Labels

Thursday, November 24, 2016

ධර්ම දානයෙහි ආනිශංස රැසක්

“සද්ධම්මො පරම දුල්ලභො” සද්ධර්මය පරම දුර්ලභය. සද්ධර්මය යනු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කොට දෙසා වදාළ නවලෝකෝත්තර වූ ශ්‍රී සද්ධර්මය වේ. අනුන් වෙනුවෙන් ධර්ම දානය කළ හැකි ක්‍රම කිහිපයක් දැක්වේ. ධර්ම දේශනා කිරීම, කරවීම, හා ධර්ම පූජා කිරීම, දහම් පොත් පත් මුද්‍රණය කර බෙදා දීම,ධර්මය ඉගැන්වීම, සීලයෙහි පිහිටුවීම, ධර්මය ඉගෙන ගන්නා සිසුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, දහම් පාසල් අධ්‍යාපනය ලබාදීම, ධර්ම ශාලා කරවීම, ධර්මායතන කරවීම මේ සියලු දේ ධර්ම දානමය කුසලය ලැබීමට හේතු වේ.
බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන විට එක්තරා දෙවියෙක් පැමිණ දානයන් අතුරෙන් කවර දානයක් ශ්‍රේෂ්ඨද?
රසයන් අතරෙන් කවර රසයක් ශ්‍රේෂ්ඨද? ඇලීම අතුරෙන් කවර ඇලීමක් උතුම්ද? අර්හත් ඵලය කවර හෙයින් ශ්‍රේෂ්ඨ ද? යනුවෙන් විමසීය. බුදුරජාණන් වහන්සේ සබ්බ දානං , ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතුරෙන් ධර්ම දානය උතුම්ය. සියලු රසයන් අතුරෙන් ධර්ම රසය ජයගනී. සියලු ඇලීම් අතුරෙන් ධර්මයෙහි ඇලීම ජයගනී. තෘෂ්ණාව නැති කිරීම සියලු දුක්වලින් ජය ගනී යනුවෙන් වදාළහ.

ධර්ම දානය බුද්ධෝත්පාද කාලයෙහි ලැබිය හැකි මුත් අබුද්ධෝත්පාද කාලයෙහි කළ නොහැක. සසර සැරිසරන විට සතර අපායේ වැටී දුක් විඳින කළ ධර්ම දානයක් නම් කළ නොහැක. එසේම මිථ්‍යාදෘෂ්ඨිකව උපන් කාලයෙහි ඉන්ද්‍රීය ධර්මයන් දුර්වලව පැවතුනු කල්හිද ධර්ම දානමය පිනක් නම් සිදු කිරීමට නොපිළිවන. ‘අරූපී” බ්‍රහ්ම ලෝකය සිත නැති කය ඇති අසඤ්ඤත බ්‍රහ්ම ලෝකයෙහි උපන් කල්හිද ධර්ම දානය සිදුකළ නොහැකිය.

මේ නිසා අග්‍රගන්‍යයෙහිලා සැළකෙන ධර්ම දානය කළ හැක්කේ “කිච්ඡො මනුස්ස පටිලාභෝ කිච්ඡො සද්ධම්ම සවනං” යන දේශනාවට අනුව මනුෂ්‍ය ආත්මයක් ලැබීම, සද්ධර්මය ශ්‍රවණය කිරීම, ධර්ම දානය පින්කම් සිදු කර ගැනීමට හේතු පාදක වේ. ධර්ම දානය “දිට්ඨ ධම්ම වේදනීය” වශයෙන් එකෙනෙහිම විපාක ලබාදිය හැකි දානයකි. ධර්ම දේශනා කරන්නන්ගේ හා ධර්මය අසන අයගේ සිත පිරිසුදු වේ. සංවරය පිණිස හේතු වේ. නීවරණ ධර්මයන් යටපත් වේ. ත්‍රිශික්ෂා සම්පූර්ණ වීම තුළ නිවන ප්‍රත්‍යක්ෂ වේ. මෙලොව විපාක විඳීමට නොහැකි වූවත් සතර අපා දුකින් මුදවා දීමත් මානුෂික සම්පත් කෙළවර නිවන් සැපත ළඟා කර ගැනීමට හේතු පාදක වේ.

ධර්මය ඇසීමෙන් නව කල්පයක්ද, ධර්ම දේශනාවට ආරාධනා කිරීමෙන් අට කල්පයක්ද, පින් අනුමෝදන් වීමෙන් එක් කල්පයක්ද? ධර්ම දේශනා කිරීමෙන් කල්ප අසංඛ්‍යයක්ද සුගතියේ සැප ලැබේ. ධර්මාලම්බන පී‍්‍රතියෙන් යුතුව ධර්ම ශ්‍රවණය කරන තැනැත්තාගේ මුවින් මහනෙල් මල් සුවඳ හමයි. ධර්ම දේශකයා උපනූපන් තැන සියලු යස ඉසුරුවලින් ආඩ්‍ය වනවා මෙන්ම මහා ප්‍රඥාවන්තයෙක්ද වන්නේය.ලෞකික ලෝකෝත්තර සියලු සම්පත් දෙන්නාට සියලු සම්පත් ලැබේ. සියලු දෙනාට ධර්ම දේශනා සිදුකළ නොහැකිමුත් ධර්ම දානය සිදුකළ හැකි වෙනත් ක්‍රම අනුගමනය කළ හැකිය.
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ගඳ කිලියට වැඩමවා මෙසේ අනුශාසනා කරති.“ මහණෙනි, අප්‍රමාදීව ධ්‍යාන මාර්ග ඵල වඩන්න. ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභය, මිනිසත් බව දුර්ලභය. ශ්‍රද්ධා සම්පත්තිය දුර්ලභය. ප්‍රවෘජ්ජාව දුර්ලභය. ධර්ම ශ්‍රවණය දුර්ලභය. ”
ධර්ම දානය සඳහා යොදවන මිල මුදල් ධාර්මිකව උපයා ගත් දෙයින්වීම වැදගත් වේ. එම නිසා දාන වස්තුව ගැන සැකයක් නොඉපදවිය යුතුය. බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය වන නිසා පරිශුද්ධත්වයෙන් ධර්ම දානය සියල්ලන්ටම සාධාරණ දානයක් වනු ඇත. සතර පද ගාථාවකින් තරම්වත් සුළු වුවද ධර්ම දානය අති ශ්‍රේෂ්ඨ බව බුදුරදහු වදාළහ.

බුදුරජාණන් වහන්සේ බුදු පදවියට පත්වීමෙන් අනතුරුව උතුම් සද්ධර්මය දේශනා කිරීමට සූදානම් වන අවස්ථාවේ දී මන්දෝත්සාහි බවක් ඇති වුණි. ඒ මන්දයත්? අවබෝධකරගත් නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය ගාම්භීරය, ගැඹුරුය. දැකීමට අපහසුය. දුරනුබෝධය අවබෝධයට අපහසුය. පණ්ඩිතවේද නුවණැත්තන් විසින් අවබෝධ කළ යුතුය. ධර්මය අවබෝධ කර ගැනීමට සුදුසු පිරිසක් ලෙස පස්වග මහණුන් ගැන සිහිපත් වී ඔවුනට පළමු දම් දෙසුම දෙසන ලදී. ධර්ම දානය අටමහ කුසල් ගණයට ගැනෙන මහානීය පින්කමකි.




දෙහිවල ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති, 
කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය, 
ශාස්ත්‍රපති, 
ලේල්වල සමිත හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ නොවැම්බර් 14 වන සඳුදා දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment