අද දහම් ලිපිය සඳහා අප සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්නාසකයේ විභංග වර්ගයට අයත් දක්ෂිණා විභංග සූත්‍ර දේශනාව පිළිබඳවයි. දන් පූජා කළයුතු වන්නේ කවුරුන් උදෙසා ද. එසේ පූජා කරනු ලබන දාන වර්ග මොනවාද? එසේ පූජා කරන්නා වූ දානයන් හි ආනිසංස මොනවාදැයි මේ දක්ෂිණා විභංග සූත්‍ර දේශනාවෙන් පැහැදිළිකොට දක්වනවා.
අපි පළමු කොට සූත්‍ර දේශනාවෙහි අදහස තේරුම් ගෙන පසු ලිපි පෙළකින් මෙහි සඳහන් වන දානයන් හා එහි ආනිසංස පිළිබඳව සාකච්ඡා කරමු.
භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ වැඩ වාසය කරනවා. දිනක් මහා ප්‍රජාපතී ගෝතමී දේවිය අලුතින් කළ වස්ත්‍ර යුගලයක් රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. භාග්‍යවතුන් වහන්සේට මනාකොට වන්දනා කරමින් අනතුරුව එකත් පසෙක වාඩි වුණා. එකත් පසෙක වාඩි වූ මහා ප්‍රජාපතී ගෝතමි දේවිය භාග්‍යවතුන් වහන්සේට මෙසේ සඳහන් කළා. භාග්‍යවතුන් වහන්ස, මා සතු මේ අලුත් වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ උදෙසාමයි පිළියෙල කළේ. මා විසින් ම නූල් කැට එනම් නූල් කඩමින් මා විසින් ම වියන ලද්දක්. මා විසින් එසේ සකස් කරන ලද මේ වස්ත්‍රය මා කෙරෙහි අනුකම්පා කොට පිළිගනු ලබනු සේක්වා.
මහා ප්‍රජාපතී ගෝතමි දේවිය විසින් භාග්‍යවතුන් වහන්සේට එසේ සඳහන් කිරීමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ එතුමියට මෙසේ දේශනා කළා. ගෝතමිය, සංඝයා විෂයෙහි පූජා කරන්න. නුඹ විසින් සංඝයා විෂයෙහි පූජා කළ මට ද පූජා වුණා වෙනවා. සංඝයාට ද පූජා වුණා වෙනවා. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළේ මේ ආකාරයෙනුයි.
සංඝෙ ගෝතමී දේහි
සංඝෙ තෙ දින්නේ අහං චෙව
පූජිතො භවිස්සාමි සංඝොචාති
දෙවැනි වතාවට ද මහා ප්‍රජාපතී ගෝතමි දේවිය භාග්‍යවතුන් වහන්සේට නැවතත් එම වස්ත්‍ර පූජාව පිළිගන්නා ලෙස ඉල්ලා සිටියා. දෙවැනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේ පෙර පරිදිම සඳහන් කළා. ගෝතමිය සංඝයා විෂයෙහි පූජා කරන්න. නුඹ විසින් සංඝයා විෂයෙහි පූජා කළ විට ද පූජා වුණා වෙනවා. සංඝයාට ද පූජා වුණා වෙනවා.
තුන්වන අවස්ථාවටත් මහා ප්‍රජාපතී ගෝතමි දේවිය භාග්‍යවතුන් වහන්සේට පෙර පරිදිම වස්ත්‍ර පූජාව පිළිගන්නා ලෙස ඉල්ලා සිටියා. තුන්වන අවස්ථාවටත් භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමි දේවියට පෙර පරිදිම පූජා කරන ලෙස සඳහන් කළා. මෙහි දී ඉතා ස්වල්ප වූ ධර්ම විවරණයක් අපි විසින් ඇති කර ගනිමු.
තථාගත බුදුරජාණන් වහන්සේ කුඩා කල හදාවඩාගනු ලැබූයේ සුළු අම්මා වූ මහා ප්‍රජාපතී ගෝතමි දේවිය විසිනුයි. සිදුහත් කුමරා ඉපිද දවස් සතකින් මහාමායා දේවිය කළුරිය කරනු ලැබුවා. ඉන් අනතුරුව සිදුහත් කුමරා හදා වඩා ගනු ලැබූයේ මහාමායා දේවියගේ සොහොයුරිය වූ මේ සඳහන් කරන මහා ප්‍රජාපතී ගෝතමිය විසිනුයි.
එතුමිය තමාගේ දරුවන් කිරි මව්වරුන්ට භාර දී සිදුහත් කුමරා මනා කොට පෝෂණය කළා. රැක බලාගත්තා. බුදුරජාණන් වහන්සේ නමක් මත්තෙහි පහළ වෙන්නට මහා ප්‍රජාපතී ගෝතමිය ලබාදුන් උපකාරය බොහෝමයි. බුද්ධ මාතා නමින් ගෞරවණීයත්වයට පත් වූයේ ද ඒ නිසාමයි. මහාමයා දේවිය කළුරිය කළා යැයි කිසිඳු අඩුවක් නොවෙන්නට තරම් මහා ප්‍රජාපතී ගෝතමිය විසින් සිදුහත් කුමරා මනාකොට රැක බලාගත්තා. එතුමියගේ හදවතෙහි හටගත් ඒ දාරක සෙනෙහස කියාපාන අවස්ථාවක් හැටියට මේ සිවුරු පූජාව දක්වන්නට පුළුවනි.
වර්තමානයේ දී පවා තම දරුවා පැවිදි වූ පළමු අවස්ථාවේ දී ම එම කුඩා සාමණේර නම විෂයෙහි දන් හැන්දක් බෙදන්නට, තමා අතින් ම සකස් කළ යම් ආහාරයක් පිළිගන්වන්නට බොහෝ මව්වරුන්ගේ හදවතෙහි ඇතිවන දාරක සෙනෙහස පැවිදි වූවත් එසේ ම පවතින බව ප්‍රකට කරුණකි.
එසේ නම් මහා ප්‍රජාපතී ගෝතමි දේවියගේ සිතේ හටගත් මේ හැඟීමත් ඒ ආකාරයෙන්මයි. තමාගේ අතින්ම නූල් කැට එය වස්ත්‍රයක් හැටියට සකස් කරමින් ඉන් අනතුරුව වස්ත්‍ර යුගලයක් එනම් දෙකක් හැටියට ගෙනවිත් බුදු පුතණුවන් වහන්සේට පූජා කිරීමටයි බලාපොරොත්තු වුණේ. එනමුත් තුන්ලොවක් සැනසූ තථාගත බුදුරජාණන් වහන්සේ “බුද්ධ මාතා” යැයි තමන් වහන්සේ විසින් සම්මානනය කරනු ලබන මාතාවන්ට මහානිසංස ලැබීම පිණිස සංඝයා විෂයෙහි පූජා කරන්නට යැයි කරුණු දක්වනවා. එය එතුමියට බොහෝ කුසල් ලැබීම පිණිසමයි.
එසේ සඳහන් කරන විට බුදුරජාණන් වහන්සේ සමීපයෙහි ආනන්ද තෙරණුවන් වහන්සේ වැඩ සිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සඳහන් කරනවා.
භාග්‍යවතුන් වහන්ස, මහා ප්‍රජාපතී ගෝතමි දේවියගේ අලුත් වස්ත්‍ර යුගල පිළිගන්නේ නම් මැනවි. භාග්‍යවතුන් වහන්ස, මහා ප්‍රජාපතී දේවිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාරකොට තිබෙනවා. කුඩා මව් වී ඔබ වහන්සේගේ අත්පා හදාවඩා පෝෂණය කළා. ඔබ වහන්සේ මෙලොවට බිහිකළ මව කළුරිය කළ පසු ඔබ වහන්සේට කිරි පෙව්වේ මේ මහා ප්‍රජාපතී ගෝතමි දේවියයි. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ද මහා ප්‍රජාපතී ගෝතමි දේවියට බොහෝ උපකාරව වැඩ සිටිනවා.
භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසීමෙන් මහා ප්‍රජාපතී ගෝතමි දේවිය බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මය සරණ ගියා. ආර්ය සංඝරත්නය සරණ ගියා. භාග්‍යවතුන් වහන්ස, මහා ප්‍රජාපතී ගෝතමි දේවිය භාග්‍යවතුන් වහන්සේගේ මුණ ගැසීම නිසා බුද්ධ රත්නය කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි අත්‍යයන්ත ප්‍රසාදයෙන් සමන්නාගත වුණා. ආර්යකාන්ත සීලයෙන් සමන්නාගත වුණා.
භාග්‍යවතුන් වහන්ස, මහා ප්‍රජාපතී ගෝතමි දේවිය භාග්‍යවතුන් වහන්සේ මුණගැසීම නිසා දුක්ඛ සත්‍යයෙහි, දුක්ඛ සමුදය සත්‍යයෙහි, දුක්ඛ නිරෝධ සත්‍යයේ, දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදා සත්‍යයේ නිසැක වුණා. එනම් අවබෝධය ලැබුවා. භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ද, මහා ප්‍රජාපතී ගෝතමි දේවියට බොහෝ උපකාර වුණා යැයි ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ නම් තථාගත බුදුරජාණන් වහන්සේගේ සමීපතම ඥාතිවරයායි.
මේ ශාක්‍ය පරපුරේ සැබෑ කතාව ආනන්ද ස්වාමීන් වහන්සේ මනාකොට දැනගෙන වැඩ සිටිනවා. මහා ප්‍රජාපතී ගෝතමි දේවියගේ හදවතෙහි හටගත් දාරක සෙනෙහස වස්ත‍්‍ර යුගලක් කොට පූජා කරන්නට සූදානම් වූ අවස්ථාවෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් පුද්ගලිකව එය පිළිනොගෙන භික්ෂු සංඝයා විෂයෙහි පූජා කරන්නට යැයි පැවසීමෙන් මහා ප්‍රජාපතී ගෝතමි දේවියගේ සිතෙහි යම් වූ ද සංවේගයක් ඇතිවෙන්නට හැකි යැයි හෝ, ඇති වුණා යැයි යන හැඟීමෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේටත් ගෞරව කරමින් එමෙන් ම මහා ප්‍රජාපතී ගෝතමියගේත් සිත සනසන්නට ඉහත සඳහන් කළ ආකාරයෙන් අදහස් ප්‍රකාශ කළ බව පැහැදිළියි.
තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට ගිහි කල උපකාරී වූ තම සුළු මව පිළිබඳව අමුතුවෙන් යම් කෙනෙක් මතක් කොට දිය යුතු නොවේ. එනමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේ එනම් සිද්ධාර්ථ කල තමන් වහන්සේට මහා ප්‍රජාපතී ගෝතමි දේවිය හදා වඩා පෝෂණය කරමින් කිරි පොවමින් අත් පා වඩමින් කළ මෙහෙය මෙහි දී නැවත නැවතත් මතක් කරනු ලබයි.
ඉන් අනතුරුව නැවතත් තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මහා ප්‍රජාපතී ගෝතමියට කරන ලද උත්තරීතර වූ මෙහෙයක් මතක් කරනු ලබයි. භාග්‍යවතුන් වහන්සේගේ මුණ ගැසීමෙන් තෙරුවන් සරණ ගිය ආකාරයත්, ආර්යකාන්ත සීලයේ පිහිටා සදහටම සතර අපායෙන් මිදෙන ආකාරයත්, ඝෝර වූ සසර ගමනෙන් එතරවන්නට හේතුවන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට සකස්වෙන ආකාරයත්, ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් මතක් කරනු ලබයි. මහා ප්‍රජාපතී ගෝතමි දේවිය බුදුරජාණන් වහන්සේගේ කුඩා කල ශරීර පෝෂණය කළා වගේ ම බුදුරජාණන් වහන්සේ විසින් මහා ප්‍රජාපතී ගෝතමිය, ධර්මය නම් වූ ක්ෂීරපායාසයෙන් එතුමියගේ මනස සුවපත් කළ ආකාරය, එය උතුම්ම සුවපත් කිරීම බව, ප්‍රති උපකාර කිරීම බව පැහැදිළිකොට මෙහි කරුණු දක්වනවා.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ නොවැම්බර් 14 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment