අර්ථාඞ ගෘහේ නිවර්තන්ති
ක්ෂමසානේ මිත්‍ර බාන්ධවාඞ
සුකෘතං දුෂ්කෘතං චෛව
ච්ඡන්තමිව ගච්ඡති
මේ සම්භාවිත ධර්මපාඨයෙන් කියැවෙන්නේ අප ගත කරන මේ ජීවිතයේ අවසානය පිළිබඳවය. ජීවිත කාලයක් පුරා රැස්කරනු ලබන ධනය හා වත්කම් නිවසේ හෝ බැංකු ගිණුම්වල නවතිනු ලැබේ. ඉතා ආදර සමාදර පෙරටුව ඇසුරු කළ දූ දරුවන් ආදි ඥාති මිත්‍ර පිරිස සුසාන භූමියේ නවතිනු ලැබේ. එහෙත් එසේ අතර මග නතර නොවී අප සමගම අනිවාර්යයෙන්ම ගමන් කරන එක් දෙයක් ඇත. එනම් ජීවත්වන කාලය පුරා අප විසින් කරන හොඳ හා නරක ක්‍රියාවන්හි ප්‍රතිඵලයයි. එසේත් නැතිනම් සිත කය වචනය යන තුන්දොර මෙහෙයවා කළ කී හොඳ හෝ නරක දෙයෙහි ආනිශංස හෝ විපාක ශක්තියයි.
මේ නයින් සලකන විට පසුගියදා රාජ්‍ය ගෞරව මැද අවසන් ගමන් ගිය ඩබ්ලිව්. ඩී. අමරදේව මහතාණන්, තම කර්මානුරූප ගමනේ දී ගෙන යන්නට ඇත්තේ කුමක්ද? වයස අවුරුදු 88ක් තරම් දීර්ඝ වූ එතුමාගේ ජීවන කාර්යය සංසිද්ධිය විමසා බලන විට පෙනී යන්නේ, මහා පරිමාණ කුසලානිසංස ප්‍රමාණයක් එතුමා පරලොවට ගෙන යන්නට ඇති බවය. ඒ පිළිබඳ ධර්මානුකූලව විමසා බැලීම ජීවත්ව සිටින,
විශේෂයෙන්ම දැනට කලා ක්ෂේ ත්‍රයේ ක්‍රියාකාරීව සිටින හැම දෙනාට ම ඉමහත් ප්‍රයෝජනයක් වනු ඇත.
අමරදේව මහතා ප්‍රකට ලෙස පෙනී සිටින්නේ ගායන ශිල්පියෙකු වශයෙනි. එහෙත් වැඩිදුරටත් කරුණු විග්‍රහ කිරීමේදී පෙනී යන්නේ ගායකයෙකු, කලා කරුවෙකු, සංගීතඥයෙකු යනාදී විෂයයන් සියල්ල ඉක්මවා සිටි තවත් සුවිශේෂී චරිත ලක්ෂණයක් එතුමා වෙතින් ප්‍රදර්ශනය වන බවයි. එනම්, මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ සුපරිශුද්ධ වූ ධර්ම මාර්ගය ලෝකයට ගෙනහැර දැක්වූ අතිදක්ෂ ධර්මප්‍රචාරකයෙකුගේ චරිත ලක්ෂණයයි.
ශ්‍රවණය හා කියවීම මගින් පැය ගණනක් දින ගණනක් වැයකොට අවබෝධ කරගත යුතු ධර්ම කාරණා එතුමා ඉතාමත් ළ ගන්නා අයුරින් හා ආශ්වාදජනක ලෙස සහෘදයාට වටහාදීමට ස්වකීය සුගායනා කෞශල්‍යය උපයෝගි කරගත් ආකාරය ප්‍රශංසනීයය.
නිදසුන් ලෙසින් ගත හැකි කාරණා බොහෝ ය. ‘ඉරහඳ පායන ලෝකේ..... සැපදුක සමබර වේ.....’ යනාදී වශයෙන් අමරදේවයන් විසින් ගැයෙන ගීතය බුදුදහමේ දැක්වෙන අෂ්ඨ ලෝක ධර්මය පිළිබඳ අපූරු දේශනාවකි.
දුක සැප, ලාභ අලාභ ආදිය ඉරහඳ දෙක්හි පැවැත්ම සේම හැමටම පොදු ධර්මතාවයන් ය. ඒවා උපේක්ෂාවෙන් ඉවසා ක්‍රියා කිරීම දියුණුවේ මාර්ගය වන බව එයින් වටහාදීමට උත්සාහවත් වී ඇත.
‘ඉපිද මැරේ යළි ඉපදේ නොතිර සසර සාගරේ’ යන ගී පදවැල් එතුමාගේ ප්‍රතිභාපූර්ණ කටහඬ සමඟ එක්වීමෙන් ජනිත කරන්නේ සිත් පහන් කරවන දහම් සිතිවිල්ලකි. ඉපදෙමින් මැරෙමින් අනවරත ලෙස ගලායන සංසාර ගමනේ යතාර්ථය සොයා යන්නට එමගින් පිටුබලයක් වන අතර ඒ ගායනය මගින් කෙනෙකුගේ සිත් දහමට පොළඹවන ආකාරය ද සිත් ගන්නා සුළුය.
ප්‍රේම ගීතයක් ලෙසින් සමහරුන් විසින් වරදවා වටහාගන්නා ලද ‘පෙර දිනයක මා පෙම්කළ යුවතිය සිය පුතු නළවනවා.....’ යන ගීතයද අර්ථවත් දහම් කරුණක් විස්තර කෙරෙන සුගායනයකි. කාන්තාවක දෙස සරාගී ආකාරයෙන් බලන සාමාන්‍ය තරුණයෙකුගේ සාවද්‍ය හැඟීම අභිබවා බුද්ධිමය ආකල්පයකට මේ මගින් මග පෙන්වා ඇත. සිය දරුවා ඇකයෙහි හොවාගෙන, නළවමින් කිරි පොවමින් සිටින ආදරණීය මෑණි කෙනෙකුගේ රාග නිශ්‍රිත නොවූ කරුණාන්විත ස්වරූපය කෙරේ අවධානය යොමු කරවන මේ ගායනය මඟින් තරුණයකුගේ සරාගී සිත විරාගී ස්වභාවයකට පත්කරවනු දැකගත හැකිය.
රූප නන්දා නමැති අතිමානී තරුණියගේ රූප මදය දුරු කර දහම් මඟ අවබෝධ කරදීමට එදා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ප්‍රාතිහාර්යාත්මක පාඩම අද දවසේ අමරදේවයන් විසින් ස්වකීය ගායනා ප්‍රාතිහාර්යය මගින් සමාජයට උගන්වාලන අයුරු ‘සන්නාලියනේ සන්නාලියනේ.....’ යන ගීතයෙන් මැනවින් ප්‍රකට වෙයි. ජීවිතයක වැදගත් සංධිස්ථාන තුනක් වන උපත, විවාහය හා මරණය යන අවස්ථා චිත්‍රනයට නංවාලමින් මේ ගීතය මඟින් කියාදෙන්නේ සොබාදහමේ අනිවාර්ය ධර්මතාවක් වන අනිත්‍යය පිළිබඳ අත්දැකීමයි.
උපතකදී පී‍්‍රතිමත්වන, ආවාහ විවාහ ආදී අවස්ථාවන්හි ප්‍රමෝදයට පත්වන, සාමාන්‍ය මිනිස් අත්දැකීම පරිපූර්ණ වන්නේ පි‍්‍රය විප්‍රයෝගය නමැති අවසාන සංසිද්ධිය මගිනි. එනිසා පී‍්‍රතිය, උද්දාමය යන කරුණු සමඟ ශෝකය, වේදනාව පරිදේවය යන කරුණු ද සමාන්තරව සිටින අනිවාර්ය ධර්මතාවයන්ය යන අවබෝධය මගින් පුද්ගලයා සිය ජීවිතයේ යථාර්ථයට ළං වෙයි. සන්නාලියන් සකසන ඇඳුමේ ස්වරූපය අවස්ථා අනුව වෙනස් වන්නාසේම, අනිත්‍ය පූර්වක වූ ජීවන අවස්ථාවන්හි විවිධත්වය හා වෙනස අවබෝධ කරගන්නට සාමාන්‍ය බුද්ධියක් ඇති පුද්ගලයෙකුට වුව එමගින් මහත් පිටුබලයක් ලැබෙයි.
බුද්ධාලම්බන පී‍්‍රතිය උත්කර්ෂයට නංවා එමගින් මිනිස් සිත සැදැහැ බැතියට යොමු කරන, එසේම පුද්ගලයා ධර්ම මාර්ගයට යොමු කරන ගීත මහ රැසක් අමරදේවයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.
‘ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැළැවෙන කැලෑ මල්ගෙන ඔබේ සිරිපා පුදන්නම්’
යනාදී ගීතය ඒ අතර ප්‍රධානය. අවුකන මහා බුද්ධ ප්‍රතිමාව ගැන අපි මීට පෙර නොඇසූ නොසිතූ අපූරු අදහසක් ද එහිලා ඉදිරිපත් වෙයි. බුදුරජාණන් වහන්සේගේ උත්තුංග මහා ගුණස්කන්ධය ඉදිරියේ තමාගේ කුදු බව ( කුඩා බව) පසක්වන බව කියන අදහස මහා ප්‍රතිමා නිර්මාණය සම්බන්ධයෙන් නව්‍ය වූ ද ධර්මානුකූලවූ ද අර්ථ කථනයක් සපයයි.
ඒ කාලයේ බෞද්ධ උපාසක පිරිසකට පමණක් සීමා වී පැවතියා යැයි සලකනු ලැබූ පැරණි බොදු ගී නව්‍ය ස්වරයෙන් ඉදිරිපත් කොට වත්මන්හි පොදුවේ බාල මහලු හැමදෙනා වෙත ම ගැළපෙන අයුරු සමාජ ගත කිරීමෙහිලා ද අමරදේව මහතාණන් මහත් මෙහෙවරක් සිදුකර ඇත. මෑත භාගයේ සිට හැමදෙනා අතරම අතිශය ජනපි‍්‍රයව පවත්නා ‘දන්මෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා, පේවී රකිති සොඳ සීලේ නිබන්ධා.....’ ගීතය ඒ සඳහා එක් නිදසුනකි.
අප විසින් උරුම කරගෙන සිටින අපේ උතුම් වූ බුදු දහමත් මේ ශ්‍රී ලංකාදීපයත්, සිංහල ජාතිකත්වයත් පිළිබඳ අභිමානවත් හැඟීම් උපදවන ‘සසර වසන තුරු, නිවන් දකින තුරු, පින් කෙත හෙළ රන් දෙරණේ, යළි උපදින්නට, හේතු වාසනා වේවා.’ යන ගීතය සමස්ත දේශයේම සාන්තිදායක මන්ත්‍රයක් බවට පත් වී තිබේ. අපේ ආගම දහම ඇතුළු උරුමයන් පිළිබඳ හීනමානයෙන් තොරව අදීන සිතුවිලි උපදවාගෙන උද්‍යෝගයෙන් යුතු සාභිමානයක් ගොඩනඟා ගන්නට එමගින් ලැබෙන පිටුබලය වචන විෂයාතික්‍රාන්තය.
මේ අයුරින්, සැකෙවින් දක්නාලද කරුණු අනුව පෙනී යන්නේ අමරදේව මහතාණන් තම අනූපමේය ගායනා ශක්තිය මගින් මහජනයාට අමිල වූ ද, කාලීන වූද, ධර්ම උපදේශයක් වඩාත් සංවේදී ආකාරයෙන් උගන්වා ඇති බවයි. ඒ සදුත්සාහය මගින් සෑම වයසකම, සෑම තරාතිරමකම ජනතාව වෙත ධර්මය ආකර්ශනය වූ බවද නිසැකය. බෞද්ධයන් අතර පමණක් නොව අබෞද්ධ අය වෙතද බුදු බණ ළං කරවීමට ඒ මගින් මග සැලසී ඇති බව ද නොවළහා අවබෝධ කරගත යුතු සත්‍යයයි. අප මේ බව ඉතා සැකෙවින් දක්වා සිටින්නේ අමරදේවයන්ගේ ඒ ප්‍රතිභාපූර්ණ ශබ්ද මාධූර්යයට ගැළපෙන ආකාරයෙන් අරුත්බර පද රචනාවන්හි යෙදුනු අතිසම්භාවිත ගීත රචකයන්ට ද කෘතගුණ පූර්වක ආශිර්වාදය පළ කරමිනි.
“මහරහතන් වැඩිමග ඔස්සේ..... නිවී පහන් වී සිත සැනහේ.” යනාදී ලෙසින් තමා විසින් දුටු ඒ සැනසිලිදායක මොහොත අනාගත භවයේ නුදුරු දිනකම ස්වයංව ම අත්දකින්නටත් එමගින් සසර දුකින් අත්මිදෙන්නටත්, අමරදේව මහතාණන්ට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක
ආචාර්ය
ඕමල්පේ සෝභිත නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ නොවැම්බර් 14 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment