙන්නට, සිය මුවින් පිරිත් සජ්ඣායනා කරන්නට, අකටයුතු ක්‍රියාවන් අනුමත නොකරන්නට උත්සාහ කළ යුතු ය. මෙබඳු ජීවිතයක් ගෙවමින් ඔබගේ දෛවය වෙනස් වන ආකාරය නිරීක්ෂණය කොට අපල ජයගන්නා ආකාරය ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් කරගන්න.
කැලණිය දළුගම්ගොඩ ත්‍රිපිටක අධ්‍යයන ආයතනාපති,
රාජකීය පණ්ඩිත, මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ නොවැම්බර් 14 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment